Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක පාපන්දු තරග රටාව සහ සුපර් ලීග් විරෝධය

පාපන්දු ක්‍රීඩාව ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව වශයෙන් වසර ගණනක සිට වැජඹෙනවා. ලොව පුරා විසිරී සිටින පාපන්දු රසිකයින් ගණන බිලියන 3.5කට අධික යි. පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් තම කාලය පැකිලීමකින් තොරව කැප කරන පාපන්දු රසිකයින් හැරුණුකොට, ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන සමයේ දී පමණක් පාපන්දු ක්‍රීඩාව නරඹන තවත් විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා. ඒ කෙසේ වෙතත්, මේ දෙපාර්ශවයටම අවශ්‍ය වන්නේ උද්වේගකර, තරගකාරී, සහ සාධාරණ ක්‍රීඩාවක් නැරඹීම යි. සියල්ල මුදල් මත තීරණය වන සමාජයක සාධාරණ ක්‍රීඩාවක් පැවැත්වීම අද වන විට ප්‍රශ්න කෙරෙමිනුයි පවතින්නේ. සෑම ක්‍රීඩාවකටම මෙන් පාපන්දු සඳහාත් ජාත්‍යන්තර සංවිධාන පිහිටුවා තිබුනත් ඔවුන්ට එල්ල වී ඇති අභියෝගය සුළුපටු නැහැ. නව යුරෝපීය සුපර් ලීග් තරගාවලියක් ඇරඹීමට පසුගිය දා යෝජනාවීම ඒ අභියෝගය තවත් තීව්‍ර කළා. දැනට පවතින තරග රටාවට පිටතින් මෙම නව තරගාවලිය ඇරඹීමට යි එහි සංවිධායකයින් සැලසුම් කර තිබුණේ. මුලින්ම අපි දැනට පවතින පාපන්දු තරග රටාව අවබෝධ කරගනිමු.

ලෝක පාපන්දු දේශීය තරග රටාව (Domestic League Structure)

පාපන්දු රසිකයින් හොඳින් දන්නා පරිදි ලෝක පාපන්දු ක්‍රීඩාව මුළුමනින්ම රැඳී තිබෙන්නේ එක් එක් රටවල දේශීය ලීග (domestic league) තරගාවලි මත යි. එක් රටක එවැනි ලීග කිහිපයක් පවතිනවා. උදාහරණයක් වශයෙන් එංගලන්ත පාපන්දු ලීගයේ උප ලීග 8ක් තිබෙනවා. එයින් ඉහළම ලීගය වන්නේ ප්‍රිමියර් ලීගය යි. එහි කණ්ඩායම් 20ක් තරග වදින අතර, ඊට පහතින් ඇති චැම්පියන්ෂිප් ලීගයේ කණ්ඩායම් 24කුත්, ඊටත් පහළින් ඇති ලීග් වන්හි කණ්ඩායම් 24කුත් ආදී වශයෙන් තරග වදිනවා. සෑම වසරකම සීසන් එකක් අවසානයේ දී එක් ලීගයක අවසානයේ සිටින කණ්ඩායම් ත්‍රිත්වය ඊට පහළ ලීගයට යා යුතු අතර, ඉහළම කණ්ඩායම් ත්‍රිත්වය තමන්ට ඉහළ ලීගයට යාමට සුදුසුකම් ලබනවා. මෙම ක්‍රියාවලිය සෑම රටකම දේශීය පාපන්දු ලීගයේ දක්නට ලැබෙන පොදු ක්‍රමවේදය යි.

6 football federations
මහද්වීපික පාපන්දු සම්මේලන 6/uefa 

මීට අමතරව සෑම ලීගයකම දේශීය කුසලාන (Cup Tournament) තරගාවලියක් වෙනම පැවැත්වෙනවා. ඒ ප්‍රධාන ලීග තරගාවලියට සමගාමීවම යි. උදාහරණ වශයෙන් එංගලන්තයේ එෆ් ඒ කප්, ස්පාඤ්ඤයේ කෝපා ඩෙල් රේ, සහ ජර්මනියේ ඩී එෆ් බී පෝකල් දැක්විය හැකියි. මෙහිදී එක රටක උප ලීග සියල්ලේම වාගේ ක්‍රීඩාකරන කණ්ඩායම් එක් කුසලානයක් වෙනුවෙන් තරග වදිනවා. මීට අමතරව ඇතැම් රටවල වෙනත් කුසලාන තරගත් පැවැත්වෙනවා. ඒවා පොදු රටාවට පිටතිනුයි පැවැත්වෙන්නේ – එයට එක් උදාහරණයක් වන්නේ එංගලන්තයේ කැරබාඕ කප්.

ලෝක පාපන්දු මහද්වීපික තරග රටාව (Continental League Structure)

මහද්වීපයක දේශීය පාපන්දු ලීග සියල්ලගෙන්ම ඉහළම කණ්ඩායම් කිහිපය ක්‍රීඩාකරන වෙනම තරගාවලි පැවැත්වෙනවා. එසේ සංවිධානය වන ලොව ප්‍රකටම තරගාවලිය වන්නේ චැම්පියන්ස් ලීග් UEFA Champions League තරගාවලිය යි. UEFA යනු යුරෝපීය පාපන්දු සංගමය වන අතර, ඔවුන් යුරෝපයේ පාපන්දු ක්‍රීඩාව නියාමනය කරනවා. ඔවුන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) යටතේ ක්‍රියාත්මක යි. UEFA මෙන්ම අප්‍රිකානු මහද්වීපයට CAF සංවිධානයත්, දකුණු අමෙරිකාවට CONMEBOL සංවිධානයත් ආදී වශයෙන් FIFA යටතේ ක්‍රියාත්මක වනවා. 

යුඑෆා චැම්පියන්ස් ලීග් (UEFA Champions League) තරගාවලියට අදාළ වසරේ එංගලන්ත ප්‍රිමියර් ලීගයේ ඉහළම කණ්ඩායම් 4ත්, ස්පාඤ්ඤයේ ලා ලිගා ලීගයේ ඉහළම කණ්ඩායම් 4ත්, ඉතාලියේ සිරී ඒ ලීගයේ ඉහළම කණ්ඩායම් 4ත්, ජර්මනියේ බුන්ඩස් ලිගා ලීගයේ ඉහළම කණ්ඩායම් 4ත් ප්‍රංශයේ ලීග් වන් ලීගයේ ඉහළම කණ්ඩායම් 4ත් ආදී වශයෙන් තෝරාගනු ලබනවා. සෙසු රටවලින් තෝරාගැනෙන්නේ ඊට අඩු කණ්ඩායම් ගණනක්.

තවත් සමහර රටවල්වල ක්‍රීඩා සමාජ සුදුසුකම් ලැබීමේ තරග ක්‍රීඩා කළ යුතු වනවා. අවසානයේ කණ්ඩායම් 32ක් චැම්පියන්ස් ලීගයට ක්‍රීඩා කරනවා. අදාල වසරේ ඉහළම කණ්ඩායම් කිහිපය UEFA Champions League තරගාවලියට තෝරාගැනෙද්දී ඊළඟට සිටින කණ්ඩායම් කිහිපයක් යුරෝපා ලීගයට තෝරාගනු ලබනවා. චැම්පියන්ස් ලීගය සහ යුරෝපා ලීගය ජයගන්නා කණ්ඩායම් දෙක පමණක් සුපර් කප් නම් තවත් කුසලානයකට තරග වදිනවා.

champions league cup
චැම්පියන්ස් ලීග් කුසලානය/uefa

අනෙකුත් මහද්වීපවලත් මේ ආකාරයෙන්ම චැම්පියන්ස් ලීග තරගාවලි පැවැත්වෙනවා. ක්ලබ් වර්ල්ඩ් කප් යනුවෙන් හැඳින්වෙන්නේ FIFA ආයතනය සංවිධානය කරන තවත් තරගාවලියක්. මෙයට සම්බන්ධ වන්නේ මහද්වීපවල චැම්පියන්ස් ලීග ජයග්‍රහණය කරන කණ්ඩායම් 6 සහ තරග සත්කාරකත්වය දරන රටෙහි ප්‍රධාන ලීගය ජයගන්නා කණ්ඩායම යි. 

යුරෝපීය සුපර් ලීග් තරගාවලිය

යුරෝපය තුළ සාමාන්‍ය තරග රටාවට තරග පැවැත්වෙන අතරතුර තවත් අමතර තරගාවලියක් එයට එකතු කිරීමට FIFA ආයතනයට පිටතින් සකස් කරගත් සංවිධානයක් පසුගිය දා කටයුතු කළා. ඔවුන් මෙම තරගාවලිය පැවැත්වීමට පිඹුරුපත් සකස් කළේ වසර ගණනක සිට වන නමුත්, එය එළිදැක්වුණේ පසුගිය අප්‍රේල් 18 වනදා යි. එයට අනුව එම තරගාවලිය සඳහා ස්ථිර කණ්ඩායම් 15ක් සමග තවත් කණ්ඩායම් 5ක් එක්වනවා. ස්ථිර කණ්ඩායම් 15 අනිවාර්යයෙන්ම සෑම වසරකම සුපර් ලීග් තරගාවලියට නිතැතින්ම තේරී පත්වන අතර සෙසු කණ්ඩායම් 5 සුදුසුකම් ලැබීමෙ වටයකින් පසු යි තෝරා පත්කර ගන්නේ. 

පාපන්දු රසිකයින්ට ගැටලු සහගත කාරණය වුණේ ස්ථිර කණ්ඩායම් 15 තෝරාගන්නා පදනම කුමක් ද යන්න යි. ලොව සුපිරිම පාපන්දු ක්‍රීඩා සමාජ 15 සෑමදාම එකලෙසම පවතින්නේ නැහැ. නමුත් මෙම තරගාවලියට අනුව ඔවුන් සදාකාලික සාමාජිකයින් වනවා. උදාහරණයක් වශයෙන් 80-90 දශකවල ලෝකයේ ඉහළම තලයේ සිටි ඇතැම් කණ්ඩායම් මේ වන විට ඉහළම දේශීය ලීගයටවත් සුදුසුකම් ලබන්නේ නැති අවස්ථා එමට පවතිනවා. පාපන්දු ක්‍රීඩා සමාජයක් ඉහළම දක්ෂතා අතර වසර ගණනක් පවත්වා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. එසේ තිබියදී කණ්ඩායම් 15ක් ස්ථිර ලෙසම යම් තරගාවලියක් සෑම වසරකම ක්‍රීඩා කරන්නේ කෙසේ ද යන්න පාපන්දු රසිකයින් ප්‍රශ්න කරනවා.

fans protest aganist esl
පාපන්දු ක්‍රීඩාවේ සැබෑ හිමිකරුවන් තමන් බව පවසන පාපන්දු රසිකයින්/independent

ලොව මේ වන විට ඉහළම තලයේ සිටින පාපන්දු ක්‍රීඩා සමාජ කිහිපය අතර පැවැත්වෙන තරග නැරඹීම සඳහා වැඩි ප්‍රේක්ෂක පිරිසක් එක්වන බව සත්‍යයක්. එම නිසයි චැම්පියන්ස් ලීග තරගාවලියත් වඩාත් ජනප්‍රිය වී ඇත්තේ. යුරෝපයේ සිටින ඉහළම දක්ෂතා ඇති පාපන්දු ක්‍රීඩා සමාජ එම තරගාවලියේ දී එකිනෙකා හමුවීම මෙයට හේතුව යි. සුපර් ලීග් තරගාවලිය අරමුණු කරගෙන ඇත්තේ මෙම කාරණය යි. එනම් යුරෝපයේ ඉහළින්ම සිටින කණ්ඩායම් කිහිපය එකිනෙකා සමග තරග වදින අවස්ථා වැඩි ප්‍රමාණයක් ඇති කර එමඟින් වැඩි ප්‍රේක්ෂක පිරිසක් තරග නැරඹීමට ඈඳා ගැනීමෙන් වැඩි ලාභ ලැබීම යි. මෙය අනෙකුත් සියලු ක්‍රීඩා සමාජවලට කෙරෙන අසාධාරණයක් මෙන්ම පාපන්දු ක්‍රීඩාවේ ජීව ගුණයට සිදු කරන බලවත් හානියක්.

යම් ක්‍රීඩා සමාජයක් දක්ෂතා අතරින් ඉහළටම පැමිණීමට නම් එය හොඳම ක්‍රීඩකයින් පුහුණුකරුවන් සහ හොඳම යටිතල පහසුකම්වලින් සමන්විත විය යුතු යි. ඒවා සඳහා මුදල් අවශ්‍ය වනවා. ක්‍රීඩා සමාජ මුදල් ඉපයීම කරනුයේ ප්‍රධාන වශයෙන් අනුග්‍රහකයින්ගේ දායකත්වයෙන්, රුපවාහිනී විකාශනවලින්, තරගවලින් ලැබෙන ප්‍රවේශ පත්‍ර ආදායමෙන්, සහ සමරු සිහිවටන ආදිය විකිණීමෙන්. අනුග්‍රාහක දායකත්වය නියාමනයකට යටත්වන නිසා යම් සාධාරණයක් ධනවත් ක්‍රීඩා සමාජ සහ ධනවත් නොවන ක්‍රීඩා සමාජ අතර ඇතිවනවා. එය උපරිම සාධාරණය බව කිව නොහැකි වුවත් තම ක්‍රීඩා සමාජය දක්ෂතා අතරට පැමිණෙමින් ඉහළම ලීගවලට ක්‍රීඩා කරන්නේ නම් තවත් ආදායම වැඩි කරගත හැකියි. විශේෂයෙන් තරග ජයග්‍රහණය සඳහා ලබාදෙන මුදල් ත්‍යාග එවිට ලබාගත හැකිවීම එයට හේතුව යි.

liverpool fans protest esl
ලිවර්පූල් ක්‍රීඩා සමාජයේ ආධාරකරුවන් සුපර් ලීග් තරඟාවලියට විරෝධය පළ කරමින්/goal 

දැනට පවතින තරග රටාව අනුව පහළම මට්ටමේ සිටින ක්‍රීඩා සමාජවලට පවා ස්වෝත්සාහයෙන් ඉහළට යාමට ඉඩකඩ සාදා දී තිබෙනවා. මෙය යම් තරමකට විවේචනාත්මක වුවත් වසර ගණනක සිට පාපන්දු ක්‍රීඩාව පැවත ආවේ මෙම ක්‍රමය ටයි. නමුත් හඳුන්වාදෙන සුපර් ලීග් තරගාවලියට එවැනි ව්‍යුහයක් පවතින්නේ නැහැ.

යුරෝපීය සුපර් ලීග් තරගාවලියට බලවත් විරෝධයක් 

යුරෝපීය සුපර් ලීග් තරගාවලියට වැඩිම විරෝධයක් එල්ල වුයේ පාපන්දු රසිකයින්ගෙන්. තමන් ජීවත්වන ප්‍රදේශයේ තමන්ගේ ක්‍රීඩා සමාජය වෙනුවෙන් හඬ නැගූ ඔවුන් ධනවත් ක්‍රීඩා සමාජ පමණක් එක්කර සංවිධානය කරන්නට යන තරගාවලියට එකහෙලාම විරෝධය පලකළා. එපමණක් නොවේ, ධනවත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් සහයෝගය ලබාදෙන ලොව පුරා විසිරි සිටින බහුතර පාපන්දු රසික ප්‍රජාව පවා මෙම නව තරගාවලියට පලකළේ විරෝධයක්. ඒ ඔවුන් තම ක්‍රීඩා සමාජය පවා ඉදිරියට ආවේ පහළ මට්ටමේ සිට බව අවබෝධ කරගෙන ඇති නිසාවෙන්. 

පාපන්දු ක්‍රීඩාවේ විශේෂඥයින්, පුහුණුකරුවන්, මාධ්‍යවේදීන්, සහ ප්‍රකට ක්‍රීඩකයින් පවා මෙම සුපර් ලීග් තරගාවලියට සිය විරෝධය පෞද්ගලිකව පලකර තිබුණා. අවසානයේ UEFA සංගමය නිවේදනයක් නිකුත කරමින් සඳහන් කළේ යුරෝපීය සුපර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් කිසිවකට FIFA ආයතනය යටතේ පැවැත්වෙන දේශීය, මහද්වීපික, හෝ ලෝක මට්ටමේ කිසිදු තරගාවලියකට සහභාගී වීම තහනම් කරන බව යි. එසේම එම ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරගවල දී තම රට නියෝජනය කිරීම පවා තහනම් වන බව යි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුනේ.

chelsea fans protestin esl
චෙල්සි ක්‍රීඩා සමාජයේ ආධාරකරුවන් විරෝධය දැක්වූ අයුරු /marca

යුරෝපීය සුපර් ලීග් තරගාවලිය සඳහා සහභාගීවීමට එංගලන්ත ප්‍රිමියර් ලීගයේ කණ්ඩායම් 6ක් (Manchester City, Liverpool, Manchester United, Chelsea, Tottenham Hotspur, සහ Arsenal) ස්පාඤ්ඤ ලීගයේ කණ්ඩායම් තුනක් (Real Madrid, Barcelona, සහ Atletico Madrid) සහ ඉතාලි ලීගයේ කණ්ඩායම් තුනක් (ඉන්ටෙර් Inter Milan, AC Milan සහ Juventus) කැමැත්ත පළකර තිබුණා. මෙම ක්‍රීඩා සමාජ 12 ලොව ධනවත්ම ක්‍රීඩා සමාජ 12ක් වීම විශේෂත්වයක්. මෙයට කැමැත්ත පළකිරීම සඳහා පමණක් යුරෝ මිලියන 300 බැගින් එම කණ්ඩායම්වල හිමිකාරිත්වයට ලබාදීමට සුපර් ලීග් සංවිධායකයින් සැලසුම්කර තිබුණා. ඒ සඳහා සියලු මුදල් ලබාදෙන්නේ ඇමෙරිකානු බැංකු සමාගමක් වන JP Morgan සමාගම යි. කොරෝනා වසංගතය හේතුවෙන් මූල්‍ය අර්බුදයට මුහුණ පා සිටින පාපන්දු ක්‍රීඩා සමාජවලට මෙය මහත් අස්වැසිල්ලක් වන්නට ඇති නමුත්, එම මූල්‍ය අර්බුදය සියලු පාපන්දු ක්‍රීඩා සමාජ මුහුණ පා සිටින ගැටලුවක් බැවින් කණ්ඩායම් 12කට පමණක් මෙසේ මුදල් බෙදාදීම පිළිකුල් සහගත බව පාපන්දුවලට ආදරය කරන රසික ප්‍රජාව පෙන්වා දෙනවා. 

අවසානයේ තම ක්‍රීඩා සමාජවල බලවත් විරෝධය හේතුවෙන් යුරෝපීය සුපර් ලීග් තරගාවලියෙන් ඉවත්වීමට සියලු ප්‍රිමියර් ලීග් ක්‍රීඩා සමාජ තීරණය කළා. Atletico Madrid, Inte,r සහ AC milan යන කණ්ඩායම් ද තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් Super League තරගාවලිය හකුලා ගැනීමට සුපර් ලීග් තරගාවලියේ සභාපති ෆ්ලොරෙන්ටිනෝ පෙරෙස් Florentino Pérez ප්‍රමුඛ සංවිධායකයින් පසුගිය අප්‍රේල් 20 වනදා තීරණය කළා. කෙසේ වෙතත් ෆ්ලොරෙන්ටිනෝ පෙරෙස් තවදුරටත් පවසන්නේ තමන් ඇතුළු පිරිස පාපන්දු ක්‍රීඩාව විනාශ කිරීමට මෙය සංවිධානය නොකළ බවත්, ඇතිවී ඇති මූල්‍ය අර්බුදය පියවීමට සහ UEFA විසින් පවත්වාගෙන යන ඒකාධිකාරය බිඳ දැමීමට පමණක් කටයුතු කළ බවත්.

florentino perez
රියල් මැඩ්රිඩ් සහ සුපර් ලීග් තරගාවලියේ සභාපති ෆ්ලොරෙන්ටිනෝ පෙරෙස්/scroll 

පාපන්දු ක්‍රීඩාවේ අනාගතය 

සුපර් ලීග් තරගාවලිය අවලංගු කිරීමට එහි සංවිධායකයින් තීරණය කළත් එයින් මතුකෙරුණු පාපන්දු ක්‍රීඩාවේ අර්බුදය තවමත් දිගින් දිගටම කතාබහ කෙරෙන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. දැනට ක්‍රියාත්මක වන පාපන්දු ක්‍රීඩා ව්‍යුහය අංග සම්පුර්ණ සහ සර්ව සාධාරණ එකක් නොවන බවට වන මතය කාලයක් තිස්සේ පාපන්දු ලෝලීන් අතර පැවති කතිකාවක්. එයට විසඳුමක් වශයෙන් UEFA සංවිධානයත් හදිසියේම නව චැම්පියන්ස් ලීග තරග රටාවක් 2024 සිට ක්‍රියාත්මක කරන බව පවසා සිටියා. නමුත් එයටත් පක්ෂව සහ විපක්ෂව කරුණු දැක්වීම් විවිධ පාර්ශව විසින් සිදු කෙරෙනවා. 

අවසාන වශයෙන් පැවසිය යුත්තේ පාපන්දු ක්‍රීඩාවේ ජීව ගුණය පවත්වා ගැනීම සියලු රසික ප්‍රජාව බලාපොරොත්තුවන එකම කරණය බව යි. ඒ වෙනුවෙන් ගන්නා සෑම ඉදිරි පියවරක් වෙනුවෙන්ම ඔවුන් පෙනී සිටිනු ඇති. මුදල් මත සියල්ල තීරණය වන සංකීර්ණ සමාජයක උපරිම සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි වුවත් ඒ වෙනුවෙන් යම් පිරිසක් හෝ එක්වනු ඇතැයි යන්න පාපන්දු ක්‍රීඩාවට ආදරය කරන සියලු රසික ප්‍රජාවගේ එකම ප්‍රාර්ථනය යි.

තොරතුරු goal.com සහ bbc.com ඇසුරෙන්

කවරයේ පින්තුරය flipboard.com

Related Articles