එක්තරා පුද්ගලික සමාගමක සේවය කළ තරුණයෙක් රැකියාව නිසා ඇති වූ අධික මානසික පීඩනය හේතුවෙන් සිය දිවි නසාගැනීමේ පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වේ. ඔහු සිය දිවි නසා ගැනීමට පෙර තැබූ සටහනක සඳහන් වන්නේ පීඩනය දරාගත නොහැකි බැවින් රැකියාවෙන් ඉල්ලා අස්වීමට අවස්ථා ගණනාවක දී උත්සහ කළත් ඔහු සේවය කළ ආයතනය ඊට ඉඩ නොදුන් බව යි.
අධ්‍යාපන කටයුතු, ආර්ථික ගැටලු සහ පවුල් ප්‍රශ්න වැනි තත්ත්ව නිසා ඇති වන මානසික පීඩනය හේතුවෙන් සිදු වන සිය දිවි නසාගැනීම් අතරට රැකියාව නිසා ඇති වූ අධික මානසික පීඩනය හේතුවෙන් සිදු වන සිය දිවි නසාගැනීම් ද පසුගිය දා එන්ව තිබිණි. එය පසුගිය කාලය තුළ වරින් වර ඉහළ ගොස් ඇති අයුරු ද පැහැදිලි ව දක්නට ලැබෙයි. එවැනි පසුබිමක වාර්තා වූ මෙම සිදුවීම රැකියාව නිසා ඇති වන පීඩනය දරාගත නොහැකි වීම නිසා සිදු වන්නට යන තවත් සිය දිවි නසා ගැනීම් රැල්ලක ආරම්භයක් වන්නට කිසිසේත් ම ඉඩ තැබිය යුතු නැත.
අවාසනාවන්ත ලෙස සියදිවි හානි කර ගැනීම
දිගු කාලයක් ජීවත් වී, ස්වාභාවික මරණයක් අත්විඳීම බහුතරයකගේ අරමුණ වුවත්, විවිධ හේතු නිසා ඉතා අවාසනාවන්ත ලෙස සියදිවි හානි කරගන්නා පිරිස් ද සිටිති. පසුගිය කාලයේ රට තුළ නිර්මාණය වූ යම් යම් සමාජ ආර්ථික තත්ත්ව නිසා වාර්ෂිකව වාර්තා වන සිය දිවි නසා ගැනීම් පිළිබඳ තත්ත්වයේ ද යම් යම් වෙනස්කම් සිදු වී තිබේ.
සියදිවි නසාගැනීම්
යම්කිසි පුද්ගලයෙක් චේතනාන්විත ව සිදු කරන ක්‍රියාවක් තුළින් සිය ජීවිතය අහිමි ක රගැනීම “සිය දිවි නසා ගැනීම” ලෙස නිර්වචනය කළ හැකි ය. මානසික අවපීඩනය, හීනෝන්මාදය සහ පෞරුෂමය දුර්වලතා වැනි මානසික තත්ත්ව සහ වෙනත් සමාජ සහ ආර්ථිකමය කරුණු සිය දිවි නසාගැනීම සඳහා බලපාන තවත් සාධක වේ.
ප්‍රේම සම්බන්ධතා හෝ විවාහ පිළිබඳ ගැටලු, ලිංගික අපයෝජන හෝ යම්කිසි පාර්ශවයකගේ නිරන්තර හිරිහැරවලට ලක් වීම, අධ්‍යාපන සහ රැකියා කටයුතු අසාර්ථක වීම, විවිධ මූල්‍ය දුෂ්කරතා, බරපතල රෝග තත්ත්ව සහ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම වැනි හේතු සිය දිවි නසා ගැනීම් සඳහා හේතු වන ප්‍රධාන සාධක අතරින් කිහිපයකි.
සියදිවි නසාගැනීම් පිළිබඳ ගෝලීය දත්ත
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සිය දිවි නසා ගැනීම් වැලැක්වීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන සංවිධාන ගණනාවක් සිදු කළ අධ්‍යයනයක දී 2019 වසර වන විට ලොව වැඩි ම සහ අඩු ම සිය දිවි නසා ගැනීම් අනුපාත සහිත රටවල් දහය බැගින් හඳුනා ගෙන ඇත. පුද්ගලයන් මිලියනයක් අතරින් සිය දිවි නසා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාව එම අධ්‍යයනයේ දී සැලකිල්ලට ගෙන තිබේ.
එම අධ්‍යයනයට අනුව, ලෙසෝතෝ (724/මිලියනය (මි)), ගයනාව (403/මි), එස්වාටිනි (294/මි), දකුණු කොරියාව (286මි), කිරිබතී (283මි), මයික්‍රොනීසියාවේ ෆෙඩරල් ප්‍රාන්ත (282/මි), ලිතුවේනියාව (261/මි), සුරිනාම් (254/මි), රුසියාව (251/මි) සහ දකුණු අප්‍රිකාව (235/මි) සිය දිවි නසා ගැනීම් අනුපාතය වැඩි ම රටවල් ලෙස හඳුනා ගෙන ඇත.
ඇන්ටිගුවා සහ බාබුඩා (4/මි), බාබඩෝස් (6/මි), ග්‍රෙනඩා (7/මි), ශාන්ත වින්සන්ට් සහ ග්රෙනඩින්ස් (10/මි), සාඕ තෝම් සහ ප්‍රින්සිප් (15/මි), ජෝර්දානය (16/මි), සිරියාව (20/මි), වෙනිසියුලාව (21/මි), හොන්ඩුරාස් (21/මි) සහ පිලිපීනය (22/මි) සිය දිවි නසා ගැනීම් අනුපාතය අඩු ම රටවල් ලෙස හඳුනාගෙන ඇත.
මෙරට සිය දිවි නසා ගැනීම්
ඕනෑම අයකුට “ආයුබෝවන්” යැයි පවසා ආචාර කර, ඔවුන්ට දීර්ඝායුෂ ප්‍රර්ථනා කිරීම ශ්‍රී ලාංකිකයෝ අනාදිමත් කාලයක පටන් සිදු කරති. දීර්ඝ කාලයක පටන් එසේ අනිකාට දීර්ඝායුෂ ප්‍රර්ථනා කිරීමෙන් දිගු කාලයක් නිරෝගී ව ජීවත් වීම පිළිබඳ ව ශ්‍රී ලාංකිකයන් තුළ පැවැති ආකල්පය මොනවට පිළිබිඹු වේ. එය එසේ වුවත් විවිධ හේතු නිසා මෙරට වාර්තා වන සිය දිවි නසා ගැනීම් සංඛ්‍යාව මීට ටික කලකට පෙර ඉතා ඉහළ මට්ටමක පැවැතිණි.
මීට දශකයකට පෙර පැවති තත්ත්වය සමඟ සැසඳීමේ දී වර්තමානය වන විට මෙරට සිය දිවි නසා ගැනීමේ ප්‍රතිශතය තරමක පහළ මට්ටමක පවතී. සමීක්ෂණවලදී අනාවරණය වූ කරුණු අනුව 2000 වසර වන විට මෙරට සෑම පුද්ගලයන් 100,000කින් 27 දෙනෙක් සිය දිවි නසා ගෙන තිබේ. ලෝකයේ අනිකුත් රටවල්වලට සාපේක්ෂ ව ශ්‍රී ලංකාවේ සිය දිවි නසා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාව ඒ වන විට ඉතා ඉහළ මට්ටමක පැවැති බැවින් එවකට පැවැති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය, සිය දිවි නසා ගැනීම් වැලැක්වීමේ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් ද පත් කළේ ය.
එම කාර්ය සාධක බළකාය ඉදිරිපත් කළ නිර්දේශ අනුව මාරාන්තික පලිබෝධනාශක මිල දී ගැනීම සහ අලෙවි කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම, පලිබෝධනාශක අලෙවිසල්වල සේවක සේවිකාවන් දැනුම්වත් කිරීම, කනේරු වැනි විෂ සහිත ශාක බෝ වීම අඩු කිරීමට අවශ්‍ය වැඩසටහන් සකස් කිරීම සහ සිය දිවි නසා ගැනීම් වැලැක්වීම පිළිබඳ ව ජනතාව දැනුම්වත් කිරීම එහිදී සිදු විය. එම ජාතික ප්‍රතිපත්තිය සහ සිය දිවි නසා ගැනීම් වැලැක්වීම පිළිබඳ ව දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ දැනුම්වත් කිරීමේ වැඩසටහන් වැනි සියල්ලෙහි ප්‍රතිපලයක් ලෙස 2000 වසරේ සිට මේ දක්වා මෙරට සිය දිවි නසා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් අඩු වී තිබේ.
මෙරට සියදිවි නසාගැනීම් පිළිබඳ දත්ත
2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරට සිය දිවි නසා ගැනීම් පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමේ දී සිය දිවි නසා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාවේ ක්‍රමික අඩු වීමක් නිරීක්ෂණය කළ හැකි ය. පුද්ගලයන් මිලියනයක් අතරින් සිය දිවි නසා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාව අනුව වැඩි ම සිය දිවි නසා ගැනීම් සංඛ්‍යාව 1995 දී වාර්තා වී ඇත. එම සංඛ්‍යාව 470කි. ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් ආ එම සංඛ්‍යාව 2015 දී පුද්ගලයන් 151ක්, 2016 දී පුද්ගලයන් 148ක්, 2017 දී පුද්ගලයන් 144ක්, 2018 දී පුද්ගලයන් 142ක් සහ 2019 දී පුද්ගලයන් 140ක් ලෙස වාර්තා විය. 2016 වසරේ සිට 2019 වසර දක්වා වාර්තා වූ සිය දිවි නසා ගැනීම් සංඛ්‍යාවේ ප්‍රතිශතයේ පිළිවෙළින් 1.99%, 2.7%, 1.39% සහ 1.41ක අඩුවීමක් නිරීක්ෂණය වේ.
මෙරට වාර්ෂික ව සිය දිවි නසා ගන්නා පුද්ගලයන් අතරින් පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව කාන්තාවන් සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගනී. 2010 වසරට පෙර සිදු කර ඇති සමීක්ෂණවල දී සිය දිවි නසා ගැනීම් වැඩි ප්‍රමාණයක් සිදු වන දිස්ත්‍රික්ක ලෙස වව්නියාව, පොලොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, මාතලේ, කෑගල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වාර්තා වේ. සිය දිවි නසා ගැනීම් අඩු ප්‍රමාණයක් වාර්තා වන දිස්ත්‍රික්ක ලෙස ත්‍රිකුණාමලය, අම්පාර, මහනුවර, නුවරඑලිය, කොළඹ, කළුතර, ගම්පහ සහ මාතර යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇත.
සියදිවි නසාගැනීමට බලපාන සාධක
2000 දශකයේ මුල්භාගයේ සිට 2020 දක්වා වාර්තා වූ සිය දිවි නසා ගැනීම් අධ්‍යයනය කිරීම මඟින් ඒ සඳහා බලපාන ප්‍රධාන සාධක ගණනාවක් හඳුනා ගෙන ඇත. එම දත්ත අනුව මෙරට වැඩි ම පිරිසක් සියදිවි නසා ගැනීමට යොමු වන ප්‍රධාන සාධක ලෙස පවුල් තුළ ඇති වන විවිධ ගැටලු, බරපතල රෝග තත්ත්වයන් සහ වෙනත් කායික දුබලතා, විෂාදය වැනි මානසික තත්ත්වයන් (රැකියා සහ අධ්‍යාපන කටයුතු නිසා ඇති වන පීඩනය ද ඇතුළු) සහ ණය ආපසු ගෙවීමට නොහැකි වීම සහ සිය පවුල් සංස්ථා නඩත්තු කිරීමට නොහැකි වීම වැනි ආර්ථික ගැටලු හඳුනාගෙන ඇත.
පවුල් ආරවුල් සහ රෝග තත්ත්ව
සමස්තයක් ලෙස සිය දිවි නසා ගන්නා පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව කාන්තාවන්ට වඩා ඉහළ අගයක පවතින නමුත් පවුල් ආරවුල් හේතුවෙන් සිය දිවි නසාගන්නා පුද්ගලයන් අතරින් වැඩි පිරිසක් කාන්තාවන් වේ. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සහ අනියම් සම්බන්ධතා වැනි පවුල් සංස්ථා තුළ ඇති වන ගැටලු නිසා සියදිවි නසා ගත් කාන්තාවන් සංඛ්‍යාව පිරිමි පුද්ගලයන් සංඛ්‍යාවට වඩා 8%කින් ඉහළ බව අනාවරණය වී ඇත. පිළිකා, වකුගඩු රෝග සහ වෙනත් බරපතළ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් ද ඉතා ඉක්මනින් සිය දිවි නසාගැනීමට පෙලැඹෙන බව අනාවරණය වී තිබේ.
තරුණ ප්‍රජාව අතර ඉහළ යන සියදිවි නසාගැනීම්
බොහෝ තරුණ තරුණියන් සිය දිවි නසා ගැනීමට පෙලැඹෙන්නේ වැඩිහිටියන්, බොහෝ විට ඔවුන්ගේ මව්පියන් හෝ වැඩිමහල් සහෝදරියන්, ඇති කරන ගැටලු සහ ප්‍රේම සම්බන්ධතා වැනි හේතු නිසා බව හඳුනා ගෙන ඇත. ඊට අමතර ව වර්තමානය වන විට පවතින සංකීර්ණ අධ්‍යාපන ක්‍රමය, නවක වදය වැනි සිදුවීම්, විරැකියාව සහ සුදුසුකම්වලට සරිලන රැකියාවක් නොලැබීම, ජංගම දුරකතන ක්‍රීඩා වැනි දෑට ඇබ්බැහි වීම සහ එවැනි හේතු නිසා ඇති වන විෂාදය වැනි මානසික තත්ත්ව නිසා සිය දිවි නසා ගන්නා තරුණ තරුණියන් සංඛ්‍යාව මේ වන විට ඉහළ ගොස් තිබේ.
පසුගිය වසර කිහිපය තුළ ඉහත කී තත්ත්ව නිසා සිය දිවි නසා ගැනීමට උත්සහ කරන වයස අවුරුදු 15-25 අතර තරුණ පුද්ගලයන් සංඛ්‍යාවේ පැහැදිලි ඉහළ යාමක් නිරීක්ෂණය වේ. විශේෂයෙන් ම සිය දිවි නසා ගැනීම් හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව පහළ මට්ටමක පැවතුනත්, සිය දිවි නසා ගැනීමට උත්සහ කරන තරුණ තරුණියන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එබැවින් සිය දිවි නසා ගැනීම පිළිබඳව නොව, ඊට හේතු වන කරුණු, විශේෂයෙන් ම විෂාදය වැනි දෑ සම්බන්ධයෙන් පුළුල් සමාජ කතිකාවතක් ඇති කළ යුතු බව වෛද්‍යවරුන් හා විශේෂඥයන් පෙන්වා දී ඇත.
වර්තමාන ආර්ථික තත්ත්වය
වසර කිහිපයක් තිස්සේ රටේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ ජීවන වියදම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යාම, රැකියා අහිමි වීම, වැටුප් කප්පාදු කිරීම් සහ ලබාගත් ණය/ ලීසිං වාරික ආපසු ගෙවීමට නොහැකි වීම වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු ව ඇති බව අපි දනිමු. එවැනි හේතු නිසා ද ඉදිරියේ දී සිය දිවි නසා ගැනීම් සංඛ්‍යාව වැඩි වනු ඇතැයි අනුමාන කළ හැක.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වැනි ආයතනවලින් ණය ලබාගත් පුද්ගලයන්ට ණය ආපසු ගෙවීමට සිදු වන්නේ විශාල පොළියක් ද සමඟ ය. මේ වන විට ණය පොළී අනුපාත විශාල ලෙස ඉහළ දමා තිබීම නිසා බොහෝ දෙනකුට ණය වාරික සහ ලීසිං වාරික ආපසු ගෙවීමට හැකියාවක් නැත. රැකියා අහිමි වීම සහ වැටුප් කප්පාදුව වැනි හේතු නිසා පවතින ජීවන වියදම හමුවේ සිය පවුල් සංස්ථා නඩත්තු කිරීම බොහෝ දෙනකුට දුෂ්කර ව ඇති වාතාවරණයක සිය දිවි නසා ගැනීම් ද ඉහළ යාමේ අවදානමක් තිබේ.
ඔබේ රැකියා ස්ථානයත් “ටොක්සික් වර්ක් ප්ලේස්” එකක්ද? ලිපියත් කියවන්න.