Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් ක්‍රීඩාවේ දී ප්‍රතිවාදීන් අමාරුවේ දමන මොකක් ද මේ ස්ලෙජිං?

ලෝකයේ තිබෙන වඩාත් තරගකාරී ක්‍රීඩා අතරට ක්‍රිකට් ද අයත්. එනිසා ක්‍රිකට් තරගවල දී ඇතැම් ක්‍රීඩකයන් හොඳින් හෝ නරකින් තරග ජයග්‍රහණය කිරීමට උත්සාහ කරනවා. එවැනි අවස්ථාවල දී ඔවුන් ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයන් කෝප ගැන්වීම සඳහා විවිධ දේවල් පවසනවා.

එපමණක් නොව සමහර අවස්ථාවල දී හිතා මතාම ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයන්ගේ ඇඟේ හැප්පෙනවා, ඔවුන්ට ශාරීරික අඩන්තේට්ටම් වන ලෙස හැසිරෙනවා. ඔවුන් එසේ ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයන් කෝප ගන්වන්නේ ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාව බිඳ දැමීම සඳහා යි. ඒ විදිහට ක්‍රිකට් පිටිය තුළ දී හිතා මතාම ප්‍රතිවාදී ක්‍රීඩකයන් කෝප ගැන්වීම හඳුන්වන්නේ ‘ස්ලෙජිං’ යන නමින්.

රොෂාන් මහානාම සහ ඩැරන් ගෆ් එක්දින තරගයක් අතරතුර ගැටුණු අවස්ථාවක් -gettyimages.com

සාමාන්‍යයෙන් බොහෝ කණ්ඩායම්වල කඩුලු රකින්නන් සහ වේගපන්දු යවන්නන් ප්‍රතිවාදී කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට නිතර ම ස්ලෙජිං කරන ආකාරය දක්නට ලැබෙනවා. මීට දශක ගණනාවකට පෙර එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල්වල ක්‍රීඩකයන් ස්ලෙජිං කප්පිත්තන් ලෙස නම් දරා සිටියත් අද වන විට ලෝකයේ බොහෝ රටවල්වල ක්‍රීඩකයන් ස්ලෙජිං කරනවා.

එනිසා අද වන විට ස්ලෙජිං හරිම සාමාන්‍ය දෙයක් බවට පත් ව තිබෙනවා. ලෝක ක්‍රිකට් ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී ස්ලෙජිං සම්බන්ධ අපූරු සිදුවීම් රැසක් අපගේ මතකයට නැගෙනවා. මේ ඔබට කියන්න යන්නේ ඒ අතුරින් සිදුවීම් 5ක් පිළිබඳව යි.

1). මර්ව් හියුස්ගේ බස් එකේ ටිකට් නැතුව ගිය ජාවෙඩ් මියැන්ඩාඩ්

1989/90 ඕස්ට්‍රේලියා-පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ඇඩිලේඩ් ඕවල් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ පළමු ඉනිම සඳහා පාකිස්තානය ලකුණු 257ක් ලබා ගනිද්දී ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට ලකුණු 341ක් රැස් කළා.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 22ක දී දැවී ගියා. එහි දී එම කඩුලු 4 ම දැවී ගියේ මර්ව් හියුස්ගේ පන්දු හමුවේ යි. එම අවස්ථාවේ දී මර්ව් හියුස් ඉතාමත් හොඳ රිද්මයකට අනුව පන්දු යවමින් සිටියා. එනිසා ඒ වන විට කඩුල්ලේ රැඳී සිටි ජාවෙඩ් මියැන්ඩාඩ් පන්දුවට පහර දුන්නේ ඉතාමත් අසීරුවෙන්.

ජාවෙඩ් මියැන්ඩාඩ් – gettyimages.com

ඒ අවස්ථාවේ දී මර්ව් හියුස්ගේ මානසික ඒකාග්‍රතාව බිඳ දැමීමේ අරමුණෙන් ජාවෙඩ් මියැන්ඩාඩ් ඔහු දෙසට හැරී “මර්ව් මට හැම වෙලේම උඹව පෙන්නෙ තඩි මහත බස් කොන්දොස්තර කෙනෙක් වගේ” යනුවෙන් පවසා සිටියා. එසේ මියැන්ඩාඩ් කළ අපහාසයට පෙරළා පිළිතුරක් දීමට මර්ව් උත්සාහ කළේ නැහැ.

ඒ වෙනුවට ඔහු කළේ සැලසුම් සහගත ලෙස පන්දු යවමින් ඒ මොහොතේ සිය කණ්ඩායමට අවශ්‍ය ම වී තිබුණු මියැන්ඩාඩ්ගේ කඩුල්ල දවා ගැනීම යි. එසෙල මියැන්ඩාඩ්ගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව නම් මර්ව් නිකම් බලාගෙන හිටියේ නැහැ. ඔහු එම අවස්ථාවේ තමන්ට කළ අපහාසයට පෙරළා පිළිතුරු දෙමින් මියැන්ඩාඩ් හමුවේ පවසා සිටියේ “බස් එකේ ගියා නම් කරුණාකර ටිකට් ගන්න” යන අපහාසාත්මක වදන යි.

මර්ව් හියුස් – gettyimages.com

2). මාක් බවුචර් ටැටෙන්ඩා ටයිබුට අපහාස කර විකට්ටුව ලබාගත් හැටි

2005 සිම්බාබ්වේ-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය සෙන්චූරියන් හි සුපර්ස්පෝර්ට්ස් පාක් පිටියේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ පන්දුවට මුලින් පහර දුන් සිම්බාබ්වේ පිල සිය පළමු ඉනිමට ලබා ගත් ලකුණු 269ට පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකානුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 480ක් රැස් කළා.

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 211ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ සිම්බාබ්වේ පිලේ මුල් කඩුලු 4 ලකුණු 29ක දී දැවී ගියා. එම අවස්ථාවේ පිටියේ එකතු වුණු හැමිල්ටන් මසකඩ්සා සහ ටැටෙන්ඩා ටයිබු ඉවසීමෙන් පන්දුවට පහරදෙමින් සිම්බාබ්වේ ලකුණු පුවරුව 62/4 දක්වා ඔසවා තැබුවා.

ටැටෙන්ඩා ටයිබු – gettyimages.com

එවැනි තත්ත්වයක් යටතේ දකුණු අප්‍රිකානුවන්ට කඩුල්ලක් දවා ගැනීමට අවශ්‍ය ම වුණු නිසා දකුණු අප්‍රිකානු පිලේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළ මාක් බවුචර් සිම්බාබ්වේ පිතිකරු ටයිබුට අපහාස කරන්නට පටන් ගත්තා. දඟපන්දු යවන්නෙක් වුණු නිකී බෝයේ පන්දු යවමින් සිටි එම අවස්ථාවේ බවුචර් ප්‍රතිවාදී පිතිකරු ටැටෙන්ඩා ටයිබුට ඇසෙන්නට කීවේ මෙවැනි අකාරුණික වදන් පෙළක්.

“ඔයාට ඉතින් ඔහොම බය නැතුව බෝලෙට ගහන්න පුළුවන් අපේ දඟපන්දු යවන්නන් පන්දු යවන වෙලාවට විතරයිනෙ. මීට කලින් කේප්ටවුන්වල තිබුණ ටෙස්ට් තරගයේ දි අපේ වේගපන්දු යවන්නො ඉස්සරහ ඔයාට ඒ මොකද ඒ වුණේ?”.

ඒ අයුරින් ටයිබුට අපහාස කරමින් සිටින අතරතුර බෝයේ යොමු කළ පන්දුවට ටයිබු කවර් කලාපය වෙත සෙමෙන් පන්දුව තල්ලු කළා. එවිට ටයිබුට සමච්චල් කරමින් බවුචර් පවසා සිටියේ “ටැටෙන්ඩා එය ලොකු පහරක්” යන වචන පෙළ යි.

මාක් බවුචර් – gettyimages.com

එම ඉනිම ක්‍රීඩා කිරිමට පිටියට පැමිණෙද්දී එම ටෙස්ට් තරගාවලියේ ටයිබුගේ පිතිකරණ සාමාන්‍යය 10ක් ලෙස සටහන් වුණා. එයට ද අපහාස කරමින් බවුචර් පවසා සිටියේ “ටැටෙන්ඩා මේ තරගාවලියේ ඔයාගෙ පිතිකරණ සාමාන්‍ය නවයයි ද? දහයයි ද?. මං හිතන්නෙ නම් නමයයි ඒත් කමක් අපි ඔයාගෙ සාමාන්‍ය දහයයි කියල හිතාගන්නම්කො” යන වචන පෙළ යි. එසේ එල්ල කළ අපහාස ඉවසාගෙන සිටි ටයිබු තවත් සැලකිය යුතු තරම් පන්දු වාර ප්‍රමාණයක් කඩුල්ලේ රැඳී සිටිය ද අවසානයේ දී ඔහු මොන්ඩේ සොන්ඩේකිගේ පන්දුවක් හමුවේ බවුචර් අතට ම උඩපන්දුවක් ලබා දී දැවී ගියා.

3). ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් සහ ඩ්වේන් බ්‍රාවෝ ඇවිළුණු හැටි

21 වන සියවසේ දී එංගලන්තයෙන් බිහි වුණු හොඳ ම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණු ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් ටිකක් විතර කුකුල් කේන්තිකාරයෙක්. එනිසා ඔහු ඇතැම් අවස්ථාවල ප්‍රතිවාදී ක්‍රීඩකයන් සමඟ ගැටුම් ඇති කර ගත්තා. මේ කියන්න යන්නේ 2004 එංගලන්ත-කොදෙව් ටෙස්ට් තරගාවලිය යටතේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ පැවති ටෙස්ට් තරගයක දී ඔහු කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ සමඟ ඇති කර ගත් ගැටුමක් පිළිබඳව යි.

ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් පන්දුවට පහරදෙමින් – gettyimages.com

එම ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී ලකුණු 231ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිල එක් අවස්ථාවක කඩුලු කඩුලු 3ක් දැවී ලකුණු 146ක් ලබා සිටියා.

ඒ මොහොතේ පන්දුවට පහර දෙමින් සිටි ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් කෝප ගැන්වීමට කල්පනා කළ ඩ්වේන් බ්‍රාවෝ ඒ වන විට පන්දු යවමින් සිටි ෆිඩෙල් එඩ්වඩ්ස් දිරිමත් කළේ “කම් ඕන් ෆිඩී කම් ඕන් ෆිඩී (come on fiddy, come on fiddy) මේ වගේ තවත් හොඳ ඕවරයක් දාලා මහත මිනිහගෙ විකට් එක ගම්මු” යන වචන පෙළ යි.

ඩ්වේන් බ්‍රාවෝ – gettyimages.com

එහි දී බ්‍රාවෝ මහත මිනිසා ලෙස අපහාස කළේ තරමක් තරබාරු සිරුරකින් යුක්ත වුණු ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ට යි. බ්‍රාවෝගේ එම වචන පෙළ ඇසීමත් සමඟ ම කෝපයට පත්වුණු ෆ්ලින්ටොෆ් පවසා සිටියේ “අපි බලමු තව අවුරුදු තුනකින් ඔයා කොහෙද ඉන්නෙ කියල. මං ඔට්ටු තියල කියනව ඔයා හැසිරෙන විදිහට නම් ඒකාලෙ වෙනකොට ක්‍රිකට් ගහන එකක් නෑ” යන වචන පෙළ යි.

බ්‍රාවෝගේ එම අපහාසයට එසේ පිළිතුරු දුන් ෆ්ලින්ටොෆ් ඉන් නොනැවතී නොදැවී ලකුණු 57ක් ලබා සිය කණ්ඩායම
ජයග්‍රහණය කරා රැගෙන ගියා.

4). පාතිව් පටෙල්ගේ නොහොබිනා කතාවට ස්ටීව් වෝ දුන් කදිම පිළිතුර

ඉන්දු-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය බ්‍රිස්බේන් හි ගැබා පිටියේ දී 2003 දෙසැම්බර් 4 වැනිදා ආරම්භ වුණා. එම තරගාවලියේ මුල් ටෙස්ට් තරග තුන නිමා වෙද්දී දෙපිල ම තරගය බැගින් ජයග්‍රහණය කර තිබුණා. එනිසා සිඩ්නි පිටියේ පැවති සිව්වන තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය හිමි වීමට නියමිත ව තිබුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු එම ටෙස්ට් තරගය ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් වෝ සහභාගි වුණු අවසන් ටෙස්ට් තරගය බවට ද පත් වුණා. එම තරගයේ අවසන් දිනයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 443ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානුවන් එක් අවස්ථාවක කඩුලු 4ක් දැවී ලකුණු 330ක් ලබා ගෙන ප්‍රබල තත්ත්වයකට පත් ව සිටියා.

ඒ මොහොතේ සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගි වුණු ස්ටීව් වෝ අර්ධ ශතකයක් ලබා විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දෙමින් සිටියා. ඒ අවස්ථාවේ ස්ටීව්ගේ මානසික ඒකාග්‍රතාව බිඳ දැමීමට උත්සාහ කළේ ඉන්දීය කඩුලු රකින්නා ලෙස කටයුතු කළ පාතිව් පටෙල්. එවකට 18 හැවිරිදි වියේ පසු වුණු පාතිව් ඕස්ට්‍රේලියානු නායකයා හමුවේ පවසා සිටියේ “ස්ටීව් ඔයා විශ්‍රාම ගන්න කලින් අර වෙනද ගහන විදිහට ලොකු ස්වීප් පාරක් ගහල පෙන්නන්න පුළුවන් ද?” යන වදන් පෙළ යි.

පාතිව් පටෙල් – gettyimages.com

වයසින් ඉතාමත් කුඩා ක්‍රීඩකයෙක් වුණු පාතිව් සමච්චලයට පැවසූ එම වදන්වලට ස්ටීව් වෝ ලබා දුන්නේ මෙවැනි අපූරු පිළිතුරක්. “පුතේ මං වගේ වැඩිහිටි ක්‍රීඩකයන්ට ටිකක් ගරු කරල කතා කළොත් හොඳයි. ඒ මොකද මං පළවෙනි ටෙස්ට් තරගෙ සෙල්ලම් කරද්දි ඔයා කලිසමේ ජරා කරගන්න පොඩි එකෙක්”. ස්ටීව් වෝ එල්ල කළ එම දරුණු වාග් ප්‍රහාරය හමුවේ පාතිව් පටෙල්ට නිහඬ ව සිටීමට සිදු වුණා. එම සිදුවීමෙන් පන්දු වාර කිහිපයකට පසුව ලකුණු 80ක් ලබා ගෙන සිටි ස්ටීව් වෝ දැවී ගියා. එනිසා ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොර ව අවසන් වුණා.

ස්ටීව් වෝ සිය අවසන් ටෙස්ට් තරගයේ දී පන්දුවට පහරදෙමින් – gettyimages.com

5). ජේම්ස් ඇන්ඩර්සන් සහ මිචෙල් ජොන්සන් අතර ඇති වුණු ගැටුම

2010/11 අළුබඳුන තරගාවලියේ තෙවන ටෙස්ට් තරගය එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පර්ත් නුවර වැකා පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහරදුන් ඕස්ට්‍රේලියාව එක් අවස්ථාවක කඩුලු 7ක් දැවී ලකුණු 201ක් ලබාගෙන සිටියා.

ඒ මොහොතේ පන්දු යවමින් සිටි ජේම්ස් ඇන්ඩර්සන් ඕස්ට්‍රේලියානු අග පෙළ කඩුලු ඉක්මනින් දවා ගැනීමට නොහැකි වුණු නිසා දැඩි ලෙස කෝපයට පත්ව වචන මුමුණමින් පන්දු යවන සීමා ඉර වෙත ගියා.

ජේම්ස් ඇන්ඩර්සන් 2010/11 අළුබඳුන තරගාවලිය අතරතුර – gettyimages.com

ඉන් පසුව ඔහු රයන් හැරිස් වෙත පන්දුවක් යැවීමට සුදානම් වුණු අවස්ථාවේ පන්දු යවන්නාගේ අන්තයේ සිටි ඕස්ට්‍රේලියානු පිතිකරු මිචෙල් ජොන්සන් සමච්චලයට මෙන් පවසා සිටියේ “ඔබ මොකද කිචිබිචි ගාන්නෙ මිත්‍රයා?. ඔබට කොහොමත් දැන් කඩුලු ලබාගන්න බැහැ” යන වචන කිහිපය යි.

එම වචන ඇසීමෙන් පසුව තවත් කෝපයට පත්වුණු ඇන්ඩර්සන් ඊළඟට යොමු කළ පන්දුව කෙළින් ම කඩුල්ලේ වැදීමෙන් රයන් හැරිස් දැවී ගියා.

මිචෙල් ජොන්සන් පර්ත් ටෙස්ට් තරගයේ දී පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

එම දැවී යාමත් සමඟින් ඇන්ඩර්සන් ප්‍රමුඛ එංගලන්ත ක්‍රීඩකයන් ජොන්සන්ට අපහාස කරන ආකාරය දක්නට ලැබුණා. පසුව එයට නිසි පිළිතුරු ලබාදුන් ජොන්සන් ලකුණු 38කට කඩුලු 6ක් දවා ගනිමින් එංගලන්ත පළමු ඉනිම ලකුණු 187කට සීමා කළා. ජොන්සන්ගේ එම දක්ෂ පන්දු යැවීම නිසා අවසානයේ දී එම තරගයෙන් ඕස්ට්‍රේලියාවට ලකුණු 267ක දැවැන්ත ජයක් හිමි වුණා.

කවරයේ ඡායාරූපය- පාකිස්තානයේ ජාවෙඩ් මියැන්ඩාඩ් සහ ඕස්ට්‍රේලියාවේ ඩෙනිස් ලිලී අතර ස්ලෙජිං නිසා ඇති වුණු ප්‍රසිද්ධ ගැටුම - gettyimages.com

මූලාශ්‍ර:
espncricinfo.com
howstat.com
wisden.com
cricbuzz.com

Related Articles