Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1996 ලෝක කුසලාන ජයග්‍රහණයට පාර කැපූ සබඳතා 6ක්

1996 ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වුණු අමතක නොවන ජයග්‍රහණයක් වනවා. ශ්‍රී ලංකා කණ්ඩායම එම ජයග්‍රහණය ලබා ගැනීමේ දී අසීරු අවස්ථාවන් කිහිපයක් පසු කළා. එම අවස්ථාවල දී ශ්‍රී ලංකා පිතිකරුවන් ගොඩනැගූ තීරණාත්මක සබඳතා ඇතැම් තරගවල තීරණය වෙනස් කරනු ලැබුවා. 1996 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් ගොඩනැගූ තීරණාත්මක සබඳතා 6ක් පිළිබඳව යි මේ ලිපියෙන් අප ඔබ වෙත ගෙන එන්නේ.

අරවින්ද සහ ගුරුසිංහ- ලකුණු 172 (සිම්බාබ්වේට එරෙහිව)

1996 ලෝක කුසලාන තරගාවලිය යටතේ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිතිකරුවන් කඩුලු 6ක් දැවී ලකුණු 228ක් ලබාගත්තා. එහි දී සිම්බාබ්වේ ඉනිම වර්ණවත් කළ ඇලිස්ටෙයාර් කැම්බල් ලකුණු 75ක් වාර්තා කළා. ඉන්පසුව, ලකුණු 229ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් වුණු සනා-කළූ යුගලය ලකුණු 23ක් තුළ ක්‍රීඩාගාරය වෙතට ගියේ හීත් ස්ට්‍රීක්ගේ මනරම් පන්දු යැවීම නිසා යි. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් අවදානම් අඩියකට වැටී සිටි අවස්ථාවේ පිටියේ එක් වුණු අරවින්ද සහ ගුරුසිංහ ලකුණු 172ක සබඳතාවයක් ගොඩනැගුවා. 

අරවින්දගේ ඉනිමේ අවස්ථාවක් (espncricinfo)

එය එම අවදිය වන විට ශ්‍රී ලංකා පිතිකරු යුගලයක් එක්දින තරගයක ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ ඉහළම සබඳතාවය වුණා. ඊට පෙර එම වාර්තාවේ උරුමක්කරුවන් වුණේ 1982 වසරේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 170ක සබඳතාවයක් ගොඩනැගූ රෝයි ඩයස් සහ සිදත් වෙත්තමුණි නම් පිතිකරු යුගලය යි. එදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ගුරුසිංහ හයේ පහර 6ක් සමගින් ලකුණු 87ක් ලබාගන්නා විට අරවින්ද ලකුණු 91ක් ලබාගත්තා. එලෙස ගුරුසිංහ එල්ල කළ හයේ පහරවල් 6 එම අවධියේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින තරගයක දී එල්ල කළ වැඩිම හයේ පහර ප්‍රමාණය වුණා. එසේම, එදා අරවින්ද ලබාගත් ලකුණු 91 එම අවධියේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලෝක කුසලාන තරගයක දී වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණය වුණා. ඔහුට පෙර එම වාර්තාව හිමිකරගෙන සිටියේ 1987 ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්ථානයට එරෙහිව ලකුණු 89ක් ලබාගත් රොෂාන් මහානාම යි. 

අර්ජුණ සහ හෂාන් – ලකුණු 131* (ඉන්දියාවට එරෙහිව)

1996 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති පළමු වටයේ තරගයක දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරග කළේ දිල්ලි නුවර ෆෙරෝෂා කොට්ලා පිටියේ දී යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය පිතිකරුවන් කඩුලු 3ක් දැවී ලකුණු 271ක් ලබාගත්තේ, ටෙන්ඩුල්කාර්ගේ පිත්තෙන් වාර්තා වුණු මනරම් ලකුණු 137 නිසා යි. ඉන් අනතුරුව ලකුණු 272ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 1ක් පමණක් දැවී ලකුණු 129ක් ලබා සිටියේ ජයසූරියගේ සුපිරි පිති හරඹය නිසා යි. නමුත්, එම මොහොතේ දී ගුරුසිංහ, ජයසූරිය, සහ අරවින්ද යන ප්‍රබල පිතිකරුවන් තිදෙනාම ලකුණු 12ක් තුළ දැවීගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 141/4 බවට පත් වෙමින්. නොසිතූ මොහොතක සිය කණ්ඩායම අවදානම් අඩියකට වැටුණු අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු අර්ජුණ සහ හෂාන් නොබිඳුණු ලකුණු 131ක සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළා. එහි දී හෂාන් නොදැවී ලකුණු 70ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් අර්ජුණ නොදැවී ලකුණු 46ක් ලබාගත්තා.

අර්ජුණ 1996 ලෝක කුසලාන තරගාවලිය අතරතුර (gettyimages)

අරවින්ද සහ ගුරුසිංහ- ලකුණු 183 (කෙන්යාවට එරෙහිව)

1996 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති ශ්‍රී ලංකා-කෙන්යා තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 2ම ලකුණ් 88ක් තුළ දැවීගියා. ඉන්පසුව, පිටියේ එකතු වුණු ගුරුසිංහ සහ අරවින්ද ලකුණු 183ක සබඳතාවයක් ගොඩනැගුවේ එම අවධියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක වාර්තා වුණු හොඳම සබඳතාවය සටහන් කරමින්. එහි දී බිඳවැටුණේ ඔවුන් දෙදෙනාම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 1996 ලෝක කුසලාන තරගාවලියේ දී තබා තිබුණු ලකුණු 172ක වාර්තාව යි. එලෙස අරවින්ද සහ ගුරුසිංහ අගනා සබඳතාවයක් ගොඩනැගූ අවස්ථාවේ ගුරුසිංහ ලකුණු 84ක් ලබාගන්නා විට, අරවින්ද පන්දු 115කින් ලකුණු 145ක් ලබාගත්තේ ලෝක කුසලාන තරගයක ශතකයක් ලබාගත් මුල්ම ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් වෙමින්.

ජයසූරිය සහ ගුරුසිංහ- ලකුණු 101 (එංගලන්තයට එරෙහිව)

1996 ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වුණේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 235ක් ලබාගත්තා. එංගලන්ත ඉනිම නිමාවට පත් වීමෙන් පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් කළුවිතාරණ දැවීයන විට ලකුණු පුවරුව සටහන් වුණේ 12/1 ලෙස යි. කළුවිතාරණගේ නික්ම යාමත් සමගම ක්‍රියාත්මක වුණු ජයසූරිය, පන්දු 44කින් වේගවත් ලකුණු 82ක් ලබාගත්තේ ගුරුසිංහ සමග එක්ව පන්දු 68කින් ලකුණු 101ක සබඳතාවයක් ගොඩනගමින්. එදා ජයසූරිය සහ ගුරුසිංහ ගොඩනැගූ වේගවත් සබඳතාවය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 236ක ඉලක්කය පහසුවෙන්ම හඹායාමට හැකි වුණා. 

ජයසූරියගේ ඉනිමේ අවස්ථාවක්  (gettyimages)

මහානාම සහ අර්ජුණ- ලකුණු 83 (ඉන්දියාවට එරෙහිව)

1996 ලෝක කුසලාන තරගාවලිය යටතේ කල්කටා නුවර, ඊඩ්න් ගාඩ්න් පිටියේ දී පැවති ඉන්දු-ලංකා අවසන් පූර්ව තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එදා පළමු පන්දුවාරයේ දී ම සනා-කළූ යුගලය දැවීගියේ ඉන්දීය කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත් කරමින්. නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු අරවින්ද, හතරේ පහර 14ක් සමගින් පන්දු 47ක දී ලබාගත් ලකුණු 66 නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 85/3 ලෙසින් සටහන් වුණා. එලෙස ඉනිම ස්ථාවර වෙමින් පැවති අවස්ථාවේ දී අරවින්ද ලකුණු 66කට දැවීයාම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම අවදානම් අඩියකට වැටුණා. නමුත් එම තීරණාත්මක මොහොතේ වගකීමෙන් පිත්ත හැසිරවූ අර්ජුණ සහ මහානාම, ලකුණු 83ක අගනා සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 251ක් වැනි ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට අත්වැලක් වෙමින්.

මහානාම අවසන් පූර්ව තරගයේ දී (gettyimages)

අරවින්ද සහ ගුරුසිංහ- ලකුණු 125 (ඕස්ට්‍රේලියාවට එරෙහිව)

අරවින්ද සහ ගුරුසිංහ අවසන් තරගයේ දී (gettyimages)

ලාහෝර් නුවර, ගඩාෆි පිටියේ පැවති 1996 ලෝක කුසලාන අවසන් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 241ක් ලබාගත්තා. ඉන් අනතුරුව, එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 23ක් වන විට දවාගැනීමට ඕස්ට්‍රේලියානුවන්ට හැකි වුණා. එලෙස තරගය දෙපිලටම විවෘතව පැවති අවස්ථාවේ දී පිටියේ එක් වුණු අරවින්ද සහ ගුරුසිංහ, ලකුණු 125ක අගනා සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ජය මාවතට යොමු කරමින්.

කවරයේ ඡායාරූපය- අරවින්ද සහ ගුරුසිංහ අවසන් තරගයේ දී (gettyimages)

Related Articles