මහියංගනය දාගැබ වැඳපුදා ගන්නට යන කාටත් පහසුවෙන් යාහැකි සුන්දර ඉසව්වක් තමයි සොරබොර වැව. පුරාණ වාරි ඉංජිනේරු ශිල්පයේ මහිමය කියාපාන තැනක් වන මේ වැවට මහියංගනයේ සිට සොරබොර දක්වා ඇති පාරේ කි. මී. 6ක් පමණ ගමන් කිරීමෙන් ළඟාවීමට පුළුවන්.
සොරබොර අතීත විත්ති
මහියංගනය අසල සොරබොර දහවන සියවසේ දී සෙරබර නම් විය. සියවස් දහයක් පමණ කාලය තුළ තුන්වන ස්වරය වූ අ වෙනුවට ඔ ආදේශ වීම පමණකි සිදුව ඇත්තේ.
(අන්තර ගංගා, සෝමපාල ජයවර්ධන)
ශ්‍රී ලංකාද්වීපයේ කඩයිම් පොතේ සොරබොර ගැන සඳහන් කර තිබෙනවා. ත්‍රිසිංහලයේ කඩයිම් පොතේ එය දැක්වෙන්නේ සොරබෙර නුවර කියලයි. මහාවංශය සඳහන් කරන්නේ පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහුට සටන්වල දී සහාය වීමට මානාභරණ සොරබොර අසල වාඩිලාගත් බව යි. මහනුවර සේනාසම්මත වික්‍රමහාබාහුගේ ගඩලාදෙණිය ශිලා ලිපියේ ද සොරබොර ගැන දැක්වෙනවා. ඒ අනුව මේ නම පුරාණයේ පටන්ම භාවිත කළ එකක් බව පැහැදිලි යි.
වර්ෂ 1870 දී ඉංග්‍රීසින් මේ වැව ප්‍රතිසංස්කරණය ආරම්භ කළා. එවිට ඉංජිනේරු ජෝන් බේලිට වැළලී ගිය අතීත තොරතුරු වර්තමානයට කියන වැදගත් සෙල්ලිපියක් හමුවුණා. ගල්ටැඹක කොටා තිබූ ඒ සෙල්ලිපිය අදත් බදුල්ල කච්චේරි බිමේ දැකගන්න පුළුවන්. 4 වන උදය රජ්ජුරුවෝ ( ක්‍රි. ව. 946-950) වෙත හෝපිටිගමු ජනතාව කරල ලද පැමිණිල්ලක් තමයි එහි කොටා තිබෙන්නේ. එකල හෝපිටිගම නම් වෙළෙඳ නගරයක් මෙහි පැවතී තිබෙනවා. ඒ නගරයේ ව්‍යාපාරිකයන්, රජයේ නිලධාරින්ගෙන් තමන්ට සිදුවන තාඩන පීඩන ගැන රජුට කළ පැමිණිල්ලක් මත, ඒවා වැළැක්වීමට කරන ලද අධිකරණ නියෝග සෙල්ලිපියේ සඳහන් වෙනවා.
සෙල්ලිපිය කෙටූ ගල්ටැඹ අඩි 8 අඟල් 5ක් උස යි. පළල අඟල් 5 යි. පේළි 203ක කුඩා අකුරෙන් ලිපිය කොටා තිබෙනවා.
වාරි ඉංජිනේරු ආර්. එල්. බ්‍රෝහියර් මේ වැව දකින්නේ මේ විදිහට යි:
මහත් ජලස්කන්ධයක් ඇති සොරබොර වැව අලුත් නුවරට ඊසාන දිගින් පිහිටියේ ය. පුරාණයේ නොඅනුමානවම ඉතා විශාලව තිබුණේයැ යි සැලකිය යුතු මේ තටාකය බැඳ ගැනීම සඳහා ස්වභාවික පිහිටිම බොහෝ දුරට ඉවහල් විය. ආරම්භයේ දී කුඩා දිය පහරවලින් අතිරේක ජලය ලත් දියබානා ඔය නම් දොළ මහවැලි ගඟට යන අතර, පර්වත දෙකකට මැදිවූ පටු කපොල්ලක් පසුකර ගියේ ය. පුරාතනයෝ මෙම දියපා හරස්කොට අඩි 500කට වඩා දික්නොවූ බැම්මක් බැඳ දිය සිරකළහ.
(ලංකාවේ පුරාතන වාරිමාර්ග -ආර්. එල්. බ්‍රෝහියර් )
බුලතා හදපු වැව
වැව තැනීම ගැන ප්‍රකට ජනකතාවට අනුව මෙය තනා තිබෙන්නේ දුටුගැමුණු රජ සමයේ බුලතා නම් යෝධ සවියක් තිබූ ගැමියෙක්. ඒ කතාව මෙසේ යි:
මහියංගන සෑය ප්‍රතිසංස්කරණයට පැමිණි දුටුගැමුණු රජු, ඒ අසල තාවකාලික මාලිගයක නතර වී එම කටයුතු මෙහෙයවුවා. රජුට බුලත් සැපයීම බාරවී තිබුණේ උඩදුම්බර කිරිපට්ටිය ගමේ වැසියෙකුට යි. බුලත් රාජකාරිය කළ හින්දා ඔහුට බුලතා කියල තමයි කවුරුත් කිව්වේ. මේ පුරුෂයා බෙහෙවින් ශක්ති සම්පන්න කෙනෙක්. බුලතාගේ කාර්යය වුණේ දවසකට හත් වතාවක් දුටුගැමුණු රජතුමා වෙනුවෙන් බුලත්විට සාදා පිළිගැන්වීමයි. මෙම බුලත්විට සපයන වේලාවන් වූයේ උදේ ආහාරයෙන් පසුව, දහවල් දස පැයට පසුව, දිවා ආහාරයෙන් පසුව, තේ පානයෙන් පසුව, රාති‍්‍ර ආහාරයෙන් පසුව, සහ රාති‍්‍ර නිදාගැනීමට පෙර ලෙසින්. එක් බුලත් විටක් සපයා අනෙක් බුලත් විට සැපයිය යුතු කාලය අතර බුලතා අවට සංචාරයේ යෙදෙමින් ගත කරන්නට පුරුදුව සිටියා.
මහියංගනයෙන් උතුරු දෙසට ඇවිද ගෙන යන අවස්ථාවේ ගල් කඳු දෙකක් අතරේ පිහිටි පහත් බිම් තීරුවක් සහ ඒ හරහා ගලා යන නිල්වන් දිය දහරක් ඔහුට දකින්න ලැබුණා. එම ස්ථානයෙහි වැවක් ගොඩනැගිය හැකි බැව් ඔහු තීරණය කළා. වැව් බැම්ම තැනූ බුලතාගේ ඊළඟ කාර්යය වුණේ සොරොව්ව ඉදිකිරීම යි. මේ වෙනුවෙන් බුලතා ගල් කටුව සහ මිටිය ආධාර කර ගෙන එක් කෙළවරක ගල් සොරොව්වක් කැපුවා. අනෙක් කෙළවර වැඩි ජලය බැස යනු පිණිස ජල පැන්නුමක් තැනුවා. ස්වභාවික ගලක් කපා තැනූ එකම සොරොව්ව තිබෙන්නේ ද මේ වැවේ පමණ යි. එ සඳහා යොදාගෙන තිබෙන්නේ වැව් බැම්මේ දකුණු පස පැතිරී තිබෙන ගල්තලාව යි. මෙහි තවත් විශේෂත්වයක් නම් බිසෝකොටුවක් නැති වීම යි. ජලයේ අධි පීඩනය ගල්සොරොව්ව විසින් දරාගෙන ඇළ මාර්ගවලට පිටකරන නිසා බිසෝකොටුවක් අවශ්‍ය වී නැති බව යි වාරි ඉංජිනේරුවන් පවසන්නේ.
මේ අතර මහියංගණ චෛත්‍ය කර්මාන්තය ද නිමවෙමින් තමයි තිබුණේ. කොත් පැළඳවීමේ පින්කම ද සිදු කෙරුණා. පින්කම අවසානයේ බුලතා ගැමුණු රජු හමුවට ගියා. චෛත්‍ය කර්මාන්තය කරන අතරතුර තමන් තනිවම මහ වනය මැද පුංචි වැවක් බැන්ද බව රජුට කියා සිටියා. එය නැරඹීමට පැමිණෙන ලෙසත් ආරාධනා කළා. බුලතාගේ ඇරයුම මත රජතුමා මහා වනය තුළ ඉදිකර ඇති පුංචි වැව දැක ගන්නට මහා පිරිවරින් ගමන් කළා.
ඈත කඳුවලට මායිම්ව ජලය පිරි රැළි පිට රැළි නගන අලංකාර වැව දුටු රජුට ඇස් අදහාගත නොහැකි වුණා. තම බුලත් රාජකාරිය ද අකුරටම ඉටු කරමින් අංග සම්පූර්ණ පුංචි වැවක් ඉතා කෙටි කලකින් නිර්මාණය කිරීම ගැන රජතුමා බුලතා අගය කළා. “මේ නම් මහා විශ්වකර්මයක්, හරබර වැඩක්යැ” යි ආඩම්බරයෙන් පැවසූ ගැමුණු රජු තම ගෙළ බැඳි ඉතා වටිනා මුතුහර බුලතාගේ ගෙළ පැළඳුවා. බුලතාගේ බිරිඳ වෙත ද තෑගි බෝග පිරිනැමුණා.
මෙය හරබර වැව් කර්මාන්තයක්යැ යි රජතුමන් කී හෙයින් එතැන් පටන් මේ වාරි කර්මාන්තය ‘හරබර වැව’ නම් වුණා. හරබර වැව පසු කලක දී සරබර වැව වශයෙන් ජන වහරට එක්වී තිබෙනවා. ඉනුත් කලකට පසු සොරබොර වැව නමින් කවුරුත් හඳුන්වන්න පටන් ගත්තා.
කුළු වැව්වලින් පෙරී එන වතුර
මෙම වැවේ ‘ඉහත්තාව’ යනුවෙන් හඳුන්වන ජල පෝෂක ප‍්‍රදේශය හරහා පැමිණෙන ජලය ‘කුළු වැව’ නමින් හඳුන්වන වැව් තුනක් හරහා ගලා එනවා. පළමු කුළු වැව පිටාර ගලා දෙවැන්නටත්, දෙවැනි වැව පිටාර ගලා තෙවැන්නටත්, තෙවැනි වැව පිටාර ගලා සොරබොර වැවටත් ජලය එක් වෙන ලෙස යි සකසා තිබෙන්නේ. කඳු සේදෙමින් එන මඩ ‘කුළු වැව්’ හරහා ගමන් කරන බැවින් සොරබොර වැවට මඩ එක්වීම අවම මට්ටමක පවතිනවා.
සොරබොර වැවේ මඩ සොරොව්වක් නැතත්, මඩ ජලය සොරොව්වෙන් යෙදෙන අධි පිඩනයෙන් ඉවතට ගලා යන අතර මෙම මඩ ඇළ මාර්ග ඔස්සේ කුඹුරුබිම්වල තැන්පත්ව සරු පොහොරක් ලබා දෙන්නට සමත්ව තිබෙනවා.
වැවට කියපු කවි
“සුදු නෙළුම කෝ සොරබොර වැවේ” නම්, රත්න ශ්‍රී විජේසිංහ ලියා ආචාර්ය අමරදේව ගයන ගීතය ඔබට මතක ඇති. ලංකාවේ වැඩිම ජනකවි ගෙතී ඇති වැව ලෙසත් අපට සොබොර වැව හඳුන්වන්න පුළුවන්. මේ ජන කවියා කියපු එක් කවියක්:
ඔන්න බලාපන් බුලතා කරපු බලේ
යතුරු දාපු ගල් දොර යට වතුර හැලේ
එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ
සොර බර වැව නොදුටුව ඇස් මොටද පින් කළේ
වැවෙන් කරනා ගොවිතැන
අද අපට දකින්න ලැබෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කර ගොවිතැන් සඳහා යෙදවූ වැව යි. අවට කුඹුරුවලට මින් ජලය සැපයෙනවා. වැවේ ජල ධාරා ප්‍රදේශය වර්ග සැතපුම් 16.89ක්. ජල පැතිරුම් ප්‍රදේශය අක්කර 1440ක්. වැව් බැම්ම අඩි 1590ක් දිග යි. මින් කුඹුරු අක්කර 3000කට දියවර සැපයෙනවා.
අද සොරබොර
වර්තමානයේ මහියංගනයට එන බොහෝ දේශීය සංචාරකයන් මේ වැව බලන්න එන්නත් පුරුදු වී සිටිනවා. කුඹුක්, වීර, මී, පළු, ඇහැටු, ආදී ගස්වලින් හෙවණ වුණු වැව් බැම්ම ඉතා අලංකාර යි. වැව් ඉස්මත්තේ ගම්මානයට යාමට තනා ඇති කම්බි පාලම නිසා පරිසරයට තවත් අලංකාරයක් එක්වෙලා. මේ නිසා සොරබොර ගම සංචාරක ගමනාන්තයක් බවටත් පත්වෙලා. වැවේ බෝට්ටු පැදීමේ සේවයක් ද මෑතක දී ආරම්භ කර තිබෙනවා. වැව බලා එහි ඇළකින් නාගෙන යන්න බොහෝ සංචාරකයන් කැමතියි.