Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පුරා පිහිටි අති සුඛෝපභෝගී නිවෙස් 10ක්

ගල්ගුහා වැනි ස්ථානවල බොහෝ විට ජීවත් වූ අතීතයේ මිනිසාට වාසස්ථාන ලෙස විශේෂයෙන් සකස් කරගත් ස්ථානයක් අත්‍යවශ්‍ය නොවී ය. කෙසේ නමුත් සමාජ, ආර්ථික සහ විවිධ අංශවල ඇති වූ දියුණුවත් සමග වර්තමානයේ දී මිනිසාට ජීවත් වීමට වුවමනා මූලික අවශ්‍යතාවලින් එකක් බවට නිවාස පත් ව තිබේ.

මේ වන විට අප සියලු දෙනාගේ ප්‍රධානත ම බලාපොරොත්තුවලින් එකක් බවට නිවසක් ඉදිකිරීම පත් ව තිබේ. ඒ ඒ පුද්ගලයාට ඇති මූල්‍යමය ශක්තිය අනුව ඔවුන්ගේ නිවෙස්වල ස්වභාවය එකිනෙකට වෙනස් වේ. සමහරුන්ගේ නිවෙස් සියලු පහසුකම්වලින් පිරි සුවිශාල ඒවා ය. සමහරුන්ගේ නිවෙස්වල ජීවත් වීම සඳහා වර්තමාන ලෝකයේ අවශ්‍ය මූලික පහසුකම් හෝ නොමැත.

විශේෂයෙන් ම සුවිශාල ධනස්කන්ධයකට හිමිකම් කියන පුද්ගලයන් අති සුඛෝපභෝගි නිවසක ජීවත් වීමට ප්‍රිය කරයි. ඒ සමහර නිවෙස්වල වටිනාකමක් පිළිබඳ ව අනුමාන කිරීම පවා දුෂ්කර වේ. මෙම ලිපිය ලෝකයේ විවිධ රටවල පිහිටි එවැනි ධන කුවේරයන්ට අයත් විශාලත්වයෙන් සහ වටිනාකමින් වැඩිම නිවෙස් කිහිපයක් පිළිබඳ ව යි.

1.) ඉස්තානා නුරුල් ඉමාන් මාළිගය

දැනට ලොව පිහිටා ඇති විශාලත ම නිවස ලෙස සැලකෙන බෘනායි හි පිහිටි වර්ග අඩි මිලියන 2.15ක වපසරියකින් යුතු මෙය බෘනායි හි සුල්තාන්වරයාගේ නිල නිවස ලෙස භාවිතයට ගැනෙනවා. එහි කාමර 1,788ක්, නාන කාමර 257ක්, ගරාජ 110ක්, අශ්ව ඉස්තාල, උත්සව ශාලා කිහිපයක් සහ පිහිනුම් තටාක කිහිපයක් ද පිහිටා තිබෙනවා.

තවත් සුවිශේෂී කරුණක් වන්නේ මෙම නිවසේ එකවර බැතිමතුන් 1,500කට ආසන්න පිරිසකට රැස් විය හැකි පල්ලියක් ද පිහිටා තිබීම යි. විශ්වාසයේ ආලෝකයේ මාලිගය යනුවෙන් හැඳින්වෙන මෙම නිවස 1984 වසරේදී පමණ සැලසුම් කර ඇත්තේ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ලියනාඩෝ වී. ලෝක්සින් ය. ඒ සඳහා එවකට ඇමෙරිකන් ඩොලර් බිලියන 1.4ක් පමණ වැය වී තිබෙනවා.

ඉස්තානා නුරුල් ඉමාන් මාලිගය – Istananuruliman.org

2.) මුම්බායි හි පිහිටි මුකේෂ් අම්බානි නිවස

සාමාන්‍යයෙන් ධනවතුන් සුවිශාල ඉඩමක් තෝරා ගෙන එහි විශාල මන්දිර තැනීම සිදු වුවත් ලෝක ප්‍රසිද්ධ ධනවතකු වූ මුකේෂ් අම්බානි ඉන්දියාවේ හදවත බඳු වූ මුම්බායි නුවර අතිශයින් ජනාකීර්ණ ප්‍රදේශයක් මධ්‍යයේ අහස සිප ගන්නා තරම් උසට නිවසක් තනා තිබෙනවා. වර්ග අඩි ලක්ෂ 400,000ක් පමණ වූ මෙම නිවස මහල් 27කින් පමණ යුක්ත වේ. එහි උස අඩි 550ක් පමණ වේ.

 මෙම නිවස ඉදිකිරීම සඳහා දැනට ගණන් බලා ඇති ආකාරයට ඇමෙරිකන් ඩොලර් බිලියනයක් පමණ වැය වී තිබෙනවා. කෙසේ නමුත් ඉන්දියාවේ සිටින අංක එකේ ධනවතා ලෙස සැලකෙන, අමෙරිකන් ඩොලර් බිලියන තිහක පමණ වත්කම්වලට හිමිකම් කියන අම්බානිට නම් එය ඉතා සුළු මුදලක් වන්නට ඇති. එමෙන් ම මෙය දැනට ලොව දෙවැනියට විශාලත ම පුද්ගලික නිවස ලෙස ද සැලකෙනවා.

මෙම නිවස ඉදිකර තිබෙන ආකාරය සුවිශේෂී වීම සඳහා එක හේතුවෙක් ලෙස එහි ඒ ඒ මහල් එකිනෙකට වෙනස් ආකාරයෙන් ඉදි කර තිබීම හැඳින්විය හැකි යි. සෑම මහලක් ම යම්කිසි සුවිශේෂී කාර්යයක් සඳහා වෙන් කර ඇති අතර ඒවා අතර සම්බාහන මධ්‍යස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, ගරාජ සහ ගෘහස්ත පිහිනුම් තටාක වැනි දෑ දක්නට හැකියි. මෙම නිවසේ ඇති තවත් සුවිශේෂී අංගයක් ලෙස එහි ඉහළම මහල ගුවන් යානා ගොඩබැස්විය හැකි ආකාරයෙන් ගුවන් පථයක් ලෙස සකස් කර තිබීම හැඳින්විය හැකියි.

අම්බානිගේ නිවස – DNA India

3.) බිල්ට්මෝ- උතුරු කැරොලිනාව

අමෙරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පිහිටා තිබෙන මෙම නිවස අමෙරිකා එක්සත් ජනපදයේ පිහිටා තිබෙන විශාලත ම පෞද්ගලික නිවස ලෙස සැලකෙනවා. වර්ෂ 1895 දී පමණ ඉදි කර ඇති මෙම නිවසේ විශාලත්වය වර්ග අඩි 178,926ක් පමණ වෙනවා.

1930 වසරේ දී පමණ මෙම නිවස මහජනතාවට විවෘත ව තැබුණු අතර එම කාලය තුළ විවිධ ප්‍රදේශවලින් මෙම නිවස දැක බලාගැනීමට පැමිණි අයට එහි නවාතැන් පහසුකම් ද සලසා තිබුණා. දුම්රිය මාර්ග සැකසීම සහ නාවික සේවා සැපයීම හරහා උපයා ගත් සුවිශාල ධනස්කන්ධයකට උරුමකම් කියන කොර්නේලියස් වැන්ඩර්බිල්ට්ට මෙම නිවස හිමි යි. කාමර 250ක්, නානකාමර 43ක්, පොත් 23,000කින් පමණ සමන්විත පුස්තකාලයක් සහ ගෘහස්ත පිහිනුම් තටාකයක් ද එහි පිහිටා තිබෙනවා.

බිල්ට්මෝ – BeaufortHouse Inn

4.) සෆ්රා මන්දිරය- බ්‍රසීලය

බ්‍රසීලයේ සාවෝ පෝලෝ නගරයේ පිහිටා තිබෙන මෙම සුවිසල් සෆ්රා මන්දිරය වර්ග අඩි 117,000ක පමණ වපසරියක පිහිටා තිබෙන්නක්.  මෙහි හිමිකාරිණිය වන්නේ ද බ්‍රසීල ජාතික බිලියනපතිනියක වූ ලිලී සෆ්රා යි. මෙම නිවසේ නිදන කාමර 130ක් පමණ පිහිටා තිබෙනවා. ගෘහස්ත මෙන් ම නිවසින් පිට පිහිටි පිහිනුම් තටාක කිහිපයකින් ද එය සමන්විත වෙනවා.

හේතුව කුමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති වුවත් සෆ්රා පවුලේ සාමාජිකයන් මෙම නිවස ඔවුන්ගේ හිමිකාරිත්වය යටතේ ම පවත්වා ගෙන යාමට වැඩි කැමැත්තක් දක්වන බව සඳහන්. කෙසේ නමුත් ඔවුන්ට අයත් ව විවිධ රටවල පිහිටා තිබූ වෙනත් මෙවැනි මන්දිර ගණනාවක් මේ වන විට අලෙවි කර ඇති බවයි සඳහන්.

සෆ්රා මන්දිරය – Pinterest

5.) වයිට්න්හර්ස්ට්- ලන්ඩන්

ලන්ඩන් නගරයේ පිහිටි බ්‍රිතාන්‍ය රජ පවුලේ නිවහන වූ බකිංහැම් මාලිගයට පසු ව ලන්ඩන් නගරයේ පිහිටි විශාලත ම නිවස වන වයිට්න්හර්ස්ට්හි වපසරිය වර්ග අඩි 90,000ක් පමණ වනවා. වර්ෂ 1913-1920 අතර කාලයේදී ඉදි කර ඇති මෙම නිවසේ ගෘහ නිර්මාණ ශිල්පියා වන්නේ ජෝර්ජ් හබර්ඩ් නම් තැනැත්තා යි.

පැරැණි බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි කර තිබෙන මෙම නිවසේ පිහිනුම් තටාකයක්, සිනමා ශාලාවක්, සම්බාහන මධ්‍යස්ථානයක් සහ වාහන නවතා තැබීම සඳහා සකස් කළ ස්ථාන ගණනාවක් ද පිහිටා තිබෙනවා. මෙම නිවසේ වර්තමාන හිමිකරු වන්නේ රුසියානු බිලියනපතියකු යි. ඔහු 2008 වසරේදී පමණ එවකට මෙම නිවසේ හිමිකරුවන්ගෙන් මෙය මිලදී ගෙන ඇත්තේ අමෙරිකන් ඩොලර් මිලියන 64ක මුදලකට යි.

වයිට්න්හර්ස්ට් – The Guardian

6.) නූතන වර්සේල්ස්- ෆ්ලොරිඩා

ෆ්ලොරීඩාවේ පිහිටි මෙම නිවසේ හිමිකරුවන් වන්නේ ජැක්ලින් සහ ඩේවිඩ් සීගල් යුවළ යි. ඩේවිඩ් සීගල් සුප්‍රසිද්ධ ‘වෙස්ට්ගේට් රිසෝට්’ නම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරනවා. වර්ග අඩි 90,000ක පමණ වපසරියක පිහිටා තිබෙන මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ සිදු කෙරුණා.

එහි නිදන කාමර පහළොවක්, නානකාමර තිහක්, මුළුතැන්ගෙවල් එකොළහක් සහ පිහිනුම් තටාක හයක් පිහිටා තිබෙනවා. මෙම නිවස චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසක් රූගත කිරීම සඳහා යොදා ගෙන තිබෙනවා. සුප්‍රසිද්ධ ‘The Queen of Versailles’ කතා මාලාවත් ඊට ඇතුළත්.

නූතන වර්සේල්ස් – Archinect

7.) ලා රෙව්රී- ෆ්ලොරිඩා

ෆ්ලොරිඩා හි පිහිටා ඇති මෙම නිවාස වර්ග අඩි 84,626ක වපසරියක පිහිටා තිබෙනවා. මැට්‍රික්ස් නම් හිසකෙස් සත්කාරක නිෂ්පාදනය කරන ආයතනයක හිමිකරු වූ සයිඩෙල් මිලර් ඉදි කරවූ මෙය 1995 වසරේදී අලෙවි කර ඇත්තේ අමෙරිකන් ඩොලර් මිලියන 4.5ක් වැනි ඉතා සුළු මුදලකට යි.

වර්තමානය වන විට මෙම නිවසේ හිමිකරුවන් එය ඔවුන්ගේ වාසස්ථානය ලෙස භාවිත කිරීමට අමතරව විවිධ උත්සව අවස්ථා, විශේෂයෙන් ම පුණ්‍ය කටයුතු වැනි දෑ සංවිධානය කිරීම සඳහා මෙම නිවස යොදා ගන්නා බව කියවෙනවා. මෙම නිවස ඉදිරිපිට ද පාම් බීච් නම් මනරම් වෙරළ තීරයක් පිහිටා තිබෙන අතර බොහෝ දෙනා පවසන්නේ මෙම නිවසේ වටිනාකම එහි පිහිටීම නිසා තවත් වැඩි වී තිබෙන බවයි.

ලා රෙව්රී – CNBC

8.) විලා ලියෝපෝල්ඩ්- ප්‍රංශය

වර්ෂ 1929ත් 1931ත් අතර කාලයේදී අමෙරිකානු ජාතික ගෘහ නිර්මාණ ශිල්පියකු නිර්මාණය කර ඇති මෙම නිවස ප්‍රංශයේ ගිනිකොණ දෙසට වන්නට පිහිටි ප්‍රදේශයක වර්ග අඩි 80,000ක වපසරියක පිහිටා තිබෙනවා. බ්‍රසීල ජාතික බිලියනපතිනියක වූ ලිලී සෆ්රාට හිමිව තිබූ මෙම නිවස 2008 වසරේදී රුසියාවේ ප්‍රාදේශීය වශයෙන් බලය දරන කණ්ඩායමකට අලෙවි කර ඇති බව සඳහන්. මෙය ප්‍රථමයෙන්ම ඉදි කරවා ඇත්තේ බෙල්ජියමේ රජ කල දෙවැනි ලියෝපෝල්ඩ් රජු යි. ඒ Blanche Zélia Joséphine Delacroix නම් ඔහුගේ අනියම් බිරියකට ත්‍යාගයක් වශයෙන් ලබාදීම සඳහා යි.

මෙම සුවිසල් නිවාස පළමු ලෝක යුද සමයේදී හමුදා ඛණ්ඩ රඳවා තැබීම සඳහා ද භාවිත කර තිබෙනවා. වර්තමානයේ දී යුරෝපයේ පවතින වටිනා ම නිවාසවලින් එකක් ලෙස සැලකෙන මෙහි වටිනාකම අමෙරිකන් ඩොලර් මිලියන 500 ඉක්මවනවා. මෙම නිවසේ සංචාරක නිවාස දෙකක් දැකිය හැකි අතර ඊට අමතර ව නිදන කාමර එකොළහක් සහ උද්‍යාන කිහිපයක් ද පිහිටා තිබෙනවා. ඊට අමතර ව මෙම නිවස පිහිටි උද්‍යානය ඉදිරිපිට මනරම් වෙරළ තීරයක් ද පිහිටා තිබෙනවා.

විලා ලියෝපෝල්ඩ් –  amazing.zone

9.) ද වන්, බෙල්-එයාර්, කැලිෆෝනියාව

චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ දේපල වෙළෙඳාම් කටයුතුවල නිරත වන ව්‍යාපාරිකයකු වූ නිල් නියැමි සැලසුම් කර ඉදි කළ මෙම නිවස කැලිෆෝනියාවේ බෙල්-එයාර් නම් ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර එහි විශාලත්වය වර්ග අඩි 74,000ක්. මේ වන විටත් එහි ඉදිකිරීම් කටයුතු සම්පුර්ණයෙන් අවසන් වී නැහැ. ඉදිකිරීම් අවසන් වූ පසු අමෙරිකා එක්සත් ජනපදයේ පිහිටා ඇති විශාලත්වයෙන් වැඩි ම නිවස මෙය වනු ඇතැයි විශ්වාස කරනවා. මේ වන විට එහි දල වටිනාකම ුමෙරිකන් ඩොලර් මිලියන 500ක්.

මෙම නිවස හුදෙක් ම සාමාන්‍ය නිවසක් නොව සුපිරි හෝටලයක පවා දක්නට නොමැති පහසුකම්වලින් සපිරි එකක්. එහි ප්‍රධාන නිදන කාමරය වර්ග අඩි 5,000ක විශාලත්වයකින් යුතුයි. අඊට අමතරව සිනමා ශාලාවක්, පිහිනුම් තටාක හතරක්, මෝටර් රථ තිහක් පමණ නවතා තැබිය හැකි ගරාජයක් මෙන් ම වර්ග අඩි 8,500ක පමණ විශාලත්වයෙන් යුතු රාත්‍රී සමාජ ශාලාවක් ද මෙම නිවසේ පිහිටා තිබෙනවා. ඊට අමතර ව නිදන කාමර විස්සක් සහ නාන කාමර තිහක් පිහිටා තිබෙන මෙම නිවස නිවසකටත් වඩා ඕනෑම ආකාරයක උත්සව අවස්ථාවක් පැවැත්විය හැකි උත්සව ශාලාවකට බෙහෙවින්ම සමාන යි.

ද වන් – dirt.com

10.) පෙන්ස්මෝ- මිසෝරි, අමෙරිකා එක්සත් ජනපදය

සාමාන්‍යයෙන් යම් අයකු විශාලත්වයෙන් වැඩි නිවසක් ඉදි කරන්නේ ඔවුන්ගේ මූල්‍යමය හැකියාව සහ සමාජ තත්ත්වය ප්‍රදර්ශනය කිරීමට වුවත් අමෙරිකා එක්සත් ජනපදයේ මිසෝරි ප්‍රාන්තයේ පිහිටා ඇක්ති ලොව විශාලත්වයෙන් වැඩි ම නිවාසවලින් එකක් වන මෙම නිවස ඉදි කර ඇත්තේ වෙනස් ම වූ අරමුණක් සඳහා යි.

වෘත්තියෙන් තාරකා භෞතික විද්‍යාඥයකු මෙන් ම අමෙරිකා රහස් ඔත්තු සේවයේ, එනම් CIA ආයතනයේ හිටපු නිලධාරියෙකු වූ ස්ටීවන් හල්ෆ් නම් මෙම පුද්ගලයා මෙම නිවස ඉදි කරන්නේ බොහෝ දෙනෙක් විශ්වාස නොකරන කරුණක් නිසා යි. මොහුගේ අරමුණ වී ඇත්තේ අවශ්‍ය නම් වෙඩි උණ්ඩ, බෝම්බ, භූමිකම්පා, ගිනි, සුළිකුණාටු වැනි ඕනෑ ම දෙකට ඔරොත්තු දෙන ආකාරයෙන් නිවසක් ඉදි කළ හැකි බව තහවුරු කිරීම යි.

ඒ අනුව ඔහු වර්ග අඩි 72,215ක පමණ වපසරියකින් යුතු මෙම නිවස ඉදි කරන අතර එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ වන්නේ 2008 වසරේදී යි. කෙසේ වෙතත් එක්තරා නිවාස ඉදිකිරීම් සමාගමක් ඉදිකළ මෙම නිවස හල්ෆ් බලාපොරොත්තු වූ තරම් ශක්තිමත් ආකාරයෙන් ඉදි වී නැහැ. එහි ප්‍රතිපලයක් ලෙස මෙම නිවසේ අනාගතය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත වී ඇති අතර නවතම වාර්තාවලට අනුව නම් හල්ෆ් මෙම නිවාස සම්පුර්ණයෙන්ම කඩා දමා නැවතත් මුල සිට නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බව කියනවා.

පෙන්ස්මෝ – ky3.com

කවරයේ පින්තූරය- බිල්ට්මෝ නිවස -උතුරු කැරොලිනාව - Biltmore

මූලාශ්‍ර-

luxatic.com

wealthygorilla.com

luxurycolumnist.com

Istananuruliman.org

Related Articles