Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් අතරට එක්වුණු මාලිංග

1975 වසරේ සිට මේ දක්වා එක්දින ලෝක කුසලාන තරගාවලි 12ක් පවත්වා තිබෙනවා. ලෝක ක්‍රිකට් පිටියේ බිහිවුණු සුපිරිම පන්දු යවන්නන් එම තරගාවලි සඳහා ක්‍රීඩා කළා. ඒ අතුරින් සමහර පන්දු යවන්නන්ට සුපිරි දස්කම් පෙන්වීමට හැකි වුණත් සමහර පන්දු යවන්නන්ට එලෙස දස්කම් පෙන්වීමට වාසනාව තිබුණේ නැහැ. එලෙස දක්ෂතාවය සහ වාසනාව තිබුණු පන්දු යවන්නන් අතුරින් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ දී ලබාගත් කඩුලු 13ත් සමගින් මාලිංග එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් අතර තෙවන ස්ථානයට පත්වුණා. එම නිසාම මෙම ලිපිය වෙන්වන්නේ එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් තිදෙනා ලෝක කුසලාන තරගවල දී දැක්වූ දස්කම් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.

ග්ලේන් මැග්‍රාත් (ඕස්ට්‍රේලියාව) – කඩුලු 71

1996-2007 කාල සමය තුළ ලෝක කුසලාන තරගාවලි 4ක් සඳහා ක්‍රීඩා කිරීමට ග්ලේන් මැග්‍රාත්ට අවස්ථාව ලැබුණා. එම ලෝක කුසලාන තරගාවලි සියල්ලේම අවසන් තරගය සඳහා ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකිවුණා. ඒ අතුරින් තරගාවලි 3කම ශූරතාවයත් ඔවුන්ට හිමිවුණා. එහිදී 2007 එක්දින ලෝක කුසලාන තරගාවලිය මැග්‍රාත්ට අමතක නොවන එකක් වුණේ එම තරගාවලියේ වීරයා බවට පත්වීමට ඔහුට අවස්ථාව ලැබුණු නිසා යි. එසේම එම තරගාවලිය තුළ කඩුලු 26ක් ලබාගත් මැග්‍රාත් ඒ වන විට තනි එක්දින ලෝක කුසලාන තරගාවලියක වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා බවටත් පත්වුණා.

ලෝක කුසලාන දිවියේ මැග්‍රාත්ගේ අමතක නොවන පන්දු යැවීම් 

1999 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වුණු ඕස්ට්‍රේලියා-කොදෙව් තරගය ඉතාමත් තීරණාත්මක එකක් වුණේ එම තරගයේ ජයග්‍රාහකයන් ඊළඟ වටය සඳහා සුදුසුකම් ලැබීමට නියමිතව තිබීම යි. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායමේ බලාපොරොත්තු සුන්කළ මැග්‍රාත් ලකුණු 14කට කඩුලු 5ක් දවාගනිමින් කොදෙව් ඉනිම ලකුණු 110ක ට සීමා කළා.

මැග්‍රාත් කොදෙව්වන්ට එරෙහිව පන්දු යවමින් (gettyimages)

2003 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඕස්ට්‍රේලියාව සහ නැම්බියාව අතර තරගයේ දි නැම්බියාවට ලකුණු 302ක ඉලක්කයක් හඹා යාමට සිදුවුණා. එහිදී නැම්බියානු ඉනිම ලකුණු 45කට සීමා කිරීම සඳහා මැග්‍රාත් දායක වුණේ ලකුණු 15කට කඩුලු 7ක් දවාගනිමින්. එදා මැග්‍රාත් ලබාගත් එම කඩුලු 7 අදටත් එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා අතර රැඳී තිබෙනවා.

මැග්‍රාත් නැම්බියාවට එරෙහිව පන්දු යවමින් (gettyimages)

මැග්‍රාත්ගේ එක්දින ලෝක කුසලාන පන්දු යැවීමේ දත්තයන් 

ඉනිම් – 39

පන්දුවාර 325.5

නිළකුණු පන්දුවාර – 42

ලකුණු – 1292

කඩුලු – 71

පන්දු යැවීමේ සාමාන්‍ය – 18.19

හොඳම පන්දු යැවීම – 15/7 නැම්බියාවට එරෙහිව 

පන්දුවාරයකට ලකුණු – 3.96

ප්‍රහාරක වේගය – 27.5

මැග්‍රාත් 2007 ලෝක කුසලාන තරගාවලිය තුළ දස්කම් දක්වමින් (gettyimages)

මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව ) – කඩුලු 68

1996-2011 කාල සමය තුළ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලි 5ක් සඳහා මුරලිදරන් ක්‍රීඩා කළා. එහිදී 1996, 2007 සහ 2011 ලෝක කුසලාන අවසන් තරග සඳහා ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නේ වුණේ මොහු යි. මුරලිදරන් ක්‍රීඩාකළ ලෝක කුසලාන තරගාවලි අතුරින් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත්තේ 2007 තරගාවලියේ දී යි. එහිදී කඩුලු 23ක් දවාගත් මුරලි තනි ලෝක කුසලාන තරගාවලියක වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් දඟ පන්දු යවන්නා ලෙසින් වාර්තා අතරට එක්වුණා.

ලෝක කුසලාන දිවියේ මුරලිදරන්ගේ අමතක නොවන පන්දු යැවීම් 

2007 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණේ සැබීනා පාක් පිටියේ දී යි. එම තරගයේ දී ලකුණු 290ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම ලකුණු 208ක ට සීමා කිරීමට දායක වුණු මුරලි ලකුණු 31ක ට දවාගත් කඩුලු ප්‍රමාණය 4ක්.

මුරලි කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් (gettyimages)

2011 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති මූලික වටයේ තරගයක දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය තරග වැදුණා. එහිදී ලකුණු 266ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය 88/3ක් ලෙසින් පසුවුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු මුරලිදරන් 25/4ක් ලෙසින් සිදුකළ මනරම් පන්දු යැවීම ඉදිරියේ නවසීලන්ත ඉනිම ලකුණු 153ක ට සීමාවුණා. එදා මුරලිදරන් හමුවේ කේන් විලියම්සන්, රොස් ටේලර්, ස්කොට් ස්ටයිරිස්, සහ ජේම්ස් ෆ්රෑන්ක්ලීන් යන පිතිකරුවන් දැවීගියා.

මුරලි නවසීලන්තයට එරෙහිව පන්දු යවමින් (gettyimages)

මුරලිදරන්ගේ එක්දින ලෝක කුසලාන පන්දු යැවීමේ දත්තයන් 

ඉනිම් – 39

පන්දුවාර 343.3

නිළකුණු පන්දුවාර – 15

ලකුණු – 1335

කඩුලු – 68

පන්දු යැවීමේ සාමාන්‍ය – 19.63

හොඳම පන්දු යැවීම – 19/4 අයර්ලන්තය එරෙහිව 

පන්දුවාරයකට ලකුණු – 3.88

ප්‍රහාරක වේගය – 30.3

මුරලිදරන් 2007 ලෝක කුසලාන තරගාවලිය තුළ දස්කම් දක්වමින් (gettyimages)

ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව ) – කඩුලු 56

2007-2019 කාල සමය තුළ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලි 4ක් සඳහා මාලිංග සහභාගි වුණා. එහිදී මාලිංගට 2007 සහ 2011 ලෝක කුසලාන අවසන් තරග සඳහා සහභාගි වීමට අවස්ථාව ලැබුණා. මාලිංග එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ත්‍රිත්ව ප්‍රමාණයක් ලබාගත් පන්දු යවන්නා යි. ඔහු එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ ලබාගත් කඩුලු ත්‍රිත්ව 2ක අතුරින් සුවිශේෂී වන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත් ද්විත්ව කඩුලු ත්‍රිත්වය යි. එහිදී ඔහු පිට පිටම පන්දු 4කි න් ලබාගත් කඩුලු 4 ක ක්‍රිකට් ඉතිහාසයේ දක්නට ලැබුණු විරල දස්කමක්.

ලෝක කුසලාන දිවියේ මාලිංගගේ අමතක නොවන පන්දු යැවීම් 

2007 කුසලාන තරගාවලිය යටතේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී පිට පිටම පන්දු 4කි න් පොලොක්, හෝල්, කලිස් සහ එන්ටිනි යන පිතිකරුවන් සිව්දෙනාව දවාගත්තා. එදා මාලිංග ලබාගත් එම ද්විත්ව කඩුලු ත්‍රිත්වය ඉතාමත් විරල ගණයේ දස්කමක් වුණා.

මාලිංග විසින් එන්ටිනිව දවාගත් අවස්ථාව (gettyimages)

2011 ලෝක කුසලාන තරගාවලිය යටතේ කෙන්යානු කණ්ඩායමට එරෙහිව තරගයේ දී මාලිංග ලකුණු 38කට කඩුලු 6ක් දවාගත්තේ එක්දින දිවියේ ඔහුගේ හොඳම පන්දු යැවීම සටහන් කරමින්. එහිදී ටන්මේ මිෂ්රා, පීටර් ඔන්ගොන්ඩෝ, සහ සෑම් එන්ගොචේ යන පිතිකරුවන්ව පිට පිටම පන්දු 3ක දී දවාගැනීමට මාලිංග සමත් වුණේ තවත් කඩුලු ත්‍රිත්වයක් සම්පූර්ණ කරමින්.

මාලිංග කඩුලු ත්‍රිත්වය දවාගත් අවස්ථාව (gettyimages)

2019 ලෝක කුසලාන තරගාවලිය යටතේ හෙඩිංලි පිටියේ පැවැත්වුණු ශ්‍රී ලංකා-එංගලන්ත තරගයේ දී එංගලන්ත කණ්ඩායමට ලැබුණු ජයග්‍රාහී ඉලක්කය ලකුණු 233ක්. එම ඉලක්කය එංගලන්තය පහසුවෙන් හඹා යනු ඇතැයි බොහෝ දෙනා සිතුවත් මාලිංග ලකුණු 43කට කඩුලු 4ක් දවාගනිමින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා එංගලන්ත ඉනිම ලකුණු 212කට සීමාවුණා. එහිදී මාලිංගගේ පන්දු හමුවේ බෙයාස්ට්‍රෝ, වින්ස්, රූට්, සහ බට්ලර් යන පිතිකරුවන් දැවීගියා.

මාලිංග එංගලන්තයට එරෙහිව පන්දු යවමින් (gettyimages)

මාලිංගගේ එක්දින ලෝක කුසලාන පන්දු යැවීමේ දත්තයන් 

ඉනිම් – 28

පන්දුවාර 232.2

නිළකුණු පන්දුවාර – 11

ලකුණු – 1281

කඩුලු – 56

පන්දු යැවීමේ සාමාන්‍ය – 22.87

හොඳම පන්දු යැවීම – 38/6 කෙන්යාවට එරෙහිව 

පන්දුවාරයකට ලකුණු – 5.51

ප්‍රහාරක වේගය – 24.8

මාලිංග 2011 ලෝක කුසලාන තරගාවලිය තුළ දස්කම් දක්වමින් (gettyimages)

මැග්‍රාත්ගේ කඩුලු 71ක එක්දින ලෝක කුසලාන වාර්තාව පසුපස ලුහුබඳිමින් සිටින්නේ ඔහුගේම රටේ පන්දු යවන්නෙකු වන මිචෙල් ස්ටාක්. 2019 ලෝක කුසලාන තරගාවලිය අවසන් වනවිට ස්ටාක් තරග 18ක් තුළ ලබා සිටි කඩුලු ප්‍රමාණය 49ක්. මේ වන විට 29 හැවිරිදි වියේ පසුවන ස්ටාක් තවත් ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩා කළොත් මැග්‍රාත් සතු වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව ඔහු සතුවනු ඇති. එසේම ස්ටාක් තනි එක්දින ලෝක කුසලාන තරගාවලියක වැඩිම කඩුලු ලාභියා ලෙසින් මැග්‍රාත් තබා තිබුණු වාර්තාව මෙම ලෝක කුසලාන තරගාවලිය තුළ බිඳ දැමීම පිළිබඳවත් මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතු යි.

කවරයේ ඡායාරූපය - මාලිංග 2019 ලෝක කුසලාන තරගාවලිය තුළ දස්කම් දක්වමින් (gettyimages)

Related Articles