අරන්කැලේ කියන්නේ පුරාණ භික්ෂුන් වහන්සේලා බණභාවනා කරමින් මානසික විමුක්තිය සොයාගිය ආරණ්‍ය සේනාසනයක්. පුරාවිද්‍යාඥයන් පධානඝර ආරණ්‍ය නමින්ද මෙම සෙනසුන් හඳුන්වනවා. එයට හේතුව පධානඝර හෙවත් පියන්ගල් නම් ගොඩනැගිලි විශේෂය මෙහි බහුලව දක්නට ලැබීමයි.
පධානඝර ආරණ්‍ය කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාගොල්ල, මාලිගාතැන්න වැනි ස්ථානවලින්ද හමුවී තිබෙනවා. අනුරාධපුර බටහිර ආරාම, මිහින්තලේ කලුදිය පොකුණ, කැකිරාවේ රිටිගල සහ මානාකන්ද, අම්පාර රජගල, බලංගොඩ බුදුගල වැනි ස්ථානවලත් මෙවැනි ආරණ්‍ය පිහිටා තිබෙනවා.
යන්නේ කොහොමද?
කුරුණෑගල සිට දඹුල්ල පාරේ කි. මී. 20ක් දුරින් පිහිටි ඉබ්බාගමුවට පැමිණ එහි සිට පොල්පිතිගම පාරේ කි. මී. 8ක් දුරින් ඇති ගොඩගාල හන්දියට පැමිණ එහි සිට බන්නැක්ගම දක්වා දිවයන අතුරු පාරේ කි. මී. 3.5ක් ගමන් කිරීමෙන් අරන්කැලේ නටබුන් භූමියට පිවිසිය හැකිය.
එම නටබුන් භූමියට යාබදව භික්ෂුන් වහන්සේලා අදත් බවුන් වඩන අරන්තැලේ මලියදේව අරහත්ත සේනාසනය ද පිහිටා තිබෙනවා. එය ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත්. මේ අවට පැතිර තිබෙන්නේ කෙත්වතු, වනාන්තර පිරි කඳුවැටි සහිත සුන්දර ඉසව්වක්. මෙය කොළඹ සිට එක් දිනක සංචාරයට ඉතා කදිම ඉසව්වක්. අරන්කැලේ. ආරණ්‍යය හැරුණූවිට රණගිරිමඩ, හිපව්ව වැනි සෙල්ලිපි සහිත ලෙන් විහාරත් මේ අවට පිහිටා තිබෙනවා.
නම හැදුණු හැටි
අරහත් යන අරුතින් අරහත් කැලේ අරන්කැලේ වූ බවට එක් මතයක් තිබෙනවා. ආරාම සහිත කැලේ අරන්කැලේ වූ බව තවත් මතයකින් කියැවෙනවා. ක්‍රි. පූ. යුගයේ දී ලෙන් ආරාමයක් වශයෙන් ආරම්භ වූ මෙම සෙනසුන අනුරාධපුර යුගයේ 8-10 සියවස් වන විට පධානඝර සහිත ආරාම සංකීර්ණයක් බවට පරිවර්තනය වෙනවා.
දොලුකන්දට යාබදව පිහිටි දුන්කන්ද පාමුල තමයි අරන්කැලේ පිහිටා තිබෙන්නේ. මඩුකන්ද සහ අම්බලකන්ද එයට යාබදව පිහිටි කඳුවැටියි. දුන්කන්ද එම නමින් හඳුන්වන්නේ දුම්මල සෑදීමට ගන්නා කිරි සහිත දුන් ගස් බහුල නිසයි.
පුරාවිද්‍යා නාම පුවරුව අසලින් හැරී ගමන් කරන අප පිවිසෙන්නේ නටබුන් භූමියටයි. 1922 දී පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත්වූ අරන්කැලේ 1950 දශකයේ දී පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු ආරම්භ කළා. මෑතකදීත් එහි සමහර නටබුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්ෂණය කළා.
වනයට යටවූ සංරක්ෂණය නොකළ නටබුන් ගොඩනැගිලි රාශියක් ද මෙහි පැතිරී තිබෙනවා. පුරාවිද්‍යා කාර්යාලය ද ඒ අසල පිහිටා තිබෙනවා. ඔබට වැඩි විස්තර ලබාගැනීමට එහි නිලධාරියෙක් සම්බන්ධ කර ගැනීමටත් පුලුවන්.
ජන්තාඝරය කියන්නේ මොකක්ද?
මුලින්ම හමුවන්නේ විශාල ගල් ප්‍රාකාරයකින් වටවූ ජන්තාඝරය නම් ගොඩනැගිල්ලයි. එය දිගින් අඩි 64ක්ද පළලින් අඩි 47ක්ද වෙනවා. මෙය වාස්තු විද්‍යාත්මකව දුර්ලභ ලෙස සැලකෙන ගොඩනැගිලි විශේෂයක්.
භික්ෂූන් වහන්සේ උණුදිය නෑමට සහ වාෂ්ප සිරුරට වද්දා ගැනීමටත් ඖෂධ ස්නානයටත් මෙම ගොඩනැගිල්ල යොදාගෙන තිබෙනවා. අසනීප වූ සහ වෘද්ධ භික්ෂුන් වහන්සේ එය වැඩිපුර භාවිත කළ බවට අනුමාන කරනවා. මෙය එදා පැවති දියුණු වෛද්‍ය ශාස්ත්‍රයක මතක පවසන තැනක්.
ගොඩනැගිල්ල මැද පිහිටා තිබෙන්නේ ස්නානය සඳහා තැනූ ශෛලමය චතුරස්‍රාකාර බේසමක්. පතුලට ගල් පුවරු අල්ලා ඇති එහි නාන ජලය ඉවත්වීම සඳහා සිදුරක් සකසා තිබෙනවා. එය වටේට උණුපැන් සැකසීමට තිබූ ලිප් දැකගත හැකියි. ලිප්ගල් 22ක් පැවති බවට සලකුණු මෙහි තිබෙනවා. බෙහෙත් ඇඹරූ ගෙවීගිය ඇඹරුම්ගල් ද අත්ගල් ද මෙහි දී දැකගත හැකියි.
රිටිගල, මානාකන්ද, පොල්පිතිගම නාගොල්ල, රජගල වැනි ස්ථානවලින් ද ජන්තාඝර හමුවෙනවා.
චංකමනාගාරයටත් යන්න
සක්මන් භාවනාවට ආරණ්‍ය සේනාසනවල ලොකු ඉඩක් ලබාදී තිබෙනවා. ජන්තාඝරයේ සිට මඳ දුරක් යනවිට උස්බිමක ඉදිකළ චංකමනාගාරය දැකගත හැකියි. එය සක්මන් භාවනා කිරීම සඳහා තැනූ පියස්සක් සහිත ගොඩනැගිල්ලක්.
ලංකාවේ පියස්සක් සහිතව ඉදිකළ එකම චංකමනාගාරය මෙයයි. එය දිගින් අඩි 94ක්ද පළින් අඩි 56ක්ද වනවා. එ අසලම වැසිකිලිය, කැසිකිලිය සහ දොනිය එකට සම්බන්ධකර ඉදිකර තිබෙනවා.
චංකමනාගාරයට ඉදිරිපසින් සම්මුඛ ගොඩනැගිල්ලකි. පිටත විහාරවලින් පැමිණෙන භික්ෂුන් වහන්සේලා තාවකාලිකව නැවතී කතාබහ කිරීමට මෙම ගොඩනැගිල්ල භාවිත කළ බව සැලකෙනවා.
පධානඝර
සම්මුඛ ගොඩනැගිල්ලට බටහිරින් පධානඝරයක් පිහිටා තිබෙනවා. ද්විත්ව වේදිකා සහිත මෙම කලුගල් ගොඩනැගිල්ල වටේට ගමන්කරන දියඅගලක් සහිතයි. වර්ෂාවට එම දියඅඅගල ජලයෙන් පිරෙනවා.
භික්ෂුන් වහන්සේ උසස් භාවනා ක්‍රම ප්‍රගුණ කිරීමට මේවා භාවිත කළා. මේවායේ විශේෂත්වය නම් කිසිම කැටයමක් මෙතුල දක්නට නොලැබීමයි. මේ පධානඝර ඉදිකර තිබෙන්නේ 8-10 සියවස්වලයි. තවත් මෙහි තිබෙන නටබුන් රැසක් ඒ කාලයේ තනා තිබෙනවා. අරන්කැලේ සංරක්ෂණය කළ පධානඝර පහක් දැකගත හැකියි. කැලෑව තුළ සංරක්ෂණය නොකළ තවත් පධානඝර 50කට ආසන්න සංඛ්‍යාවක් පැතිර තිබෙනවා.
ලංකාවේ දිගම පෙත්මග
නා, කලුවර, වීර, වෑවරණ, මූනමල් ඇතුලු රුක් සහිත වියන යටින් ගමන් ගන්නා පෙත්මග මෙහි සිට ඇරඹෙයි. එදා මහරහතුන් පියමං කළ මෙම පෙත්මග අද පාලුය.
දෙපසට කළුගල් පුවරු අතුරා මැදට වැලි අතුරා තැනූ එහි දිග අඩි 1800ක්. ජලය ගලා බස්නා ස්ථානවලට පාලම් ද භූමිය උස්වන තැන්වලට පියගැට ද සහිත එය ලංකාවේ දිගම පෙත්මගයි. පසෙක බෑවුමෙන් උපත ලබනා දියදහරාවක් එය හරහා ඇදීයයි. රිලා රංචු ගස්මත සිට මුකුලු කරයි. සමනල රංචු ඒ මේ අත පාවී යයි.
පෙත්මග මැද ගල්පුවරු අල්ලා සැකසූ වක්‍රාකාර මණ්ඩපයකි. රිටිගල පෙත්මගේ ද මෙවැනි මණ්ඩපයක් දැකගත හැකියි. එකල දානය දීමට පැමිණි දායකයන්ට භික්ෂුන් වහන්සේ හමුවීමට මෙවැනි මණ්ඩප තිබූ බව සැලකෙනවා.
පෙත්මග නිමා වන්නේ මලියදේව ලෙන අසලින්. පෙත්මග දෙපස කඳු බෑවුමේ ද පධානඝර ගොඩනැගිලි පිහිටා තිබෙනවා. ඒ වෙත පිවිසීමට සියුම්ව ඔපමට්ටම් කළ ගල්වලින් සැකසූ පියගැට පන්ති දැකගත හැකියි.
පොකුණුවල අලංකාරය
ආරණ්‍යවාසී භික්ෂුන්ගේ පැන් පහසුව අත්‍යවශ්‍ය කාරණයක්. මෙහි භාවනානුයෝගී භික්ෂුන් වහන්සේගේ භාවිතයට සැකසූ පොකුණු තුනක් තිබෙනවා. ඒ අතරින් පහළ බෑවුමේ දැකගත හැකි විශාල පොකුණ සංරක්ෂණය කර නැති නිසා එහි ස්වභාවය හඳුනාගැනීමට තරමක් අසීරුයි.
කන්දේ සිට ගලා එන ජල උල්පත්වලින් මේවාට ජලය සැපයී තිබෙනවා. පෙත්මගට වම්පසින් පිහිටි ආයත චතුරස්‍රාකාර පොකුණ සංරක්ෂණය කර තිබෙනවා.
එය, වවේට කලුගල් පුවරු අල්ලා සකස් කළ අලංකාර පොකුණක්. පොකුණට බැසීමට කලුගල් පියගැට පෙළක් තිබෙනවා. එදා භික්ෂුන් වහන්සේ එහි ස්නානය කරන්නට ඇති. අදත් ජලයෙන් පිරී පවතින එහි මානෙල්, කුමුදු, නෙලුම් වැනි පුෂ්ප පිරී පවතිනවා.
මෙම පොකුණට තරමක් එපිටින් වනමැද පිහිටි කුඩා පොකුණ මෑතක දී සංරක්ෂණය කරලා. එය පහළට යනවිට V හැඩයට බෑවුම් වනසේ ඉදිකර තිබෙන්නක්. කිසිදා දිය නොසිඳෙන බවට ගැමියන් පවසන මෙය එකල පානීය ජලය සපයා ගත් පොකුණ බව සැලකෙනවා. අප යනවිටත් එහි ජලය පිරී තිබුණා.
මලියදේව ලෙන
නටබුන් භූමියට එපිටින් වර්තමාන ආරණ්‍ය සේනාසන භූමියේ පිහිටි කටාරම් කෙටූ ලෙනක් මෙය. එය මලියදේව මහ රහතන් වහන්සේ වැඩවාසය කළ ලෙන බව ජනප්‍රවාදයේ සඳහන් වුණත් එයට පුරාවිද්‍යා සාධක නම් නැහැ.
මෙය පැරණි ලෙනක ස්වරූපය දැකගැනීමට නිදර්ශන සපයනවා. ලෙන ඉදිරිපස බොරදම් සහිතව ඔප දැමූ කලුගලින් බිත්තියක් සකසා ඇත්තේ කවුලු දෙකක්ද පිහිටන අයුරින්. බිත්තිය මැදින් උලුවස්ස තබා තිබෙනවා. ලෙන තුළ කැපූ ගලෙන් කාමර තුනක් තනා තිබෙනවා. අද එය බුද්ධ ප්‍රතිමා මන්දිරයක්. ලෙන තුළ ඇති සිසිලස එයට ඇතුල් වන කාහටත් විඳගත හැකියි.
ලෙන ඉදිරිපස ඉහළ පර්වතයේ සිදුරු සකසා තිබෙන්නේ එදා පියස්සක් තිබූ බවට ඉඟි කරමින්. පැරණි කලුගල් පාදමක්ද එය ඉදිරියෙන් පිහිටා තිබෙනවා. මෙයට යාබදව මලියදේව ආරණ්‍යයට අයත් වර්තමාන කුටි පිහිටා තිබෙනවා.
ස්වාමින් වහන්සේලා විවේක සුවයෙන් වැඩවසන නිසා නිශ්ශබ්දව හැසිරෙන්න යයි නාම පුවරුවන් ඒ අසල දැකගත හැකියි. අපි නිහඩවම ආපසු හැරුණේ මේ වනගත සොඳුරුබව විඳගනිමින් යළිත් පෙත්මග ඔස්සේ ආපසු පියමං කිරීමටයි.