යාපනයේ ආගන්තුක සංචාරකයාගේ මේ පාර ගමනාන්තය චාවකච්චේරි(சாவகச்சேரி) යයි. චාවකච්චේරිය තියෙන්නේ යාපනේ අර්ධද්වීපයේ දකුණු කොටස වෙන තේන්මරච්චිවල. යාපනය අර්ධද්වීපය කියන්නේ තේන්මරච්ච්, වඩමාරච්ච්, යාල්පානම්, වලිකාමම් යන ප්‍රදේශත්, නයිනතිව්, කයිට්ස්, මන්ඩතිව්, කරෙයිනගර් යන දූපත් සමූහයකිනුත් සමන්විතව යි. අර්ධද්වීපයේ උතුරට වන්නට වඩමාරච්ච් පිහිටා ඇති අතර දකුණට වන්නට තේන්මරච්ච් පිහිටා තියෙනවා. යාල් දේවි දුම්රියෙන් යාපනේට සේන්දු වෙන කෙනෙක් නම් දන්නවා චාවකච්චේරි නගරය තියෙන්නේ “සංකේතානෙයි” හා “කොඩිකාමම්” කියන දුම්රියපොළ දෙක අතරමැද්දේ කියලා.
චාවකච්චේරි දෙමළ බසින් சாவகச்சேரி ලෙස හදුන්වන අතර එය උතුරු අර්ධද්වීපයේ පිහිටි විශාල – සුළු නගරයක්. “චාව+කච්චේරි” යන වචනයේ තේරුම ජාවානු ජනාවාසයක් යන්නයි. ඉතිහාසයේ තතු විමසන කල එහි ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා චන්ද්‍රභානු නම් පාලකයෙක් ජනාවාස සහ බළකොටු පිහිටුවාගෙන සිටි බවත් අහන්න ලැබෙනවා.
මේ ඒ ගැන පවතින එක විග්‍රහයක්.
ක්‍රි.ව. 1292 දී පමණ මෙරටට පැමිණි මාර්කෝ පෝලෝ නම් වැනීසියානු වෙළෙන්දා තම දේශාටන වාර්තාවේ දක්වා ඇත්තේ ලංකාවේ උතුරේ පාලන බලය සෙන්දමේන් නම් රජකු විසින් පාලනය කරන ලද බවයි. පරණවිතාන මහතාට අනුව මාර්කෝ පෝලෝ සඳහන් කළ සෙන්දමේන් යනු චන්ද්‍රභානු වන අතර යාපනය ජාවක ප්‍රදේශයක් ව පැවති බව එමගින් පැහැදිලි වන බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දේ. ජාවකයන්ගේ බලපෑම යාපනයේ ප්‍රදේශ නාමවල ද දැකිය හැකි ය. ජාවාවරුන්ගේ බළකොටු තිබූ ප්‍රදේශය ජාවාකෝට්ටය ලෙස හැදින්වේ. ජාවාකච්චේරිය හෙවත් දෙමළින් චාවකච්චේරිය යන නම් ලැබීමට ද එවැනිම පසුබිමක් ඇත. සෙනරත් පරණවිතාන මහතා දක්වන්නේ යාපා පටුන ද, මුලින් හඳුන්වා ඇත්තේ ජාවා පටුන ලෙස බවයි. -thevanaesa.blogspot.com
කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය මුල්කරගෙන ජීවත්වන ජන කොඨටාසයක් ජීවත්වන චාවකච්චේරිය විටෙක නොසන්සුන් නගරයක්. ඒ මේ නගරය A9 පාරට නුදුරින් පිහිටා තිබීම නිසා විය හැකියි.
යාපනේ ඉඳන් යාපනය – නුවර A 9 පාර දිගේ චාවකච්චේරිය දිහාවට යද්දි යාපනයේ චෙම්මනි හංදිය හමුවනවා. ඒ මහා විශාල තොරණ් රාජයෙක් එක්ක. ඒ හංදිය පහු කරනවත් එක්ක ම හම්බෙන්නේ නාවට්කුලි පාලම.
නාවට්කුලි පාලම දෙපස බලන්නකුට නම් පේන්නේ දිය අගලක්. මසුන් වෙනුවෙන් ඔබ මොබ සැරිසරන සංචරණ පක්ෂීන් එකා දෙකා සක්මන් භාවනාවේ නිරත වෙන අන්දම නම් අපූරුයි. නාවට්කුලි පාලමට මත්තෙන් පාරේ දකුණු පස සුදු පාටින් ම හුණු පිරියම් කළ කෝවිලක් ද නෙත ගැටෙනවා. පාලමේ අපූර්ත්වය නම් පා පැදි වෙනුවෙන් ම වෙන් වුණු මංතීරුවක් තිබීමයි. හේතුව නම් උතුරු අර්ධද්වීපයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් නම් පා පැදිය යි. කාගේත් ගමන් සගයා මේ පා පැදිය යි.
නාවට්කුලි දුම්රියපොළට හා පාලම අතර “සිවභූමි යාපනය කෞතුකාගාරය ” දැකිය හැකියි. හුදෙක් ම යාපනයේ යට ගිය ඉතිහාසය එක් තැනකට එක්කාසු කළ නටබුන්, චිත්‍ර, උපකරණ, පැරණි වාහන ආදිය සහිත කෞතුකාගාරයක්. A9 පාරේ යාපනයේ සිට නුවර බලා යන කල පාරෙන් දකුණු පසට වන්නට පිහිටි “සිවභූමි යාපනය කෞතුකාගාරය ” දැකිය හැකියි.
එහි යාපනය සහ ලංකාවේ අනෙකුත් ප්‍රදේශ පාලනය කළ දෙමළ රජවරුන්ගේ ප්‍රතිමා,පැරණි කාර්, වෑන් සහ ගොන් කරත්ත එකතුවක් ද දැකිය හැකියි.
තවත් ඉස්සරහට යද්දි නාවට්කුලි දුම්රියපොළ හමුවනවා. දුම්රියපොළ අසලින් හැරිලා මන්නාරම පැත්තට ධාවනය කළොත් “නෙයිතල් බීච් සිටි වෙරළ උද්‍යානය” හම්බෙන්නේ. මේ බීච් සිටි ජලජ ක්‍රීඩාවල නිරත වීමට කදිම තැනක්. නාවට්කුලි මං සන්දියේ පසෙකින් තල් ගස් අතරින් පේන්නේ අලුතින් හුණු පිරියම් කළ ලස්සන වෙහෙරක්.
යාපනය නම් හින්දු බැතුමතුන්ගේ හදවතයි. බැලූ බැලූ අත කෝවිල් පෙනෙන මේ පළාතේ සුදෝ සුදුවන් චෛත්‍යයක් දකින යාල් ආගන්තුකයාට මෙහෙම හිතෙනවා. අදටත් යාපනේ කියන්නේ සිංහල මිනිස්සු, අපේ දෙමළ සගයන් සමඟ සහජීවනයෙන් ජීවත් වෙන ප්‍රදේශයක්. යාපනයේ සිංහල මහා විද්‍යාලය වැහිලා ගියාට අදටත් නාවට්කුලි වගේ ගම්වල සිංහල මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා. උත්තර නැති ප්‍රශ්න දහස් ගානක් තාමත් මේ බිම්වල ශේෂ වී ඇතත් ඒවාට විසඳුම් නම් තව ම නෑ.
කජ්ජාන් මුහුදු තීරය
යාපනේ අර්ධද්වීපය ඉන්දියන් සාගරෙන් වට ව තිබුණත් චාවකච්චේරිය තියෙන්නේ රට ඇතුළට ආපූ මුහුදෙන් හැදුණු පොඩි කළපුවක. ඒ කළපුවත් බලන්න හරි ලස්සනයි. චාවකච්චේරියේ “කජ්ජාන් මුහුදු තීරය”ට යන්නකුට නම් ඈතින් පේනවා සුළං කුලුණු පෙළක් සහිත සුළං විදුලි බලාගාරයක්. මේ මන්නාරම A 32 පාරට නුදුරින් පිහිටි සුළං විදුලි බලාගාරයයි.ඊට මත්තෙන් තමා තියෙන්නේ “සංගුපිටි පාලම”.
අසා ඇති පරිද්දෙන කින්නියා පාලම යනු ශ්‍රී ලංකාවේ දිගම පාලම වන අතර එහි දිග මීටර් 396 (අඩි 1,299) ක්.එය කොඩියාර් බොක්ක සහ තම්බලගම් බොක්කෙන් වට වූ කළපුව තරණය කරනවා. එය ත්‍රිකුණාමලය, කින්නියා සමඟ සම්බන්ධ කරන, සිවිල් වැසියන්ට කින්නියා කළපුව තරණය කර A15 අධිවේගී මාර්ගයෙන් කින්නියා සහ මුත්තූර් ප්‍රදේශ කරා ළඟා විය හැකි පහසු ම මග තනනවා.
සංගුපිඩි පාලම (චැංකුපිඩි පාලම) උතුරු ශ්‍රී ලංකාවේ යාපනය කළපුව හරහා ඇති මාර්ග පාලමක්. දශක තුනක අමිහිරි මතක ඒකරාශි කරගෙන යාපනේ එක් ඉසව්වක සිට මන්නාරම දෙසට දිවෙන සංගුපිටි පාලම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සංගුපිඩි හා යාපනයේ දිස්ත්‍රික්කයේ කරයිටිව් හා සම්බන්ධ කරනවා. එය ජනාකීර්ණ යාපනය අර්ධද්වීපය, ප්‍රධාන භූමිය හා සම්බන්ධ කරන පාලම් දෙකෙන් එකක්.
ගමනේ විරල දසුන්
මේ පාලම A32 යාපනය – මන්නාරම් මාර්ගයේ කොටසක්. පාලම ඉදිකිරීමට පෙර යාපනය අර්ධද්වීපය සහ ප්‍රධාන භූමිය අතර පැවති එකම මාර්ග සම්බන්ධතාව වූයේ අලිමංකඩයි. සංගුපිඩි පාලම දකුණු ශ්‍රී ලංකාවේ සිට යාපනයට යන ගමන කිලෝමීටර් 110 (සැතපුම් 68) හෝ පැය තුනකින් අඩු කරන කෙටි ම මාර්ගයයි.ඈතට විහිදෙන මුහුදත්, තැන තැන වීසි දැල් උස්සාගෙන සිටින ධීවරයනුත්, වේගෙයෙන් දියඹට ඇදෙන ධීවර යාත්‍රාත්, ඉස්සන් කොටුත්, පාර දෙපස වූ උස් විදුලි කණු මත ඊළඟ ගොදුර වෙනුවෙන් බලා සිටින උකුස්සන්ද මේ ගමනේ විරල දසුන්.
මෙම පාලමේ ව්‍යුහාත්මක සැලසුම අනෙකුත් ප්‍රදේශවල අප සාමාන්‍යයෙන් දකින අනෙකුත් පාලම්වලට වඩා බෙහෙවින් වෙනස්. මෙම වක්‍ර හැඩය පෑලිගෝඩ සිට මහනුවර දක්වා වූ දුම්රිය මාර්ගයේ ඉහළින් පියාසර කරන පාලමට සමානයි. මෙම වක්‍රය හේතුවෙන් ධීවර බෝට්ටුවලට පවා බාධාවකින් තොරව පාලම යටට යා හැකියි.
A32 මාර්ගය හරහා සංගුපිටි පාලම පසු කර මිනිත්තු පහළොවකින් පමණ පසු පූනාකරී නැත්නම් පුනරින් හමුවනවා. මේ යාපන අර්ධද්වීපයේ මල් පිපෙන භූමියයි. “පූ ” නම් මල් ය. ” නාගරී” නම් නගරය යන්නයි. අප්‍රේල් මාසයට ආසන්න ව පිපෙන බිම් සවාන් මල් නැරඹීමට කදිම නවාතැන පුනාකරීයි. විල්පත්තු අභයභූමියේ ද බිම් සවාන් බහුල ව දැක බලා ගත හැකියි.
ඌදා පූ යනු දම් පාට මල් ය
ඌදා පූ යනු දම් පාට මල්. මේ දම් පාට මල් යාය දකින යාපනයේ ආගන්තුකයාගේ දෙතොල් අතර මිමිණෙන ජනප්‍රිය දෙමළ ගීතය නම් ඌදා ඌදා ඌදා පූ……………………….යි.
ටික දුරක් යද්දි චාවකච්චේරි මාර්කට් එක ඉදිරියෙන්.
නල්ල මීන්………උඩන් මීන්………
වාන්ගෝ…….වාන්ගෝ……………
ඒ තමා චාවකච්චේරි මාර්කට් එක.හොද අලුත් මාළු ලු. පරයි, සාලයෝ, කුම්බලයෝ. වර්ග ගොඩයි. ගන්න එන්න ලු.
ඉන් පස්සේ චාවකච්චේරියේ ඕඩියල් කූල්. මගේ දෙමළ මිතුරා තමයි සූපවේදියා. ඔන්න ඉතින් සූපවේදියා ඇඹුල් රසට සියඹලා එක්ක පදම් කරන සුප් එකට තල් පිටි, කුළු බඩු වර්ග, කණවායි(දැල්ලෝ), රාල්(ඉස්සෝ), නන්ඩු(කකුළුවෝ)දානවා විතරක් නෙවේ මාළුත් දානවා. සූපවේදියා ඉතින් පදමට හැදි ගාන ගමන් හොද කකුලුවන් තෝරන විදිහත් කියනවා.
“කකුලුවාගේ පිට පැත්තට වෙන්න කහ පාටට හුරු බිත්තර වගේ තියනවනම් ඒ තමා හොද කකුලුවෝ”
“මුහුදු ආහාර, තල් පිටි ඇරුණ ම කුළුබඩුවලට අමතර ව ඔන්න එළවළුත් දානවනම් ඒ තමා සාම්ප්‍රදායික ඔඩියල් කූල් ” ඒ සූපවේදියාගේ අම්මා.
දැන් ඉතින් මගේ ස්නායු ආවේගය වේගවත්. ඛේට ග්‍රන්ථිත් ඔක්කොම උත්තේජනය වෙලා. ඛේටය ස්‍රාවය වෙන්නත් පටන් අරන්. ඉස්පාසුවක් නෑ.
රස ගණනාවක සම්මිශ්‍රණයක්. ඒකට ම ආවේණික සුවඳක්. රස බලන්න වෙලාව. සාම්ප්‍රදායික විදිහට ම ඔන්න තල් කොලේකින් හදපු ගොට්ටක දාලා තමා පිළිගැන්නුවේ. පොල් කට්ටක දාලා පොල් කොලේකින් කපා ගත්ත හැන්දක් වගේ තීරුවක් එක්කත් පිළිගන්වන්න පුළුවන්. ඒ තාමා චාවකච්චේරියේ ඕඩියල් කූල්…
චාවකච්චේරියේ ඕඩියල් කූල්
චාවකච්චේරියේ ඕඩියල් කූල්වලින් සප්පායම් වුණු අපේ මීළඟ ගමනාන්තය නම් සරසාලෙයි. රෝස පාට උස ෆ්ලැමින්ගෝ කුරුල්ලෝ බලන්න. ඔවුන් සංක්‍රමණ පක්ෂීන් විශේෂයක් (Greater flamingo (Phoenicopterus roseus). සිංහලෙන් කියන්නේ රාජ සියක්කාරයා, දෙමලෙන් කියන්නේ පෙරුම් පූනාරේ (பெரும் பூநாரை) කියලා.වසරේ එක් කාලයකදී ලංකාවට පියාසර කරන මොවුන් බොහෝවිට යාපනය අර්ධද්වීපයේ තැන් තැන්වල ඒ කියන්නේ අලිමංකඩ, මන්නාරම, සරසාලේ, කුරුවික්කාඩු, තොන්ඩමන්නාරු, කයිට්ස් වගේ ප්‍රදේශවල සමූහ ලෙස ඒකරාශි වෙනවා.
කුරුවික්කාඩු……..
“කුරුවි” නම් පක්ෂීන්. ” කාඩු ” නම් රක්ෂිතය යි. දෙමළ නම් බොහෝමයක සිංහල තේරුම මෙසේ වටහා ගත හැකියි.
අසා ඇති අන්දමට නම් යාපන අර්ධද්වීපය “නයිනතිව් ” ලෙස එකල හැඳින්වූවා. ලක්දිව එකල යක්ෂ නාග ගෝත්‍රිකයන් ජීවත් වුණා. නයිනතිව් නම් නාගයන්ගේ දිවයිනයි. ජනප්‍රවාදයකට අනුව නම් නිලවරායිහි ඇති පතුල නැති ළිඳ: දැන්නම් පතුලක් ඇති ළිඳ එකල්හි නාගයන් නාගලොවට යාමට භාවිත කළ පියගැට පෙළක්.
සරසාලෙයි කියන කඩොලාන රක්ෂිතය බලන්න යන්න හේතුව අර ෆ්ලැමින්ගෝ කුරුල්ලෝ. ආයෙත් කියන්න ඕන අපි ගියේ රාජ සියක්කාරයෝ බලන්න. ඒත් අපි ගියේ හවසක. කියන්නම ඕන දේ තමා මේ කුරුල්ලෝ බලන්න යනවනම් මහ පාන්දරක තමා කැමරාවත් අරන් යන්න ඕනේ.
ආදරයේ සංකේතය
නැගෙනහිර ඉන්දු වෙරළ තීරය ඔස්සේ පහළට පියඹා කැල්මියන් තුඩුවත් රාමේෂ්වරනුත් පසු කරන මේ ෆැලැමින්ගෝ කුරුලු විශේෂය ලක්දිවට සංක්‍රමණය වන්නේ ප්ලාවාන්ග හා කුඩා මසුන් ආහාර ලෙස සපුරා ගැනීමටත්, මුල් වාසභූමිවල ශීත දේශගුණයෙන් මිදීමත් සදහායි. අර්ධද්වීපයේ වූ කුඩා කලපුවල වූ උනුසුම් ජලයේ ජීවත් වීමට මොවුන් ප්‍රිය කරන අතර ලක්දිවට නැගෙනහිරින් රටට ඇතුළු වන මොවුන් බූන්දල දක්වා ව්‍යාප්තයි. රෝස – කලු පැහැති මොවුන්ගේ පාද ගැඹුරු ජලය තුළ ඇවිදීමටම සකස් වූ ඒවායි. පියැඹීමට අවශ්‍ය ශක්තිය මොවුන් ලබාගන්නේ තනි පාදයෙන් වීම විශේෂිතයි.
“සියක්කාරයෝ” නම් පොළවේ සීසාන්නෝයි. පාද දෙක හා හිස දියෙහි ඔබාගෙන මසුන් සොයන මොවුන්ගේ ඇස් දිය යට දී පවා විවර වී ඇත. මේ ආහාර සෙවීම හුදෙක් නර්තනයක් හා සමානයි. තැන තැන එක එකා කොටා ගැනීම නැතහොත් ප්‍රේම කලහ සුලබ දසුනක්. අනතුරක් සැල වේ නම් රංචුව ම පොකුරකට ඒකරාශි වනුයේ කාගේ හෝ විධානයකට ද? පක්ෂීන් දහසකගේ සංක්‍රමණ චර්‍යා රටා හදුනාගැනීමට අලිමංකඩ හෝ මන්නාරම බලා යා යුතුයි.
කඩොලාන පරිසරයක් කියන්නේ ලෝකයේ වඩාත් ම පලදායී පරිසර පද්ධතියක්.යාපනය වගේ වියළි කලාපීය ප්‍රදේශයක තැන තැන නිර්මාණය වූ වගුරු බිම් ආශ්‍රිතව තියෙන මේ කඩොලාන පරසර සංචරණ පක්ෂීන්ට කියාපු තැනක්. සොයා බැලූ පරිද්දෙන් මේ අතර වඩාත්ම ව්‍යාප්ත වූ කඩොලාන විශේෂය නම් අවිසීනියා මරීනා (Avicennia marina )වඩාත් සුලභ විශේෂයයි. දූපත් ප්‍රදේශ වන මන්ඩයිටතිව්, සිරුතිව්, කුරුසාඩිතිව්, කුරිකාඩ්ඩුවන් සහ පුන්ගුඩිටතිව් (Mandaitivu, Sirudivu, Kurusaditivu, Kurikadduvan and Pungudutivu ) ප්‍රදේශවල මේ කඩොලාන ව්‍යාප්තයි. මීට අමතරව යාපනයේ උතුරු හා ඊසානදිග සමහර ප්‍රදේශ වන තොන්ඩමන්නාරු, අම්පන් සහ චෙම්පියන්පට්ටු ප්‍රදේශවල එය දුර්ලභ යි.
“ඉල්වාරෙයි” දිය අගල
සරසාලේ සංචාරයට මත්තෙන් හමුවන තවත් එක් ගමනාන්තයක් නම් “ඉල්වාරෙයි” දිය අගලයි. අක්කර ගණනාවකට විහිදී ඇති කුඹුරු යායවලට ජලය සපයන එක් මූලාශ්‍රයක් නම් මේ ඉල්වාරෙයි දිය අගලයි. මෙය වර්ෂා සමයේ ජලයෙන් පිරී පවතින, අනෙක් කාලවලදී ජලය නොමැතිව පවතින බොහෝ සංචාරකයන්ගේ ඇස ගැටෙන ස්ථානයක්.
චාවකච්චේරියේ අස්සක් මුල්ලක් නෑරම කරක්ගැසූ මේ ආගන්තුකයාගේ මීළඟ ඉසව්ව වන්නියේ වරණියයි. චාවකච්චේරියේ සිට මීසාලෙයි පහුකරගෙන කොඩිකාමම්වලට කි.මී. 2 ක් උතුරින් පිහිටි යාපනය අර්ධද්වීපයේ තෙන්මරාච්චිවල පිහිටි ආගමික ජීවිතය හා අධ්‍යාපනය කේන්ද්‍ර කර ගත් කෙත්වතුවලින් සාරවත් වූ කෘෂිකාර්මික නගරයයි, වරණි.
පුරාණ කාලයේ ස්වාභාවික වාසස්ථාන නිසා මෙම ප්‍රදේශය අනෙකුත් ප්‍රදේශවලට වඩා යෝග්‍ය යැයි සලකා ඇති බැවින් මෙම ප්‍රදේශය වරණි ලෙස හඳුන්වා තිබුණා. වරානි නම් ගෝත්‍රික කණ්ඩායමක් වාසය කර ඇති නිසාත් එය වරණි ලෙස හඳුන්වනවා. එහි පුරාණ කාලයේ බොහෝ බ්‍රාහ්මණ ජනාවාස බහුල ලෙස පැවති නිසාත් වරණි යන නම ඇති වන්නට ඇති බව සැලකිල්ලට ගැනීමත් වැදගත්.