Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වාර්තා පිට වාර්තා තැබුණු ඉන්දීය පිලේ පාකිස්ථාන සංචාරය

2006 වසරේ ඉන්දීය කණ්ඩායමේ පාකිස්ථාන සංචාරය සැලකෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් එක් විශිෂ්ට ක්‍රිකට් තරගාවලියක් ලෙසට ය. ඊට හේතුව වන්නේ එකී තරගාවලිය තුළ කණ්ඩායම් ද්විත්වයම දැක්වූ අසාමාන්‍ය දක්ෂතා ය. මෙකී තරගාවලිය ටෙස්ට් තරග 3කින් සමන්විත විය. සාම්ප්‍රදායික පසමිතුරන් වන ඉන්දු-පාකිස්ථාන තරග, වෙනත් රටවල් අතර තරගවලට වඩා උද්වේගකර ස්වරූපයක් ගැනීම ද මෙකී තරගාවලිය තවත් තියුණුවීමට බලපෑම් කළ එක් කරුණක් විය. 2006 වසරේ ජනවාරි මස 13 වන දා පාකිස්ථානයේ ලාහෝර් නුවර දී තරගාවලියේ පළමු තරගය ආරම්භ විය.

පළමු ටෙස්ට් තරගය

කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරමින් පිටියට පිවිසියේ සාර්ථක ආරම්භයක් ලබාගැනීමේ අරමුණින් යුක්තව යි. මුළු ලකුණු සංඛ්‍යාව 12ක්ව තිබිය දී ආරම්භක පිතිකරු සල්මන් බට් දැවීගියත්, එතැන් පටන් ආරම්භවූයේ පාකිස්ථාන පිතිකරණ සංදර්ශනයකි. ආරම්භක පිතිකරු ශොයිබ් මලික් ලකුණු 59ක් රැස් කරගෙන සිටිය දී දැවීගිය පසු පිටියේ රැඳුනු යුනුස් කාන් සහ මොහොමඩ් යුසුෆ් ඉන්දීය පන්දුයවන්නන් හට අමතක නොවන අත්දැකීමක් ලබාදෙන්නට සමත්විය.

මොහොමඩ් යුසුෆ් ලකුණු 173ක් රැස් කරද්දී, ක්‍රිකට් පිටියේ අතිශය අවාසනාවන්ත සිදුවීමකට මුහුණදුන් යුනුස් කාන් ලකුණු 199කට දුවද්දී දැවීගියේ ය. ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ලට ලකුණු 319ක් එක් කරන්නට සමත්විය. තරගයේ අග භාගයේ දී පැමිණි ශහීඩ් අෆ්රිඩි පන්දු 80ක දී ලකුණු 103ක් ද, කඩුලු රකින ක්‍රීඩක කම්රන් අක්මාල් පන්දු 81කින් ලකුණු 102ක් ද රැස්කළ අතර, පාකිස්ථාන පිතිකරුවන් සිව්දෙනෙකු ශතක රැස්කර තිබුණි. අවසානයේ පාකිස්ථාන ලකුණු පුවරුව ඉනිම අත්හිටවන විට කඩුලු 7කට ලකුණු 679ක් ලෙසින් දැක්වුණි.

ඉන්දීය පන්දු යවන්නන්ගෙන් අනිල් කුම්බ්ලේ සහ අජිත් අගාකාර් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය. තරගයට ක්‍රම ක්‍රමයෙන් වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා බොහෝ දුරට තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන ලකුණුත් පෙනෙන්නට තිබුණි.

පළමු ඉනිමේ වේගවත් ශතකයක් රැස් කළ ශහීඩ් අෆ්රිඩි
cricketflicker.com/පළමු ඉනිමේ වේගවත් ශතකයක් රැස් කළ ශහීඩ් අෆ්රිඩි

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට ආ විරේන්ද්‍ර ශෙවාග්ගේ පිත්ත ක්‍රියාත්මකවීමත් සමගම, ඉන්දීය කණ්ඩායමට ලකුණු ගලා එන්නට විය. ලාහෝර් ක්‍රීඩාංගනය පුරා පහරවල් එල්ලකළ ශෙවාග් පන්දු 247ක දී හතරේ පහර 47ක් සහ එක් 6 පහරක් සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 247ක් ලෙස දැක්වුණි. ඔහුට අනගි සහායක් ලබාදුන් ආරම්භක පිතිකරු වූ නායක රාහුල් ඩ්‍රාවිඩ් පන්දු 233ක දී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 133කි. විනෝ මන්කාඩ් සහ පන්කාජ් රෝයි විසින් 1956 වර්ෂයේ තබා තිබූ, ටෙස්ට් තරගයක ආරම්භක කඩුල්ල සඳහා වන හොඳම සබඳතාවයට ලකුණු 3කට මෙපිටින් ශෙවාග් දැවීගියේ ය. මන්කාඩ් සහ රෝයි තබා තිබූ වාර්තාව ලකුණු 413කි. ශෙවාග් සහ ඩ්‍රාවිඩ් ලාහෝර් නුවර දී පළමු කඩුල්ලට ලකුණු 410ක් එක්කිරීමට සමත්විය. මෙම ලකුණු 413 වාර්තාව 2008 වර්ෂයේ දී බිඳ වැටුණි. 

කෙසේ වෙතත්, මීළඟට පිටියට පැමිණි වී. වී. එස්. ලක්ෂ්මන් එක් පන්දුවකට පමණක් මුහුණ දී සිටිය දී තරගය ජය පරාජයෙන් තොරව නිමාකෙරුණි. මේ තරගය පුරා ක්‍රියාත්මක වූයේ ඉනිම දෙකක් පමණක්වීමත්, එකී ඉනිම් දෙක තුළ ලකුණු දහස ඉක්මවායාමත්, ශතක 6ක් වාර්තාවීමත් අතිශය විරල සිදුවීමක් විය.

තරගයේ කෙටි ලකුණු පුවරුව:

පාකිස්ථානය පළමු ඉනිම – 679/7

යුනුස් කාන් 199

මොහොමඩ් යුසුෆ් 173

ශහීඩ් අෆ්රිඩි 103

කම්රන් අක්මාල් 102

අනිල් කුම්බ්ලේ 178/2

අජිත් අගාකාර් 122/2

ඉන්දියාව පළමු ඉනිම – 410/1

විරේන්ද්‍ර ශෙවාග් 254

රාහුල් ඩ්‍රාවිඩ් 128*

නවීඩ් උල් හසන් 94/1

දෙවන ටෙස්ට් තරගය

ෆයිසලාබාද්හි දී ආරම්භ වුණු දෙවන ටෙස්ට් තරගයේ දී ද කාසියේ වාසිය දිනාගැනීමට සමත්වූයේ පාකිස්ථාන නායක ඉන්සමාම් උල් හල් ය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ආ පාකිස්ථාන කණ්ඩායමේ මුල් කඩුලු ද්විත්වය ලකුණු 65ක් තුළ බිඳවැටුණි. නැවත වතාවක් කණ්ඩායමේ වගකීම කරටගත් මොහොමඩ් යුසුෆ් සහ යුනුස් කාන් තෙවන කඩුල්ලට ලකුණු 142ක් එක් කිරීමට සමත්විය. නමුත් ඔවුන් දෙදෙනාටම මෙවර ශතක රැස්කිරීමට ඉඩ ලබානොදුන් ඉන්දීය පන්දු යවන්නන් යුනුස් කාන් ලකුණු 83කින්, සහ මොහොමඩ් යුසුෆ් ලකුණු 65කින් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත්විය.

සචින් තෙන්දුල්කාර් දවාගැනීමේ ප්‍රීතිය සමරන ශොයිබ් අක්තාර්
Indianewstv.com/සචින් තෙන්දුල්කාර් දවාගැනීමේ ප්‍රීතිය සමරන ශොයිබ් අක්තාර්

 

නායකත්වයේ වගකීම කරටගත් ඉන්සමාම් උල් හක් ඉවසිලිවන්ත ඉනිමක් දියත් කරද්දී, අනෙක් අන්තයෙන් ශහීඩ් අෆ්රිඩි ප්‍රේක්ෂකයන්ට අමතක නොවන ඉනිමක් දියත්කරන්නට විය. අෆ්රිඩි පන්දු 126කින් හතරේ පහර 20ක් සහ හයේ පහර 6ක් සමග ලකුණු 158ක් රැස්කළ අතර, ඉන්සමාම් පන්දු 193ක දී ලකුණු 119ක් රැස්කළේ පස්වන කඩුල්ල සඳහා ලකුණු 251ක් එකතු කරමිනි. මෙවරත් පාකිස්ථාන ඉනිම සටහන්වූයේ සියලු දෙනා දැවී ලකුණු 588ක් ලෙසට ය. පන්දු යැවීමේ දී ආර්. පී. සිං කඩුලු 4ක් බිඳ හෙළී ය.

දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට ආ ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුල්ල ලකුණු 39ක දී දැවී යද්දී වී. වී. එස්. ලක්ෂ්මන් සහ රාහුල් ඩ්‍රාවිඩ් දෙවන කඩුල්ලට ලකුණු 196ක් එක්කළෝ ය. ඒ, ලක්ෂ්මන් ලකුණු 90ක් සහ ඩ්‍රාවිඩ් ලකුණු 103ක් වශයෙනි. 236ට 1 කඩුල්ලක් ලෙස දැක්වුණු ඉන්දීය ලකුණු පුවරුව මීළඟට දිස්වූයේ ලකුණු 281ට කඩුලු 5ක් ලෙස ය. ඒ මොහොතේ ඉනිමේ වගකීම කරටගත් කඩුලු රකින මහේන්ද්‍ර සිං දෝනි අගනා ලකුණු 148ක් රැස්කළේ පන්දු 153කට පමණක් මුහුණදෙමිනි. එයට හතරේ පහර 19ක් සහ හයේ පහර 4ක් ඇතුළත්විය.

දෝනිට අනගි සහායක් ලබාදුන් ඉර්ෆාන් පතාන් ලකුණු 90ක් රැස්කළ අතර පසුපෙළින් පැමිණි හර්බජාන් සිං රැස්කළ ලකුණු 38ත් සමග ඉන්දීය පළමු ඉනිම දිස්වූයේ සියලුදෙනා දැවී ලකුණු 603ක් ලෙසට ය. පන්දුයැවීමේ දී දනිශ් කනේරියා කඩුලු 3ක් බිඳහෙලුවේ ය.

ලකුණු 16ක් පිටුපසින් සිටිමින් තම දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි පාකිස්ථාන ඉනිම ආරම්භ කළ කම්රන් අක්මාල් ලකුණු 78ක් රැස්කිරීමට සමත්විය. ලකුණු 181 දී දෙවන කඩුල්ල බිඳ වැටෙද්දී නැවතත් ක්‍රියාත්මක වූ යුසුෆ් කාන් සුසංයෝගය මෙවර තෙවන කඩුල්ලට ලකුණු 242ක් එක්කිරීමට සමත්විය. මොහොමඩ් යුසුෆ් ලකුණු 126ක් රැස් කරද්දී නැවතත් තම ද්විත්ව ශතකය පෙනෙන මානයේ දී යුනුස් කාන් දැවීගියේ ය. ඒ, පන්දු 299ක දී ලකුණු 194ක් රැස් කරමිනි. කඩුලු 8කට ලකුණු 490ක් ලබාගත් පාකිස්ථාන කණ්ඩායම ඉන්දියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 475ක ඉලක්කයක් ලබාදුන්නේ ය. පන්දු යැවීමේ දී සහීර් කාන් කඩුලු 4ක් ඉන්දියාව වෙනුවෙන් බිඳහෙලී ය.

පළමු ඉනිමේ අගනා ශතකයක් රැස් කල මහේන්ද්‍ර සිං දෝනි
Indiatoday.in/පළමු ඉනිමේ අගනා ශතකයක් රැස්කළ මහේන්ද්‍ර සිං දෝනි

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට ආ ඉන්දියාව පන්දුවාර 8ක දී කිසිවෙකු නොදැවී ලකුණු 21ක් ලබා සිටිය දී තරගය ජය පරාජයෙන් තොරව අවසන් කෙරුණි. ඒ අනුව තරගාවලියේ පළමු තරග ද්විත්වයම අවසන්වූයේ වාර්තාගත ලකුණු පුවරු ශතක සමග ජය පරාජයෙන් තොරව ය.

තරගයේ කෙටි ලකුණු පුවරුව:

පාකිස්ථානය පළමු ඉනිම – 588/10

ශහීඩ් අෆ්රිඩි 156

ඉන්සමාම් උල් හක් 119

යුනුස් කාන් 83

RP සිං 89/4

ඉන්දියාව පළමු ඉනිම – 603/10

මහේන්ද්‍ර සිං දෝනි 148

රාහුල් ඩ්‍රාවිඩ් 103

ඉර්ෆාන් පතාන් 90

දනිශ් කනේරියා 165/3

පාකිස්ථානය දෙවන ඉනිම – 490/8

යුනුස් කාන් 194

මොහොමඩ් යුසුෆ් 126

කම්රන් අක්මාල් 78

සහීර් කාන් 61/4

ඉන්දියාව දෙවන ඉනිම (ඉලක්කය 475) – 21/0

වී. වී. එස්. ලක්ෂ්මන් 8*

රාහුල් ඩ්‍රාවිඩ් 5*

තෙවන තරගය

කරච්චිහි ජාතික ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තෙවන සහ අවසන් ටෙස්ට් තරගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගත්තේ තරගාවලිය තවදුරටත් 0-0 ලෙසින් පැවතීම නිසා යි. මෙවර කාසියේ වාසිය ඉන්දියාවට හිමිවූ අතර ඩ්‍රාවිඩ් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඩ්‍රාවිඩ්ගේ තීරණය නිවැරදි බව ඔප්පු කළ ඉර්ෆාන් පතාන් තරගයේ පළමු පන්දුවාරයේ 4, 5, සහ 6 වැනි පන්දු තුනෙන් කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු පන්දුවාරය තුළ කඩුලු ත්‍රිත්වයක් දවාගත් ප්‍රථම පන්දු යවන්නා බවට පත්වෙමිනි. පළමු පන්දුවාරය අවසන් වෙද්දී පාකිස්ථාන ලකුණු පුවරුව දැක්වුනේ 0/3ක් ලෙස ය. තත්ත්වය වඩාත් දරුණු කළ ආර්. පී. සිං සහ සහීර් කාන් ද පාකිස්ථාන කඩුලු එක පිට එක ලබාගැනීම නිසා පන්දුවාර 11ක් අවසන් වන විට පාකිස්ථාන ලකුණු 39කට කඩුලු 6ක් බිඳවැටී තිබුණි.

මේ මොහොතේ කඩුලු රකින ක්‍රීඩක කම්රන් අක්මාල් ඉතාමත්ම වටිනා ලකුණු 113ක් රැස්කළේ කණ්ඩායම වැටී තිබූ ආගාධයෙන් යම්තාක් දුරකට ගලවාගනිමිනි. අබ්දුල් රසාක් ලකුණු 45ක් ලබාගත් අතර වේගපන්දු යවන ක්‍රීඩක ශොයිබ් අක්තාර් ද පසුපෙළින් ලකුණු 45ක් එක්කිරීම නිසා පාකිස්ථානය යම්කිසි තැනකට එළෙඹෙමින්, සියලුදෙනා දැවී ලකුණු 245ක් තම පළමු ඉනිමට එක්කරන්නට සමත්විය. ඉර්ෆාන් පතාන් පන්දු යැවීමේ දී තරගාවලියේ පළමු කඩුලු 5 දවාගැනීමට සමත්විය.

ඉර්ෆාන් පතාන් තම කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව
ESPNcricinfo/ඉර්ෆාන් පතාන් තම කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඉන්දියාවට ද පහසුවෙන් ලකුණු ලබාගැනීමට පාකිස්ථාන පන්දුයවන්නන් ඉඩ සැලසුවේ නැත. ඉන්දීය පළමු කඩුලු 4 ලකුණු 56ට බිඳවැටුණි. සව්රව් ගංගුලි සහ යුවරාජ් සිං එකතුව 5 වන කඩුල්ලට ලකුණු 81ක් එක්කළත්, ඉන්දීය පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා පළමු ඉනිමේ දී පාකිස්ථානය ලකුණු 245කට සීමා කිරීමේ වාසිය ලබාගැනීමට ඔවුන්ටනොහැකිවූයෙන් ඉන්දීය ඉනිම ලකුණු 239කට සීමාවිය. වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 45ක් රැස්කරගත් යුවරාජ් සිං ය. ඉර්ෆාන් පතාන් ලකුණු 40 යි. පන්දු යැවීමේ දී මොහොමඩ් ආසිෆ් කඩුලු 4ක් බිඳහෙළී ය.

ලකුණු 6ක් ඉදිරියෙන් සිටිමින් ක්‍රීඩා කිරීමට පැමිණි පාකිස්ථාන ක්‍රීඩකයන් දෙවන ඉනිමේ දී වඩාත් සැලකිලිමත්විය. පළමු කඩුල්ලට සල්මන් බට් සහ ඉම්රාන් ෆර්හට් ලකුණු 109ක් එක්කළ අතර නැවතත් ක්‍රියාත්මක වූ යුනුස්-යුසුෆ් සුසංයෝගය තෙවන කඩුල්ලට ලකුණු 158ක් එක්කළේ ය. මොහොමඩ් යුසුෆ් ලකුණු 97කට අවාසනාවන්ත ලෙස දැවී යද්දී යුනුස් කාන් ලකුණු 77ක් රැස්කළේ ය. අනතුරුව පැමිණි ෆයිසාල් ඉක්බාල් ලකුණු 139ක් ලබාගත් අතර ඉනිමේ අගභාගයේ දී අබ්දුල් රසාක් ලකුණු 90ක් ද, ශහීඩ් අෆ්රිඩි විසින් පන්දු 46කින් වේගවත් ලකුණු 60ක් ද එක් කරන්නට සමත්විය. පාකිස්ථාන ලකුණු පුවරුව කරච්චි ජාතික ක්‍රීඩාංගනයේ දැක්වුණේ දෙවන ඉනිම අත්හිටවන විට කඩුලු 7කට ලකුණු 599ක් ලෙස ය. පාකිස්ථාන ඉනිමේ ක්‍රීඩා කිරීමට පැමිණි පිතිකරුවන් 8 දෙනාගෙන් 7 දෙනෙකුම ලකුණු 50 සීමාව ඉක්මවාගිය අතර එකී සීමාවට ළඟා නොවුණේ කම්රන් අක්මාල් පමණි. ඔහු ඉනිම අත්හිටවන විට එක් පන්දුවකට මුහුණ දී නොදැවී ක්‍රීඩා කරමින් සිටියේ ය.

ලකුණු 606ක අති දැවැන්ත ඉලක්කයක් හඹායාමට පැමිණි ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 4 මෙවරත් ලකුණු 77කට බිඳ වැටුණි. මොහොමඩ් ආසිෆ්ගේ සහ අබ්දුල් රසාක්ගේ පන්දුයැවීම හමුවේ එක පෙලට ඉන්දීය කඩුලු දැවී යද්දී තනි සටනක් දියත්කළ යුවරාජ් සිං, පන්දු 144ක දී ලකුණු 122ක් රැස්කළේ ය. මුලු ලකුණු සංඛ්‍යාව 265ක්ව තිබිය දී ශතක ලාභී යුවරාජ් සිංගේ කඩුල්ල අබ්දුල් රසාක් දවාගත්තේ පාකිස්ථානයට ලකුණු 341ක දැවැන්ත ජයග්‍රහණයක් සමග තරගාවලිය ද තරග 1-0ක් ලෙස ජයග්‍රහණය කර දෙමිනි. අවසන් ටෙස්ට් තරගයේ වීරයා පාකිස්ථානයේ කම්රන් අක්මාල් ය. තරගාවලියේ වීරයා ලෙසින් යුනුස් කාන් සම්මානයට පාත්‍රවිය. අතිශය තියුණු, උද්වේකගර, සහ දෙපසට දෝලනය වූ තරගාවලියක් ලෙසට මෙකී තරගය ක්‍රිකට් ඉතිහාසයේ ලියැවී ඇත.

ඉන්දීය දෙවන ඉනිමේ සටන්කාමී ශතකයක් රැස්කර ගත් යුවරාජ් සිං
Image – Widen.com
ඉන්දීය දෙවන ඉනිමේ සටන්කාමී ශතකයක් රැස්කර ගත් යුවරාජ් සිං

 

තරගයේ කෙටි ලකුණු පුවරුව:

පාකිස්ථානය පළමු ඉනිම – 245/10

කම්රන් අක්මාල් 113

අබ්දුල් රසාක් 45

ශොයිබ් අක්තාර් 45

ඉර්ෆාන් පතාන් 61/5

ආර්. පී. සිං 66/3

ඉන්දියාව පළමු ඉනිම – 238/10

යුවරාජ් සිං 45

ඉර්ෆාන් පතාන් 40

මොහොමඩ් ආසිෆ් 78/4

අබ්දුල් රසාක් 67/3

පාකිස්ථානය දෙවන ඉනිම – 599/7

ෆයිසාල් ඉක්බාල් 139

මොහොමඩ් යුසුෆ් 97

අබ්දුල් රසාක් 90

යුනුස් කාන් 77

අනිල් කුම්බ්ලේ 151/3

ඉන්දියාව දෙවන ඉනිම – 265/10 (ඉලක්කය 607)

යුවරාජ් සිං 122

සව්රව් ගංගුලි 37

අබ්දුල් රසාක් 88/4

මොහොමඩ් ආසිෆ් 48/3

තොරතුරු සහ පින්තූර ESPN Crickinfo වෙබ් අඩවියෙනි. 

Related Articles