අද ජනගහනය වැඩි වී කුඩා නගර මහ නගර වෙලා. නගර සංවර්ධනය සිදු වී ඇති නමුත් මුල සිට ම පොදු ජනතාවගේ ගමන් සගයා වුණු බස් ප්‍රවාහනය සිදු වන මාර්ග නම් අද අඩු වෙලා.
කොළඹ නගරය ඔස්සේ ධාවනය වුණු මාර්ග අංක රාශියක ම බස් රථ අද දුවන්නේ නැහැ. එදා නිසි කලට සේවය සැයපූ ලංගම බස් නම් දකින්නට වෙන්නේ ඉතා කලාතුරකින්. මේ නිසා එක බසයෙන් ගෙදර ගිය ජනතාවට වැඩි මුදලක් වැය කර ගමන කැඩි කැඩී බස් කිහිපයක ගාටන්න වෙලා.
පාරේ දිවූ බස්
කොරෝනා වසංගතයට පෙර බස්නාහිර පළාත ආශ්‍රිත ව පෞද්ගලික බස්රථ 6800ක් පමණ ධාවනය කර තිබෙනවා. පොදු ප්‍රවාහන සේවාවේ සමස්ත බස් රථ 20,000ක් පමණ වූ බව සඳහන් වෙනවා. කොරෝනා අවදානමෙන් පසු කාලයේත් එයට වසර ගණනකට පෙරාතුවත් මාර්ග අංක රැසක් යටතේ ධාවනය වූ බස් රථ රාශියක් මගී ප්‍රවාහනයෙන් ඉවත් වී තිබෙනවා. මේ බස් රථ සංඛ්‍යාවෙන් 3000ක් පමණ අන්තර් පළාත් ධාවනයට යොදවා තිබෙනවා.
බස් ධාවනය විධිමත් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ආරම්භ කොට ඇත්තේ 1991 වසරේදී යි. පළාත් ප්‍රවාහන අධිකාරිය 1992 දී අරඹා තිබෙනවා. 1977 බලයට පත් එජාප රජය පෞද්ගලික අංශයට ප්‍රවාහන සේවයට නැවත පිවිසීමට ඉඩ කඩ විවර කළා. මේ නිසා මුල් කාලයේ නම් බස් රථ බොහොමයක මාර්ගවල ගමන් කළා. ඒත් සමඟ ටිකින් ටික මුල් කාලයේ ලංගම බස් දිවූ මාර්ග රාශියක් අද මතකයට පමණක් එකතු වෙලා.
පිටකොටුවේ සහ කොටුවේ බස්
කොළඹ වාණිජ හදවත පිටකොටුව ලෙස තවමත් පවතිනවා. මේ නිසා වැඩි ම ජනසංඛ්‍යාවක් එකතු වන්නේ පිටකොටුවට යි. වැඩිපුර ම බස් රථ ප්‍රමාණයක් ගමන් කළේ ද කොටුව සහ පිටකොටුව ආවරණය වන පරිදි යි.
මුල් ම කාලයේ කොටුවේ රැජන වීදිය ඔස්සේ බස් රථ ධාවනය නොවූ අතර ලෝටස් පාර, යෝක් වීදිය හරහා පමණක් බස් ධාවනය මාර්ග අංක විසි පහක් පමණ යටතේ ගමන් කර තිබෙනවා. පිටකොටුවෙන් පිටත් වන ගාලු පාරේ බස් 1990 දශකයේ මැදක් වනතුරු ගමන් කළේ රජගෙදර පිටුපසින් වැටී තිබෙන ගෝල් බක් පාරේ යි. ඒ දිනවල මාර්ග අංක 102 කොටහේන – ගල්කිස්ස බස් රථය ද ධාවනය වුණා.
මාර්ග අංක 100 ජාඇළ- ලුනාව බසය, අංක 138 කඩවත – මහරගම, අංක 106 වත්තල – ගල්කිස්ස, අංක 107 ඇලකන්ද – කළුබෝවිල පස් ද ඒ අතර වුණා. ඒවා ඒ දිනවල බඩගාමි නමින් හැඳින්වුණා. ඒ මන්දගාමී ව ධාවනය කළ නිසා යි. අද මේ මාර්ග අංක යටතේ සෘජු බස් ධාවනයක් සිදු වන්නේ නෑ.
ලංගම ධාවන මාර්ග කිහිපයක්
ලංගම ආරම්භ කළ මුල් කාලයේ 1960 දශකයේ බස් රථ ධාවනය වූයේ තෝරා ගත් මාර්ග කීපයක් ඔස්සේ පමණ යි. නව කැලණි පාලම හරහා එක බස් රථයක්වත් ධාවනය වුණේ නැහැ. කැලණිතිස්ස බලාගාරය ඉදිරියෙන් ඉඟුරුකඩය දක්වා වැටී ඇති මාර්ගයේ ද බස් ධාවනයක් තිබුණේ නැහැ.
ඒ කාලේ බස් රථ ගමන් කළේ තොටළඟින් පාලම තරණය කරමින්. බම්බලපිටිය ඩික්මන් පාර, ජාවත්ත පාර, කොටහේන, ජම්පටා වීදිය, මෝදර අලුත් මාවත යන ප්‍රසිද්ධ මාර්ගවල ද ලංගම බස් රථ ධාවනය කෙරුණේ නැහැ. ගාලුමුවදොර පැරණි යුද හමුදා මූලස්ථානය ඉදිරියෙන් තිබූ පහළ වැව පාර (බාලදක්ෂ මාවත) ඔස්සේ මාර්ග අංක 100 සහ 102 බස් රථ ධාවනය වූයේ හමුදා භටයන්ගේ පහසුව සඳහායි.
කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුමේ සිට නගර ශාලාවේ ලිප්ටන් වට රවුම දක්වා වැටී ඇති ධර්මපාල මාවත ඔස්සේ මුල් ම කාලයේ ධාවනය වූයේ අංක 140 කොල්ලුපිටිය – වැල්ලම්පිටිය බස් රථය පමණ යි. කොල්ලුපිටියෙන් ආරම්භ වී ඇස් රෝහල හරහා මරදාන පසුකර එය වැල්ලම්පිටිය බලා ගමන් කෙරුවා. ජාතික රෝහලට මෙන් ම ඇස් රෝහලට එන විශාල පිරිසක් මේ බස්වල ගියා.
මේ පාරේ පසුගිය දශක කිහිපයේ වැඩිපුර ම ගියේ අබලන් තත්ත්වයේ පෞද්ගලික බස් රථ යි. මෙයත් හෙමින් ගමන් කරන පාරක් ලෙස නම් දරා තිබුණා. මෑතක අවුරුදු කිහිපයක සිට 140 බස් රථ ධාවනය වන්නේ නැහැ. අංක 131 වැල්ලම්පිටිය මහරගම බස් රථයත් ලංගම බස් රාශියක් ගමන් කළ මාර්ගයක්. මෙය මුලින් ම තිබුණේ විජේරාම – කොළොන්නාව ලෙසයි. 1990 දශකයේ දී මේ බස් මාර්ගයේ ධාවනයත් නැතිවී ගොස් තිබෙනවා.
දෙකට කැඩුණු බස් මාර්ග
රැකියාවලට යන විශාල පිරිසක් භාවිත කළ බසයක් තමයි කඩවත – හෝමාගම මාර්ග අංක 138 දරන බසය. කඩවතින් ආරම්භ වී පිටකොටුව, පුරහල හරහා මහරගම පසුකරමින් හෝමාගමට එය ගමන් කළා. මේ පාරේ කඩවත අවට මෙන්ම හෝමාගම අවටත් ජනාකීර්ණ වී විශාල මගීන් පිරිසක් පසුගිය දශක කිහිපය තුළ කොළඹට ඒම ආරම්භ වුණා.
දශක කිහිපයක සිට මේ බස මාර්ගය දෙකට කඩා ධාවනය වෙනවා. ඒ කඩවත කොටුව ලෙස සහ පිටකොටුව හෝමාගම ලෙස යි. මේ නිසා තනි බසයෙන් හෝමාගම යන්න තිබුණු අවස්ථාව අහිමි වුණා.
කලකට පෙර පිටකොටුවේ සිට ගමන් කළ 224 පුගොඩ හරහා තරාල බසයත් නැහැ. ඒ වෙනුවට පූගොඩ කොළඹ බස් පමණයි ගමන් කරන්නේ. පුගොඩ සිට තරාලට යන අයට ත්‍රීවිලර් රථයකින් තමයි යන්න සිදුව ඇත්තේ. 1970 -80 දශකවල තිබුණු තවත් ප්‍රකට බස් මාර්ගයක් තමයි කොළඹ- ගම්පහ 228 මාර්ගය. ලංගම බස් රථ රාශියක් මේ පාරේ ගමන් කළා. අංක 200 මාර්ග අංක (කොළඹ- ගම්පහ) බසය ගමන් කළේ නුවර පාර ඔස්සේ නිසා බියගම පාරේ ගමන් කරන මගීන් මෙය විශාල වශයෙන් භාවිත කළා. ඒකටත් සිදුවුණේ කඩවත – හෝමාගම බසයට වුණු දේම යි. පිටකොටුව – වැලිවේරිය ලෙස එය වෙනස් වී අතරමග නැවතී තිබෙනවා. වැලිවේරියෙන් එහාට යන මගීන්ට වෙනත් බසයක යන්න සිදුවෙලා.
නාවල කොටුව 169 බසයත් 1990 දශකයේ නැතිවුණු තවත් මාර්ග අංකයක්. ඒ වෙනුවට මාර්ගය කෙටිකර 144 අංකය යටතේ රාජගිරිය- කොටුව ලෙස ධාවනය වෙනවා. එය 144 අංකය යටතේ ම නාවල – කොටුව ලෙසත් කලක් ලංගමයෙන් ධාවනය කළා.
පුරහල ළඟින් ගිය බස්
1961 වසරේ දී ලංගමය නිර්මාණය කළ බස් ධාවන සටහන අනුව කොළඹ ජාතික රෝහල හා ඇස් රෝහල ඔස්සේ පුරහල අසලින් ධාවනය වූ බස් මාර්ග අටක් පමණ තිබුණා. හෙට්ටියාවත්ත – බම්බලපිටිය 107, අංක 116 කොටුව – නුගේගොඩ, අංක 140 වැල්ලම්පිටිය – කොල්ලුපිටිය, අංක 164 අංගොඩ – කොල්ලුපිටිය, අංක 123 පිටකොටුව – අතුරුගිරිය, අංක 114 පිටකොටුව – නුගේගොඩ, අංක 103 මෝදර (ඩොක්ලන්ඩ්) අංක 173 නුගේගොඩ – තොටළඟ ඒ අතරින් කිහිපයක්.
මේ මාර්ග අංකවලින් වැඩි ප්‍රමාණයක් අද දකින්නට නැහැ. පුරහල – කඩවත අංක 193 බස් රථය ද පෞද්ගලික මෙන් ම ලංගම බස් රථ ද ධාවනය වුණු මාර්ගයක්. කඩවතින් අරඹන බසය කැලණි පාලම ඔස්සේ පැමිණ බේස්ලයින් පාරට වැටී දෙමටගොඩින් පුංචි බොරැල්ල හරහා පුරහලට ගමන් කළා. මේ නිසා පිටකොටුව මඟ හැර පුරහලට හා පුංචි බෙරැල්ලට පැමිණීමට ජනතාවට අවස්ථාව හිමි වුණා. කොඩිඩ් පළමු රැල්ල පැමිණීමත් සමඟ බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ පසුව 193 බස් රථයත් ඉතිහාසයට එකතු වුණා.
බොරැල්ලෙන් ගිය බස්
1950 මුල් කාලයේ පුංචි බොරැල්ල ඔස්සේ බස් රථ ධාවනය වුණේ නැහැ. බස් ධාවනය වූයේ ඩීන්ස් පාර සහ වෝඩ් පෙදෙස ඔස්සේ යි. ඒ දිනවල ළමා රෝහල හරහා ධාවනය වූයේ මාර්ග අංක දෙකක බස් රථ යි. ඒ 164 අංගොඩ – ඇස්වාට්ටුව හා අංක 104 ආමර්වීදිය- බොරැල්ල බස්. බොහෝ දෙනා පිටකොටුව ඔස්සේ බොරැල්ලට පැමිණ ජාතික රෝහලට ඒ කාලේ ආවා. ද සොයිසා මාතෘ රෝහලට පැමිණිය යුත්තේ ද බොරැල්ල ඔස්සේ යි.
134 අංගොඩ
පිස්සු තිබේ නම් 134 බස් එකේ අංගොඩ යන්න කියලා කතාවක් ටික කලකට පෙර කවුරුත් කිව්වා. නමුත් 134 අංගොඩ ගල්කිස්ස බස් රථය අද නැහැ. මේ බසය අංගොඩ සිට කොටිකාවත්ත, ඔරුගොඩවත්ත, කොටහේන, පිටකොටුව, කොටුව හරහා ගාලු පාරේ ගල්කිස්සට ධාවනය වුණා. බසය නැතිවීම නිසා අංගොඩ අවට සිට කොළඹට එන ජනතාව විශාල ප්‍රමාණයකට අපහසුවක් ඇතිවී තිබෙනවා.
තොටළඟ – දෙහිවල 167 බස් රථය හා කොටුව – තොටළඟ 173 බස් රථය වර්ෂ 2015 දී පමණ නැතිවී ගොස් තිබෙනවා. 173 බස් රථය නැති නිසා නුගේගොඩ අයකුට නාරාහේන්පිට කම්කරු කාර්යාලයට යාමට බස් රථ දෙකක් අවශ්‍ය වෙනවා. නැත්නම් ත්‍රිවිලරයක පිහිට පතන්න වෙනවා.රාජගිරියේ අයකුට නාරාහේන්පිටට යාමටත් නාවලට 176ක ගොස් ත්‍රිවිලරයක් ගන්නට වෙනවා. නාවල සිට නාරාහේන්පිට බස් දැන් නැති නිසයි ඒ. නැත්නම් බොරැල්ලට ගොස් 103 බසයක යන්න සිදුවෙනවා.
104 වත්තල – බම්බලපිටිය බස් එකත් මේ කාලයේ නැතිවුණා. ඒ වෙනුවට මීතොටමුල්ල ඩිපෝව මඟින් වත්තල දෙමටගොඩ බසයක් ධාවනය කරනවා.
අදත් ජනප්‍රිය මාර්ග අංක 100
කාසල් කාන්තා රෝහල ඉදිරියෙන් බස් රථ කීපයක්ම ධාවනය වූ නිසා ජනතාවට එහි යාම පහසුවක් වුණා. 170 පිටකොටුව – බත්තරමුල්ල, අංක 169 පිටකොටුව – නාවල, 110 පිටකොටුව – රාජගිරිය, 168 පිටකොටුව – ඇතුළුකෝට්ටේ වැනි බස් මේ අතර තිබුණා. මේ අතරින් 169 බස් අද වනවිට දකින්නට නැහැ. 168 බසයනම් මෑතක් වනතුරු නුගේගොඩ – කොටහේන අතර ධාවනය වූවා.
අද වන විට තව බොහෝමයක් අලුත් ධාවන මාර්ග කොළඹට පැමිණ තිබෙනවා. ඒවායින් සියයට අනූපහක ම ධාවනය කෙරෙන්නේ පුද්ගලික බස් රථ යි. සමහරක් ලංගම බස් මාර්ග පුද්ගලික අංශය ලංගමයෙන් උදුරා ගෙන තිබෙනවා. මාර්ග අංක 104 වත්තල – බම්බලපිටිය බස් රථය මේ වෙන විට මාර්ගයේ දකින්න නැහැ. මාර්ග අංක 116 මට්ටක්කුලිය – පිළියන්දල බසය ද, මාර්ග අංක 178 මට්ටක්කුලිය – නාරාහේන්පිට බසය ද මාර්ගයෙන් ඉවත් කළ තවත් බස් රථ කිහිපයක්. මේ නිසා ජාවත්ත, ටොරින්ටන් වැනි ස්ථානවල සිට මරදාන හෝ පිටකොටුවට ගමන් කළ යුතු මගීන්ට බස් රථ දෙකක ගොස් රස්තියාදුවීමටත් වැඩි මුදලක් වැය කිරීමටත් සිදුව තිබෙනවා.
බසයකට ගොඩවීමට පෙර ඔබ අනිවාර්යෙන් දැන ගත යුතු කරුණු කිහිපයක් ලිපියත් මෙතැනින් කියවන්න.
කොළඹ නගරය ඔස්සේ ධාවනය වුණු මාර්ග අංක රාශියක බස් රථ ගැන මෙතැනින් දැන ගන්න.