Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

20/20 සුපිරි පන්දුවාර සමගින් මතකයට එන කිවියන්ගේ අවාසනාව

පසුගිය දිනවල ඉන්දියාව සහ නවසීලන්තය අතර තරග 5කින් සමන්විත 20/20 තරගාවලියක් පැවැත්වුණා. එම තරගාවලිය යටතේ පැවති තෙවන සහ සිව්වන 20/20 තරග දෙකම නිමා වුණේ ලකුණු සම වුණු තරග ලෙසින්. එහි දී ජයග්‍රාහකයා තේරීම සඳහා ක්‍රියාත්මක වුණු සුපිරි පන්දුවාර 2 දීම නවසීලන්ත කණ්ඩායමට හිමි වුණේ පරාජය යි. ඒ අනුව නවසීලන්තය 20/20 තරගවල දී මුහුණදුන් සුපිරි පන්දුවාර හතෙන් 6ක් ම පරාජයට පත් වුණේ ඉතාමත් අවාසනාවන්ත කණ්ඩායමක් බවට පත්වෙමින්. මෙම ලිපිය ලියවෙන්නේ කිවියන් 20/20 තරගවල දී පරාජය වුණු සුපිරි පන්දුවාර පිළිබඳව යළි සිහිපත් කිරීමට යි.

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර 2008 වසරේ දී 

2008 වසරේ දෙසැම්බර් 26 වැනිදා නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති 20/20 තරගයේ දී මුල්මවරට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වුණා. එම සුපිරි පන්දුවාරයේ දී මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ගේල් සහ සේවියර් මාෂල් ඉනිම ආරම්භ කරන විට විටෝරි කිවියන් වෙනුවෙන් පන්දු යැව්වා. එහි දී විටෝරි එවූ මුල්ම පන්දුවට 6ක් එල්ල කළ ගේල් දෙවන පන්දුවට ලකුණු 2ක් ලබාගැනීමට යාමේ දී මාෂල් දුවද්දී දැවීගියා. ඉන්පසුව විටෝරි විසින් යොමු කළ පන්දුවලට පිළිවෙලින් 6, 6, 4, 2 ලෙසින් ලකුණු ලබාගත් ගේල් සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 25ක් ලබාගත්තේ කිවියන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්. සුපිරි පන්දුවාරයේ දී ලකුණු 26ක් හඹා යාම සඳහා මුලින්ම පන්දුවට පහරදුන් ඕරාම් බෙන් විසින් යොමු කළ මුල් පන්දු දෙකට ලකුණු 8ක් ලබාගත්ත ද තෙවන පන්දුවේ දී දැවීගියා. එම දැවීයාමෙන් අනතුරුව බෙන් විසින් ටේලර් වෙත යැවූ නිපන්දුවට ටේලර් හයේ පහරක් එල්ල කිරීමත් සමගම තරගය තියුණු මුහුණුවරකට හැරුණා. ඒ අනුව කිවියන්ට ජයග්‍රහණය සඳහා පන්දු 3කින් ලකුණු 11ක් අවශ්‍ය වුණා. නමුත් එහි දී ක්‍රියාත්මක වුණු බෙන් ටේලර් වෙත යැවූ මනරම් පන්දුව ඔහුගේ පා ඉන්නේ දැවටීමෙන් දැවීගිය නිසා කොදෙව්වන්ට ලකුණු 10ක ජයක් හිමිවුණා.

ක්‍රිස් ගේල් පහරක් එල්ල කරමින් (gettyimages)

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර 2012 වසරේ දී 

2012 වසරේ පැවති 20/20 ලෝක කුසලානයේ  සුපිරි 8 වටය යටතේ ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා-නවසීලන්ත තරගය ලකුණු සමවීමෙන් අවසන් වුණා. ඉන් අනතුරුව ක්‍රියාත්මක වුණු සුපිරි පන්දුවාරයේ දී මහේල සහ තිසර මුලින්ම පන්දුවට පහරදෙන පන්දුවාරය යවනු ලැබුවේ ටිම් සවුති විසිනු යි. එහි දී මැනවින් පන්දු යැවූ සවුති හතරේ පහරක් හෝ හයේ පහරක් ලබාගැනීමට ඉඩනොදුන් නිසා පන්දුවාරය තුළ වාර්තා වුණේ ලකුණු 13ක් පමණ යි. ඒ අනුව ලකුණු 14ක ජයග්‍රාහී ඉලක්කයක්  හඹායාම සඳහා මාටින් ගප්ටිල් සහ බ්‍රෙන්ඩන් මැකලම් යන ප්‍රහාරාත්මක පිතිකරුවන් යුගලය පිටියට පිවිසුණු අවස්ථාවේ ඔවුන්ට එරෙහිව පන්දු යවන ලද්දේ මාලිංග විසිනුයි. එහි දී මුල් පන්දු 4ම නිසි ස්ථානයට පතිත කළ මාලිංග කිවියන්ට ලබාදුන්නේ ලකුණු 6ක් පමණ යි. ජයග්‍රහණය සඳහා පන්දු 2කින් ලකුණු 8ක් අවශ්‍ය වුණු එම අවස්ථාවේ ගප්ටිල් එල්ල කළ දැවැන්ත පහර උඩපන්දුවක් ලෙසින් දිල්ෂාන් රැකගැනීමත් සමගම කිවියන්ගේ බලාපොරොත්තු බිඳී ගියා. ඒ අනුව නවසීලන්තය නියමිත පන්දුවාරය තුළ ලකුණු 6ක් පමණක් ලබාගත්තේ ශ්‍රී ලංකාවට ලකුණු 6ක ජයක් හිමිකරදෙමින්.

ගප්ටිල්ගේ කඩුල්ල දැවීයාමෙන් පසුව මාලිංග එය සමරණ අයුරු (gettyimages)

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර 2012 වසරේ දී 

2012 වසරේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 තරග වටය යටතේ ක්‍රියාත්මක වුණු තරගයක දී නවසීලන්තය සහ කොදෙව්වන් තරග කළා. ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් මෙම තරගය අවසානයේ දී ලකුණු සමවීමෙන් අවසන් වුණු නිසාම සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වුණා. එහි දී මුලින්ම පන්දුවට පහරදුන් කිවියන් වෙනුවෙන් මැකලම් සහ ටේලර් පන්දුවට පහරදෙන විට කොදෙව්වන් වෙනුවෙන් පන්දුව අතට ගත්තේ මාලන් සැමුවෙල්ස් නම් පන්දු යවන්නා යි. එදා සැමුවෙල්ස් මුල් පන්දු 3දී ලකුණු 5ක් පමණක් ලබාදුන්න ද අවසන් පන්දු 3දී ටේලර් ලකුණු 12ක් ලබාගත්තේ දැවැන්ත පහරවල් එල්ල කරමින්. ඒ අනුව ලකුණු 18ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා කොදෙව්වන් වෙනුවෙන් ගේල් සහ සැමුවෙල්ස් පිටියට පිවිසෙන විට පන්දු යැවීම සඳහා කැඳවනු ලැබුවේ ටිම් සවුති නම් පන්දු යවන්නා යි. එහි දී සවුති විසින් ගේල්ට යොමු කළ මුල්ම පන්දුව නිපන්දුවක් වුණු අතර ගේල් එම එම පන්දුවට හයේ පහරක් එල්ල කිරීමත් සමගම කිවියන් අසීරු අඩියකට වැටුණා. නමුත් ඉන් අනතුරුව සාර්ථකව පන්දු යැවූ සවුති අවසන් පන්දු දෙකට කොදෙව්වන්ට ලබාදුන් ඉලක්කය සටහන් වුණේ ලකුණු 5ක් ලෙසින්. එලෙස තරගය කරට කර පැවති අවස්ථාවේ දී මනරම් පහරක් එල්ල කරමින් ලකුණු 6ක් ලබාගත් සැමුවෙල්ස් කොදෙව් ජය තහවුරු කළා.

සැමුවෙල්ස් සහ ගේල් පන්දුවට පහරදෙමින් (gettyimages)

නවසීලන්තය සහ එංගලන්තය අතර 2019 වසරේ දී 

2019 එංගලන්ත-නවසීලන්ත 20/20 තරගාවලියේ 5 වැනි තරගය පැවැත්වුණේ ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාක් පිටියේ දී යි. පන්දුවාර 11කට සීමා වුණු එම තරගය නිමාවට පත්වුණේ ලකුණු සමවීමෙන්. ඉන් අනතුරුව ක්‍රියාත්මක වුණු සුපිරි පන්දුවාරයේ දී එංගලන්තය වෙනුවෙන් මෝර්ගන් සහ බෙයාස්ට්‍රෝ පන්දුවට පහරදීමට පැමිණෙන විට පන්දු යවනු ලැබුවේ සවුති විසින්. එහි දී සවුති යැවූ පන්දුවාරයේ දී මෝගන් සහ බෙයාස්ට්‍රෝ හයේ පහර බැගින් එල්ල කරමින් ලකුණු 17ක් ලබාගැනීමට සමත්වුණා. ඉන් පසුව ගප්ටිල් සහ සෙයිෆර්ට් නවසීලන්තය වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසෙමින් ක්‍රිස් ජෝඩ්න් යැවූ මුල් පන්දු තුන තුළ ලකුණු 7ක් ලබාගැනීමට සමත් වුණා. එලෙස තරගය තියුණු අතකට හැරී තිබුණු අවස්ථාවේ දී ජෝඩ්න් විසින් සෙයිෆර්ට්ව දවාගැනීමත් සමගම පසුබෑමකට ලක්වුණු කිවියන් නියමිත පන්දුවාරය තුළ දී ලබාගත්තේ ලකුණු 6ක් පමණ යි.

ජෝඩ්න් පන්දු යවමින්  (gettyimages)

නවසීලන්තය සහ ඉන්දියාව අතර 2020 වසරේ දී 

2020 ඉන්දු-නවසීලන්ත 20/20 තරගාවලියේ තෙවන තරගය පැවැත්වුණේ හැමිල්ටන් නුවර සෙඩොන් පාක් පිටියේ දී යි. එම තරගයේ දී ලකුණු 180ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කිවියන්ට ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 4ට අවශ්‍ය වුණේ ලකුණු 2ක් පමණ යි. ඒ මොහොත වන විට ලකුණු 95ක් ලබාගෙන සිටි විලියම්සන් සහ රොස් ටේලර් කඩුල්ලේ රැඳී සිටි නිසා කිවියන් පහසුවෙන්ම ජයගනු ඇතැයි බොහෝදෙනෙකු සිතුවා. නමුත් එම අවස්ථාවේ දී කිසිවෙකු නොසිතූ අයුරින් මනරම් පන්දු යැවීමක නිරත වුණු මොහොමඩ් ෂමී ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙකු වුණු ටේලර් සහ විලියම්සන් දවාගනිමින් ලකුණු සමකිරීමට සමත් වුණා. එලෙස ලකුණු සමවීමෙන් පසුව ක්‍රියාත්මක වූ සුපිරි පන්දුවාරයේ දී ගප්ටිල් සහ විලියම්සන් ලකුණු 17ක් ලබාගත්තේ බූම්රාගේ පන්දුවලට එරෙහිව යි. ඉන් අනතුරුව ලකුණු 18ක ඉලක්කයක් හඹා ගිය රෝහිත් සහ රාහුල්ට සවුතිගේ අවසන් පන්දු දෙක හමුවේ ලකුණු 10ක් ලබාගැනීමට සිදු වුණේ ජයග්‍රහණය වෙනුවෙන්. එහි දී සවුති එල්ල කළ පන්දු දෙකටම හයේ පහරවල් එල්ල කළ රෝහිත් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රගෙන ගියා.

රෝහිත් පහරක් එල්ල කරමින් (gettyimages)

නවසීලන්තය සහ ඉන්දියාව අතර 2020 වසරේ දී 

2020 ඉන්දු-නවසීලන්ත 20/20 තරගාවලියේ සිව්වන තරගය පැවැත්වුණේ වෙලිංටන් නුවර වෙස්ට්පැක් ක්‍රීඩා  පිටියේ දී යි. එම තරගයේ නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලකුණු සම වීම නිසා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදුවුණා. ඒ අනුව ක්‍රියාත්මක වුණු පන්දුවාරයේ දී මුලින්ම පන්දුවට පහරදුන් කීවියන් ලකුණු 12ක් ලබාගත්තේ බූම්රාගේ පන්දු හමුවේ යි. ඉන් අනතුරුව පිටියට පිවිසි රාහුල් හා කෝලිට මුහුණදීමට සිදුවුණේ සවුතිගේ පන්දුවලට යි. එහි දී සවුති යොමු කළ මුල් පන්දු දෙකට ලකුණු 10ක් ලබාගත් රාහුල් තෙවන පන්දුවේ දී දැවීගිය ද කෝලි ඉන්දීය ජය තහවුරු කළේ පස්වන පන්දුවට හතරේ පහරක් එල්ල කරමින්.

රාහුල් පහරක් එල්ල කරමින් (gettyimages)

කවරයේ ඡායාරූපය- මාලිංග 2012 ශ්‍රී ලංකා-කිවි සුපිරි පන්දුවාරය ජයගැනීමෙන් පසුව (gettyimages)

Related Articles