Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කිවි බිමේදී කිවියන්ව අසරණ කළ ආනල්ඩ්ගේ සුපිරි ඉනිම

2001 වසරේ මුල භාගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 5කින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගි වීමට  නවසීලන්තය බලා සංචාරය කළා. එහිදී නවසීලන්ත බිමේ දී ලබාගත් පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට සනත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා. එදා කිවි බිමේ දී  තරග 4-1ක් ලෙසින් ලබාගත් එම තරගාවලි ජයග්‍රහණයේ දී වෙලිංටන් එක්දින තරගය තීරණාත්මක එකක් වුණා. වෙලිංටන් නුවර පැවති දෙවන එක්දින තරගය ආරම්භ වන විට 1-0ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එම නිසාම දෙවන තරගය ජයග්‍රහණය කිරීමට කිවියන් උපරිම ශක්තිය යෙදුවේ තරගාවලිය සඳහා යළි අවතීර්ණ වීමට එය අවශ්‍ය ම ජයග්‍රහණයක් වුණු  නිසා යි. නමුත් එම තරගයේ දී කිවියන්ගේ සිහින බොඳකළ ආනල්ඩ් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේ නවසීලන්ත කණ්ඩායමේ මානසික මට්ටම පහළටම ඇඳ දමමින්. එම තරග පරාජයත් සමගින් විශාල කඩාවැටීමකට ලක්වුණු නවසීලන්තය තරගාවලියේ මුල් තරග 4ම පරාජය වුණේ කිසිවෙකු නොසිතූ අයුරින්. එසේ නම් එදා ආනල්ඩ් කිවි බිමේ දී කිවියන්ව අසරණ කරමින් ක්‍රීඩාකළ සුපිරි ඉනිම පිළිබඳව තොරතුරු මෙම ලිපිය තුළින් ඉදිරිපත් කරනවා. 

සොයිසාගේ මනරම් පන්දු යැවීම හමුවේ නවසීලන්ත ආරම්භය අසාර්ථක වෙයි 

ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටි අත්දැකීම් බහුලම වේගපන්දු යවන්නා වුණු චමින්ද වාස් මෙම තරගයට ක්‍රීඩා නොකිරීම නිසා නුවන් සොයිසා සහ එරික් උපශාන්ත ආරම්භක පන්දු යවන්නන් ලෙසින් කටයුතු කළා. එදා නවසීලන්ත ඉනිම ආරම්භ කළ නේදන් ඇස්ටල් සහ මැතිව් සින්ක්ලෙයාර් පළමු කඩුල්ල සඳහා ලකුණු 34ක සබඳතාවයක් ගොඩනැගුවා. නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු නුවන් සොයිසා, ඇස්ටල්ව ලකුණු 17කට දවාගැනීමෙන් සෑහීමකට පත්නොවුණු නිසාම ස්ටීවන් ෆ්ලෙමිංගේ කඩුල්ලත් දවාගත්තේ කිවියන්ව අසරණ කරමින්. එලෙස ඉක්මනින්ම කඩුලු 2ක් දැවීයාමෙන් සුළු මොහොතකට පසුව ධර්මසේනගේ පන්දුවක් හමුවේ සින්ක්ලෙයාර් ලකුණු 20කට දැවීයාම නිසා නවසීලන්ත ලකුණු පුවරුව දිස්වුණේ 48/3ක් ලෙසින්.

සොයිසා කඩුල්ලක් ලබාගැනීමේ සතුට සමරමින් (gettyimages)

මැදපෙළ පිතිකරුවන් නවසීලන්ත ඉනිම ගොඩනගයි 

මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වීමෙන් පසුව නවසීලන්ත ඉනිම ගොඩනැගීමේ වගකීම පැවරුණේ ක්‍රේග් මැක්මිලන් සහ රොජර් ට්වෝස් හට යි. නමුත් නවසීලන්ත ලකුණු පුවරුවට තවත් ලකුණු 14ක් එකතු වන විට ට්වෝස්ට ආබාධයක් නිසා පිටියෙන් ඉවත්වීමට සිදුවුණා. එහිදී ලකුණක් කරා දිවයාමේ දී මැක්මිලන් සහ ට්වෝස් පිටිය මැදදී ගැටීම මෙම ආබාධය ඇතිවීමට හේතුවක් වුණා. එලෙස ට්වෝස් පිටියෙන් ඉවත් වුණත් ඉන් නොසැලුණු මැක්මිලන් සහ හැරිස් ලකුණු 63ක සබඳතාවයක් පවත්වමින් නවසීලන්ත ලකුණු පුවරුව 125/3 බවට පත්කළා. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ජයසූරිය මැක්මිලන්ව ලකුණු 37කට දවාගත්තත් සිය වගකීම මැනවින් ඉටුකළ හැරිස් පැරෝරේ සමග එක්ව නවසීලන්ත ලකුණු පුවරුව 184/4 ලෙස ඉහළ නැංවීමට සමත්වුණා. 

හැරිස්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

සොයිසා සහ දිල්හාර හමුවේ කිවි ඉනිම 205/8කට සීමාවෙයි 

පන්දුවාර 47.4ක් අවසානයේ දී නවසීලන්ත ලකුණු පුවරුව 184/4 ලෙසින් දිස්වුණා. එම අවස්ථාව වන විට පන්දුවට පහරදෙමින් සිටි හැරිස් සහ පැරෝරේගේ අරමුණ වුණේ අවසන් පන්දු 14 තුළ හැකිතරම් ලකුණු ප්‍රමාණයක් ලබාගැනීම යි. නමුත් ඔවුන් දෙදෙනාගේ එම සිහින බොඳකළ සොයිසා සහ දිල්හාර අවසන් පන්දු 14 තුළ කඩුලු 4ක් දවාගත්තේ ලකුණු 21ක් පමණක් ලබාදෙමින්. එහිදී නවසීලන්තය වෙනුවෙන් ක්‍රිස් හැරිස් ලකුණු 56ක් ලබාගන්නා විට ඔහුට අනගි සහයක් ලබාදුන් ඕරාම් ලබාගත් ලකුණු ප්‍රමාණය 34ක්. එලෙස නවසීලන්ත පිතිකරුවන් පිත්තෙන් දස්කම් දක්වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ සොයිසා ලකුණු 28කට කඩුලු 4ක් දවාගත්තේ ඔහුගේ එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින්.

දිල්හාර විසින් ඕරාම්ව දවාගත් අවස්ථාව (gettyimages)

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4ම ලකුණු 82කට දැවීයයි 

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 යැවීමට වැඩි කාලයක් ගතකිරීම නිසා ඔවුන්ට පන්දුවාර 49ක් තුළ ජයග්‍රාහී ඉලක්කය හඹායාමට සිදුවුණා. එදා ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් සීරුවෙන් පන්දුවට පහරදෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 56/1ක් බවට පත්කළේ පන්දුවාර 16.1ක් අවසානයේ දී යි. එම අවස්ථාව වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 197කින් ලකුණු 150ක් අවශ්‍ය වුණු නිසා ඔවුන් නිසොල්මනේ ලකුණු රැස්කරමින් සිටියා. ශ්‍රී ලංකා පිතිකරුවන් එලෙස සීරුවෙන් පන්දුවට පහරදෙමින් සිටින විට කිවියන්ට යළි තරගයට අවතීර්ණ වීමට ඉක්මනින්ම කඩුලු කිහිපයක් අවශ්‍ය වුණු නිසාම ඔවුන්  ශ්‍රී ලංකා පිතිකරුවන්ට එල්ල කළේ දැඩි පීඩනයක්. එලෙස කිවියන් දිගින් දිගටම ලබාදුන් පීඩනයේ ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු 26කට දැවීගියේ පන්දු 43ක් තුළ යි. නොසිතූ අවස්ථාවක ඉක්මනින්ම කඩුලු කිහිපයක් අහිමිවීම නිසා පන්දුවාර 23.2ක් අවසානයේ දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 82/4 ලෙසින් දිස්වුණේ දෙපිලටම තරගය විවෘත කරමින්.

කිවියන් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින්  (gettyimages)

අරවින්ද සහ ආනල්ඩ් ශ්‍රී ලංකා ඉනිම යළි ගොඩනගයි 

ආනල්ඩ් සහ අරවින්ද පිටියේ එක්වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 154කින් ලකුණු 124ක් අවශ්‍ය වුණා. නමුත් එම අවස්ථාවේ දී නවසීලන්ත පන්දු යවන්නන් මැනවින් පන්දු යවමින් සිටි නිසාම 

ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු ලබාගත්තේ ඉතාමත් අසීරුවෙන්. ඔවුන් දෙදෙනාගෙන් පසුව නම් දැරූ  පිතිකරුවෙකු කණ්ඩායමේ නොසිටි නිසා අරවින්ද සහ ආනල්ඩ්ට පැවරුණු වගකීම වුණේ හැකිතරම් වෙලාවක් කඩුල්ලේ රැඳී සිටිමින් කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහළ නැංවීම යි. එදා තමන්ට පැවරුණු වගකීම මනාව වටහාගත් මෙම පිතිකරු යුගලය පන්දු 93කින් ලකුණු 63ක් ලකුණු පුවරුවට එකතු කළේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය 61ක් දක්වා අඩුකරමින්.

අරවින්ද සහ ආනල්ඩ් පන්දුවට පහරදෙමින් (gettyimages)

අරවින්ද නික්මගියත් ආනල්ඩ් තනිවම ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කරයි 

එලෙස මෙම පිතිකරුවන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනයමින් සිටි අවස්ථාවේ විටෝරිගේ පන්දුවක් හමුවේ අරවින්ද ලකුණු 37කට දැවීගියේ නවසීලන්තය යළි තරගයට අවතීර්ණ කරමින්. එම අවස්ථාව වන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා පන්දු 60කින් ලකුණු 61ක් ලබාගැනීමට අවශ්‍ය වී තිබුණු නිසා වැඩි වගකීම පැවරී තිබුණේ ආනල්ඩ්ගේ පිත්ත මතට යි. එදා ධර්මසේනව එක් අන්තයක තබාගනිමින් ආනල්ඩ් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 164 දක්වා ඉහළ දමන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 42ක් අවශ්‍ය වුණේ පන්දු 35කින්. එම තීරණාත්මක අවස්ථාවේ ඉක්මන් ලකුණක් ලබාගැනීමට උත්සාහ කළ   ධර්මසේන දුවද්දී දැවීයාමකට හසුවුණු නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුණේ 164/6ක් ලෙසින්. ධර්මසේනව දවාගැනීමත් සමගම කිවියන් වඩාත් උද්යෝගිමත්ව තරගයට අවතීර්ණ වුණත් ආනල්ඩ් එය තඹ දොයිතුවකට මායිම් කළේ නැහැ. එහිදී තමන්ට පැවරුණු වගකීම මනාව වටහාගත් ආනල්ඩ් නවක පිතිකරු උපශාන්තව අනිත් අන්තයේ තබාගෙන ශ්‍රී ලංකා ලකුණු පුවරුව 191/6 බවට පත්කළේ පන්දුවාර 46.5ක් තුළදී යි. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය අසලට ම පැමිණ සිටියත් සිය සටන අත්නොහැරි කිවියන් උපශාන්තව ලකුණු 4කට දුවද්දී දවාගත්තේ පීඩනය නැවතත් ශ්‍රී ලංකාව දෙසට යොමුකරමින්. නමුත් එම අවස්ථාවේ කිසිදු පීඩනයකට හසුනොවුණු  ආනල්ඩ් 48 වැනි පන්දුවාරයේ දී ක්‍රිස් මාටින්ගේ පන්දුවක් හමුවේ එල්ල කළ හයේ පහරත් සමගින් තරගය ශ්‍රී ලංකාව දෙසට දෝලනය වුණා. එම නිසාම පන්දුවාර 48.3ක් තුළ කඩුලු 7ක් පමණක් දැවී ශ්‍රී ලංකාවට ජයග්‍රාහී ඉලක්කය පසුකිරීමට හැකිවුණා. එහිදී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වුණු ආනල්ඩ් පන්දු 90කින් නොදැවී ලකුණු 78ක් ලබාගත්තේ තරගයේ වීරයා සම්මානයත් උරුමකර ගනිමින්.

ආනල්ඩ්ගේ අගනා ඉනිමේ අවස්ථාවක් (gettyimages) 

කෙටි ලකුණු පුවරුව 

නවසීලන්තය – 206/8 (50)

ක්‍රිස් හැරිස්  – 56 (87)

ක්‍රේග් මැක්මිලන් – 37 (63)

ඇඩම් පැරෝරේ – 34 (48)

නුවන් සොයිසා – 28/4 (9)

දිල්හාර ප්‍රනාන්දු – 33/2 (6)

ශ්‍රී ලංකාව – 209/7 (48.3)

රසල් ආනල්ඩ් – 78 (90)*

සනත් ජයසූරිය – 38 (61)

අරවින්ද ද සිල්වා – 37 (45)

ජේකබ් ඔරාම් – 20/2 (5)

ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් 

තරගයේ වීරයා – රසල් ආනල්ඩ් 

කවරයේ ඡායාරූපය - රසල් ආනල්ඩ් (gettyimages) 

Related Articles