Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහනුවරින් බිහිවූ ක්‍රිකට් තරුවක් – සාන්ත අන්තෝනි විද්‍යාලයේ ජැක් ඇන්ඩර්සන්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ බහුතරයක් පාසල් ක්‍රිකට් දිවියේ දී ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් බව නොරහසක්. කලක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සෑම තරගයකම පාහේ අවම වශයෙන් එක් ක්‍රීඩකයෙක් හෝ පාසල් සිසුවෙකු ක්‍රීඩා කිරීම, මෙරට පාසල් ක්‍රිකට් හි තත්ත්වය පිලිබඳ පැහැදිලි අදහසක් ගත හැක. කෙසේ වෙතත් පසුකාලීනව පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට විවිධ බාධා එල්ල වීම නිසාවෙන්ම 80, 90 දශකයේ මෙන් පාසල් සිසුන් ජාතික කණ්ඩායමට ඇතුළත් වීමේ සම්භාවිතාවය අවම විය.

පාසල් ක්‍රිකට් ඉතිහාසය සැලකීමේ දී මෙරට ක්‍රිකට් පිලිබඳ විශිෂ්ට ලේඛකයෙකු සහ දත්ත සටහන්කරුවෙකු වූ S.P. ෆෝනැන්ඩර් විසින් රචිත “Sixty Years of Ceylon Cricket” හි පාසල් ක්‍රිකට් ආරම්භ වූ බවට සඳහන් වන්නේ 1830 දශකයේ දී ය. 1830 දශකයේ මුල් භාගය මෙරටට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන් යුගය ලෙස සැලකිය හැකි අතර එවකට ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු වූ සියල්ලන්ම පාහේ බ්‍රිතාන්‍යය ජාතිකයින් වූහ. එවකට කොළඹ ඇකඩමිය (වර්තමාන නාමය – රාජකීය විද්‍යාලය, කොළඹ)  භාරව කටයුතු කළ පුජ්‍යය J. බ්රූක් H. බේලි විසින් කොළඹ ඇකඩමියට ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කරවන්නට විශාල උත්සහයක් දැරූ බවට වාර්තා වේ. ඔහුද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ව සිටි බැවින් කොළඹ ඇකඩමියේ දී ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් හොඳින් සංවිධානය විය.

මෙසේ පියවරෙන් පියවර පාසල් ක්‍රිකට් දියුණු වීමෙන් අනතුරුව සෑම පාසලක්ම පාහේ මහා ක්‍රිකට් තරග පැවැත්වීමට පටන්ගත් අතර එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උප සංස්කෘතියක් බවට අද පත්වී අවසන්. මෙරට සියලුම ක්‍රිකට් පාසල් සැලකීමේ දී ඉතාමත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් බිහි වී ඇති අතර ඒ අතරින් එක් සුවිශේෂී ක්‍රිකට් ක්‍රීඩකයෙක් පිළිබඳවයි මේ ලිපිය.

කන්ද උඩරට ක්‍රිකට් ක්‍රීඩා කෙරෙන පාසල් අතුරින් කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ලෝක වාර්තා ලාභී සහ ICC Hall of Fame සම්මානයෙන් පිදුම් ලැබූ මුත්තයියා මුරලිදරන්, කලක් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ දඟ පන්දුවෙන් මෙන්ම පිත්තෙන් දස්කම් දැක්වූ තුන්ඉරියව් ක්‍රීඩක රුවන් කල්පගේ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ කෙටි කලක් ක්‍රීඩා කර පසුව පුහුණුකරුවෙකු වූ පියල් විජේතුංග යන සියල්ලන්ම සාන්ත අන්තෝනි විද්‍යාලීය නිමැවුම් වෙති.

සාන්ත අන්තෝනි විද්‍යාලය​ (sokoba.com)

කෙසේ වෙතත් සාන්ත අන්තෝනි ක්‍රිකට් ඉතිහාසයේ මුල්කාලීනව එම විද්‍යාලයේ මුල්පෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ එක් ක්‍රීඩකයෙක් මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ බිඳ හෙලීමට අපහසු වාර්තා රැසක් පිහිටුවීමට සමත් විය. නමින් ජැක් ඇන්ඩර්සන් වන මොහු අන්තෝනි විද්‍යාලයේ 19න් පහල කණ්ඩායමට ක්‍රීඩා කළේ 1917 – 1919 වසර කිහිපය අතර යි. ප්‍රථම වරට මසක් ඇතුලත ලකුණු දහසේ සීමාව පසුකළ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් වාර්තා පොත් අතරට එක්වූ ඇන්ඩර්සන් ඒ සඳහා වැය කළේ ඉනිම් කිහිපයක් පමණයි. එකල අද මෙන් වසරේ වැඩි කාලයක් පාසල් ක්‍රිකට් සඳහා වෙන් නොකර තිබීම නිසාවෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් උපරිම වශයෙන් වසරකට මුහුණ දුන් තරග ප්‍රමාණය 6ක් පමණ විය (එනම් උපරිම ඉනිම් 12ක් පමණ).

ජැක් ඇන්ඩර්සන්  (Sunday Observer)

The Janashakthi Book of Sri Lanka Cricket හි සඳහන් වන පරිදි ඔහුගේ පාසල් වාර්තා පහත පරිදි වේ.

1917

C. Orr විසින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් රැස්කළ ලකුණු 176 වාර්තාව බිඳ දමමින් ඇන්ඩර්සන් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව ලකුණු 184ක් රැස්කළ අතර එය ඒවනවිට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විසින් රැස්කළ ඉහළතම පෞද්ගලික ලකුණු ප්‍රමාණය විය.

කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව ඔහු රැස්කළ ලකුණු 141 එවකට රාජකීය විද්‍යාලයට එරෙහිව ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළතම ඉනිම විය. නමුත් කොළඹ වෙස්ලි විද්‍යාලයේ ක්‍රීඩකයෙක් මේ වාර්තාව ඉන් දින කිහිපයකට පසු බිඳ දැම්මේ ය.

පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට එක් පාසල් තරග සමයක ශතක 3ක් වාර්තා කිරීමට ඇන්ඩර්සන් සමත් විය. ඉහත ශතක දෙකට අමතරව කොටහේන බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව ලකුණු 102ක් රැස්කරමින් ඔහු මේ වාර්තාව පිහිටුවන ලදී. එමෙන්ම මෙම පාසල් ක්‍රිකට් සමයේ ඔහුගේ පිතිකරණ සාමන්‍යය 73ක් පමණ විය. එයද වාර්තාවකි.

1918

වෙස්ලි විද්‍යාලයේ R.L. කන්නන්ගර විසින් රාජකීය විද්‍යාලයට එරෙහිව රැස්කළ ලකුණු 153 වාර්තාව නැවතත් තමන් සතු කරගන්නට ජැක් ඇන්ඩර්සන් (184) මේ වසරේ දී සමත් විය.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ජැක් ඇන්ඩර්සන් විසින් ඉනිමක දී ලකුණු 291ක් රැස්කරන අතර ඔහු විසින්ම පිහිටවූ පාසල් ක්‍රීඩකයෙකු විසින් රැස්කළ ඉහළතම පෞද්ගලික ඉනිමේ වාර්තාව බිඳ වැටිණි. එවකට පාසල් ක්‍රිකට් හැරුණු කොට අනෙකුත් ක්‍රිකට් තරග තුළ පවා මෙවැනි දැවැන්ත ඉනිමක් කිසිවෙකුත් රැස්නොකර තිබීම ම ඔහුගේ විශේෂත්වය පැහැදිලි වේ. මෙම වාර්තාව වසර 54ක් නොබිඳී පැවති අතර 1972 වසරේ දී පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ බන්දුල වර්ණපුර විසින් මැලේසියානු ක්‍රිකට් කණ්ඩායමකට එරෙහිව ලකුණු 294ක් රැස්කරමින් ඉහත වාර්තාව ඔහු සතු කරගන්නා ලදී.

මෙම තරග සමයේ දී ඇන්ඩර්සන් විසින් තරග 5ක් තුල පිට පිට ශතක 5ක් රැස්කරමින් දේශීය වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

වර්ෂ 1915 දී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් විවෘත කළ අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී මුල්ම වරට ශතකයක් රැස්කිරීමේ ගෞරවය ද හිමිවන්නේ ඇන්ඩර්සන් හට යි (111, ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව). එවකට මහනුවර දී අස්ගිරියට අමතර ක්‍රිකට් තරග උදෙසා භාවිතා කළේ බෝගම්බර පිටිය සහ පොලිස් ක්‍රීඩාංගනය යි.

මෙම තරග සමයේ දී ඇන්ඩර්සන් මාර්තු මස 8 සිට අප්‍රේල් මස 4 දක්වා මසක පමණ කාලයක් තුල ලකුණු 1000 සම්පුර්ණ කිරීමට හැකි විය. (මුළු ලකුණු 1031 , ඉනිමක සාමන්‍යය 98.73)

ඉහත මසක කාලයට අමතරව ඔහු ක්‍රීඩා කළ අනෙකුත් තරග ද එක්කිරීමෙන් එම පාසල් ක්‍රීඩා වාරයේ ඔහු තරග 9ක් තුල ලකුණු 1215ක් රැස්කළේ ය.

මෙම තරග සමයේ දී ඇන්ඩර්සන් විසින් A කාණ්ඩයේ කණ්ඩායම් වලට එරෙහිව ලකුණු 926ක් රැස්කරන ලද අතර සාන්ත අන්තෝනි කණ්ඩායමේ මුළු ලකුණු ප්‍රමාණයෙන් ආසන්නව 50% දායකත්වයක් ඇන්ඩර්සන් විසින් ලබා දෙන ලදී. (සාන්ත අන්තෝනි විද්‍යාලය මෙම තරග සමයේ දී A කාණ්ඩයේ කණ්ඩායම් වලට එරෙහිව ලකුණු 1901ක් පමණ රැස්කරන ලදී.)

ජැක් ඇන්ඩර්සන් පිත්තෙන් අමතරව පන්දු රැකීමෙන් ද සුවිශේෂී වාර්තාවක් පිහිටුවන ලදී. ඉනිමක වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් (6) රැකගනිමින් ඔහු ඔහුගේම වාර්තාවක් රාජකීය විද්‍යාලයට එරෙහිව සම කරන ලදී.

අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගනය (OD Cuaco Cricket Club)

ජැක් ඇන්ඩර්සන් විසින් පිහිටවූ ඉහත සියලුම වාර්තා අතරින් කිහිපයක් විදිහ ක්‍රීඩකයින් බිඳ දැමුවත් එම වාර්තා වසර ගණනාවක් නොබිඳී පැවතීම ඔහු ගේ හැකියාවන් පිලිබඳ දළ අදහසක් ගෙන එයි. 1950 දශකයේ දී ඔහුගේම පාසලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ අබ්දුල් ලාෆීර් ඔහුගේ පාසල් වාර්තා කිහිපයක් ම බිඳ දැමීමට සමත් වූ අතර ඔහු පසුකළක මෙරට ජාතික කණ්ඩායම ද නියෝජනය කරන ලදී.

ප.ලි. – ඉහත සඳහන් J. බ්රුක් බේලි හට සහෝදරයින් කිහිපදෙනෙක් සිටි අතර ඉන් අයෙක් ජෝර්ජ් බේලි (ජ්‍යෙෂ්ඨ) වූ අතර, (වෙනත් වාර්තාවක සඳහන් වන පරිදි ජෝර්ජ්, බ්රුක් බේලි ගේ පුතණුවෙක් ලෙස ද සඳහන් වේ) ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පළමු පෙළ තරග ක්‍රීඩා කර ඇත. ඔහුගේ මී මුණුපුරෙකු වන ජෝර්ජ් බේලි (කණිෂ්ඨ) මෑතක දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරමින් නායකත්වයේ ද යෙදුනි.

මුලාශ්‍ර :

The Janashakthi Book of Sri Lanka Cricket
Sixty Years of Ceylon Cricket

Related Articles