Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 පාපන්දු ලෝක කුසලානය දෙස හැරී බැලීමක්

2018 පාපන්දු ලෝක කුසලානය ජූලි 15 වන දා මොස්කව්හි ලුෂ්නිකි ක්‍රීඩාංගණයේ පවත්වන ලද අවසන් තරගයෙන් ප්‍රංශය ජයග්‍රහණය කිරීමත් සමග අවසන් වුණා. මෙහි දී ඔවුන් විසින් ගෝල 4-2ක් ලෙස ක්‍රොයේෂියාව පරාජය කරනු ලැබුණා.

මේ අවසන් තරගය තුළ විශේෂ සිදුවීම් රැසක් වුණා. මීට පෙර අවසන් තරගයක ගෝල හයක් හෝ ඊට වඩා වාර්තා වුණේ 1958 දි. ඒ බ්‍රසීලය සහ ස්වීඩනය අතර තරගයේ බ්‍රසීලය ගෝල 5-2ක් ලෙස ජයගත් විට යි. එම අවස්ථාවේ 17 වන වියේ වූ පේලේ ගෝල දෙකක් වාර්තා කළා.

2018 අවසන් තරගයේ දී ද ගැටවර වියේ ක්‍රීඩකයකු ගෝලයක් ලබාගත්තා. ඒ ප්‍රංශයේ කිලියන් එම්බැපේ. ඒ අනුව පේලේ සහ එම්බැපේ ලෝක කුසලාන අවසන් තරගයක ගෝල වාර්තා කළ ගැටවරයින් දෙදෙනා ලෙස ඉතිහාසගත වනවා.

එම්බැපේ (Getty Images)

ඒ වගේම ක්‍රොයේෂියාව ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලද 13 වන රට බවටත් පත් වුණා. එරට ක්‍රීඩක මැන්සුකිච් ලෝක කුසලාන අවසන් තරගයක own goal එකක් (තමන්ගේම දැලට එල්ල කළ ගෝලයකින් අනෙක් පිළට ලකුණක් ලබා දීම​) ලබාගත් පළමු ක්‍රීඩකයා වූ අතර ලෝක කුසලාන අවසන් තරගයකදී දෙපාර්ශවය වෙනුවෙන්ම ගෝල ලබාගත් පළමුවැන්නා ද වුණා. ඒ ඔහු තම පිළ වෙනුවෙන් ද ගෝලයක් වාර්තා කළ අවස්ථාවේ දී යි.

සමස්ථ තරගාවලිය තුළ ගෝල 169ක් වාර්තා වුණ අතර එය එක් තරගයකට ගෝල 2.64 ක සාමාන්‍යයක්. ඇතැම් කණ්ඩායම් ඉතා ආරක්ෂාකාරී වීම තුළ ගෝල ලබා ගැනීම අඩු වූ බවට චෝදනා එල්ල වුණා. කෙසේ නමුත් සමස්ථයක් ලෙස ගත් විට ඉතාම උද්වේගකර තරග රැසක් අපට මෙම ලෝක කුසලානය තුළ දකින්න ලැබුණා.

කුඩා කණ්ඩායම් සහ ඒක පුද්ගල කණ්ඩායම්

මෙවර ලෝක කුසලානයේ යළිත් පෙන්නුම් කළ කාරණයක් නම් කුඩා කණ්ඩායම්වලට ලෝක කුසලානයක දී විශාල දෙයක් කිරීමේ හැකියාවක් ඇති බව. ඇත්ත වශයෙන්ම ලෝක කුසලානය ඇරඹීමට පෙර බොහෝ දෙනෙකු ක්‍රොයේෂියාව අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ඉඩ ඇති රටවල් ගොන්න අතරට ඇතුලත් කළේ ද නැහැ. වැඩි දෙනෙකුගේ අවධානය යොමු වූයේ බ්‍රසීලය​, ජර්මනිය​, ආර්ජන්ටිනාව​, පෘතුගාලය​, උරුගුවේ, ස්පාඤ්ඤය, බෙල්ජියම ආදී කණ්ඩායම් වෙත යි. කෙසේ නමුත් මෙවර තරගාවලියේ දී ක්‍රොයේෂියාවට අමතරව සත්කාරක රුසියාව​, ජපානය, කොළොම්බියාව වැනි රටවල් මෙන්ම පළමු වටයෙන් ඉවත් වුව ද සෙනෙගාලය සහ අයිස්ලන්තය වැනි රටවල් ද හොඳ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළා. අයිස්ලන්තය සහ ජපානය වැනි රටවල් දිගු කාලීන සැලසුම් සහිතව පාපන්දු ක්‍රීඩාව දියුණු කරන බව ප්‍රකට කරුණක්.

ඉතින්, කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීම තුළින් සහ උපක්‍රමික වීම තුළින් කුඩා කණ්ඩායම් සාර්ථක වෙද්දී, ප්‍රතිවාදියා අවතක්සේරු කිරීම තුළින් සහ එක් ක්‍රීඩකයකු පිළිබඳ වැඩි බර තැබීමෙන් සාර්ථක වේ යයි සිතන කණ්ඩායම් අසාර්ථක වුණා. 2014 ලෝක ශූරයින් වූ ජර්මනිය මෙවර ඉතාම හොඳ කණ්ඩායමක් සහිතව ලෝක කුසලානයට පැමිණි නමුත් පළමු වටයෙන්ම ඉවත විසි වුණේ, එක්තරා දුරකට තම ප්‍රතිවාදීන් අවතක්සේරු කිරීම හේතුවෙන් බව කිව හැකියි.

ජර්මනිය දකුණු කොරියාවට පරාජය වේ යයි සිතුවේ කවුද​? (EPA)

අනෙක් අතට​, පෘතුගාලය​, ආර්ජන්ටිනාව සහ පෝලන්තය වැනි කණ්ඩායම් අවසන් සිව් දෙනා අතරට පැමිණීමට තිබූ සම් භාවිතාව ඉතා අඩු බව ඇතැමුන් මුල සිට කියා සිටි කරුණක්. ඊට හේතුව නම් ඔවුන් පිළිවෙලින් රොනාල්ඩෝ, මෙස්සි, සහ ලෙවන්ඩොව්ස්කි යන ක්‍රීඩකයන් මත තම පිළෙහි බලාපොරොත්තු තබා තිබීම යි. ලෙවන්ඩොව්ස්කි සම්පූර්ණයෙන් අසාර්ථක වෙද්දී පෝලන්තය පළමු වටයෙන්ම ඉවත විසි වූ අතර රොනාල්ඩෝ සහ මෙස්සි තම කණ්ඩායම් ඊට වඩා තරමක් දුර රැගෙන ආවා.

පාපන්දු ලෝකයේ “ලොකු රටක්” වුණත් එංගලන්තය කෙරේ මෙවර ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ. නමුත් ඔවුනට ලැබුණ අවස්ථා ද ප්‍රයෝජනයට ගෙන​, කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීම තුළින් ඔවුන් සිව් වැනි ස්ථානයට පැමිණීම කිසිදු පැකිලීමකින් තොරව​ අගය කළ යුතු සමත්කමක්.

මේ අතර ස්පාඤ්ඤයට එරෙහිව පැවති 16 දෙනාගේ වටයේ දී ඉතා උකප්‍රමශීලීව තරගය දඬුවම් පහර කරා රැගෙන යමින් රුසියාව දැක්වූ උපක්‍රමික හැකියාව අගය කළ යුතුයි. දඬුවම් පහර රැක ගැනීමේ ප්‍රවීණයකු වන නායක ඊගෝර් අකින්ෆයෙව් එදින වීරයා බවට පත් වූයේ අස්පාස් විසින් එල්ල කළ දඬුවම් පහරක් සිය පාදයෙන් වැළැක්වීමෙන්. එමෙන්ම පාපන්දු ලෝකය නොදැන සිටි තාරකා කිහිපයක්ම රුසියාවෙන් නැගී ඒම ඔවුනගේ ඉදිරි ගමනට හේතු වුණා.

මූලික වටයේ තරගවල දී හොඳින්ම ක්‍රීඩා කළ කණ්ඩායම ලෙස ඇතැම් විචාරකයන් ක්‍රොයේෂියාව අගය කළ බව පාපන්දු ලෝක කුසලාන විචාරයන්ට අවධානය යොමු කිරීමේ දී දකින්නට තිබුණු කරුණක්. එමෙන්ම බෙල්ජියම පිළිබඳව ද මුල සිටම විශාල බලාපොරොත්තු තිබුණ අතර ඔවුන් තුන්වන ස්ථානය දිනා ගැනීමෙන් එම බලාපොරොත්තුවලට සාධාරණය ඉටු කළා.

නමුත් බෙල්ජියමට එතරම් දුර පැමිණීමට තිබූ අවස්ථාව යන්තමින් ගිලිහී යාමේ ඉඩක් ජපානය සමග වූ 16 දෙනාගේ වටයේ තරගයේ දී එළඹුණා. මෙහිදී ජපානය පළමු ගෝල දෙකම වාර්තා කළ අතර බෙල්ජියම ගෝල තුනක් ලබාගෙන තරගය ජය ගැනීම ලෝක කුසලාන ඉතිහාසයේම අමතක නොවන අවස්ථාවක් වුණා.

කොළොම්බියාව සමග තරගයේදී ජපන් ක්‍රීඩකයින් (Reuters)

මේ අතර මූලික වටයේ දී කොළොම්බියාව පරාජය කරමින් දකුණු ඇමරිකානු රාජ්‍යයක් ලෝක කුසලාන පාපන්දු තරගයකදී පරාජයට පත් කළ පළමු ආසියාතික කණ්ඩායම බවට ද ජපානය පත් වුණා.

තරගාවලිය ඇදීගෙන යද්දී මුලින් එතරම්ම සුවිශේෂී දස්කම් පෙන්නුම් නොකළ ප්‍රංශය සිය රිද්මයට එනු දක්නට ලැබුණා. මෙහිදී එක් ක්‍රීඩකයකු ඉස්මතු වනු වෙනුවට ක්‍රීඩකයන් කිහිප දෙනකුම සිය දස්කම් අතරට පැමිණීම කැපී පෙනුණා. එම්බැපේ, පෝල් පොග්බා, සැමුවෙල් උම්ටීටි, බෙන්ජමින් පවාර්ඩ් ආදීන් ඒ අතරින් ප්‍රධාන වුණා. එමෙන්ම අන්ටුවන් ග්‍රීස්මන් විශේෂයෙන් ම දඬුවම් පහර සහ නිදහස් පහරවලදී ඉතාම තැන්පත් ස්වභාවයෙන් කටයුතු කරන අති දක්ෂයෙක් බව නැවතත් පෙන්නුම් කළා.

ඉතින්, 2018 පාපන්දු ලෝක කුසලානය ඉලක්ක කරගෙන මෙම වසරේ අප්‍රේල් මාසයේ දී පමණ අප ඇරඹූ “Roar සිංහල සමග පාපන්දු ලෝක කුසලානය​” විශේෂාංග පෙළ අවසන් කරන්නත් දැන් කාලය හරි. නමුත් පාපන්දු ගැන අපි දිගටම කතා කරාවි. සිංහලෙන් පාපන්දු ගැන විශේෂඥ ලිපි වැඩිපුර​ පළ නොවන නිසා අපි අන්තර්ජාතික තරග මෙන්ම ලීග් ගැනත් විස්තර ඉදිරියේ දි ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා.

Cover Image: ජයග්‍රාහී ප්‍රංශය (Getty Images)​

Related Articles