Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසය උණුසුම් කළ මුම්බායි සහ චෙන්නායි අවසන් තරග

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේ දී මුම්බායි ඉන්දියන් කණ්ඩායම විසින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 1ක තියුණු ජයක් ලබාගත්තා. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ අවසන් තරග 4ක දී උරෙනුර ගැටී ඇති මෙම කණ්ඩායම් දෙක තරගාවලි ඉතිහාසයේ අවසන් තරගවල දී වැඩිම වාර ගණනක් එකිනෙකා මුණ ගැසී තිබෙන කණ්ඩායම් 2 යි. එම නිසා ම මෙම ලිපිය වෙන්වන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ මුම්බායි කණ්ඩායම සහ චෙන්නායි කණ්ඩායම මුණගැසුණු එම අවසන් තරග පිළිබඳව තොරතුරු ඔබට ඉදිරිපත් කිරීමට යි.

මුම්බායි කණ්ඩායම පරදවා චෙන්නායි කණ්ඩායම මුල්මවරට ඉන්දීය ප්‍රිමියර් ලීග් කිරුළ හිමිකර ගත් 2010 අවසන් තරගය

2010 වසරේ අප්‍රේල් 25 වැනි දා මුම්බායි හි දී පැවති මෙම අවසන් තරගයේ කාසියේ වාසිය චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළත්, දිල්හාර ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම ඉදිරියේ චෙන්නායි කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 67ක් තුළ දැවී ගියා.

දිල්හාර අවසන් තරගයේ පන්දු යවමින් (Inside sports)

ලකුණු 67කට කඩුලු 3ක් දැවී ගොස් තිබුණු අවස්ථාවේ පිටියේ එක්වුණු සුරේෂ් රයිනා සහ මහේන්ද්‍ර සිං දෝනි, 4වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ අගනා ලකුණු 72ක සබඳතාවය නිසා චෙන්නායි ඉනිම 139/3 බවට පත්වුණේ මුම්බායි කණ්ඩායමෙන් තරගය උදුරා ගනිමිනුයි.

දෝනි වේගවත් පහරක් එල්ල කරමින්(tyronesystems.com)

දෝනි සහ රයිනා ගොඩනැගූ එම අගනා සබඳතාවය දෝනි දැවී යාමත් සමග බිඳ වැටුණත් සුරේෂ් රයිනා පන්දු 35කින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමගින් ලබාගත් අගනා ලකුණු 57 නිසා, නියමිත පන්දුවාර 20 අවසානයේ දී චෙන්නායි කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 168ක් ලබාගත්තේ මුම්බායි කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්.

රයිනා අර්ධ ශතකය ලබාගත් අවස්ථාව (The ring side view)

ඉන්පසුව ලකුණු 169ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ටෙන්ඩුල්කාර් ලකුණු 48ක් ලබාගෙන පිත්තෙන් සාර්ථක වුවත්, සෙසු පිතිකරුවන්ට අපේක්ෂිත දස්කම් පෙන්වීමට නොහැකි වීම නිසා මුම්බායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 146ක් පමණයි.

සචින් ටෙන්ඩුල්කාර් (crickwizz)

කෙටි ලකුණු පුවරුව

චෙන්නායි සුපර් කිංග්ස්-168/5 (20), (රයිනා-57,විජේ-26,දෝනි-22, දිල්හාර-23/2)

මුම්බායි ඉන්දියන්ස්-146/9(20), (ටෙන්ඩුල්කාර්-48,පොලාර්ඩ්-27,නායර්-27, ජකාටි-26/2)

තරගයේ වීරයා- සුරේෂ් රයිනා

පොලාර්ඩ්ගේ සුපිරි ඉනිම නිසා 2013 ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාවය මුම්බායි කණ්ඩායමට

කල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් පිටියේ දී පැවති 2013 ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් තරගයේ දී කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 52ක් තුළ දැවී ගියත්, ඉන් නොසැලුණු රයිදු සහ පොලාර්ඩ් ලකුණු 48ක් ලකුණු පුවරුවට එකතු කළේ කණ්ඩායමේ ලකුණු තත්ත්වය 100/4ක් දක්වා ඉහළ නංවමින්. නමුත්, එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ඩ්වේන් බ්‍රාවෝ ඉක්මනින්ම කඩුලු 4ක් දවාගැනීම නිසා මුම්බායි ලකුණු පුවරුව 135/9 බවට පත්වුණේ තරගය චෙන්නායි කණ්ඩායම දෙසට නැවතත් නැඹුරු වෙමින්.

බ්‍රාවෝ කඩුල්ලක් ලබා ගැනීමේ සතුට සමරමින් (ESPNcricinfo)

එලෙස චෙන්නායි පන්දු යවන්නන්ගෙන් එල්ල වුණු පීඩනය හමුවේ ඉතාමත් දක්ෂ ඉනිමක් ක්‍රීඩා කළ කිරන් පොලාර්ඩ්, පන්දු 32ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලබාගත් ලකුණු 60 නිසා අවසානයේ දී මුම්බායි ඉනිම සටහන් වුණේ 148/9ක් ලෙස යි.

පොලාර්ඩ් අර්ධ ශතකය ලබාගත් අවස්ථාව (IPLt20.com)

අනතුරුව ලකුණු 149ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි චෙන්නායි කණ්ඩායමේ මුල් කඩුලු 2ක ලෙසින් මයික් හසී සහ සුරේෂ් රයිනා, ලකුණු 2ක් තුළ දවා ගැනීමට මාලිංග සමත් වුණේ මුම්බායි කණ්ඩායමට විශිෂ්ට ආරම්භයක් ලබාදෙමින්.

මාලිංග කඩුල්ලක් දවා ගැනීමෙන් අනතුරුව (dinesh karthik wordpress.com)

ලකුණු 2කට කඩුලු 2ක් දැවී අසරණව සිටි චෙන්නායි කණ්ඩායමේ පිතිකරුවන්ට මිචෙල් ජොන්සන් සහ හර්බජාන් සිං දිගින් දිගටම එල්ල කළ පීඩනය නිසාම චෙන්නායි කණ්ඩායමේ කඩුලු එකින් එක බිඳ වැටුණේ ඔවුන්ගේ ලකුණු පුවරුව 58/8 බවට පත් කරමින්.

මිචෙල් ජොන්සන් කඩුල්ලක් දවාගෙන ප්‍රීතියට පත්වෙමින් (Iplt20.com)

එලෙස ලකුණු 58කට කඩුලු 8ක් දැවී ගොස් තම කණ්ඩායම අසරණ වුණු මොහොතේ ක්‍රියාත්මක වුණු නායක මහේන්ද්‍ර සි දෝනි පන්දු 45කින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 63ක් ලබා ගත්තත් චෙන්නායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකි වුණේ ලකුණු 125ක් පමණයි.

දෝනිගේ ඉනිමේ අවස්ථාවක් (sportskeeda)

කෙටි ලකුණු පුවරුව

මුම්බායි ඉන්දියන්ස්- 148/9(20), (පොලාර්ඩ්-60*, රයුදු-37, බ්‍රාව්ප්ප්-42/4, ඇල්බි මෝකල්-12/2)

චෙන්නායි සුපර් කිංග්ස්- 125/9(20), (දෝනි-63*, විජේ-18,  හර්බජාන්-14/2, ජොන්සන්-19/2, මාලිංග-22/2)

තරගයේ වීරයා- කිරන් පොලාර්ඩ්

රෝහිත්-සිමන්ස් ශතක සබඳතාවය නිසා 2015 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් කිරුළ මුම්බායි කණ්ඩායමට

2015 වසරේ මැයි 24 වැනි දා කල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් පිටියේ දී පැවති මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 202ක් ලබා ගත්තේ සිමන්ස් සහ රෝහිත්, 2 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 119ක සබඳතාවය මෙන්ම පොලාර්ඩ් සහ රයුදු විසින් 4වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 71ක සබඳතාවයන් නිසා යි.

රෝහිත්-සිමන්ස් සබඳතාවයේ එක් අවස්ථාවක් (Thewire.com)

ලකුණු 203ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය චෙන්නායි කණ්ඩායම ඩ්වේන් ස්මිත් ලබාගත් ලකුණු 57 නිසා එක් අවස්ථාවක 88/1 ලෙස ප්‍රබල ස්ථානයක පසුවුණේ මුම්බායි කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්.

ඩ්වේන් ස්මිත් පන්දුවට පහරදෙමින් (cricktracker)

නමුත්, එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු හර්බජාන් සිං විසින් ස්මිත්ව සහ රයිනාව දවා ගැනීම නිසා 99/3ක් බවට පත්වුණු චෙන්නායි ලකුණු පුවරුව 108/4ක් බවට පත්වුණේ, බ්‍රාවෝ ලකුණු 9කට මැක්ලනගන්ගේ පන්දුවක් හමුවේ දැවී යාම නිසා යි.

මැක්ලනගන් කඩුල්ලක් දවා ගනිමින් (cricinfo)

108/4 ලෙස චෙන්නායි කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන් වුණු අවස්ථාවේ නායක දෝනි පන්දු 18කට මාලිංගගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැඳී දැවී යාමත් සමග ම කඩාවැටුණු චෙන්නායි ඉනිම, නියමිත පන්දුවාර 20 අවසානයේ දී 161/8 ලෙසින් සටහන් වුණේ මුම්බායි කණ්ඩායමට ලකුණු 41ක ජයක් උරුමකර දෙමින්.

මාලිංග විසින් දෝනිව දවාගත් මොහොත (ESPNcricinfo)

කෙටි ලකුණු පුවරුව

මුම්බායි ඉන්දියන්ස්- 202/5(20), (සිමන්ස්-68, රෝහිත්-50, බ්‍රාවෝ-36/2)

චෙන්නායි සුපර් කිංග්ස්- 161/8(20), (ස්මිත්-57, රයිනා-28, මැක්ලනගන්-25/3, මාලිංග-25/2)

තරගයේ වීරයා- රෝහිත් ෂර්මා

මාලිංගගේ සුපිරි අවසන් පන්දුව නිසා මුම්බායි කණ්ඩායමට තියුණු ජයක් උරුමකරදුන් 2019 අවසන් තරගය

2019 වසරේ මැයි 12 වැනි දා හයිද්‍රාබාද් හි දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා, මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගත්තත් තාහීර් සහ ටාකූර් ඉතාමත් හොඳින් පන්දු යැවූ නිසා, මුම්බායි කණ්ඩායමේ මුල් කඩුලු 5ම පන්දුවාර 14.4ක් තුළ ලකුණු 101කට බිඳ වැටුණා. නමුත්, එම අවස්ථාවේ පිටියේ එක්වුණු හාර්දික් පාණ්ඩ්‍යා සහ කිරන් පොලාර්ඩ් පන්දු 22කින් ලකුණු 39ක් කණ්ඩායමට එකතු කළත්, දීපක්  චහාර් 19 වන පන්දුවාරයේ දී කඩුලු 2ක් ලබාගැනීම නිසා මුම්බායි ලකුණු පුවරුව 140/7 බවට පත්වුණා.

චහාර් කඩුල්ලක් දවා ගනිමින් (hindustan times)

නමුත් මුම්බායි කණ්ඩායම වෙනුවෙන් පන්දු 25කින් හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක්  සමගින් පොලාර්ඩ් නොදැවී ලබාගත් ලකුණු 41 නිසා, නියමිත පන්දුවාර 20 අවසානයේ දී මුම්බායි කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 149ක් ලබාගත්තේ චෙන්නායි කණ්ඩායමට අභියෝගාත්මක ඉලක්කයක් ලබාදෙමින්.

පොලාර්ඩ් පහරක් එල්ල කරමින් (India today)

ඉන්පසුව ලකුණු 150ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ෂේන් වොට්සන් දියත් කළ සුපිරි පිතිහරඹය නිසා,  පන්දුවාර 19ක් අවසානයේ දී ඔවුන් කඩුලු 5ක් දැවී 141ක් ලබා සිටියා. එම අවස්ථාවේ අවසන් පන්දුවාරය යැවූ ලසිත් මාලිංග, පළමු පන්දු 4ට ලකුණු 5ක් ලබාදුන් අතරතුර ෂේන් වොට්සන් ලකුණු 80කට දුවද්දී දැවී ගියේ ජයග්‍රාහී ඉලක්කය පන්දු 2ක් තුළ ලකුණු 4ක් කරමින්. එම අවස්ථාවේ නව පිතිකරු ටාකූර් පළමු පන්දුවට ලකුණු 2ක් ලබාගැනීම නිසා චෙන්නායි කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට ලකුණු 2ක් අවශ්‍ය වුණා. එහි දී ඉතාමත් විශිෂ්ට අයුරින් එම අවසන් පන්දුව යැවූ මාලිංග මුම්බායි කණ්ඩායමට ලකුණු 1ක තියුණු ජයක් උරුමකර දුන්නේ අවසන් පන්දුවේ දී ටාකූර්ව කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගනිමින්.

මාලිංග අවසන් කඩුල්ල ලබාගත් අවස්ථාව (Iplt20.com)

කෙටි ලකුණු පුවරුව

මුම්බායි ඉන්දියන්ස්- 149/8(20), (පොලාර්ඩ්-41*, කොක්-29, චහාර්-26/3, තාහීර්-23/2)

චෙන්නායි සුපර් කිංග්ස්- 148/7(20), (වොට්සන්-80, ෆ්ලෙසිස්-26, බූම්රා -14/2)

තරගයේ වීරයා- ජස්ප්‍රිට් බූම්රා

කවරයේ ඡායාරූපය- රෝහිත් සහ දෝනි (news18.com)

Related Articles