Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තෙවන විනිසුරු ක්‍රමයේ ආරම්භය සහ එහි විකාශනය

ඕනෑම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගයක් සඳහා විනිසුරුවරුන් සිව්දෙනෙක් සිය දායකත්වය ලබා දෙනවා. එහි දී පිටියේ විනිසුරුවරයන් දෙදෙනාට අමතරව තෙවන විනිසුරුවරයෙකු සහ අතිරේක විනිසුරුවරයෙකු තරගයක් සඳහා යොදාගනු ලබනවා. 90 දශකයේ මුල භාගයේ දී ක්‍රිකට් පිටියට හඳුන්වා දුන් තෙවන විනිසුරු ක්‍රමය මඟින් අද වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකභාවය ආරක්ෂා බොහෝ දුරට ආරක්ෂා වී තිබෙනවා. අද බොහෝ දෙනෙකුගේ ගෞරවයට පාත්‍ර වී තිබෙන තෙවන විනිසුරු ක්‍රමය පිළිබඳව මූලික අදහස ඉදිරිපත් කරන ලද්දේ මහින්ද විජේසිංහ නම් ශ්‍රී ලාංකිකයා යි. ඔහු 80 දශකයේ මැද භාගයේ දී කළ යෝජනාව ක්‍රියාවට නැංවුණේ වසර ගණනාවකින් පසුව යි.

තෙවන විනිසුරු සංකල්පය ඉදිරිපත් කිරීම 

80 දශකය ආරම්භ වන විට සෑම රටකම පැවති ක්‍රිකට් තරග සඳහා දේශීය විනිසුරුවරයන් යොදා ගනු ලැබුවා. ඔවුන් බොහෝවිට තමන්ගේ රටේ කණ්ඩායමට වාසිදායක අයුරින් විනිශ්චයන් ලබාදුන්නා. එය ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකභාවයට විශාල හානියක් සිදු කළා. 1983 වසරේ දී මහින්ද විජේසිංහ නම් ලාංකිකයා ක්‍රිකට් තරගයක් සඳහා තෙවන විනිසුරුවරයෙකු යොදාගත හැකි ආකාරය පිළිබඳව ලිපියක් අන්තර්ජාතික ක්‍රිකට් සමුළුව වෙත යොමු කළා. එහිදී මහින්ද විජේසිංහගේ අදහස වුණේ පිටියේ සිටින විනිසුරුවරයන් දෙදෙනා කෙතරම් දක්ෂ වුණත් ඔවුන් අතින් වැරදි සිදුවිය හැකි බව යි. එම නිසා දුවද්දී දැවීයාම් සහ ස්ටම්ප් කිරීම් වැනි අවස්ථාවන්වල දී වීඩියෝ කැමරා භාවිතයෙන් එම සිදුවීම් සියුම්ව නිරීක්ෂණය කර, තෙවන විනිසුරුවරයෙකු යොදාගෙන වඩාත් නිවැරදි තීරණයක් ලබාදිය හැකි බව යි. එහිදී තෙවන විනිසුරුවරයා සහ පිටියේ විනිසුරුවරයන් අතර අදහස් හුවමාරු කිරීම සඳහා වෝකිටෝකි යන්ත්‍රයක් භාවිතා කළ හැකි බව මහින්ද විජේසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නා. මහින්ද විජේසිංහගේ මේ යෝජනාව 1984 වසරේ අන්තර්ජාතික ක්‍රිකට් සමුළුවට ඉදිරිපත් කළත්, ඒ පිළිබඳව වැඩි දෙනෙකු උනන්දුවක් දැක්වූයේ නැහැ. නමුත් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වුණු ඩොනල්ඩ් බ්‍රැඩ්මන් 1986 වසරේ දී මහින්ද විජේසිංහ වෙත ලිපියක් එවමින් පවසා සිටියේ ඔහු විසින් ඉදිරිපත් කළ අදහස ඉතාමත් විශිෂ්ට ගණයේ එකක් බව යි.

මහින්ද විජේසිංහ (වමේ), ගාමිණී දිසානායක සහ ගාෆීල්ඩ් සෝබර්ස් සමග (Daily News)

තෙවන විනිසුරුවරයාගේ ආගමනය 

1992 වසරේ දී ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ක්‍රියාත්මක වුණේ ඩර්බන් නුවර කිංග්ස්මීඩ් ක්‍රීඩා පිටියේ දී යි. එම ටෙස්ට් තරගය සඳහා මුල්ම වරට තෙවන විනිසුරුවරයෙකු භාවිතා කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සඳහා යි. එහි දී තෙවන විනිසුරුවරයා ලෙසින් කටයුතු කරනු ලැබුවේ කාල් ලීබන්බර්ග් නම් දකුණු අප්‍රිකානු ක්‍රිකට් විනිසුරුවරයා යි. එදා තෙවන විනිසුරුවරයාට පැවරී තිබුණු රාජකාරිය වුණේ පිටියේ විනිසුරුවරයා විසින් යොමු කෙරෙන දුවද්දී දැවීයාමේ සහ කඩුල්ල බිඳ දැමීමේ අවස්ථාවන් පිළිබඳ පුනරූපන රූපවාහිනි තිරයෙන් නරඹා තීරණ ලබාදීම යි. 

තෙවන විනිසුරු තීරණයෙන් මුලින්ම දැවීගිය පිතිකරුවන් 

1992 වසරේ නොවැම්බර් 14 වැනිදා ඩර්බන් නුවර කිංග්ස්මීඩ් පිටියේ දී ක්‍රියාත්මක වෙමින් තිබුණු දකුණු අප්‍රිකා-ඉන්දීය ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 2ක් දැවී ලකුණු 38ක් ලබා සිටියා. එම මොහොතේ දී බ්‍රයන් මැක්මිලන් එවූ පන්දුවට පහරක් එල්ල කළ සචින් ටෙන්ඩුල්කාර් ලකුණක් ලබා ගැනීමට උත්සාහ කළා. නමුත් ඉක්මනින් පන්දුව රැකගත් ජොන්ටි රෝඩ්ස් පන්දුව ඉක්මනින්ම කඩුල්ල අසල සිටි ඇන්ඩෘ හඩ්සන්ට යොමු කළා. එම අවස්ථාවේ දී විනිසුරු සිරිල් මිච්ලි තීරණය ලබාදීමේ බලය තෙවන විනිසුරු ලීබන්බර්ග්ට පැවරුවා. ඉන් පසුව ලීබන්බර්ග් විසින් ටෙන්ඩුල්කාර් දැවීගිය පිතිකරුවෙකු ලෙසින් නම් කරනු ලැබුවා. සාමාන්‍යයෙන් තෙවන විනිසුරුවරයා පිතිකරුවෙකු දැවී යන විට එය සංඥා කරන්නේ රතු බල්බය දැල්වීම මඟින්. නමුත් ටෙන්ඩුල්කාර් දැවීගිය අවස්ථාවේ විනිසුරුවරයා දල්වනු ලැබුවේ කොළ පැහැති බල්බය යි. 

එක්දින තරගයක දී මුල්ම වරට තෙවන විනිසුරුවරයෙකු යොදාගනු ලැබුවේ 1992 වසරේ දෙසැම්බර් 7 වැනිදා කේප්ටවුන් නුවර නිව්ලන්ඩ්ස් පිටියේ පැවති ඉන්දු- දකුණු අප්‍රිකා එක්දින තරගයේ දී යි. එදා තෙවන විනිසුරුවරයා ලෙසින් කටයුතු කළේ රූඩි කර්ස්ටන් නම් දකුණු අප්‍රිකානු විනිසුරුවරයා යි. එම තරගයේ දී අජේ ජඩේජා විසින් කෙප්ලර් වෙසල්ස්ව දුවද්දී දවාගැනීමට හසුකරගත් අවස්ථාව තෙවන විනිසුරුවරයාට යොමු කිරීමෙන් පසුව වෙසල්ස් දැවීගිය පිතිකරුවෙකු බවට පත් වුණා. ඒ අනුව ටෙස්ට් සහ එක්දින තරගවල දී තෙවන විනිසුරු තීරණ හමුවේ දැවීගිය මුල්ම පිතිකරුවන් යුගලය ලෙසින් ටෙන්ඩුල්කාර් සහ වෙසල්ස් ඉතිහාසගත වුණා.

සචින් ටෙන්ඩුල්කාර් (DNA India)

විනිසුරු තීරණ පිළිබඳ ගැටලු තවදුරටත් 

ක්‍රිකට් ක්‍රීඩාවට තෙවන විනිසුරුවරයා හඳුන්වා දෙනු ලැබුවත් විනිසුරුවරුන් ලබා දුන් තීරණ 100%ක්ම නිවැරදි වුණේ නැහැ. විශේෂයෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරද සම්බන්ධ තීරණ සහ කඩුලු රකින්නා හෝ පිතිකරුවා අසල සිටින පන්දු රකින්නන් රැකගන්නා උඩපන්දු සම්බන්ධ තීරණවල දී විනිසුරුවන් අතින් විශාල ප්‍රමාණයේ වැරදි සිදු වුණා. බොහෝ විට එවැනි අවස්ථාවල දී විනිසුරුවරයන් ලබා දුන් ඇතැම් දුර්වල තීරණ නිසා තරගයේ ප්‍රතිඵලය පවා වෙනස් වුණු අවස්ථා තිබුණා. එම නිසාම පිටියේ  විනිසුරුවරයන් අතින් සිදුවන වැරදි ප්‍රමාණය අවම කරගැනීම සඳහා ක්‍රමවේදයක අවශ්‍යතාවය මතුව තිබුණා.

විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ ක්‍රමය 

විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීම පිළිබඳ සංකල්පය මුලින්ම ඉදිරිපත් කර තිබෙන්නේ සේනක වීරරත්න නම් ලාංකිකයා යි. ඔහු 1997 වසරේ මාර්තු 25 වැනිදා ඕස්ට්‍රේලියානු පුවත්පතකට ලියූ ලිපියක එම අදහස ඉදිරිපත් කර තිබුණා. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එම ක්‍රමය මුලින්ම අත්හදා බැලුවේ 2008 වසරේ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ක්‍රියාත්මක වුණු ඉන්දු-ලංකා ටෙස්ට් තරගයේ දීයි. එහි දී පන්දුවට පහරදෙන කණ්ඩායමට හෝ පන්දු රකින කණ්ඩායමට LBW තීරණ සහ උඩ පන්දු පිළිබඳ තීරණ අභියෝගයට ලක් කිරීම සඳහා අවස්ථාවක් ලැබුණා. එලෙස අභියෝගයට ලක් කරන ලද තීරණයක් පිළිබඳව විමසා බැලීමේ අවස්ථාව හිමි වුණේ තෙවන විනිසුරුවරයාට යි. 

විනිසුරු තීරණයක් මුලින්ම අභියෝගයට ලක් කළ ක්‍රීඩකයා 

විනිසුරු තීරණයක් මුලින්ම අභියෝගයට ලක් කළ පිතිකරුවා ලෙසින් තිලකරත්න දිල්ෂාන් ඉතිහාසගත වුණා. දිල්ෂාන්ට එරෙහිව ලබාදුන් කඩුලු රකින්නා රැකගත් උඩපන්දුවක් සම්බන්ධ තීරණයක් ඔහු අභියෝගයට ලක් කිරීමෙන් පසුව නොදැවුණු පිතිකරුවෙක් ලෙසින් නම් කරනු ලැබුවා. එසේම ඉන්දීය දෙවන ඉනිමේ දී ඉන්දීය පිතිකරු ෂෙවාග් සම්බන්ධ LBW තීරණයක දී පිටියේ විනිසුරුවරයා ඔහු නොදැවී ගිය ක්‍රීඩකයෙකු ලෙසින් නම් කරනු ලැබුවා. එහි දී ශ්‍රී ලංකා නායක මහේල එම තීරණය අභියෝගයට ලක් කිරීමෙන් පසුව ෂෙවාග් දැවීගිය පිතිකරුවෙකු බවට පත් වුණා.

තිලකරත්න දිල්ෂාන් (gettyimages)

විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ ක්‍රමයට අනුමැතිය ලැබෙයි 

2008 වසරේ දී ටෙස්ට් තරග සඳහා අත්හදා බැලූ විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ ක්‍රමය ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් භාවිතා කෙරුනේ 2009 වසරේ නොවැම්බර් 24 වැනිදා ආරම්භ වුණු නවසීලන්ත -පාකිස්ථාන් ටෙස්ට් තරගය සඳහා යි. එසේම මෙම ක්‍රමය 2011 වසරේ ජනවාරි මාසයේ එක්දින තරග සඳහාත් 2017 වසරේ පෙබරවාරි මාසයේ දී 20/20 තරග සඳහාත් නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබුවා. වර්තමානයේ දී ක්‍රිකට් පිටිය තුළ ක්‍රියාත්මක වන මෙම ක්‍රමය නිසා විනිසුරුවරයන් අතින් සිදුවන වැරදි බොහෝ දුරට නිවැරදි කරගැනීමේ අවස්ථාව හිමිව තිබෙනවා. එමඟින් ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකභාවය බොහෝ දුරට ආරක්ෂා වී තිබෙන ආකාරය ද දක්නට ලැබෙනවා.

නිපන්දු පරීක්ෂා කිරීමේ බලයත් තෙවන විනිසුරුට 

2019 වසරේ අග භාගය දක්වාම ක්‍රිකට් තරගවල දී නිපන්දු පරීක්ෂා කළේ පිටියේ විනිසුරුවරයා යි. නමුත් ඇතැම් අවස්ථාවල දී එම කාර්යය ඔවුන් අතින් නිසියාකාරව සිදුවන්නේ නැහැ. ඉන් තරගයකට සිදුවන හානිය අවම කිරීම සඳහා සීමිත පන්දුවාර තරගවල දී නිපන්දු පරීක්ෂා කිරීමට තෙවන විනිසුරුවන් භාවිතා කිරීම මුලින්ම සිදු කළේ 2019 වසරේ පැවති ඉන්දු-කොදෙව් එක්දින තරගාවලියේ දී. ඉන් අනතුරුව 2020 වසරේ පැවති කාන්තා 20/20 ලෝක කුසලාන තරගාවලියේ දීත් එම ක්‍රමය භාවිතා කළා. එම ක්‍රමවේදය මුල්ම වරට ටෙස්ට් පිටියට හඳුන්වා දුන්නේ අගෝස්තු 5 වැනිදා ආරම්භ වුණු එංගලන්ත-පාකිස්ථාන් ටෙස්ට් තරගාවලියේ සිට යි. ඒ අනුව ඉදිරියේ දී පිටියේ විනිසුරුවරයන්ට තීරණ ලබාදීමේ දී තෙවන විනිසුරුවරයාගෙන් විශාල සහායක් ලැබෙන නිසා ඔවුන්ට තිබෙන පීඩනය අඩුවනු ඇති. එසේම විනිසුරු තීරණවලින් ක්‍රීඩකයන්ට වන හානිය අවම වී ක්‍රීඩාවේ ගුණාත්මකභාවය ආරක්ෂා වනු ඇති. 

කවරයේ ඡායාරූපය- තෙවන විනිසුරුවරයෙක් 1993 අළුබඳුන තරගාවලියේ දී (gettyimages)

Related Articles