Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෙඩ රෝග වැළඳීම නිසා අකාලයේ මියගිය ක්‍රිකට් ක්‍රීඩකයන්

ක්‍රිකට් ක්‍රීඩකයන් සිය තරග දිවිය ගෙවමින් සිටිය දී හදිසි අනතුරු සහ ලෙඩ රෝග නිසා මියගිය අවස්ථාවන් රැසක් ක්‍රිකට් ඉතිහාසය තුළ හමුවනවා. එහි දී ෆිල් හියුස්, හැන්සි ක්‍රොන්යේ, රාමන් ලම්බා, මන්ජුරල් රානා, රුනාකෝ මෝටන්, කොලී ස්මිත්, බෙන් හොලියොක් වැනි ක්‍රීඩකයන් හදිසි අනතුරු නිසා මියයන තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ලෙඩ රෝගවලට ගොදුරු වීමෙන් මියගොස් තිබෙනවා. එසේ නම්, එලෙස ලෙඩ රෝග නිසා අකාලයේ මියගිය ක්‍රිකට් ක්‍රීඩකයන් 5 දෙනෙකු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම යි මේ ලිපියේ අරමුණ.

ෆ්රෙඩ් ග්‍රේස් (එංගලන්තය)- නියුමෝනියාව 

ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙසින් හැඳින්වෙන විලියම් ගිල්බට් ග්‍රේස්ගේ සොහොයුරෙකු වන ෆ්රෙඩ් ග්‍රේස්, සිය රට වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත්තේ 1880 වසරේ දී යි. එදි දී ඔහුගේ සොයුරන් වුණු විලියම් ග්‍රේස් සහ එඩ්වඩ් ග්‍රේස් ද ටෙස්ට් වරම් ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. එසේම, ෆ්රෙඩ් ග්‍රේස්ගේ සොයුරන් වුණු විලියම් සහ එඩ්වඩ් එදා එංගලන්ත ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසුණු අතර, එහි දී විලියම් ග්‍රේස් ලකුණු 152ක් ලබාගැනීමට ද සමත් වුණා. නමුත්, මංගල ටෙස්ට් තරගයේ දී දස්කම් අතරට පිවිසීමට අසමත් වුණු ෆ්රෙඩ් ග්‍රේස්, ලකුණු නොලබා දැවීගියේ පන්දු 2කට පමණක් මුහුණදෙමින්. එංගලන්තය තුළ පැවති මුල්ම ටෙස්ට් තරගය වුණු එම තරගය 1880 වසරේ සැප්තැම්බර් 8 වැනි දා නිමාව දුටුවේ එංගලන්තයට කඩුලු 5ක ජයක් උරුමකර දෙමින්. එම තරගය අවසන් වී දින කිහිපයකට පසුව සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම නිසා රෝගාතුර වුණු ෆ්රෙඩ් සැප්තැම්බර් 22 වැනි දා මියගියේ නියුමෝනියා තත්ත්වයක් උද්ගත වීමෙන්. එලෙස ෆ්රෙඩ් අකාලයේ මියයන විට ඔහු 29 හැවිරිදි වියේ පසු වුණා.

ෆ්රෙඩ් ග්‍රේස් (gettyimages)

අර්චි ජැක්සන් (ඕස්ට්‍රේලියාව)- ක්ෂය රෝගය 

ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ටෙස්ට් වරම් ලබාගත් ටෙස්ට් තරගාවලියේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත් ආර්චි ජැක්සන්, මංගල ටෙස්ට් ඉනිමේ දී ම ලකුණු 164ක් ලබාගත්තේ සමස්ත ක්‍රිකට් ලෝකයේම අවධානය දිනාගනිමින්. එදා ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි ආර්චි, සිය කණ්ඩායම 19/3 ලෙස අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ දියත් කළ ඉනිම ඉතාමත් විශිෂ්ට ගණයේ එකක් වුණා. ඉන්පසුව, වසර 2ක් පමණ අඛණ්ඩව ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ ජැක්සන්, 1931 වසරේ කොදෙව්වන්ට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ දී අසාර්ථක වුණු නිසා කණ්ඩායමෙන් ඉවතට විසි වුණා. ඉන්පසුව, එම වසරේ දී නිව් සවුත්වේල්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ තරගයක් අතරතුර ජැක්සන් රෝගාතුර වී රෝහල්ගත කළා. ඉන්පසුව, සුවය ලැබූ ජැක්සන් 1932 වසරේ දී ක්වීන්ස්ලන්තය බලා සංක්‍රමණය වුණේ එහි තිබුණු උණුසුම් කාලගුණය ඔහුගේ රෝගි තත්ත්වයට සහනයක් වනු ඇති බවට තිබුණු විශ්වාසය නිසා යි. නමුත්, එහි සිටින කාල සමය තුළත් වරින් වර රෝගී තත්ත්වයට පත් වුණු ජැක්සන්, 1933 වසරේ දී මියගියේ ක්ෂය රෝගය උත්සන්න වීමෙන්. එලෙස ආර්චි මියයන විට ඔහු 23 හැවිරිදි වියේ පසු වුණා.

ආර්චි ජැක්සන් (gettyimages)

අමර් සිං (ඉන්දියාව)- නියුමෝනියාව 

1932 වසරේ දී ඉන්දියාව සහභාගි වුණු මංගල ටෙස්ට් තරගයේ දී සිය රට වෙනුවෙන් මුල්ම ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමේ ගෞරවය හිමිකර ගත්තේ අමර් සිං පිතිකරුවා යි. එසේම, මොහු ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු සුපිරි තරුවක් බවට පත් වුණේ, රංජි කුසලාන තරග ඉතිහාසයේ කඩුලු 100ක් සහ ලකුණු 1000ක් ලබාගත් මුල්ම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වෙමින්. පිත්තට අමතරව සිය ටෙස්ට් ක්‍රිකට් දීවිය තුළ දී පන්දුවෙන් ද කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණු අමර් සිං, එංගලන්තය හමුවේ 86/7 සහ 35/6 ලෙසින් කඩුලු ලබාගැනීමට සමත් වුණා. පළමු පෙළ තරගවල දී ලකුණු 3,344ක් ලබාගෙන කඩුලු 506ක් බිඳදැමීමට සමත් වුණු මෙම ක්‍රීඩකයා, 29 හැවිරිදි වියේ දී මියගියේ නියුමෝනියාව වැළඳීමෙන්. 

අමර් සිං 1936 වසරේ දී පන්දු යවමින් (gettyimages)

සිරිල් ක්‍රිස්ටියානි (බටහිර ඉන්දීය කොදෙව්)- මැලේරියාව 

1913 වසරේ ගයනාහි දී උපත ලැබූ සිරිල් ක්‍රිස්ටියානි, 1935 වසරේ දී කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුවා. එදා  එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ දී කොදෙව් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින් ක්‍රීඩා කළ ක්‍රිස්ටියානි, තරග තුළ ඉනිම් 8ක දී ලබාගත්තේ ලකුණු 98ක් පමණයි. එලෙස මංගල තරගාවලියේ දී දස්කම් පිවිසීමට අසමත් වුණු ක්‍රිස්ටියානිට එම තරගාවලියෙන් පසුව කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා. ඉන් අනතුරුව, ගයනාව වෙනුවෙන් පළමු පෙළ තරග ක්‍රීඩා කළ ක්‍රිස්ටියානි 24 හැවිරිදි වියේ සිටිය දී මියගියේ මැලේරියාව වැළඳීමෙන්. 

සිරිල් ක්‍රිස්ටියානි (alamy)

ට්‍රෙවර් මැඩොන්ඩෝ (සිම්බාබ්වේ)- මැලේරියාව 

1998 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින වරම් දිනාගත් මැඩොන්ඩෝ ටෙස්ට් තරග 3කට සහ එක්දින තරග 13කට සහභාගි වී තිබෙනවා. එහි දී මැඩොන්ඩෝ සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම ලෙසින් 2000 වසරේ අග භාගයේ දී නොදැවී ලකුණු 74ක් ලබාගත්තේ කිවි බිමේ දී සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට සවියක් වෙමින්. 2000 වසරේ දී ම ඉන්දීය කණ්ඩායමට එරෙහිව රාජ්කොට් නුවර දී පැවති එක්දින තරගයක ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසි මැඩොන්ඩෝ, පන්දු 70කින් ලකුණු 71ක් ලබාගත්තේ සිය එක්දින දිවියේ ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කර ගනිමින්. එලෙස සිය කණ්ඩායම තුළ ස්ථානයක් දිනාගැනීමට උත්සාහ කරමින් සිටි මෙම තරුණ පිතිකරුවා, 2001 වසරේ ජූනි මාසයේ දී මැලේරියා රෝගය වැළඳී මියයන විට 24 හැවිරිදි වියේ පසු වුණා. 

ට්‍රෙවෝ මැඩොන්ඩෝ (gettyimages)

කවරයේ ඡායාරූපය- මැඩොන්ඩෝ සිය හොඳම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරමින් (gettyimages)

Related Articles