Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බටහිර ඉන්දීය කොදෙව්-දකුණු අප්‍රිකා තරගයේ පෙර විමසුම

තරගාවලියේ පළමු තරග 3ම පරාජය වී සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම, සහ පෙරළිකාර තරග රටාවක යෙදෙන කොදෙව්වන් උරෙනුර ගැටෙන්නේ සදම්ප්ටන් නුවර රෝස් බෝල් පිටියේ දී යි. දකුණු අප්‍රිකානු කණ්ඩායමට තරගාවලියේ රැඳී සිටීමට නම් මෙම තරගය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කළ යුතු යි. එම නිසාම ඔවුන් සිය උපරිමයෙන් ක්‍රීඩා කරනු ඇතැ යි අපේක්ෂිත මෙම තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගනු ඇති. එවැනි තියුණු තරගයක් පිළිබඳව ප්‍රේක්ෂක ඔබත් විමසිලිමත් නිසා මේ පෙර විමසුම ඔබ වෙනුවෙන්ම යි.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ කොදෙව්-දකුණු අප්‍රිකා ගැටුම්

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථා 6ක දී එකිනෙකා ගැටී තිබෙනවා. එහිදී දකුණු අප්‍රිකානුවන් තරග 4කින් ජයග්‍රහණය කරන විට කොදෙව්වන් ජයග්‍රහණය කර තිබෙන්නේ  තරග 2ක් පමණ යි.

1992 තරගාවලියේ දී මෙම කණ්ඩායම් 2ක මුල්ම වරට එකිනෙකා හමුවුණා. එහිදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් මෙයරික් ප්‍රින්ගල් ලකුණු 11කට දවාගත් කඩුලු 4 නිසා කොදෙව්වන්ට අත්වුණේ දරුණු පරාජයක්

දකුණු අප්‍රිකාව- 200/8 (50)

බටහිර ඉන්දීය කොදෙව්- 136/10 (38.4)

දකුණු අප්‍රිකාවට ලකුණු 64ක ජයක්

අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා පීටර් කර්ස්ටන් (gettyimages)

1996 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග 5ම ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානුවන්ට හැකි වුණා. ඔවුන්ට අර්ධ අවසන් පූර්ව තරගයේ දී හමුවුණේ කෙන්යානු කණ්ඩායමට පවා පරාජය වී සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යි. නමුත් එදා බ්‍රයන් ලාරා පන්දු 94කින් ලබාගත් අගනා ලකුණු 111 දකුණු අප්‍රිකානුවන්ගේ ලෝක කුසලාන ගමන නිමාවට පත්කළේ කිසිවෙකු නොසිතූ අයුරින්.

බටහිර ඉන්දීය කොදෙව්- 264/8 (50)

දකුණු අප්‍රිකාව- 245/10 (49.3)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 19ක ජයක්

1996 ලෝකකුසලාන තරගාවලියේ කොදෙව්-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

2003 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේ දී නැවතත් මෙම කණ්ඩායම් 2ක තරග වැදුනා. එම තරගයේ දීත් අප්‍රිකානුවන්ට බැටදුන් බ්‍රයන් චාල්ස් ලාරා ලකුණු 116ක් ලබාගනිමින් කොදෙව් කණ්ඩායම ලකුණු 278ක් කරා රැගෙන ගියා. එදා අප්‍රිකානුවන්ට එම ලකුණු 279 හඹා යාම සඳහා පන්දුවාර 49ක් පමණක් ලැබුණේ ඔවුන් සිය පන්දුවාර 50 යැවීමට වැඩි වේලාවක් වැයකර තිබීම නිසා යි. එම පන්දුවාර 49 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 275ක් පමණක් ලබාගත් අප්‍රිකානුවන් අවසානයේ දී ලැබුවේ ලකුණු 3ක පරාජයක්.

බටහිර ඉන්දීය කොදෙව්- 278/5 (50)

දකුණු අප්‍රිකාව- 275/9 (49)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 3ක ජයක්

ලාරාගේ අගනා ඉනිමේ අවස්ථාවක්  (gettyimages)

1996 සහ 2003 ලෝක කුසලාන තරගාවලිවල දී කොදෙව්වන් හමුවේ පරාජය වුණු අප්‍රිකානුවන් 2007 තරගාවලියේ දී කොදෙව් කණ්ඩායම හමුවේ පහසු ජයග්‍රහණයක් ලබාගත්තේ බෙන්ජමින් ද විලියර්ස් ලබාගත් ලකුණු 146 නිසා යි.

දකුණු අප්‍රිකාව- 356/4 (50)

බටහිර ඉන්දීය කොදෙව්- 289/9 (50)

දකුණු අප්‍රිකාවට ලකුණු 67ක ජයක්

විලියර්ස්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

නැවතත් 2011 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් 2ක හමුවුණු අවස්ථාවේ බෙන්ජමින් ද විලියර්ස් නොදැවී ලබාගත් ලකුණු 107 නිසා අප්‍රිකානුවන්ට හිමිවුණේ පහසු ජයක්

බටහිර ඉන්දීය කොදෙව්- 222/10 (47.3)

දකුණු අප්‍රිකාව- 223/3 (42.5)

දකුණු අප්‍රිකාවට කඩුලු  7ක ජයක්

කොදෙව්-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

2015 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී අප්‍රිකානුවන් හමුවේ දැවැන්ත පරාජයක් ලැබිමට කොදෙව්වන්ට සිදුවූයේ බෙන්ජමින් ද විලියර්ස් පන්දු 66කින් නොදැවී ලබාගත් ලකුණු 162 සහ ඉම්රාන් තාහීර්ගේ කඩුලු 5 නිසා යි. එම තරගයේ දී කොදෙව් කණ්ඩායමේ ජේසන් හෝල්ඩර්ගේ පන්දුවාර 10 තුළ ලකුණු 104ක් ලබාදීමත් මෙහිදී සිහිපත් කළ යුතු යි.

විලියර්ස්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

සදම්ප්ටන් නුවර රෝස් බෝල් පිටිය පිළිබඳව දත්තයන්

පසුගිය වසර 10 ඇතුළත මෙම පිටියේ පවත්වා ඇති දිවා තරග ප්‍රමාණය 6ක්. එම තරගවල දී පිතිකරුවන්ට වඩාත් උචිත අයුරින් හැසිරී ඇති මෙම තණතීරුවේ මුලින්ම පන්දුවට පහර දී ඇති කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය අගය 325ක්. නමුත් මෙම ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම පිටියේ පැවති ඉන්දු-දකුණු අප්‍රිකා තරගයට ලබා දී තිබුණු තණතීරුව පිතිකරුවන්ට එතරම් යෝග්‍ය එකක් වුණේ නැහැ.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

මෙම පිටියේ අවසන් වරට පැවති දිවා තරග 7න් 5ක් ජයග්‍රහණය කර තිබෙන්නේ කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම යි. එම නිසා මෙම තරගයේ තීරණය සඳහා කාසියේ වාසියෙන් කෙරෙන බලපෑම අඩු යි.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

අවසන් වරට මෙම පිටියේ දී පැවති දිවා තරග 7 දී කාසියේ වාසිය දිනූ කණ්ඩායම අවස්ථා 4ක දී මුලින්ම පන්දුවට පහර දී ඇති අතර, ඉතිරි අවස්ථාවන් 3 දී ප්‍රතිවාදී කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර ඇත.

රෝස් බෝල් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

අවසන් වසර 10 තුළ කණ්ඩායම් 2ම මෙම පිටියේ දී තරගය බැගින් ක්‍රීඩාකර තිබුණත් එම තරග පරාජයට පත්වුණා. නමුත් කොදෙව්වන්ට මෙම පිටිය සුවිශේෂී එකක් වන්නේ, ඔවුන් මෙහි දී 2004 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය පාකිස්ථානුවන් හමුවේ ජයග්‍රහණය කර තිබීම යි.

2004 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ කොදෙව්-පාකිස්ථානු අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

අද පැවැත්වෙන කොදෙව්-දකුණු අප්‍රිකා තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් 2ක තරග කළේ 2016 වසරේ පැවති කොදෙව් තුන්කොන් තරගාවලියේ දී යි. එහිදී කොදෙව්වන් හමුවේ තරග 2ක් පරාජය වීමට අප්‍රිකානුන්වට සිදුවුණා. ඉන් එක් තරගයක දී ඉම්රාන් තාහීර් ලකුණු 45කට කඩුලු 7ක් දවාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. මෙම තරගාවලියේ දී අසාර්ථක ආරම්භයක් ලබාගෙන සිටින අප්‍රිකානුවන්ට වඩා ආක්‍රමණශීලී තරග රටාවක නිරත වන කොදෙව්වන්ට මෙම තරගය ජයග්‍රහණය කිරීමට ඇති හැකියාව වැඩියි. නමුත් තරගාවලියේ රැඳි සිටීම සඳහා අප්‍රිකානුවන්ට තීරණාත්මක මෙම තරගය ඔවුන් ලෙහෙසියෙන් ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය කිරීමට ඉඩ නොදෙනු ඇත. 2003 තරගාවලියෙන් පසුව ලෝක කුසලාන තරගාවලියක පළමු වටයෙන් ඉවත් වී නොමැති අප්‍රිකානුවන්ට සිය අභිමානය රැක ගැනීමට කොදෙව් කණ්ඩායම ඉඩ ලබා දෙනු ඇති ද? තව හෝරා කිහිපයකින් එම ප්‍රශ්නයට පිළිතුර ලැබෙනු ඇත.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය-  Roar සිංහල

Related Articles