Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමතක නොවන පාපන්දු ලෝක කුසලාන තරඟ 10 ක්

වර්තමානයේදී පාපන්දු ලෝක කුසලාන තරඟාවලියක පැවැත්වෙන සම්පූර්ණ තරඟ සංඛ්‍යාව 64 කි. මෙම තරඟ සියල්ලම ඉතා උද්වේගකර තරඟ වන අතර සමුදුරු කිහිපයක් පසුකරගෙන විත් හෝ තරඟ නරඹන්නට ක්‍රීඩා ලෝලියෝ පසුබට නොවෙති. එයට අමතරව රූපවාහිනය ඉදිරියේ මිලියන සංඛ්‍යාත ක්‍රීඩා ලෝලියෝ තරඟ නරඹති. යම් අවස්ථාවල දී එම සංඛ්‍යාව බිලියනයකට අධික වේ. මෙසේ ක්‍රීඩා ලෝලීන් අති විශාල ප්‍රමාණයක් පාපන්දු ලෝක කුසලානය නරඹන්නේ එම තරඟාවලියේ තිබෙන උණුසුම් බව නිසාමය. මෙවර පාපන්දු ලෝක කුසලානය පිළිබඳ සාකාච්ඡා කරන “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් මේ වනවිට පාපන්දු ලෝක කුසලානය පිලිබඳ බොහෝ ලිපි ප්‍රමාණයක් ඉදිරිපත් කළ අතර පසුගිය ලෝක කුසලාන කිහිපයේ පැවති තරඟ අතුරින් ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවන තරඟ 10 ක් පිළිබඳව අද එම විශේෂාංගයෙන් ඉදිරිපත් කර ඇත.

10. උරුගුවේ දේශය සහ ඝානාව අතර තරඟය (2010 ලෝක කුසලානය)

“සුආරෙස් විසින් පන්දුව වළක්වාලූ ආකාරය” (AP)

2010 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයක් වූ උරුගුවේ දේශය සහ ඝානාව අතර තරඟය ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවන තරඟයකි. තරඟය පැවැත්වූයේ 2010 ජූලි මස 2 වැනිදා දකුණු අප්‍රිකාවේ ජොහෑනස්බර්ග් හි සොකර් සිටි ක්‍රීඩාංගනයේදී ය.

තරඟයේ පළමු භාගයේ අතිරේක කාලයේ දී ගෝලයක් වාර්තා කිරීමට ඝානා කණ්ඩායමේ සුලී මුන්ටාරී සමත්විය. නමුත් තරඟයේ 55 වැනි මිනිත්තුවේ දී උරුගුවේ දේශයේ ඩියේගෝ ෆෝලෑන් විසින් නිදහස් පහරකින් රැස් කල විශිෂ්ට ගෝලයෙන් තරඟය නැවතත් සම විය. තරඟයේ නියමිත විනාඩි 90 දී ද තරඟය සම මට්ටමේ පැවති හෙයින් අතිරේක කාලය දක්වා තරඟය පැවැත්වුණි. අතිරේක කාලයේ අවසාන මිනිත්තුවේ දී ඝානා කණ්ඩායමේ ඩොමිනික් අඩියා විසින් හිසෙන් එල්ල කල පහර උරුගුවේ කණ්ඩායමේ ලුයිස් සුආරෙස් විසින් ඔහුගේ දෑත උපයෝගී කරගනිමින් වළක්වාලූ හෙයින් සුආරෙස්ට රතු කාඩ් පතක් ද ඝානා කණ්ඩායමට දඬුවම් පහරක් ද හිමි වූ නමුත් ඝානා කණ්ඩායමේ අසෑමෝආ ජියෑන්ට එම දඬුවම් පහර සාර්ථක කරගැනීමට නොහැකි විය. ඒ අනුව තරඟය දඬුවම් පහර මඟින් තීරණය වූ අතර දඬුවම් පහර 4-2 ක් වශයෙන් තරඟයෙන් ජයගැනීමට උරුගුවේ දේශයට හැකිවිය.

සුආරෙස් විසින් දෑත උපයෝගී කරමින් වළක්වාලූ සිද්ධිය බොහෝ කතා බහට ලක්විය. එම සිද්ධිය නිසා උරුගුවේ දේශය ඔහුව වීරයෙකු ලෙසින් හැඳින්වූ අතර ඝානාව ඔහුව දුෂ්ඨයෙකු ලෙසින් හඳුන්වන ලදී.

9. බ්‍රසීලය සහ නෙදර්ලන්තය අතර තරඟය (2010 ලෝක කුසලානය)

“වෙස්ලි ශ්නයිඩර් විසින් දෙවැනි ගෝලය වාර්තා කලපසු”  (backpagefootball.com)

2010 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයක් වූ මෙම තරඟය ද පැවැත්වුණේ 2010 ජූලි මස 2 වැනිදා දිනයේ දී ය. ඒ දකුණු අප්‍රිකාවේ පෝර්ට් එලිසබෙත් හීදී ය.

නෙදර්ලන්තයේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයින්ගේ දුර්වලතාවය හේතුවෙන් තරඟයේ 10 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට බ්‍රසීලයේ රොබීනියෝට හැකිවිය. පළමු අර්ධය නිමවූයේ 1-0 ක් ලෙසින් බ්‍රසීලය පෙරමුණ ගනිමිනි. එහෙත් දෙවැනි අර්ධයේ දී විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරත වූ නෙදර්ලන්තය 53 සහ 68 වැනි මිනිත්තු වලදී ගෝල වාර්තා කරමින් 2-1 ක් ලෙසින් තරඟයෙන් ජයගැනීමට සමත්විය. එම ගෝල ද්විත්වයම රැස් කරන ලද්දේ වෙස්ලි ශ්නයිඩර් විසිනි. ඒ අනුව බොහෝ ක්‍රීඩා ලෝලීන් කනගාටුවට පත්කරමින් බ්‍රසීලය තරඟාවලියෙන් ඉවත් කිරීමට නෙදර්ලන්තයට හැකිවිය.

8. බ්‍රසීලය සහ ජර්මනිය අතර තරඟය (2014 ලෝක කුසලානය)

Reuters

7-1 ක් ලෙසින් ජර්මනිය විසින් ජයගත් මෙම තරඟය මෑත කාලයේ දී වැඩිම ක්‍රීඩා ලෝලීන් පිරිසකගේ මතකයෙහි රැඳුන තරඟය බව ප්‍රකාශ කිරීම අතිශයෝක්තියක් නොවේ. මෙම තරඟය පිළිබඳව මෙයට පෙර අවස්ථා කිහිපයකදී ම මෙම විශේෂාංගයෙන් කථිකා කර තිබෙන අතර මෙම තරඟය පැවැත්වුණේ 2014 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරඟයක් ලෙසිනි. ඒ බ්‍රසීලයේ බෙලෝ හොරිසොන්ට් හීදී ය. ඒ 2014 ජූලි මස 8 වැනිදාය.

මෙම තරඟයට බ්‍රසීලයේ නායක තියාගෝ සිල්වාට ක්‍රීඩා කල නොහැකි වූයේ පෙර තරඟවලදී ඔහුට කහ කාඩ්පත් දෙකක් ලැබී තිබූ නිසාය.  නේමාර් ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකරන ලදී. එය බ්‍රසීලය පසුපසට ඇද දැමීමක් විය. තරඟයේ මුල සිටම හොදින් ක්‍රීඩා කල ජර්මානු කණ්ඩායම තරඟයේ පළමු භාගයේ දී ගෝල 5 ක් රැස් කිරීමට සමත්විය. එම අවස්ථාවේ දී බ්‍රසීලයේ ක්‍රීඩා ලෝලීන් දැඩි කම්පනයකට පත්වී සිටි අතර එය සිහිනයක් බඳු අවස්තාවක් ද විය. තරඟයේ දෙවැනි අර්ධයේ දී ද ජර්මනිය තවත් ගෝල දෙකක් රැස් කිරීමට සමත්විය. තරඟයේ 90 වැනි මිනිත්තුවේ දී බ්‍රසීලයේ ඔස්කාර් විසින් බ්‍රසීලය රැස් කල එකම ගෝලය රැස් කලේය. ජර්මනිය වෙනුවෙන් තෝමස් මුලර්, මිරස්ලෝව් ක්ලෝස, කදීරා එක් ගෝලය බැගින් ද ටෝනි කෲස් සහ අන්ද්‍රේ ෂ’ලර් ගෝල දෙක බැගින් ද රැස් කළහ.

7. චෙක් ජනරජය සහ ඝානාව අතර තරඟය (2006 ලෝක කුසලානය)

“අසෑමෝආ ජියෑන් විසින් ගෝලය වාර්තා කල ආකාරය” (skysports.com)

2006 ලෝක කුසලානයේ මූලික වටයේ තරඟයක් වූ මෙම තරඟය පැවැත්වුනේ 2006 ජූනි මස 15 වැනි දින ජර්මනියේ කොලෝන් හීදීය.

ඒ අවස්ථාවේ දී චෙක් ජනරජය ශ්‍රේණිගත කිරීම් වල 2 වැනි ස්ථානයේ පසුවිය. ඒ අනුව තරඟය ඉතා පහසුවෙන් චෙක් ජනරජය විසින් ජයගනු ඇතැයි බොහෝ දෙනා ප්‍රකාශ කල ද මුල සිටම තරඟයේ පාලනය සියතට ගැනීමට ඝානාවට හැකිවිය. 2 වැනි මිනිත්තුවේ දී ඝානා වේ අසෑමෝආ ජියෑන් විසින් ද 82 වැනි මිනිත්තුවේ දී සුලී මුන්ටාරී විසින් ද ගෝල වාර්තා කරන ලදී. තරඟය 2-0 ක් ලෙසින් ඝානාව තරඟය ජයගත් අතර ඝානාව ලෝකයේ ජනප්‍රිය කණ්ඩායමක් බවට පත්වූයේ ද මෙම තරඟයෙන් පසුව බව හැඳින්විය හැක.

6. ඉතාලිය සහ ස්ලෝවැකියාව අතර තරඟය (2010 ලෝක කුසලානය)

“තරඟයෙන් අනතුරුව ඉතාලි ක්‍රීඩකයින්” (news.bbc.co.uk)

2010 ජූනි 24 වැනි දින දකුණු අප්‍රිකාවේ ජොහෑනස්බර්ග් හීදී මෙම තරඟය පැවැත්වුණි. ඒ මූලික වටයේ තරඟයක් ලෙසිනි. තරඟයෙන් 3-2 ක් ලෙසින් ජයගැනීමට ස්ලෝවැකියාවට හැකිවිය.

2006 ලෝක ශූරයින් වූ ඉතාලියට 2010 ලෝක කුසලානයේ මූලික වටයෙන් ම ඉවත්වන්නට සිදුවූයේ මෙම තරඟයේ පරාජයෙන් පසුවය. පාපන්දු ලෝකයේ දැඩි කතාබහක් ඇති කිරීමට සමත්වූ මෙම තරඟයේ 25 සහ 73 වැනි මිනිත්තු වලදී ගෝල වාර්තා කිරීමට ස්ලෝවකියාවේ රොබර්ට් විට්ටෙක් සමත්වූයේය. එයට අමතරව කැමිල් කොප්පුනෙක් 89 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කලේය. ඉතාලිය වෙනුවෙන් ගෝල වාර්තා කරන ලැබුවේ ඇන්ටෝනියෝ ඩි නටාලි සහ ෆැබියෝ ක්වග්ලියරෙල්ලා විසිනි. ඒ 81 සහ 90 වැනි මිනිත්තු වලදීය. කෙසේනමුත් මෙම තරඟයට ඉතාලියේ නිත්‍ය දැල් රකින්නා වූ ජන්ලුයිජි බුෆ්ෆොන් ක්‍රීඩා නොකරන ලදී.

5. පෘතුගාලය සහ එංගලන්තය අතර තරඟය (2006 ලෝක කුසලානය)

“රූනි විසින් රොනාල්ඩෝ පසෙකට තල්ලු කරන අවස්තාව” (Reuters)

2006 ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයක් වූ මෙම තරඟය පැවැත්වුනේ 2006 ජූලි 1 වැනිදා ජර්මනියේ ගෙල්සෙන්කර්ෂන් හීදීය.

බොහෝ ප්‍රේක්ෂකයින්ගේ අවධානයට යොමු වූ මෙම තරඟයේ මුල් මිනිත්තු 90 තුලදී හෝ අතිරේක කාලයේ දී හෝ ගෝලයක් වාර්තා කිරීමට දෙපිලටම නොහැකිවිය. ඒ අනුව තරඟයේ ප්‍රථිපලය තීරණය කරනු ලැබුවේ දඬුවම් පහර මඟිනි. එහිදී දඬුවම් පහර 3-1 ක් වශයෙන් තරඟය ජයගැනීමට පෘතුගාලයට හැකිවිය. නමුත් මෙම තරඟයේ අමතක නොවන සිදුවීම වන්නේ 62 වැනි මිනිත්තුවේ දී එංගලන්තයේ වේන් රූනි රතු කාඩ් පතක් ලැබීමය. ක්‍රීඩා කරමින් සිටියදී වේන් රූනිගේ පාදයක් පෘතුගාල ක්‍රීඩකයෙකුගේ යටි බඩ කොටසෙහි වැදුන නමුත් විනිසුරු රූනි හට කිසිදු කාඩ් පතක් නොපෙන්වන ලදී. නමුත් එම අවස්තාවේදී පෘතුගාල කණ්ඩායමේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එම සිද්ධියට අධික ලෙසින් ප්‍රතිචාර දැක්වූ අවස්ථාවේ වේන් රූනි විසින් රොනාල්ඩෝ පසෙකට තල්ලු කිරීම නිසා විනිසුරු විසින් රූනිට රතු කාඩ් පතක් (Direct red card) පෙන්වනු ලැබීය. එම සිදුවීම විශාල ආන්දෝලනයකට හේතු වූ අතර එම අවධියේ දී එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටි රොනාල්ඩෝ හට (එවකට රූනි ද මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ සිටියේය) එංගලන්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් එල්ලවූයේ දැඩි විරෝධයකි.

4. ස්පාඤ්ඤය සහ ප්‍රංශය අතර තරඟය (2006 ලෝක කුසලානය)

“පැට්‍රික් වියේරා විසින් දෙවැනි ගෝලය වාර්තා කිරීමෙන් අනතුරුව ප්‍රංශ කණ්ඩායම එය සැමරූ ආකාරය” (Getty Images)

2006 ලෝක කුසලානයේ 16 දෙනාගේ වටයේ තරඟයක් වූ මෙම තරඟය පැවැත්වුනේ 2006 ජූනි 27 වැනිදා ජර්මනියේ හැනෝවර් හීදීය.

2006 වසරේ ද ඉතා ප්‍රබල කණ්ඩායමකින් ස්පාඤ්ඤය සමන්විත වූවත් ප්‍රංශ පුහුණුකරු රේමන්ඩ් ඩොමෙනෙච්ගේ විශිෂ්ට උපාය උපක්‍රම හමුවේ සහ සිනෙඩින් සිඩාන් ප්‍රමුඛ ප්‍රංශ ක්‍රීඩකයින්ගේ විශිෂ්ට දක්ෂතා හමුවේ තරඟාවලියෙන් ඉවත්වීමට ස්පාඤ්ඤයට සිදුවිය. තරඟයේ පළමු ගෝලය දඬුවම් පහරකින් රැස් කිරීමට ස්පාඤ්ඤයේ දාවිද් වියියාට හැකිවිය. නමුත් ඉන්පසු 41, 83 සහ 90+2 වැනි මිනිත්තු වලදී ප්‍රංශය විසින් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත්විය. ගෝල රැස් කරන ලද්දේ පිලිවෙලින් ෆ්‍රෑන්ක් රිබරි, පැට්‍රික් වියේරා සහ සිනෙඩින් සිඩාන් විසිනි. ඒ අනුව තරඟය ප්‍රංශය විසින් 3-1 ක් වශයෙන් ජයගන්නට සමත්විය. එලෙසින් 2006 වර්ෂයේදී ද ස්පාඤ්ඤයේ ලෝක කුසලාන බලාපොරොත්තු බිඳවැටුන අතර ඔවුන්ට ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට තවත් වසර 4 ක කාලයක් බලාසිටීමට සිදුවිය.

3. ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තය අතර තරඟය (2014 ලෝක කුසලානය)

“රොබින් වැන් පර්සි විසින් පළමු ගොලමු ගෝලය. මේ ඉතා ජනප්‍රිය ගෝලයක් බවට පත්විය” (AP)

2014 ලෝක කුසලානයේ පළමු වටයේ තරඟයක් වූ මෙම තරඟය පැවැත්වුනේ 2014 ජූනි මස 14 වැනිදා බ්‍රසීලයේ සැල්වදෝර් නගරයේදී ය.

ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තය 2010 ලෝක කුසලානයේ අවසාන මහා තරඟයේ දී ක්‍රීඩා කල කණ්ඩායම් දෙක බැවින් මෙම තරඟයට බොහෝ දෙනාගේ අවධානය යොමු විය. තරඟයේ 27 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් මාර්ගයෙන් ගෝලයක් ලබාගැනීමට ස්පාඤ්ඤයේ ක්ශබි අලොන්සෝ සමත් වූවත් ඉන්පසු ඇරඹුනේ නෙදර්ලන්තයේ දැඩි ප්‍රහාරයයි. ඉන්පසු ගෝල 5 ක් රැස් කිරීමට නෙදර්ලන්තයට හැකිවිය. 44 සහ 72 වැනි මිනිත්තු වලදී රොබින් වැන් පර්සි විසින් ද 53 සහ 80 මිනිත්තු වල දී ආයන් රොබන් විසින් ද 64 වැනි මිනිත්තුවේ දී ස්ටෙෆන් ඩි රයි විසින් ද නෙදර්ලන්තය වෙනුවෙන් ගෝල වාර්තා කරන ලදී. ඒ අනුව නෙදර්ලන්තය 5-1 ක් වශයෙන් තරඟය ජයගත් අතර ස්පාඤ්ඤය මූලික වටයෙන්ම ඉවත් වීමට ද මෙම පරාජය දැඩි ලෙස බලපෑ කරුණක් විය.

2. නෙදර්ලන්තය සහ පෘතුගාලය අතර තරඟය (2006 ලෝක කුසලානය)

AFP

2006 පාපන්දු ලෝක කුසලානයේ 16 දෙනාගේ වටයෙහි තරඟයක් වූ මෙම තරඟය පැවැත්වුනේ 2006 ජූනි මස 25 වැනි දින ජර්මනියේ නියුරම්බර්ග් හීදීය.

මෙම තරඟය ප්‍රේක්ෂකයින්ට කිසිදා අමතක නොවන තරඟයකි. මෙම තරඟය “පාපන්දු පිටිය යුධ පිටියක් වූ තරඟය” ලෙසින් හැඳින්වූවත් වරදක් නැත. මෙම තරඟයේ 2 වැනි මිනිත්තුවේ දී නෙදර්ලන්තයේ මාර්ක් වැන් බොම්මෙල් විසින් කහ කාඩ් පතක් ලද අතර ඉන්පසු තරඟය අවසන් වනවිට දෙපිලෙහිම ක්‍රීඩකයින් විසින් කහ කාඩ් පත් 16 ක් ද රතු කාඩ් පත් 4 ක් ද ලබාගත්හ. FIFA විසින් සංවිධානය කරන ලද ඕනෑම තරඟාවලියක දී එක් තරඟයක ක්‍රීඩකයින් විසින් ලබාගත් වැඩිම කාඩ්පත් සංඛ්‍යාව මෙම තරඟයේ දී වාර්තා වූ අතර එය වාර්තාවකි. පෘතුගාලයේ කොස්ටීනියා සහ ඩෙකෝ විසින් රතුකාඩ් පත් ලබාගත් අතර නෙදර්ලන්තයේ කාලීඩ් බූල්හරූස් සහ ජිවානි වැන් බ්‍රොන්කොස්ට් විසින් රතු කාඩ් පත් ලබාගන්නා ලදී. මෙම තරඟයේ 23 වැනි මිනිත්තුවේ දී පෘතුගාලයේ මනීෂ් විසින් තරඟයේ වාර්තා වූ එකම ගෝලය වාර්තා කලේය.

මෙම තරඟයේ විනිසුරු ලෙසින් කටයුතු කලේ රුසියාවේ වැලන්ටින් ඉවනොෆ් ය​. කාඩ් පත් වලට අමතරව දෙපිලෙහි ක්‍රීඩකයින් විසින් ගැටෙන අවස්ථා ද කිහිපයක් මෙම තරඟයේ දී දැකගත හැකිවිය. පෘතුගාලය ගෝලයක් වාර්තා කිරීමෙන් අනතුරුව ගෝලයක් වාර්තා කිරීමට නෙදර්ලන්තය ගත් උත්සාහය ද එය වළක්වාලීමට පෘතුගාලය ක්‍රියා කල ආකාරය ද ඉතා පැසසුම් සහගතය. 1-0 ක් ලෙසින් තරඟය ජයගෙන අර්ධ අවසන් පූර්ව වටය වෙත පිවිසීමට පෘතුගාලයට හැකිවිය. මෙම තරඟය “Battle of Nuremberg” ලෙසින් ද හැඳින්වේ.

1. ජර්මනිය සහ ඉතාලිය අතර තරඟය (2006 ලෝක කුසලානය)

“ග්‍රෝස්සෝ විසින් වාර්තා කල අනගි ගෝලය” (dfb.de)

2006 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරඟය වූ මෙම තරඟය පැවැත්වුනේ 2006 ජූලි මස 5 වැනි දින ජර්මනියේ ඩෝර්ට්මන්ඩ් හීදීය.

තරඟය පැවැත්වෙන අවස්ථාවේ දී දෙපිලම කරට කර මට්ටමේ සිටින ලදී. නමුත් සත්කාරකත්වයේ වාසිය හිමිවූ බැවින් ජර්මනියට වාසි සහගත තත්වයක් ද තිබුණි. තරඟය ආරම්භ වූ අවස්ථාවේ පටන් දෙපිලෙහිම ක්‍රීඩකයින් ඉතා හොඳින් ක්‍රීඩා කලද නියමිත මිනිත්තු 90 තුල දී හෝ ඉන්පසු විනාඩි 30 ක් වූ අතිරේක කාලයේ මිනිත්තු 28 ක් ගත වනතුරුම ගෝලයක් වාර්තා කිරීමට දෙපිලටම නොහැකිවිය. එහෙත් තරඟයේ 119 වැනි මිනිත්තුවේ දී ඉතාලියේ ෆැබියෝ ග්‍රෝස්සෝ විසින් වාර්තා කල විශිෂ්ට ගෝලය ඉතාලි ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් වලින් කිසිදා නොමැකෙනු ඇත. ග්‍රෝසෝගේ ගෝලයෙන් විනාඩි දෙකකට පසු (120+1) ඉතාලියේ ඇලෙස්සැන්ඩ්‍රෝ ඩෙල් පියෙරෝ විසින් තවත් ගෝලයක් වාර්තා කලේය. ඒ අනුව 2-0 ක් ලෙසින් ඉතාලිය තරඟය ජයගත් අතර අවසාන මහා තරඟයට ප්‍රවිෂ්ඨ වීමට තිබූ සියලුම බලාපොරොත්තු අතහැර දැමීමට ජර්මනියට සිදුවිය. මෑත කාලයේ පාපන්දු ඉතිහාසයේ පැවැත්වුන හොඳම පාපන්දු තරඟයක් ලෙසින් ද මෙම තරඟය හැඳින්විය හැක.

පසුගිය ලෝක කුසලාන තරඟාවලි කිහිපයේ දී මෙම උද්වේගකර තරඟ පැවත්වී ඇති අතර මෙම තරඟ ක්‍රීඩා ලෝලීන්ට කිසිදා අමතක නොවන තරඟ ද වේ. මෙවර ලෝක කුසලානයේදී ද මෙවැනි උණුසුම් තරඟ රාශියක් පැවැත්වෙනු ඇති බවට ක්‍රීඩා ලෝලීන් අපේක්ෂාවෙන් සිටී.  

Cover – Getty Images

Related Articles