Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු බිඳ දැමූ තරග පරාජය

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා-නවසීලන්ත එක්දින තරගාවලියේ පළමු තරගය ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාක් පිටියේ දී පසුගිය සෙනසුරාදා (25) නිමාව දුටුවා. එම තරගයෙන් ලකුණු 198ක පහසු ජයග්‍රහණයක් හිමි වුණේ සත්කාරක නවසීලන්ත කණ්ඩායමට යි. එය ශ්‍රී ලංකා පිලක් නවසීලන්තය හමුවේ ලැබූ දරුණු ම එක්දින තරග පරාජය ලෙසින් වාර්තා අතරට එක් වුණා.

එසේ ලැබූ දැවැන්ත පරාජයත් සමඟින් ඉන්දියාවේ පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව ම සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිලට තිබෙන අවස්ථාව අවම වී තිබෙනවා.

ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු එක්දින තරගයේ අවස්ථාවක් – gettyimages.com

ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු එක්දින තරගයේ තොරතුරු

2023 ශ්‍රී ලංකා-නවසීලන්ත එක්දින තරගාවලියේ පළමු තරගය ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාක් පිටියේ දී පසුගිය සෙනසුරාදා පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහරදුන් නවසීලන්ත කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 2ක් දැවී ලකුණු 108ක් ලබා ගෙන ස්ථාවර තත්ත්වයකට පත්ව සිටියා.

එහි දී ආරම්භක පිතිකරු ෆින් ඇලන් පන්දු 47කින් වේගවත් අර්ධ ශතකයක් ලබා ගත්තා. නවසීලන්ත පිතිකරුවන් තරගයේ පාලනය අතට ගෙන සිටි මොහොතක ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දු වාර 10ක දී කඩුලු 3ක් දවා ගැනීම හේතුවෙන් නවසීලන්ත ඉනිම 152/5 ලෙසින් කියවුණා.

ෆින් ඇලන්ගේ වේගවත් ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

තරගය දෙපිලට ම විවෘතව පැවති එම අවස්ථාවේ පිටියේ එකතු වුණු ග්ලේන් පිලිප්ස් සහ රචීන් රවීන්ද්‍ර 6 වන කඩුල්ල සඳහා පන්දු 58කින් ලකුණු 66ක් එකතු කළා. එම අවස්ථාවේ දී ලකුණු 39ක් ලබා ගෙන සිටි පිලිප්ස් දැවී යාමත් සමඟින් නවසීලන්ත ඉනිම අඩපණ වුණා.

ශ්‍රී ලංකා පිල දෙසට තරගය දෝලනය වෙමින් පැවති ඒ මොහොතේ හුදෙකලා සටනක නිරත වුණු රවීන්ද්‍ර පන්දු 52කින් අගනා ලකුණු 49ක් රැස් කළා. එනිසා පන්දු වාර 49 පන්දු 3ක දී සියලු පිතිකරුවන් දැවී යද්දී නවසීලන්ත ලකුණු පුවරුවට ලකුණු 274ක් එකතු වී තිබුණා. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු චාමික කරුණාරත්න ලකුණු 43කට කඩුලු 4ක් බිඳ දැමුවා.

චාමික කරුණාරත්න – gettyimages.com

ඉන් අනතුරු ව ලකුණු 275ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් ඉනිම ආරම්භයේ සිට ම නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ අසීරුවෙන් පන්දුවට පහර දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 31ක දී බිඳ වැටුණා. එසේ කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම යළි ගොඩනැඟීමට කිසිදු පිතිකරු යුගළයකට හැකියාව ලැබුණේ නැහැ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දු වාර 19 පන්දු 5ක දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 76කට සීමා වුණා. එහි දී ශ්‍රී ලංකා ඉනිම සුණුවිසුණු කළ හෙන්රි ෂිප්ලි ලකුණු 31කට කඩුලු 5ක් බිඳ දැමුවා. ඒ අනුව නවසීලන්තයට ලකුණු 198ක පහසු ජයක් හිමි වුණා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

නවසීලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ හෙන්රි ෂිප්ලි – gettyimages.com

කෙටි ලකුණු පුවරුව

නවසීලන්තය- 274/10 (49.3), (ඇලන්- 51, රවීන්ද්‍ර- 49, මිචෙල්- 47, චාමික- 43/4, රාජිත- 38/2)
ශ්‍රී ලංකාව- 76/10 (19.5), (මැතිව්ස්- 18, චාමික- 11, ෂිප්ලි- 31/5, මිචෙල්- 12/2, ටික්නර්- 20/2)

නවසීලන්තයට ලකුණු 198ක ජයක්
තරගයේ වීරයා- හෙන්රි ෂිප්ලි


මීට පෙර 2007 දී ඊඩ්න් පාක් පිටියේ දී ම පැවති එක්දින තරගයක දී ශ්‍රී ලංකා පිල නවසීලන්තය හමුවේ ලකුණු 189ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළා. එදා නවසීලන්ත පිල ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ලකුණු 73කට දැවී ගියා. ඊට වසර 16කට පසුව එම ක්‍රීඩා පිටියේ දී ම ශ්‍රී ලංකා පිල නවසීලන්තය හමුවේ ඊට සමාන පරාජයක් ලැබීම අමතක නොවන සිදුවීමක් බවට පත් වුණා.

ඉන්දියාව හමුවේ ඕස්ට්‍රේලියාවට සුපිරි එක්දින තරගාවලි ජයග්‍රහණයක්

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී එළඹෙන ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වීමට නියමිත යි. එම තරගාවලිය ආරම්භ වීමට මාස 8කටත් අඩු කාලයක් පවතිද්දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහි ව ඉන්දීය බිමේ දී එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළා.

එහි දී තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ඔවුන්ට හැකි වුණා. එම තරගාවලිය යටතේ පැවති දෙවන එක්දින තරගයේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 117කට දැවී යාම සුවිශේෂී සිදුවීමක් වුණා. මේ එම තරගාවලියේ ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.

තරගාවලිය පුරාවට ඕස්ට්‍රේලියා වෙනුවෙන් දස්කම් දැක්වූ මිචෙල් මාෂ් – gettyimages.com

පළමු එක්දින තරගය
ඕස්ට්‍රේලියාව- 188/10 (35.4), (මාෂ්- 81, ඉංග්ලිෂ්- 26, ෂමී- 17/3, සිරාජ්- 29/3, ජඩේජා- 46/2)
ඉන්දියාව- 191/5 (39.5), (රාහුල්- 75*, ජඩේජා- 45*, ස්ටාක්- 49/3, ස්ටොයිනිස්- 29/2)

ඉන්දියාවට කඩුලු 5ක ජයක්
තරගයේ වීරයා- රවීන්ද්‍ර ජඩේජා (ඉන්දියාව)

දෙවන එක්දින තරගය
ඉන්දියාව- 117/10 (26), (කෝලි- 31, අක්සාර්- 29*, ස්ටාක්- 53/5, ඇබට්- 23/3, එලිස්- 13/2)
ඕස්ට්‍රේලියාව- 121/0 (11), (මාෂ්- 66*, හෙඩ්- 51*)

ඕස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක්
තරගයේ වීරයා- මිචෙල් ස්ටාක් (ඕස්ට්‍රේලියාව)

තෙවන එක්දින තරගය
ඕස්ට්‍රේලියාව- 269/10 (49), (මාෂ්- 47, කේරි- 38, හාර්ඩික්- 44/3, කුල්දීප්- 56/3, සිරාජ්- 37/2)
ඉන්දියාව- 248/10 (49.1), (කෝලි- 54, හාර්ඩික්- 40, සැම්පා- 45/4, ආගාර්- 41/2)

ඕස්ට්‍රේලියාවට ලකුණු 21ක ජයක්
තරගයේ වීරයා- ඇඩම් සැම්පා (ඕස්ට්‍රේලියාව)
තරගාවලියේ වීරයා- මිචෙල් මාෂ් (ඕස්ට්‍රේලියාව)

තරගාවලිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම – gettyimages.com

මොරොක්කෝ පාපන්දු පිල බ්‍රසීලය හමුවේ ලැබූ පෙරළිකාර ජයග්‍රහණය

ලෝකයේ ප්‍රමුඛ පාපන්දු කණ්ඩායම් අතර සුහද පාපන්දු තරග මේ දිනවල පැවැත්වෙනවා. ඒ යටතේ ඊයේ (26) පැවති පාපන්දු තරගයක දී ප්‍රබල බ්‍රසීල කණ්ඩායම පරාජය කරමින් ගෝල 2-1ක පෙරළිකාර ජයක් ලැබීමට මොරොක්කෝ කණ්ඩායමට හැකි වුණා.

මොරොක්කෝවේ ටැංජියර් හිදී පැවති එම තරගය ආරම්භ වී විනාඩි 29ක් ගතවෙද්දී මැද පෙළ ප්‍රහාරක ක්‍රීඩක සොෆින් බොවුෆාල් මොරොක්කෝව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. එනිසා තරගයේ පළමු භාගය අවසන් වෙද්දී මොරොක්කෝව ගෝල 1-0ක් ලෙසින් තරගයේ පෙරමුණේ පසු වුණා.

මොරොක්කෝව වෙනුවෙන් පළමු ගෝලය ලබා ගත් සොෆින් බොවුෆාල් – gettyimages.com

තරගයේ දෙවන භාගයේ දී හොඳින් තරගයට අවතීර්ණ වුණු බ්‍රසීල ක්‍රීඩකයන් ආක්‍රමණශීලී තරග රටාවක නිරත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තරගයේ 67 වන විනාඩියේ දී මැද පෙළ ආරක්ෂක ක්‍රීඩක කැසෙමිරෝ බ්‍රසීලය වෙනුවෙන් ගෝලයක් වාර්තා කළා. ඒ සමඟ ම තියුණු මුහුණුවරක් ගත් තරගය මොරොක්කෝව දෙසට යළි දෝලනය වුණේ මැද පෙළ ප්‍රහාරක ක්‍රීඩක අබ්ඩෙල්හමිඩ් සබිරි තරගයේ 79 වන විනාඩියේ දී ලබා ගත් ගෝලයත් සමඟ යි.

ඉන් පසුව දෙපිලට ම ගෝල ලබා ගැනීමට නොහැකි වුණු නිසා තරගයෙන් ගෝල 2-1ක ජයක් හිමි වුණේ මොරොක්කෝ කණ්ඩායමට යි. එය මොරොක්කෝ පිලක් පාපන්දු තරගයක දී බ්‍රසීලය හමු වුණු තෙවන අවස්ථාව යි. එය මොරොක්කෝව පාපන්දු තරගයක දී බ්‍රසීලය හමුවේ වාර්තා කළ පළමු ජයග්‍රහණය යි. එනිසා එය මොරොක්කෝ ක්‍රීඩකයන්ට අමතක නොවන ජයග්‍රහණයක් බවට පත් වුණා.

මොරොක්කෝව තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව – gettyimages.com

2023 කාන්තා IPL ශූරතාවය මුම්බායි ඉන්දියන්ස් පිලට

2023 කාන්තා IPL තරගාවලියේ අවසන් තරගය මුම්බායි බ්‍රැබ්‍රෝන් පිටියේ දී ඊයේ (26) නිමාව දුටුවා. එහි දී මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් තරග වැදුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන් දිල්ලි කැපිටල්ස් පිලට නියමිත පන්දු වාර 20 දී කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 131ක් පමණ යි.

එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු හේලි මැතිව්ස් සිය පන්දු වාර 4 දී ප්‍රතිවාදීන්ට ලකුණු 5ක් පමණක් ලබා දී කඩුලු 3ක් දවා ගත්තා. ඉන් අනතුරු ව ලකුණු 132ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩිකාවන් පන්දු වාර 19.3ක් ඇතුළත කඩුලු 3ක් පමණක් දැවී තිබිය දී අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගත්තා. එහි දී ජයග්‍රාහී මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් නැට් සීවර්-බ්‍රන්ට් නොදැවී ලකුණු 55ක් රැස් කළා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

අවසන් තරගයේ දී පිත්තෙන් දස්කම් දැක්වූ නැට් සීවර්-බ්‍රන්ට් – gettyimages.com

කෙටි ලකුණු පුවරුව

දිල්ලි කැපිටල්ස්- 131/9 (20)
මෙග් ලැනින්ග්- 35 (29)
හේලි මැතිව්ස්- 5/3 (4)
ඉසී වොන්ග්- 42/3 (4)
අමෙලියා කර්- 18/2 (4)

මුම්බායි ඉන්දියන්ස්- 134/3 (19.3)
නැට් සීවර්-බ්‍රන්ට්- 60* (55)
හර්මන්ප්‍රීට් කාවුර්- 37 (39)
රාධා යාදව්- 24/1 (4)

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්
තරගයේ වීරයා- නැට් සීවර්-බ්‍රන්ට් (මුම්බායි ඉන්දියන්ස්)
තරගාවලියේ වීරයා- හේලි මැතිව්ස් (මුම්බායි ඉන්දියන්ස්)

ජයග්‍රාහී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම – gettyimages.com

වාර්තා කිහිපයක් අලුත් කළ දකුණු අප්‍රිකා-කොදෙව් T20 තරගය

තරග 3කින් සමන්විත දකුණු අප්‍රිකා-බටහිර ඉන්දීය කොදෙව් දෙවන තරගය සෙන්චූරියන් හි සුපර්ස්පෝට් පාක් පිටියේ දී ඊයේ (26) පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන් බටහිර ඉන්දීය කොදෙව්වන් නියමිත පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 258ක් ලබා ගත්තා.

එය කොදෙව්වන් T20 ක්‍රිකට් තරගයක දී ලබා ගත් වැඩි ම ලකුණු ප්‍රමාණය බවට පත් වුණා. ඊට පෙර ඔවුන් T20 ඉනිමක දී වැඩි ම ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන තිබුණේ ඉන්දියාව හමුවේ යි. ඒ 2016 දී පැවති T20 තරගයක දී කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු 245 යි.

එම ඉනිමේ දී කොදෙව්වන් වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වුණු ජොන්සන් චාල්ස් හයේ පහර 11ක් සමඟින් පන්දු 46කින් ලකුණු 118ක් ලබා ගත්තා. එහි දී පන්දු 39කින් සිය ශතකය සම්පූර්ණ කළ චාල්ස් වේගවත් ම T20 ශතකය රැස් කළ කොදෙව් පිතිකරුවා බවට පත් වුණා. එහි දී ඔහු අතින් බිඳ වැටුණේ ක්‍රිස් ගේල් 2016 T20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති තරගයක දී එංගලන්තය හමුවේ පන්දු 47කින් ශතකයක් ලබා ගෙන තබා තිබුණු වාර්තාව යි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ජොන්සන් චාල්ස් – gettyimages.com

ඉන් පසු ව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ඉනිමේ පළමු පන්දුවාර 6 තුළ එනම් පළමු Powerplay එක තුළ කිසිවෙක් නොදැවී ලකුණු 102ක් රැස් කළා. එය T20 තරගයක පළමු Powerplay එක තුළ ඕනෑම කණ්ඩායමක් රැස් කළ වැඩි ම ලකුණු ප්‍රමාණය යි. එහි දී දකුණු අප්‍රිකාව අභිබවා ගියේ 2021 දී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවති T20 තරගයක දී කොදෙව්වන් පළමු Powerplay අවස්ථාවේ කඩුලු 4ක් දැවී ලකුණු 98ක් ලබා ගෙන තබා තිබුණු වාර්තාව යි.

ඒ අයුරින් ලබා ගත් සාර්ථක ආරම්භය හේතුවෙන් දකුණු අප්‍රිකාවට පන්දු වාර 18.5ක දී කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට හැකියාව ලැබුණා. එහි දී දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ නියමුවා වුණු ආරම්භක පිතිකරු කුයින්ටන් ද කොක් පන්දු 44කින් වටිනා ලකුණු 100ක් රැස් කළා. එහි දී ඔහුට අගනා සහායක් ලබා දුන් අනිත් ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 28කින් ලකුණු 68ක් ලබා ගත්තා.

කුයින්ටන් ද කොක් සිය ශතකය සම්පූර්ණ කළ මොහොත – gettyimages.com

එසේ දකුණු අප්‍රිකාව සිදු කළ ලකුණු හඹා යාම T20 ක්‍රිකට් තරග ඉතිහාසයේ යම් කණ්ඩායමක් සිදු කළ සාර්ථක ම ලකුණු හඹා යාම ලෙසින් ඉතිහාසගත වුණා. එහි වාර්තාව මීට පෙර හිමි ව තිබුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට යි. ඔවුන් 2018 දී නවසීලන්තයට එරෙහි ව පැවති T20 තරගයක දී ලකුණු 244ක ඉලක්කයක් සාර්ථක ව හඹා ගොස් තරගය ජයග්‍රහණය කළා.

2022 දී පැවති T20 තරගයක දී බල්ගේරියා පිල සර්බියාව හමුවේ ලකුණු 243ක ඉලක්කයක් හඹා ගොස් තරගයක් ජයග්‍රහණය කළා. මේ ඊයේ නිමාවට පත් වුණු දකුණු අප්‍රිකා-කොදෙව් T20 තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

දකුණු අප්‍රිකාව තරගය ජයග්‍රහණය කිරිමෙන් පසුව – gettyimages.com

කෙටි ලකුණු පුවරුව
බටහිර ඉන්දීය කොදෙව්- 258/5 (20), (චාල්ස්- 118, මේයර්ස්- 51, ෂෙෆර්ඩ්- 41*, යැන්සන්- 52/3)
දකුණු අප්‍රිකාව- 259/4 (18.5), (කොක්- 100, හෙන්ඩ්‍රික්ස්- 68, මාක්‍රම්- 38*, පවෙල්- 27/1)

දකුණු අප්‍රිකාවට කඩුලු 6ක ජයක්
තරගයේ වීරයා- කුයින්ටන් ද කොක් (දකුණු අප්‍රිකාව)

කවරයේ ඡායාරූපය- නවසීලන්ත-ශ්‍රී ලංකා පළමු එක්දින තරගයේ අවස්ථාවක් (gettyimages.com)

මූලාශ්‍ර- espncricinfo.com
howstat.com
cricbuzz.com
goal.com

Related Articles