Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා-බටහිර ඉන්දීය කොදෙව් තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 39 වැනි තරගය චෙස්ටර් ලි ස්ට්‍රීට් නුවර රිවර්සයිඩ් පිටියේ දී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර යි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම මේ අවස්ථාව වන විට තරගාවලියෙන් ඉවත්ව සිටින නිසා සිය ගෞරවය බේරාගැනීම සඳහා මෙම ජයග්‍රහණය ඉතාමත් වැදගත්. මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන් ඉදිරියට පැමිණීමට මෙම ජයග්‍රහණය අවශ්‍ය එකක් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් මෙම තරගය පිළිබඳව යම් උනන්දුවක් දක්වනවා. එලෙස උනන්දුවක් දක්වන ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් තරගයේ පෙර විමසුම මෙලෙසින් ඉදිරිපත් කරනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා-කොදෙව්  ගැටුම්

මෙම කණ්ඩායම් 2ක එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී 7 වරක් එකිනෙකා හමුවී තිබෙනවා. එහිදී කොදෙව් කණ්ඩායම ජයග්‍රහණ 4ක් ලබාගන්නා විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට ලැබුණේ තරග 2ක්  පමණ යි. 

මුල්ම වරට මෙම කණ්ඩායම් දෙක හමුවුණේ 1975 ලෝක කුසලාන තරගාවලියේ දී යි. එදා බර්නාඩ් ජූලියන් 20/4 සහ කීත් බොයිස් 22/3 ලෙසින් සිදු කළ මනරම් පන්දු යැවීම ඉදිරියේ ශ්‍රී ලංකා කණ්ඩායමට උරුම වුණේ කඩුලු 9ක දැවැන්ත පරාජයක්.

ශ්‍රී ලංකාව – 86/10 (37.2)

බටහිර ඉන්දීය කොදෙව් – 87/1 (20.4)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 9ක ජයක්

1975 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා-කොදෙව් තරගයේ අවස්ථාවක් (gettyimages)

 1979 තරගාවලියේ දී මෙම කණ්ඩායම් දෙක හමුවීමට නියමිතව තිබුණත් වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම නිසා එය පැවැත්වුණේ නැහැ.

ඉන්පසුව නැවතත් මෙම කණ්ඩායම් දෙක හමුවුණේ 1987 ලෝක කුසලාන තරගාවලියේ දී යි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරග 2ම ජයග්‍රහණය කිරීමට කොදෙව්වන් සමත් වුණා. ඉන් පළමු තරගයේ දී විවියන් රිචඩ්ස් එම අවදියේ හොඳම ලෝක කුසලාන ඉනිම ක්‍රීඩා කරමින් ලබාගත් ලකුණු 181 නිසා කොදෙව් ඉනිම නිමාව දුටුවේ 360/4ක් ලෙසින්. එදා කොදෙව්වන් ලබාගත් ලකුණු 360 එම අවදියේ එක්දින තරගයක කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා අතර සටහන් වුණා. එසේම රිචඩ්ස්ගේ ලකුණු 181 සඳහා අන්තර්ගත වුණු හයේ පහර 7 එම කාල සමය වන විට පිතිකරුවෙකු එක් ඉනිමක එල්ල කළ වැඩිම හයේ පහර ප්‍රමාණය බවට පත්වුණා. එසේම එම තරගයේ දී අසන්තා ද මෙල්ගේ පන්දුවාර 10 තුළ කොදෙව් පිතිකරුවන් ලකුණු 97ක් ලබාගැනීම පිළිබඳවත් මෙහිදී සිහිපත් කළ යුතු යි.

බටහිර ඉන්දීය කොදෙව්- 360/4 (50)

ශ්‍රී ලංකාව – 169/4 (50)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 191ක ජයක් 

බටහිර ඉන්දීය කොදෙව්- 236/8 (50)

ශ්‍රී ලංකාව – 211/8 (50)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 25ක ජයක් 

රිචඩ්ස්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

1992 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරගයේ දී කොදෙව් කණ්ඩායමට ලකුණු 91ක ජයක් හිමිවුණේ ෆිල් සිමන්ස් කොදෙව්වන් වෙනුවෙන් ලබාගත් ලකුණු 110ක ඉනිම නිසා යි.

බටහිර ඉන්දීය කොදෙව්- 268/8 (50)

ශ්‍රී ලංකාව – 177/9 (50)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 91ක ජයක් 

ෆිල් සිමන්ස්  (gettyimages)

1996 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා-කොදෙව් තරගයක් පැවැත්වීමට නියමිතව තිබුණත් ආරක්ෂක හේතුන් මත කොදෙව්වන් ලංකාවට නොපැමිණි නිසා එම තරගයේ ප්‍රසාද ලකුණු ශ්‍රී ලංකාවට හිමිවුණා.

2003 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති කොදෙව්-ශ්‍රී ලංකා තරගය දෙපිලටම තීරණාත්මක වුණේ සුපිරි 6 වටය සඳහා සුදුසුකම් ලැබීම සඳහා එම තරගයේ ජයග්‍රහණය වැදගත් වුණු නිසා යි. එහිදී ජයසූරිය ලබාගත් ලකුණු 66 සහ වාස් ලකුණු 22කට කඩුලු 4ක් දවාගනිමින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා ශ්‍රී ලංකාවට ලැබුණේ ලකුණු 6ක තියුණු ජයක්. මෙම තරගයේ දී කොදෙව් පිතිකරු සර්වාන් දිල්හාරගේ පන්දුවක් හිසේ වැදීමෙන් පසුව පිටියෙන් ඉවත්ව සිට නැවතත් පිටියට පිවිස දියත් කළ සටන්කාමී ඉනිම නිසා මෙම තරගය මෙලෙස තියුණු අවසානයක් කරා ගිය බවත් මෙහිදී සිහිපත් කළ යුතු යි.

ශ්‍රී ලංකාව – 228/6 (50)

බටහිර ඉන්දීය කොදෙව් – 222/9 (50)

ශ්‍රී ලංකාවට ලකුණු 6ක ජයක් 

2003 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා-කොදෙව් තරගයේ අවස්ථාවක් (gettyimages)

2007 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති ශ්‍රී ලංකා-කොදෙව් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 113ක දැවැන්ත ජයක් හිමිවුණා. එහිදී පිත්තෙන් ලකුණු 115ක් ලබාගත් සනත් ජයසූරිය ලකුණු 38කට කඩුලු 3ක් දවාගනිමින් පන්දුවෙනුත් සුපිරි දස්කම් දැක්වුවා.

ශ්‍රී ලංකාව – 303/5 (50)

බටහිර ඉන්දීය කොදෙව් – 190/10 (44.3)

ශ්‍රී ලංකාවට ලකුණු 113ක ජයක් 

2007 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා-කොදෙව් තරගයේ අවස්ථාවක් (gettyimages) 

රිවර්සයිඩ් පිටිය පිළිබඳව දත්තයන් 

පසුගිය වසර 7 ඇතුළත මෙම පිටියේ පවත්වා ඇති දිවා එක්දින තරග ප්‍රමාණය 5ක්. එහිදී මෙම තණතීරුව බොහෝ අවස්ථාවන්වල හැසිරී ඇත්තේ පිතිකරුවන්ට යෝග්‍ය අයුරින්. එම නිසාම මෙම පිටියේ පැවති එම තරග 5 දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 250ක්. 

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

රිවර්සයිඩ් පිටියේ දී පැවති අවසන් දිවා එක්දින තරග 5 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 2ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා-කොදෙව් තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ අවසන් වරට පැවති දිවා එක්දින තරග පහෙන් 4ක දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කර තිබෙනවා. එසේම මෙම පිටියේ ලකුණු හඹා ගිය කණ්ඩායම එම තරග 5න් 4ක් ජයග්‍රහණය කළා. එම නිසාම කාසියේ වාසිය දිනාගන්නා නායකයා පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කිරීමට ඇති ඉඩ වැඩියි.

රිවර්සයිඩ් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා 

කොදෙව් කණ්ඩායම 2000 වසරේ පැවති නැට්වෙස්ට් තරගාවලිය යටතේ මෙම පිටියේ දී ක්‍රීඩාකළ තරග 2ම පරාජය වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලාන තරගාවලියට පෙර  මෙම පිටියේ දී සහභාගි වුණු තරග 2ම එංගලන්ත කණ්ඩායම හමුවේ ජයග්‍රහණය කර තිබෙනවා. 2006 වසරේ සිට එංගලන්තය මෙම පිටියේ දී පරාජය ලබා ඇත්තේ එම තරග 2ක පමණ යි. නමුත් 2019 ලෝක කුසලාන තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව මෙම පිටියේ දී පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා.

අද පැවැත්වෙන ශ්‍රී ලංකා-කොදෙව් තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වුණු එක්දින තරග හයෙන් 5ක ජය හිමිවී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි. මෙම තරගාවලිය තුළ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම එකම මට්ටමේ කණ්ඩායම් දෙකක්  නිසා මෙම තරගය බොහෝ විට කරට කර තරගයක් වනු ඇති.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles