Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔලිම්පික් ඉතිහාසයේ අප්‍රසිද්ධ කතා 4 ක් 

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වෙන්නේ ජපානයේ දී. මෙම ජූලි 23 සිට අගෝස්තු 8 දක්වා ජපාන අගනුවර වන ටෝකියෝ නුවර දී තරගාවලිය පැවැත්වීමට නියමිත යි. ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙකු සහභාගී වනවා. ලෝකයේ අසිරිමත් ම ක්‍රීඩා සැණකෙළිය ලෙස සලකන්නේ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ යි. 1896 වසරේ ග්‍රීසියේ, ඇතන්ස් හි දී ආරම්භ වුණු නූතන ඔලිම්පික් තරගාවලිය වසර 4කට වරක් පැවැත්වෙනවා. රටවල් රැසක සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන මෙම ක්‍රීඩා සැණකෙළියේ ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී අමතක නොවන සිදුවීම් එමටයි. ඒ අතරින් වාර්තා වුණු අමතක නොවන සිදුවීම් කිහිපයක් පිළිබඳව යි මේ.  

1) ස්පාඤ්ඤ කෑම වේලක් නිසා අහිමි වුණු රන් පදක්කම 

90 දශකයේ දී ලෝක මලල ක්‍රීඩා පිටිය වර්ණවත් කළ කෙටි දුර ධාවන ශූරයෙකු වූ ඇමරිකාවේ මයිකල් ජොන්සන්, මීටර් 200 සහ 400 යන තරග ඉසව් නියෝජනය කළා. එදා මලල ක්‍රීඩා පිටියේ දී සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණු ජොන්සන්, එක්තරා යුගයක මීටර් 200 සහ 400 යන ඉසව් ද්විත්වයේ ම ලෝක වාර්තාව හිමි කරගෙන සිටියා. එලෙසින් සුපිරි තරුවක් බවට පත් වුණු ඔහු, 1991 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මුල්ම වරට සියලු දෙනාගේ අවධානය දිනාගැනීමට සමත් වුණා.

එදා ජපානයේ-ටෝකියෝ නුවර පැවති එම තරගාවලිය සඳහා සහභාගී වුණු මොහු, නැම්බියාවේ ප්‍රෑන්ක් ප්‍රෙඩික්ස් පරාජයට පත් කරමින් මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා. එහි දී තත්පර 20.01ක කාලයකින් තරගය නිමා කළ ජොන්සන්ට නව තරගාවලි වාර්තාවක් බිහි කිරීමට හැකියාව ලැබුණා. එනිසා ම ඔහු, 1992 බාර්සිලෝනා ඔලිම්පික් උලෙළේ මීටර් 200 ඉසව්ව ද ජයගනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා. එම රන් පදක්කම ලබාගැනීම ජොන්සන්ගේ ද අභිලාෂය වුණා.

බාර්සිලෝනා ඔලිම්පික් තරගාවලියේ මීටර් 200 තරග ඉසව්වේ මූලික වටය සහ අර්ධ අවසන් පූර්ව වටය ක්‍රියාත්මක වුණේ, 1992 අගෝස්තු 3 වැනිදා. එහි දී දක්ෂ ලෙස තරග කළ ජොන්සන්, පහසුවෙන් ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා. අවසන් පූර්ව වටයේ තරග පැවැත්වීමට නියමිත ව තිබුණේ, අගෝස්තු 5 වැනිදා යි. ඊට පෙර දින උදෑසන ජොන්සන් ගත් ස්පාඤ්ඤ ආහාර වේලක් නිසා ඔහුට උදරාබාධයක් ඇති වුණා. එනිසා ජොන්සන් අවසන් පූර්ව තරගය සඳහා සහභාගී වන විට සිටියේ යහපත් සෞඛ්‍යය තත්ත්වයෙන් නෙවෙයි. එහෙයින් ඉතා අසීරුවෙන් තරග බිමට පිවිසි ජොන්සන්ට අවසන් පූර්ව තරගයේ දී හිමි වුණේ 6 වන ස්ථානය යි. එදා ඔහු ස්පාඤ්ඤ කෑම වේලක් නිසා රන් පදක්කම අහිමි කරගත්ත ද, 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උලෙළේ දී ලෝක වාර්තාවක් සමඟින් මීටර් 200 ඉසව්ව ජයගත් බව මෙහි දී සිහිපත් කළ යුතුයි.  

මයිකල් ජොන්සන් මීටර් 200 ලෝක වාර්තාව බිහි කළ අවස්ථාව-usopm.org

2) අහම්බෙන් හමුවුණු ඔලිම්පික් රන් පදක්කම 

සිම්බාබ්වේ දේශය ඔලිම්පික් ඉතිහාසය තුළ දිනාගෙන තිබෙන්නේ රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 4ක් සහ එක් ලෝකඩ පදක්කමක් පමණ යි. ඒ අතුරින් ඔවුන් දිනාගත් පළමු ඔලිම්පික් පදක්කම උරුම වූයේ අහම්බයකින් බව ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවි. 1980 මොස්කව් ඔලිම්පික් තරගාවලියේ දී සිදුවුණු එම අපූරු සිදුවීම හේතුවෙන් සමස්ත ක්‍රීඩා ලෝකය ම කැලඹුණා. 

සෝවියට් හමුදා1979 වසරේ අගභාගයේ දී ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළා. එයට විරෝධය දැක්වීමක් ලෙස සෝවියට් රුසියාවට ඔලිම්පික් තරගාවලිය සංවිධානය කිරීමට ඉඩ නොදෙන ලෙස අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල්  ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලා සිටියා.අවසානයේ දී සෝවියට් රුසියාවේ, මොස්කව් නුවර දී ඔලිම්පික් තරගාවලිය අනිවාර්යයෙන් ම පැවැත්වෙන බව තීරණය වීමත් සමඟ ම අමෙරිකාව ඇතුළු බටහිර රටවල් 65ක් තරගාවලිය වර්ජනය කළා. නූතන ඔලිම්පික් තරගාවලි ඉතිහාසය තුළ වැඩි ම රටවල් ප්‍රමාණයක් තරගාවලිය වර්ජනය කළ අවස්ථාව යි මේ.

ඒ සමඟ ම සමහර තරග ඉසව් සඳහා සහභාගී වුණු කණ්ඩායම් ප්‍රමාණය අවම මට්ටමක පැවතුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් හොකී කාන්තා තරග සඳහා සහභාගී වීමට නියමිත ව සිටියේ කණ්ඩායම් 5ක් පමණ යි. එනිසා ඔලිම්පික් තරග සංවිධායකයන් තරගාවලිය ආරම්භ වීමට දින 35කට පමණ පෙර කාන්තා හොකී තරග සඳහා තවත් රටවල් කිහිපයකට ආරාධනා කළා. ඒ වන විට තරගාවලිය සඳහා කිසිදු සූදානමක් නොතිබුණු නිසා බොහෝ රටවල් එම ඇරියුම ප්‍රතිකේෂ්ප කළා. සිම්බාබ්වේ දේශය එම ආරාධනාව පිළිගනිමින් ඔලිම්පික් උලෙළ සඳහා කාන්තා හොකී කණ්ඩායමක් ඉදිරිපත් කළා. එය 1964 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියෙන් පසු ව සිම්බාබ්වේ දේශය ඔලිම්පික් උලෙළක් නියෝජනය කළ මුල්ම අවස්ථාව බවට පත් වුණා.

එදා ලහිලහියේ ම කාන්තා හොකී කණ්ඩායමක් තෝරා ගත් සිම්බාබ්වේ ක්‍රීඩා බලධාරීන්, ඉක්මනින් ම පුහුණුවීම් කටයුතු ආරම්භ කළා. එහි දී අවම පහසුකම් යටතේ පුහුණුවීම් සිදුකළ සිම්බාබ්වේ ක්‍රීඩිකාවන්ට කෘත්‍රීම හොකී පිටියක ක්‍රීඩා කරන්නටවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අයුරින් හදිසියේ ම තරග බිමට ගිය සිම්බාබ්වේ ක්‍රීඩිකාවන්ට තරග වැදීමට සිදුවුණේ ඉන්දියාව, ඔස්ට්‍රියාව, චෙකොස්ලෝවැකියාව, පෝලන්තය සහ සෝවියට් රුසියාව යන රටවල් සමඟ යි. එදා කිසිවකු බලාපොරොත්තු නොවුණු ආකාරයේ සුපිරි දස්කම් දැක්වූ සිම්බාබ්වේ ක්‍රීඩිකාවන් පෝලන්තය 4-0, සෝවියට් රුසියාව 2-0, ඔස්ට්‍රියාව 4-1 ලෙසින් පරාජයට පත් කර ඉන්දියාව හමුවේ 1-1 සහ චෙකොස්ලෝවැකියාව හමුවේ 2-2 ලෙසින් තරග නිමා කළා. එහි දී ප්‍රසාද ලකුණු 8ක් හිමි කරගත් සිම්බාබ්වේ ක්‍රීඩිකාවන් කාන්තා හොකී රන් පදක්කමට හිමිකම් පෑවා. 

රන් පදක්කම දිනාගත් සිම්බාබ්වේ කාන්තා හොකී කණ්ඩායම -The Hockey Paper

3) තේරීම් කමිටුවේ විශ්වාසය අකුරට ම ඉටු කළ ක්‍රීඩකයා 

2008 වසරේ බීජිං ඔලිම්පික් තරගාවලියට ක්‍රීඩකයන් තෝරාගැනීම වෙනුවෙන් පැවති රුසියානු උස පැනීමේ තේරීම් තරගය තියුණු මුහුණුවරකින් පැවතුණා. එහි දී තේරීම් කමිටු බලධාරීන් මහත් බලාපොරොත්තු තබාගෙන සිටි ඇන්ඩ්‍රේ සිල්නොව් නම් ක්‍රීඩකයාට හිමි වුණේ සිවුවන ස්ථානය යි. සාමාන්‍යයෙන් එක් රටකින් ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු පමණක් ඉදිරිපත් කරන නිසා සිල්නොව්ට ඔලිම්පික් වරම් ලැබුණේ නැහැ.  සිල්නොව් ඊට පෙර තරගවල දී විශිෂ්ට දක්ෂතා දක්වා තිබුණා. ඒ පිළිබඳ අවධානය යොමු කළ රුසියානු ඔලිම්පික් තේරීම් කමිටුව, සිල්නොව් ඔලිම්පික් තරගාවලියේ උස පැනීමේ ඉසව්ව සඳහා සහභාගී කර වීමට තීරණය කළා. 

එදා බීජිං ඔලිම්පික් තරගාවලියේ උස පැනීමේ ඉසව්ව යටතේ පැවති මූලික වටයේ තරගවල දී මීටර් 2.29ක උසක් තරණය කළ සිල්නොව්, පහසුවෙන් ම අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා. අවසන් තරගයේ දී මුල සිට ම දක්ෂ ලෙස තරග වැදුණු සිල්නොව්, මීටර් 2.34ක දුර ප්‍රමාණයත් ඉතා පහසුවෙන් තරණය කළා. එහි දී ඔහු සෑම උසක් ම පළමු උත්සාහයේ දී ම තරණය කිරීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. ඒ වන විට මීටර් 2.34ක උස ප්‍රමාණය තරණය කර තිබුණේ රුසියාවේ සිල්නොව්, මහා බ්‍රිතාන්‍යයේ මේසන් සහ රුසියාවේ රයිබකොව් යන තරගකරුවන් තිදෙනා පමණ යි. එනිසා, ඊළඟට ඔවුන් තිදෙනාට තරණය කිරීමට ලැබුණු උස ප්‍රමාණය සටහන් වුණේ මීටර් 2.36ක් ලෙස යි. එහි දී විශිෂ්ට පිම්මක් පැනීමට සමත් වූ සිල්නොව්, පළමු උත්සාහයේ දී ම මීටර් 2.36ක උස තරණය කළා. අනිත් ක්‍රීඩකයන් දෙදෙනාට එම කඩයිම පසුකිරීමට හැකි වුණේ නැහැ. එනිසා තේරීම් කමිටුවේ විශ්වාසය අකුරට ම ඉටුකළ ඇන්ඩ්‍රේ සිල්නොව්ට රන් පදක්කම හිමි වුණා.

ඇන්ඩ්‍රේ සිල්නොව්-Eurosport

4) වංචාවට ලැබුණු දඬුවම

1904 ඔලිම්පික් තරගාවලිය පැවැත්වුණේ අමෙරිකාවේ, ශාන්ත ලුසියා හි දී යි. එම තරගාවලියේ මැරතන් තරගය අගෝස්තු 30 වැනිදා සවස 3ට පමණ ආරම්භ වුණා. එවර මැරතන් තරගය සඳහා සූදානම් කර තිබුණු මාර්ගය ඉතාමත් දුෂ්කර එකක් වුණා. එසේ ම එදින සැන්දෑ යාමයේ එම ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ අගයක් ගත්තා. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ පළමු පැය අවසන් වෙද්දී ක්‍රීඩකයන් කිහිපදෙනකු ම අසනීප වුණා. එහි දී විලියම් ගාර්සියා නම් අමෙරිකානු ක්‍රීඩකයා මාර්ගයේ අයිනක වැටී සිටිය දී සොයාගන්නා විට අසාධ්‍ය තත්ත්වයකින් පසු වූ අතර, රෝහල්ගත කිරීමට ප්‍රමාද වූයේ නම් ඔහුට උරුම වන්නට තිබුණේ මරණය යි. ජෝන් ලෝඩන් සහ සෑම් මෙලර් යන අමෙරිකානු ක්‍රීඩකයන් දෙදෙනා ද දරුණු ලෙස අසනීප වුණා. ලෙන් ටාවූ නම් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා පසුපස බල්ලන් කිහිප දෙනෙකු සෑහෙන දුරක් යනතුරු පන්නා තිබුණා.

එම තරගය සඳහා සහභාගී වුණු ප්‍රෙඩ් ලෝර්ස් නම් අමෙරිකානු ක්‍රීඩකයා ද සෑහෙන දුරක් ගමන් කිරීමෙන් පසුව අපහසුවෙන් ධාවනයේ නිරත වුණා. එම අවස්ථාවේ දී ඔහුගේ සහායට පැමිණි වාහනයක නැගුණු ලෝර්ස්, කි.මී. 17ක දුරක් වාහනයේ ගමන් කළා. ඒ අයුරින් විශාල දුරක් මෝටර් රථයක නැගී ගිය ලෝර්ස්, පසුව එම මෝටර් රථයෙන් බැස සුපුරුදු පරිදි ධාවනයේ නිරත වුණා. එලෙස නීතිවිරෝධී ආකාරයට තරග වැදුණු ලෝර්ස්, පැය 3යි මිනිත්තු 13ක් අවසානයේ දී ඔලිම්පික් ක්‍රීඩාංගණය වෙත පැමිණියා. ඒ මොහොතේ දී එහි සිටි අමෙරිකානුවන්ගේ ඔල්වරසන් හඬ ක්‍රීඩාංගණය පුරා රැව් දුන්නා.

 ප්‍රෙඩ් ලෝර්ස්-Twitter.com

ඉන් අනතුරු ව ක්‍රීඩාංගණයට පැමිණි එක්තරා පුද්ගලයෙකු, ලෝර්ස් මෝටර් රථයක නැග සෑහෙන දුරක් ගමන් කළ බව සැල කර සිටියා. එසේම, පැය 3යි තත්පර 28ක කාලයක් තුළ තරගය නිමා කළ තෝමස් හික්ස් නම් ඇමරිකානු ක්‍රීඩකයාත් එය තහවුරු කළා. එවර මැරතන් තරගය සඳහා ඉදිරිපත් වුණු තරගකරුවන් 33 දෙනා අතුරින් තරගය නිමා කර තිබුණේ තරගකරුවන් 14 දෙනෙකු පමණ යි. එනිසා ලෝර්ස් සිදුකළ වංචාවට අමතක නොවන දඬුවමක් ලබාදීමට ඔලිම්පික් තරග සංවිධායකන් තීරණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝර්ස්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවුණා. ඔහු කළ අභියාචනයක් සලකා බලා පසුව එම තහනම ඉවත් කෙරුණා. තරග තහනම එලෙසින් ඉවත් වුණත්, ඔහුට වැඩිකල් තරග කිරීමට නොහැකි වූයේ 1914 වසරේ දී නියුමෝනියා රෝගයට ගොදුරුව අවාසනාවන්ත ලෙස මියයාමත් සමඟ යි. 

කවරයේ ඡායාරූපය- මයිකල් ජොන්සන් (Sky Sports)

මූලාශ්‍ර-

smithsonianmag.com

Eurosport.com

usopm.org

Related Articles