Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හාවෙකු ඉදිරියේ සිංහයෙක් දණින් වැටුණු ටෙස්ට් තරගය

1984 වසරේ මැද භාගයේ දී එංගලන්ත පුවත්පතක පළවුණු අපූරු කාටූනයකින් දැක්වුණේ ඇතෙකුගෙන් හොඳටම පහර කා සිටි සිංහයෙක් ඔහු අසලින් ගමන් කරන හාවෙකු දැක යමක් පවසන ආකාරය යි. එලෙස පළවුණු කාටූනයෙන් කියවුණේ, බටහිර ඉන්දීය කොදෙව් නම් ඇත් රජුගෙන්  5-0ක් ලෙස ටෙස්ට් තරගාවලිය පරාජය වී සිටි එංගලන්තය නම් සිංහයා ඊළඟ ටෙස්ට් තරගයේ දී හමුවීමට නියමිත ශ්‍රී ලංකා නම් හාවා පහසුවෙන්ම පරාජය කළ හැකි බව කියමින් උදම් අනන ආකාරය යි. ඒ අයුරින් 1984 ශ්‍රී ලංකා-එංගලන්ත ලෝඩ්ස් ටෙස්ට් තරගයට පෙර එංගලන්තය විසින් ශ්‍රී ලංකා කණ්ඩායම පහත් කොට සැලකුවත් එම ටෙස්ට් තරගය අවසන් වුණේ ශ්‍රී ලංකාවට වැඩි ගෞරව හිමිකරදෙමින්. එම නිසාම මෙම ලිපිය වෙන්වන්නේ මීට වසර 35කට පෙර ශ්‍රී ලංකාව නම් හාවා ඉදිරියේ එංගලන්තය නම් සිංහයා අසරණ වුණු එම ටෙස්ට් තරගය පිළිබඳව ඔබට කීමට යි. 

සිදත්ගේ ශතකය නිසා පළමු දිනය අවසානයේ දී ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක 

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ඩේවිඩ් ගවර් මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වුණු සිදත් වෙත්තමුණි සහ අමල් සිල්වාට පළමු කඩුල්ල වෙනුවෙන් එකතු කිරීමට හැකිවුණේ ලකුණු 17ක් පමණ යි. එහිදී අමල් සිල්වා දැවීගියේ ලකුණු 8ක් ලබාසිටිය දී බොතම්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙන්. අමල්ගේ නික්මයාමෙන් පසුව පිටියට පිවිසි රංජන් මඩුගල්ලේටත් වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට නොහැකිවුණේ ලකුණු 5ක් ලබාසිටිය දී  එලිසන්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීගිය නිසා යි.

එම අවස්ථාව වන විට 43/2 බවට පත්ව තිබුණු ශ්‍රී ලංකාව ලකුණු පුවරුව වෙත්තමුණි සහ ඩයස් 3 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 101ක සබඳතාවය නිසා 144/2 බවට පත්වුණා.

රෝයි ඩයස් පහරක් එල්ල කරමින් (gettyimages)

නමුත් එම අවස්ථාවේ දී පෝකොක්ගේ පන්දුවක් හමුවේ රෝයි ලකුණු 32කට දැවීයාමෙන් පසුව පිටියේ එක්වුණු සිදත් සහ අර්ජුණ එංගලන්ත පන්දු යවන්නව පාලනය කරමින් දක්ෂ පිතිහරඹයක නිරත වුණා. එලෙස ඔවුන් දෙදෙනා දක්ෂ ලෙසින් පන්දුවට පහරදුන් නිසා  පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා ඉනිම 226/3ක් ලෙසින් සටහන් වුණා. එහිදී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වුණු සිදත් නොදැවී ලකුණු 116ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් අර්ජුණ නොදැවී ලකුණු 54ක් ලබාසිටියා. 

සිදත් පහරක් එල්ල කරමින්  (gettyimages)

සිදත් සහ දුලිප්ගෙන්  එංගලන්ත පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් 

තරගයේ දෙවන දිනය ආරම්භයේ සිටම සිදත් සහ අර්ජුණ ඉතාමත් හොඳින් පන්දුවට පහරදුන් නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 292/3 බවට පත්වුණේ එංගලන්ත කණ්ඩායම වෙත ප්‍රබල පීඩනයක් එල්ල කරමින්. නමුත් එම අවස්ථාවේ දී සිදත් සහ අර්ජුණ අතර ගොඩනැගුණු ලකුණු 148ක සබඳතාවයට තිරිංග යෙදූ ඇග්නිව් ලකුණු 84ක් ලබා සිටි අර්ජුණව දවාගත්තේ ඔහුට මංගල ටෙස්ට් ශතකය අහිමිකරමින්. අර්ජුණගේ දැවීයාමෙන් පසුව සිදත් සහ දුලිප් පිටියේ එක්වීමත් සමගින් එංගලන්ත පන්දු යවන්නන්ට එළව එළවා පහරදීම ආරම්භ කළා. එහිදී සිදත් සංයමයෙන් පන්දුවට පහරදෙන විට දුලිප් වේගයෙන් ලකුණු ලබාගත්තේ එංගලන්ත පන්දු යවන්නන්ව තඹ දොයිතුවකට මායිම් නොකරමින්. එලෙස සිදත් සහ දුලිප් දක්ෂ ලෙස පන්දුවට පහරදුන් නිසා දෙවන දිනය නිමාවට පත්වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 434/4 ලෙසින් සටහන් වුණා. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ සිදත් නොදැවී ලකුණු 187ක් ලබාගන්නා විට දුලිප් නොදැවී පන්දුවට පහරදෙමින් සිටියේ වේගවත් ලකුණු 100ක් ලබාගනිමින්. එහිදී ඔවුන් දෙදෙනා ලබාගත් ශතක 2ක ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු  එකම ටෙස්ට් ඉනිමක ශතක ලබාගත් මුල්ම අවස්ථාව ලෙසින් ඉතිහාසයට එක්වුණා.

දුලිප්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

සිදත් අවාසනාවන්ත අන්දමින් ලකුණු 190කට දැවීයයි 

තරගයේ තෙවන දිනය ආරම්භ කරන විට නොදැවී ලකුණු 187ක් ලබා සිටි සිදත් එදින උදෑසනින්ම ද්විත්ව ශතකය වාර්තා කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් විශ්වාස කළා. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු බිඳදමමින් පෝල් ඇලට්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ඩවුන්ටවුන් අතට උඩ පන්දුවක් ලබා දී සිදත් දැවීගියේ ලකුණු 190ක් ලබා සිටිය දී යි. එදා සිදත් ලබාගත් ලකුණු 190 එම අවදියේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු ටෙස්ට් ඉනිමක ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා අතරට එක්වුණා. එලෙස සිදත් දැවීයාමෙන් සුළු මොහොතකට පසුව දුලිප්ගේ කඩුල්ලත් ලකුණු 111කට දවාගත් එංගලන්ත පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉනිම පාලනය කිරීමට සමත්වුණා. එම නිසාම කඩුලු 7ක් දැවී ලකුණු 491ක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා. එදා ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 491 ඔවුන් එම අවදියේ දී ටෙස්ට් ඉනිමක වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. 

සාර්ථකම එංගලන්ත පන්දු යවන්නා වුණු පෝකොක් (gettyimages)

ඉන් පසුව සිය පළමු ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායම දිනය නිමාවට පත්වන විට කඩුලු 2ක් දැවී ලකුණු 139ක් ලබාසිටියා. එහිදී එංගලන්තය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩාකළ ක්‍රිස් බ්‍රෝඩ් නොදැවී ලකුණු 69ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියා.

එංගලන්ත පළමු ඉනිම ලකුණු 370කට සීමාවෙයි 

ඩේවිඩ් ගවර් සහ ක්‍රිස් බ්‍රෝඩ් සිව්වන දිනය ආරම්භයේ සිටම හොඳින් පන්දුවට පහරදුන් නිසා එංගලන්ත ලකුණු පුවරුව 190/2 බවට පත්වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යම් පීඩනයක් එල්ල කරමින්. නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු අසන්තා ද මෙල් සහ විනෝදන් ජෝන් ලකුණු 28ක් තුළ කඩුලු 3ක් ලබාගත්තේ එංගලන්ත ලකුණු පුවරුව 218/5 බවට පත්කරමින්. එලෙස එංගලන්ත කණ්ඩායම අසීරු අඩියකට වැටුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ඇලන් ලෑම්බ් අගනා ලකුණු 107ක් ලබාගත්තේ එංගලන්ත පළමු ඉනිම ලකුණු 370කට රැගෙන යමින්. නමුත් ලෑම්බ් ශතකය ලබාගැනීමට පෙර ලබාදුන් උඩපන්දු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතින් ගිලිහී නොගියේ නම් එංගලන්ත කණ්ඩායම දැඩි අසීරු තත්වයකට පත්වීමට ඉඩ තිබුණා. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවුණු මෙල් සහ ජෝන් කඩුලු 4 බැගින් දවාගැනීමට සමත්වීමත් මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළයුතු කරුණක්.

අසන්තා ද මෙල් පන්දු යවමින් (gettyimages)

අමල් සිල්වා මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි 

තරගයේ අවසන් දිනයේ දී සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 119කට දැවීගියා. එහිදී සිය මංගල ටෙස්ට් තරගය සඳහා සහභාගි වුණු අරවින්දට ඉනිම් දෙකේ දීම සාර්ථක වීමට ඉඩක් ලැබුණේ නැහැ. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5ක් දැවීගොස් සිටි අවස්ථාවක පිටියේ එක්වුණු අමල් සහ දුලිප් ලකුණු 137ක සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 256/5 බවට පත්කරමින්. එදා වේගවත් ලකුණු 94ක් ලබාගෙන ශතකය අභියසටම පැමිණ සිටි දුලිප් බොතම්ගේ පන්දුවක් හමුවේ දැවීගියේ ඉනිම් දෙක තුළ දීම ශතක ලබාගන්නට තිබුණු අවස්ථාව අහිමි කරගනිමින්. දුලිප් එලෙස දැවීගියත් ඉවසීමෙන් ක්‍රීඩාකළ අමල් තරගය නිමාවන විට නොදැවී ලකුණු 102ක් ලබාසිටියේ සිය මංගල ටෙස්ට් ශතකය ලබාගනිමින්. එදා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 294ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත තරගය පුරාවටම එංගලන්ත කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටියා. 

අමල් සිල්වා පන්දුවට පහරදෙමින් (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු – 491/7 (166)

සිදත් වෙත්තමුණි – 190 (471)

දුලිප් මෙන්ඩිස් – 111 (143)

අර්ජුණ රණතුංග – 84 (183)

පැට් පෝකොක් – 75/2 (41)

එංගලන්ත පළමු ඉනිම – 370/10 (147.5)

ඇලන් ලෑම්බ් – 107 (195)

ක්‍රිස් බ්‍රෝඩ් – 86 (242)

ඩේවිඩ් ගවර් – 55 (151)

විනෝදන් ජෝන් – 98/4 (39.1)

අසන්තා ද මෙල් – 110/4 (37)

ශ්‍රී ලංකා දෙවන ඉනිම – 294/7 (80)

අමල් සිල්වා – 102 (255)*

දුලිප් මෙන්ඩිස් – 94 (97)

ඉයන් බොතම් – 90/6 (27)

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා 

තරගයේ වීරයා – සිදත් වෙත්තමුණි 

එම අවදියේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලාබාලම සාමාජිකයා බවට පත්ව සිටි ශ්‍රී ලංකාව සමස්ත තරගය පුරාවටම එංගලන්ත කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටිමින් විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත්වුණා. එම නිසාම 1984 ලෝඩ්ස් ටෙස්ට් තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හමුවන ටෙස්ට් තරග අතුරින් අමරණීය එකක් බව අවිවාදයෙන් සඳහන් කළ හැකියි.  

කවරයේ ඡායාරූපය - සිදත්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (EsPNcricinfo)

Related Articles