පසුගිය කාලේ ගාලුමුවදොර අරගලය අවස්ථාවේ දී # gotagohome හෑෂ් ටැග් ව්‍යාපාරයක් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වුණා ඔබට මතක ඇති. එයට විශාල තරුණ සහභාගිත්වයක් දක්නට ලැබුණා. ඒ වගේ ම ලොව පුරා කාන්තා ලිංගික දූෂණයට හා හිංසනයට එරෙහි ව වේගයෙන් පැතිර ගිය රැල්ලක් තමයි #MeToo කියන්නේ. එය මුලින් ම ඇරඹුණේ අමෙරිකාවෙන්.
2017 න් පසු එය සුනාමියක් සේ ලෝකය පුරා ම ව්‍යාප්ත වුණා. 2018 වනවිට අසල්වැසි ඉන්දියාවෙත් මෙම සමාජ මාධ්‍ය ව්‍යාපාරය කාන්තාවන් අතර පැතිරුණා වගේ ම ඉන් සමාජයට විශාල යහපතක් ද වුණා. වසර පහක් සපුරා ඇති #MeToo ව්‍යාපාරයෙන් මේ වනවිට කාන්තාවන්ට සැලසී ඇති යහපත කුමක් ද කියා විමසා බලමු.
#MeToo කියන්නේ මොකක්ද?
#MeToo ව්‍යාපාරය’ ලෝකය පුරා තරුණ කාන්තාවක් අතර පැතිර ගිය සමාජ මාධ්‍ය ප්‍රවණතාවක්. බෙහෝ කාන්තාවන් දේශපාලන බලවතුන් හෝ රැකියා ස්ථානයේ ඉහළ නිලධාරින්ගේ ලිංගික බලහත්කාරකම්වලට ගොදුරු වුණත් බිය නිසා එය හෙළිකරන්නෙ නෑ. තමත් ලිංගික බලහත්කාරයට ලක් කළ බව ලජ්ජාව සහ බිය පසෙක ලා සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ‘#මී ටූ ව්‍යාපාරය’ හරහා සිදුවෙනවා. ලිංගික බලහත්කාරය යන යෙදුමෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම, අතවරයට ලක් කිරීම, ලිංගික වශයෙන් පීඩාවට ලක්වෙන අන්දමේ ප්‍රකාශ සිදුකිරීම මෙන්ම දූෂණයට ලක්කිරීම දක්වා සිදුවීම් ඇතුළත් වෙනවා.
‘ඔබේ අත්දැකීම සමාජය ඉදිරියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට බිය නොවන්න. මේ අත්දැකීමට මාත් මුහුණ දී තිබෙනවා’ යන හැඟීම තමයි #MeToo යන යෙදුමේ අරුත වන්නේ. එය ලිංගික හිංසනයෙන් පීඩාවට පත්වුණු කාන්තාවන් අතර ව්‍යාප්ත කිරීම මෙම ව්‍යාපාරයේ අරමුණ වුණා. මුලින් ම බටහිර සංවර්ධිත රටවලට පැතිරුණු එය ඉන්දියාව වැනි ආසියාතික රටවලට පැමිණීයේ 2018 දී යි.
‘#මී ටූ ව්‍යාපාරය’ මුලින් ම 2006 දී පමණ ඇතිවූ කාන්තා අයිතිවාසිකම් ව්‍යාපාරයක් වුව ද සමාජ මාධ්‍ය ප්‍රවණතාවක් ලෙස එය ලොව පුරා පැතිර ගියේ 2017 ඔක්තෝම්බර් මාසයේ සිට යි.
අතීත උදාහරණ
1971 දී අමෙරිකාවේ ප්‍රථම වරට රැඩිකල් ස්ත්‍රීවාදීන් කණ්ඩායම් ස්ත්‍රී දූෂණවලට ලක් වූ ස්ත්‍රීන්ගේ අත්දැකීම් ප්‍රසිද්ධියේ කතාකිරීමේ අවස්ථාවක් සංවිධානය කළා. එය ගැන විශාල කතිකාවක් ඇති වුණා. එයින් ඇරඹි ස්ත්‍රී දූෂණවලට විරෝධී ව්‍යාපාරය සමාජය තුළ සහ නීති ක්ෂේත්‍රයේ තුළ ස්ත්‍රී ලිංගික හිංසනය ගැන තිබුණු සාම්ප්‍රදායික මත වෙනස් කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා. මේ පිළිබඳ ව සාහිත්‍යය ඔස්සේ ද කතා කරන්න පටන් ගත්තා. කේට් මිලට්ගේ Sexual Politics, ශුලාමිත් ෆයර්ස්ටෝන් ගේ The Dialectic of Sex සහ පැමෙලා කෙරෝන් ගේ Rape: An Act of Terror යන පොත් ඒ සඳහා උදාහරණ සපයනවා.
ස්ත්‍රීවාදී සංවිධානයක් වන Think Olga ඇරඹීමට මුල් වූ ජූලියානා ඩි ෆාරියා 2015 දී, #MeuPrimeiroAssedio හෙවත් #MyFirstHarrassment නම් හෑෂ් ටැග් වැඩසටහන ආරම්භ කළා.
එය ආරම්භ කිරීමෙන් පසුව මුල් දිනවල ම බ්‍රසීලයේ කාන්තාවන් තමන් අත්විඳින ලිංගික හිරිහැර හෙළි කරමින් ට්වීටර් පණිවිඩ දහස් ගණනක් බෙදා ගත් බව පැවසෙනවා. ලතින් ඇමරිකාව පුරා ම මෙම ප්‍රවණතාව ඉතා ඉක්මනින් ස්පාඤ්ඤ භාෂාවෙන් පැතිර ගියේ #MiPrimerAcoso ලෙස යි. පසුගිය කාලයේ දී චීනය, එක්සත් රාජධානිය සහ ඉන්දියාව වැනි රටවල්වල ද කාන්තා අතවර ගැන විවෘත ව සාකච්ඡා කළ අවස්ථා ගණනාවක් ගැන අහන්නට ලැබෙනවා.
ඇරඹුණු විදිහ
#MeToo යෙදුම මුලින් ම භාවිත කළේ 2006 දී තරානා බර්ක් නම් අමෙරිකානු සමාජ ක්‍රියාකාණිය යි. ඇයට සිදු වූ ලිංගික හිංසාවක් ගැන මයි ස්පේස් නම් සමාජ මාධ්‍යය හරහා ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ඉහත යෙදුම යොදා ගනිමින්. 1973 සැප්තැම්බර් 12 වැනි දා නිව්යෝක්හි උපත ලැබූ තරානා, දුප්පත පවුලක සාමාජිකාවක්. ඇයට ළමා වියේදී මෙන් ම තරුණියක කාලයේත් ලිංගික දුෂණවලට ලක්වීමට සිදුවුණේ දුප්පත්කම නිසයි.
ඇය පසුකාලයක සමාජ ක්‍රියාකාරිණියක බවට පත්ව ලිංගික හිංසනයට ලක්ජවූ කාන්තාවන්ට උපකාර කිරීම ආරම්භ කළා. ඇය තම අත්දැකීම් අළලා MeToo නමින් වාර්තා වැඩසටහනක් ද නිර්මාණය කර තිබෙනවා. ඉන් ඇවිස්සුණු ලිංගික පීඩාවන්ට පත් කාන්තාවන් ක්‍රමයෙන් ‘මටත් ඒක වුණා’ යන අදහසින් සමාජ මාධ්‍යවල තම අත්දැකීම් විස්තර කරන්නට වුණා. ඉංග්‍රීසියෙන් පටන් ගත් මෙම හෑෂ්ටැග් ව්‍යාපාරය පසු ව වෙනත් භාෂාවලින් ද මිලියන ගණන් ජනතාව අතර පැතිරෙන්නට වුණා.
සුනාමියක් සේ ලෝකයේ රැල්ලක් වී
2017 ඔක්තෝබරයේ දී, අමෙරිකාවේ ජනප්‍රිය නිළියක් වන ඇලිසා මිලානෝ ට්වීටර් පණිවිඩයක් නිකුත් කළා. ඒ #MeToo හෑෂ් ටැගය භාවිත කරමින්. ඉන් පසුව මෙම ප්‍රවණතාව නව සමාජ විප්ලවයක් බවට පත් වුණා. ඇය ට්වීටර් පණිවිඩයෙන් ඉල්ලා සිටියේ කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසා සහ අතවර ආදිය ගැන අත්දැකීම් ප්‍රසිද්ධියේ කා සමඟත් බෙදා ගන්න යැයි ආරාධනා කරමින්. නිළි මිලානෝ ලිංගික අතවරවලට ලක්වූ කාන්තාවක්. ඇය හොලිවුඩයේ සුපිරි නළු හාවි වෙයින්ස්ටයින් තමන්ට ලිංගික අතවර සහ හිරිහැර කරන බවට පළමු වරට චෝදනා කළ කාන්තාවන්ගෙන් එක් අයෙක් වුණා.
ඇය මෙලෙස ට්වීටර් පණිවිඩය නිකුත් කළේ 2017 ඔක්තෝබර් 15 වැනිදා යි. එම දිනයේ ම, “Me too” යන වාක්‍ය ඛණ්ඩය සමාජ මාධ්‍යවල 200,000 වාරයකට වඩා භාවිත කර තිබුණූ බව වාර්තා වුණා. පසු දා වන විට එය, මිලියන භාගයකට අධික වාර ගණනක් ට්වීටර් ඔස්සේ බෙදා ගෙන තිබුණා. එලෙස ඇරඹි #MeToo සුනාමිය විවිධ භාෂාවලින් රටවල් 85කට වඩා වැඩි ප්‍රමාණයක මිලියන සිය ගණනින් පැතිර යන්න පටන් ගත්තා.
ඒ සමඟ ම කාන්තාවන්ට වන ලිංගික පීඩා තොග ගණනින් සමාජ මාධය ඔස්සේ බෙදා ගනිමින් පැතිරෙන්නට වුණා. ඒ තොරතුරු හෙළිවීමත් සමඟ බොහෝ උසස් සමාජ සේවකයන් යයි කියන පුද්ගලයන්ගේ නිරුවත හෙළි වන්නට පටන් ගත්තා.
ලෝකයේ කාන්තාවන්ට යහපතක්
#MeToo ව්‍යාපාරය ලෝකයේ ප්‍රචලිත වීම අරඹා වසර පහකින් පසුව නිරීක්ෂකයන් පවසන්නේ මෙම හැෂ් ටැගය, හැෂ් ටැගයකට ඔබ්බෙන් ගිය සුවිශාල සාර්ථකත්වයක් හිමි කර ගෙන ඇති බව යි. කාන්තාවන් තමන්ට එරෙහි ව සිදු වන ලිංගික අතවර ගැන වඩාත් විවෘත ව කතා කිරීමට පෙලැඹී තිබීම ඒවා කරන පුද්ගලයන්ට තර්ජනයක් වී තිබෙනවා. සමාජයේ එවැනි පුද්ගලයන් අපහාසයට ලක්වීම තවත් ජයග්‍රහණයක්. මෙහි නිර්මාතෘ තරානා බර්ක් පවසන්නේ ‘මී ටූ’ වචන දෙක ලෝකය හිරිවට්ටවන වදනක් වී ඇති බව යි. තමන්ට වන අඩන්තේට්ටම් ගැන පැවසීමට metoomvmt.org නමින් වෙබ් අඩවියක් ද ක්‍රියාත්මක වෙනවා.
එක්සත් ජනපදයේ කාන්තාවන්ට හිතකර රැකියා පරිසරයක් ඇති කිරීමටත් මෙම හෑෂ් ටැග් ව්‍යාපාරයේ බලපෑම හේතු වී තිබෙනවා.
මේ මඟින් තනි පුද්ගල ලිංගික අපරාධකරුවන්ගේ හැසිරීම මෙන් ම ඇතැම් කර්මාන්තවල සහ සමස්ත සමාජයේ ම වටිනාකම්වල ඇති දුර්වලකම් දෙස බැලීමට ද අවකාශ සලසා දී තිබෙන බව යි ස්ටැත්ක්ලයිඩ් විශ්ව විද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යක්ෂ සහ ස්ත්‍රීවාදී මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ කථිකාචාර්ය මහාචාර්ය කැරන් බොයිල් පවසන්නේ.
ස්වීඩනයේ පාසල්වල උගන්වන # me too
ස්වීඩනය පාසල් සිසුන්ට විශාල නිදහසක් හිමි රටක් ලෙස ප්‍රකට යි. 2018 ස්වීඩනයේ පාසල් නිර්දේශයට #මී ටූ ව්‍යාපාරය ඇතුළත් කළ බව වාර්තා වුණා. අවුරුදු 15 සපුරන සිසුන් සඳහා පැය දෙකක ලිංගික අතවරයන්ට එරෙහි ගෝලීය ව්‍යාපාරය පිළිබඳ අධ්‍යාපනයක් ලබා දීම සිදු කරනවා.
මේ වන විට ‘මී ටූ ව්‍යාපාරය’ පිළිබඳ ව ප්‍රමාණවත් දැනුමක් සිසුන් සතු ව ඇති බව ස්වීඩන ගුරුවරුන් පවසනවා. තමාට යම් ලිංගික හිංසනයක් සිදුවූයේ නම් එය තමන්ට අදාළ කර ගෙන ඊට මුහුණ දීමේ ගැටලුව ඔවුන් සතු ව ඇති බවත් එරට පාසල් ගුරුවරුන් පවසනවා.
චීනයේ ෂෝ ශාක්ශුආන්
2018 දී චීනයේත් #MeToo ව්‍යාපාරය චීන සමාජ මාධ්‍යවල පැතිරෙන්නට පටන් ගත්තේ එරට තරුණියන්ගේ උනන්දුව නිසයි. වේගයෙන් ව්‍යාප්ත වුණු #MeToo අතරට එක්වූ ෂෝ ශාක්ශුආන් නම් තරුණිය සිය අත්දැකීම් හෙළි කළා. ඇය චීනයේ ලිංගික අඩන්තේට්ටම් පිළිබඳ ව සිය අත්දැකීම් බෙදා ගැනීමට පටන් ගත් පුරෝගාමී චරිතයක් වුණා.
ඇය තමන්ට රජයේ රූපවාහිනී නාලිකාව වූ CCTV හි දී එහි නිවේදකයෙක් අතින් විඳින්නට සිදුවූ අතවර ගැන වචන 3000ක ලිපියක් ලියා සමාජ මාධ්‍යවලට මුදා හැරියා. CCTV හි ජනප්‍රිය නිවේදකයෙක් වූ සූ ජුන් නමැත්තා, 2014 දී ඇයට ලිංගික අඩන්තේට්ටම් කළ බවටයි චෝදනා කළේ. ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් ඔහුගේ ඇඳුම් කාමරයට ගිය විට දී මෙම සිදුවීම සිදුවූ බවයි ෂෝ පවසා සිටියේ.
ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින්, 2021 දී ඇයගේ නඩුව අධිකරණයෙන් ඉවතට විසි වුණා. ඇය කළ අභියාචනය ද ප්‍රතික්ෂේප කෙරුණා. ඇය සඳහන් කරන්නේ තම සටන අත් නොහරින බව යි.
ඉන්දියාවේ ඇමතිවරයෙක් ගෙදර යැවූ #MeToo
#MeToo නම් හෑෂ්ටෑගය යටතේ ලොව පුරා ක්‍රියාත්මක වන විරෝධතා ව්‍යාපාරයට ඉන්දියාව විශාල වශයෙන් එක්වුණ් 2018දි යි. ඉන් ලැබුණු ප්‍රතිචාර ඉන්දියාවේ දේශපාලන භූමිකාව තුළත් මහත් ආන්දෝලනාත්මක සිද්ධීන් වාර්තා කිරීමට ඉවහල් වුණා. ඒ දේශපාලනඥයන් කිහිපදෙනකු ම තමන්ට ලිංගික හිංසන කළ බව කාන්තාවන් සමාජ මාධ්‍ය ඔස්සේ පැවසීමත් සමඟ යි. ලිංගික හිංසන චෝදනාව නිසා 2018 ඔක්තෝබර් 17වැනි දා සිය ඇමැති තනතුරින් ඉල්ලා අස්වීමට සිදුවූණේ මෝදි රජයේ හිටපු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය එම්.ජේ. අක්බර්ට යි.
මාධ්‍යවේදිනියක් වූ ප්‍රියා රමණි, තමන්ට මේ ඇමැතිවරයා ලිංගික අතවර කළ බවට #MeToo ව්‍යාපාරය හරහා චෝදනා එල්ල කළා. ඔහුට ලිංගික අතවර චෝදනා එල්ල වූයේ විසි වසරකට පෙර ඔහු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකු ලෙස කටයුතු කරමින් සිටිය දී සිදු කළ සිද්ධියක් සම්බන්ධයෙන්. ලිංගික අතවර චෝදනාව ප්‍රතික්ෂේප කළ රාජ්‍ය අමාත්‍ය එම්.ජේ. අක්බර් ප්‍රියා රමණීට එරෙහි ව අපහාස නඩුවක් ගොනු කළත් ඉන්දීයාවේ දිල්ලි මහේස්ත්‍රාත් අධිකරණය 2022 පෙබරවාරියේ දී නඩුව අවසන් කළේ මාධ්‍යවේදී ප්‍රියා රමණි නිදොස්කොට නිදහස් කරමින්.
බොලිවුඩ් අධ්‍යක්ෂ සජිඩ් ඛාන්
ඉන්දීයාවේ ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් වන බිග් බොස් වැඩසටහනෙන්, බොලිවුඩ් අධ්‍යක්ෂ සජිඩ් ඛාන් ඉවත් කරන ලෙස කෙරෙන ඉල්ලීම් වැඩිවෙමින් තිබෙනවා.එයට හේතුවී ඇත්තේ වසර හතරකට පෙර, සිනමා ක්ෂේත්‍රයේ කාන්තාවන් අට දෙනෙක් සහ මාධ්‍යවේදිනියක ඔහුට එල්ල කළ ලිංගික අපචාර චෝදනාවන්. ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහුට එරෙහි ව කිසිදු පොලිස් පැමිණිල්ලක් ද කර නැහැ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට ද අතවර චෝදනා එල්ල වුණා.
මෙම ව්‍යාපාරය නිසා අමෙරිකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල කාන්තාවන්ට ලිංගික අතවරවලින් වැලැකී සිටීමේ දිරියක් ලැබී තිබෙනවා. විශෙෂයෙන් ලිංගික අල්ලස් ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් වැඩිදෙනා පෙලැඹී සිටිනවා. බටහිර රටවල නම් පාසල් සිසුවියන් පවා ‘මී ටූ’ කෙරෙහි දක්වන්නේ ධනාත්මක ප්‍රතිචාර බව යි වාර්තා වන්නේ.
2017 වසරේ ටයිම් සඟරාව වසරේ පුද්ගලයා සම්මානය පිරිනැමුයේත් පුද්ගලයන් සමූහයකට යි. ටයිම් සඟරාව ඔවුන් ‘නිහඬතාව බිඳින්නන්’ ලෙස හැඳින්වූවා. ඒ #MeToo ව්‍යාපාරය යි.
‘සේවා ස්ථානයේදී, අධ්‍යාපන ආයතනයේදී, පොදු ප්‍රවාහනයේදී විතරක් නොවෙයි නිවසේදී පවා කාන්තාවන් ලිංගික හිංසනයට ලක් වීම මුළු ලෝකයේ ම දැකිය හැකි තත්ත්වයක්. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල 2015 දී කළ සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 90%ක් ම පොදු ප්‍රවාහනයේ දී කිසියම් දිනෙක ලිංගික හිංසනයට ලක් වී තිබෙනවා. තමන් අකැමැති හා අනාරාධිත ලිංගික බලපෑම් වැඩපළේ, පාසලේ, විශ්වවිද්‍යාලයේ, බස් රියේ, දුම්රියේ ඉතා සුලබ බව ඕනෑම කාන්තාවක්, ගැහැනු ළමයෙක් දන්නා දෙයක්. – www.ivoice.lk