Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

20/20 ලෝක කුසලාන අවසන් තරගවල ශ්‍රී ලාංකීය සලකුණ

20 /20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය දා නම් කළා. ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ව තිබූ 2021- ICC 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේදී පැවත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. 2021- ICC 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 14 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති.

2007 වසරේ පැවැත්වුණු මංගල 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු අප්‍රිකාව සත්කාරකත්වය ලබා දුන්නා. එදා සිට අද දක්වා පැවති 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි හයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී ශ්‍රී ලංකාව වැඩිම වාර ගණනක් 20/20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත් කණ්ඩායම ලෙසින් ඉතිහාසගත වුණා. මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ 20/20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරග ත්‍රිත්වය පිළිබඳ විස්තර යි. 

ICC T20 World Cup 2021
2021 – ICC 20/20 ක්‍රිකට් ලෝක කුසලානය – twitter.com

පාකිස්තානයට එරෙහි ව ගැටුණු 2009 අවසන් තරගය 

2009 වසරේ පැවති 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය ලන්ඩන් නුවර ලෝඩ්ස් පිටියේ දී පැවැත්වුණා. ඒ සඳහා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සුදුසුකම් ලබා ගත්තා. එවර තරගාවලියේ සුපිරි 8 වටය යටතේ ලෝඩ්ස් පිටියේ දී ම පැවති තරගයක දී පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 19ක ජයග්‍රහණයක් වාර්තා කළා. එනිසා අවසන් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනු ඇති බව විචාරකයන්ගේ අනාවැකිය වුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර මුලින් ම පන්දුවට පහරදීමට තීරණය කළා. 

එදා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ තිලකරත්න දිල්ෂාන් සහ සනත් ජයසූරිය යන පිතිකරු යුගළය යි. ඒ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වශයෙන් වැජඹුණු තිලකරත්න දිල්ෂාන් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙනු ඇති බව බොහෝ දෙනකුගේ බලාපොරොත්තුව වුණා.

දිල්ෂාන්ගේ දැවීයාම සමරන පාකිස්ථානුවන් – getty images

ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවාරයේ දී ලකුණු නොලබා සිටි දිල්ෂාන් දවා ගැනීමට මොහොමඩ් අමීර්ට හැකියාව ලැබුණා. දිල්ෂාන්ගේ නික්ම යාමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් එකා පිට එකා දැවී යන්නට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 13 වන පන්දුවාරය නිමාව දකින විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 70/6 ලෙසින් දිස්වුණා.

ඒ අයුරින් ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියක වැටී සිටි අවස්ථාවක ක්‍රියාත්මක වුණු නායක කුමාර් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිව්ස් පාකිස්තාන පන්දු යවන්නන්ට එරෙහි ව මැනවින් පන්දුවට පහර දුන්නා. එහි දී ඔවුන් දෙදෙනා පන්දු 42කින් ගොඩනැගූ නොබිඳුණු ලකුණු 68ක සබඳතාව නිසා ශ්‍රී ලංකා ඉනිම 138/6 ලෙසින් නිමාව දුටුවා.

එදා ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වුණු සංගක්කාර පන්දු 52කින් නොදැවී ලකුණු 64ක් ලබා ගන්නා විට මැතිව්ස් පන්දු 24කින් නොදැවී ලකුණු 35ක් වාර්තා කළා. එලෙස සංගක්කාර සහ මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වන විට පාකිස්ථානය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අබ්දුල් රසාක් ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත්තා.

සංගක්කාරගේ ඉනිමේ අවස්ථාවක් – getty images

 

ඉන් පසුව ලකුණු 139ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 9.1ක් අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 63ක් ලබා ගෙන සිටියා. තරගය දෙපිලට ම විවෘත ව පැවති එම අවස්ථාවේ දී පිටියේ එක් වුණු ෂහිඩ් අෆ්රිඩි සහ ෂොයිබ් මලික් දක්ෂ පිති හරඹයක නිරත වුණා. එදා ඔවුන් දෙදෙනා නැවැත්වීමට කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නකුට හැකිවුණේ නැහැ.

එනිසා පන්දුවාර 18.4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී තිබිය දී පාකිස්තානුවන් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. එහි දී පාකිස්තාන ඉනිමේ වැඩි ම ලකුණු ලාභියා වුණු අෆ්රිඩි පන්දු 40කින් නොදැවී ලකුණු 54ක් ලබා ගෙන තරගයේ වීරයා සම්මානය හිමි කර ගත්තා.

අෆ්රිඩී සහ මලික් ජයග්‍රහණය සැමරූ ආකාරය – getty images

 

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 138/6 (20), (සංගක්කාර- 64*, මැතිව්ස්- 35*, රසාක්- 20/3, අෆ්රිඩි- 20/1)

පාකිස්තානය- 139/2 (18.4), (අෆ්රිඩි- 54*, අක්මාල්- 37, මලික්- 24*, ජයසූරිය- 8/1)

පාකිස්තානයට කඩුලු 8ක ජයක් 

තරගයේ වීරයා- ෂහිඩ් අෆ්රිඩි 

මවු බිමේ දී කොදෙව්වන් හමුවේ ලැබූ පරාජය 

2012 වසරේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රට ලෙසින් කටයුතු කළේ ශ්‍රී ලංකාව යි. එවර තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන ප්‍රබල කණ්ඩායම් ද්විත්වය යි. එදා, කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව්වන් මුලින් ම පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කොදෙව් මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 5.5ක් අවසන් වන විට කොදෙව් ලකුණු පුවරුව 14/2 ලෙසින් දිස්වුණා.

මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ගේල් දැවීගිය අවස්ථාව  – getty images

 

ඒ අයුරින් කොදෙව් කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ පිටියේ එක් වුණු මාලන් සැමුවෙල්ස් සහ ඩ්වේන් බ්‍රාවෝ පන්දු 49කින් ලකුණු 59ක සබඳතාවක් ගොඩනැගුවා. එලෙස කොදෙව් ඉනිම ස්ථාවර තත්ත්වයකට පත්වෙමින් පැවති අවස්ථාවක අජන්තගේ පන්දුවක් හමුවේ ලකුණු 19ක් ලබාගෙන සිටි බ්‍රාවෝ දැවී ගියා.

ඉන් පසුව සැමුවෙල්ස් සහ ඩැරන් සැමී වේගයෙන් ලකුණු රැස් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කොදෙව් ඉනිම 137/6 ලෙසින් නිමාව දුටුවා. එදා කොදෙව් ඉනිමේ නැංගුරම බවට පත්වුණු සැමුවෙල්ස් හයේ පහර 6ක් සමඟින් පන්දු 56කින් අගනා ලකුණු 78ක් ලබා ගත්තා. එසේම පන්දුවෙන් දස්කම් දැක්වූ අජන්ත මෙන්ඩිස් ලකුණු 12කට කඩුලු 4ක් දවා ගත්තා.

සැමුවෙල්ස්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක්  – gettyimages

ලකුණු 138ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් ඉනිම ආරම්භයේ සිට අසීරුවෙන් පන්දුවට පහර දුන්නා. එනිසා පන්දුවාර 9.2ක් අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 48/1 ලෙසින් දිස්වුණා. ඒ වන විට ජයග්‍රහණය සඳහා පන්දු 64කින් ලකුණු 90ක් අවශ්‍ය ව තිබුණත් තණතීරුව පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය අයුරින් හැසිරුණා.

ඉන් උපරිම පල නෙළා ගත් කොදෙව් පන්දු යවන්නන් පන්දු 30ක් තුළ ලකුණු 21 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 6ක් බිඳ දැමුවා. එනිසා පන්දුවාර 14.3ක් අවසන් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 69ක් ලබා ගෙන අසීරු අඩියකට වැටී තිබුණා.

කොදෙව්වන් ශ්‍රී ලංකා කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින්- getty images

 

ඒ අයුරින් බිඳ වැටුණු ඉනිම යළි ගොඩ නැගීමට කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවකුට හැකියාව ලැබුණේ නැහැ. එනිසා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 101කට නිමාව දුටුවා. එදා ශ්‍රී ලංකා පිතිකරුවන් අන්ද මන්ද කළ සුනිල් නරීන් ලකුණු 9කට කඩුලු 3ක් දවා ගනිද්දී නායක සැමී ලකුණු 6කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

කෙටි ලකුණු පුවරුව 

බටහිර ඉන්දීය කොදෙව්- 137/6 (20), (සැමුවෙල්ස්- 78, සැමී- 26*, අජන්ත- 12/4, මැතිව්ස්- 11/1) 

ශ්‍රී ලංකාව- 101/10 (18.4), (මහේල- 33, කුලසේකර- 26, නරීන්- 9/3, සැමී- 6/2, සැමුවෙල්ස්- 15/1)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 36ක ජයක් 

තරගයේ වීරයා- මාලන් සැමුවෙල්ස් 

ඉන්දියානුවන් හමුවේ ලබාගත් සුපිරි ජයග්‍රහණය

2014 වසරේ බංග්ලාදේශයේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්තා. එදා මීර්පූර් නුවර ශෙරේ බංග්ලා පිටියේ පැවති අවසන් තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා මුලින් ම පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදීන්ට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම කඩුලු අතැති ව ඉනිම ගොඩ නැගුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 16ක් අවසන් වන විට ඉන්දීය ලකුණු පුවරුව 111/2 ලෙසින් දිස්වුණා. ඒ මොහොත වන විට විරාත් කෝලි නොදැවී ලකුණු 70ක් ලබාගෙන සිටි නිසා තරගය ඉන්දීය කණ්ඩායම දෙසට නැඹුරු ව තිබුණා.

කෝලිගේ ඉනිමේ අවස්ථාවක් – getty images

එදා ඉන්දීය පිතිකරුවන් ඉනිමේ අවසන් භාගයේ දී වේගයෙන් ලකුණු ලබා ගැනීමට සැලසුම් කර තිබුණත් මාලිංග සහ කුලසේකර උපායශීලී අයුරින් පන්දු යැව්වා. එහි දී ඔවුන් පිට ඉන්නට මඳක් ඈතිත් යෝකර් පන්දු පතිත කළ නිසා ඉන්දීය පිතිකරුවන්ට රිසි සේ ලකුණු ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

එනිසා ප්‍රබල ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 130ක් පමණ යි. එදා ඉන්දීය ඉනිමේ නැංගුරම වුණු කෝලි පන්දු 58කින් ලකුණු 77ක් ලබා ගන්නා විට සෙසු පිතිකරුවන් අසාර්ථක වීම නිසා ඉන්දීය ඉනිම එතරම් අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වුණා. 

මාලිංග පන්දු යවමින් – getty images

 

ජයග්‍රහණය සඳහා ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට රිසි සේ ලකුණු ලබාගැනීමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් අවසරයක් ලැබුණේ නැහැ. එනිසා 14 වන පන්දු වාරය නිමාව දකින විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 84ක් ලබා ගෙන අවදානම් අඩියක පසු වුණා.

ඒ මොහොත වන විට ජයග්‍රහණය සඳහා පන්දු 36කින් ලකුණු 46ක් පමණක් අවශ්‍ය ව තිබුණත් ඉන්දීය පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටියා. එම තීරණාත්මක මොහොතේ ක්‍රියාත්මක වුණු කුමාර් සංගක්කාර සහ තිසර පෙරේරා පාදඟ පන්දු යවන්නකු වුණු අමිත් මිශ්‍රාට එරෙහි ව දැවැන්ත ප්‍රහාරයක් සිදු කළා. එදා ඔවුන් දෙපළ මිශ්‍රාගේ පන්දුවාර 2ක් හමුවේ ලබා ගත් ලකුණු 28 නිසා 17 වන පන්දුවාරය නිමාව දකිද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 119/4 බවට පත් ව තිබුණා. 

සංගක්කාර පන්දුවට පහරදෙමින් – getty images

 

ඉන් පසුව පන්දු යැවීම සඳහා කැඳවූ අශ්වින්ට ද කිසිදු ගරු සරුවක් නොමැති ව පහර දුන් සංගක්කාර සහ තිසර පන්දුවාර 17.5ක් අවසානයේ දී සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා. එහි දී තිසර දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කිරීම අමතක නොවන සිදුවීමක් වුණා.

එදා තිසර පන්දු 14කින් වේගවත් ලකුණු 23ක් ලබාගෙන සුපිරි ඉනිමක් ක්‍රීඩා කරන විට ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් පන්දු 35කින් අගනා ලකුණු 52ක් ලබාගත් කුමාර් සංගක්කාරට තරගයේ වීරයා සම්මානය හිමි වුණා. 

තිසර පෙරේරා ජයග්‍රාහී පහර එල්ල කිරීමෙන් පසුව -getty images

 

කෙටි ලකුණු පුවරුව 

ඉන්දියාව- 130/4 (20), (කෝලි- 77, රෝහිත්- 29,  හේරත්- 23/1, මැතිව්ස්- 25/1) 

ශ්‍රී ලංකාව- 134/4 (17.5), (සංගක්කාර- 52*, මහේල- 24, තිසර- 23*, මෝහිත්- 18/1, රයිනා- 24/1)

ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක් 

තරගයේ වීරයා- කුමාර් සංගක්කාර

කවරයේ ඡායාරූපය - 2014 ටී20 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම - getty images

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

Related Articles