යාපනය බළකොටුව මත්තෙන් මන්ඩතිව් දූපතට පා පැදියෙන්

නොසන්සුන් යාපනයේ නගරයේ සවස්භාගය උදා වී ඇත.  නගරය අවට පිරික්සා බලන කුහුල් සිතින් යුතු ඔබට යාපනයේ මංමාවත් දිගේ ඇවිද  ගොසින්  ඒ කුහුල නිවා ගත හැකි වනු ඇත. අර්ධද්වීපයට ආගන්තුක ඔබට දැනෙන හුදකලාවෙන් මිදීම පිණිස පා ගමනින් හෝ පාපැදියකින් හෝ ගොස් නැරඹිය හැකි ස්ථාන එහි බොහෝ ය. 

 ඔබ සවස් වරුවක  නගර සීමාවෙන් බැහැර ව ඉදිරියට ඇදෙන්නේ නම් නගර වීදි පුරා පවතින මහා ඝෝෂාව සෙමෙන් අඩුවී නෑසී යන්නේ ගොම්ම්න් අඳුර නගරය ගිල ගන්නවාත් සමඟ ය.  ඒ නිහඬ බවට සමවැදී ඔබ තවදුරටත් ඉදිරියට ගිය ද සැමතින් ම ඇසෙන කපුටන්ගේ තොරතෝන්චියක් නැති කෑ ගැසීමේ නම් අඩුවක් ඔබට දැනෙන්නේ නැත.

පාපැදියක පිහිටෙන් නගරයෙන් බැහැරට

පාපැදියක පිහිටෙන් නගරයෙන් බැහැර වන ඔබට වීදි කොනක වන අඳුරු පැහැ තීන්ත ආලේප කළ පරණ ගොඩනැගිල්ලක බිත්තියට ඇන තියාගෙන, දිගු රැවුළකින් යුතු, උඩුකය නිරුවත් මහල්ලෙක් සුරුට්ටුවක් අදිමින් දුම් රොටු වාතලයට එකතු කරමින්‍  සිටිනු පෙනෙයි. උගුර පාදමින්, දුම්‍ රොටු පිඹිමින් ඔහු ගොරහැඩි හඬින් පසෙක වූ යමෙකුට මොන මොනවදෝ කියන්නේ උස් හඬිනි. උදෑසන ම වෙළෙඳපොළට ගෙනා කෙසෙල් කැනක් තාමත් කඩපළක කොනක ය.එහි වන කෙසෙල් ගෙඩි ප්‍රමාණයෙන් විශාල ය.තරමක් දිගු ය. රත්පැහැති ය.ඒ නම් යාපනේ “පූවාලු” ය.

වීදි කොනකට වී සුසුම්ලන කෙසෙල් කැනක් – Nathan photography 

 

මහ පාන්දරක පාරක් අයිනකට වී බැලුවොත් ඔබට දකින්නට  ලැබෙන්නේ කෙසෙල් කැන් සිය පාපැදිවල හෝ පරණ චැලි  බයිසිකලවල පටවාගෙන නගරයේ පොළ පැත්තට සේන්දු වන  යාපන ගොවි මහතුන්ගේ කඩිමුඩිය ය.මොවුන්ට අනුව නම් දෙමළ බසින් “කදලි ” “කප්පල් ” “ඉතර “ආදී විවිධ නම් කෙසෙල් වර්ග  මෙහි වැවෙන කෙසෙල් අතර ඇත.

යාපනේ කෙසෙල්වලට  පවතින්නේ  හොඳ වෙළෙඳපොළකි. අලු කෙසෙල්වලට ද ඇති ඉල්ලුම ඉහළ ය.ඒ “වාලෙක්කායි පොරියල් ” නොහොත් අලු කෙසෙල් බැදුම,මොවුන්ගේ ප්‍රියත ම බැදුම් වර්ගයක් වන නිසාවෙනි. අලු කෙසෙල් ගෙඩිය සිහින් ව පෙති කපා තෙලේ බැද අහාරයට එකතු කර ගනී. මේ කෙසෙල් බැදීම සදහා හුදෙක්ම යොදා ගැනෙන්නේ තල තෙල් ය.

බළකොටුවේ සිට බටහිර අහස් කුසේ ගිලෙන හිරු – Getty images

කරවල කඩ පෝලිම

යාපනය නගරයේ ප්‍රධාන බස් නැවතුමට මත්තෙන් වූ වෙළෙඳපොළයි මේ. ඒ හරහා ඔබ පා පැදිය මෙහෙයවන්නේ නම් යාපනය කොටුව දෙසට ළඟා විය හැකි ය.සිග්නල් කණුවෙන් වමට හැරෙන විට පේන්නේ කරවල කඩ පෝලිම ය. මුහුදු කරවල, වේලපු ඉස්සන්, හාල් මැස්සන්, බැදුම් වර්ග මිලදී ගැනීමට හොඳ ම තැන මෙය යි. සෑම කඩයක් ඉදිරිපිට ම ‍රතු මිරිස් ගෝනියක් දෙකක් ඇත. මේවා ලුණුවල බහා සැකසූ ඒවායි.

යාපනය කොටුව දෙසට සිදු වන ගමනේ දී කළපුව දෙසින් හමා එන සුළඟ නිසාවෙන් ගතේ වන වෙහෙසකර බව නිවී යයි. මුහුදු සුළඟ සතු ලුණු මිශ්‍ර ස්වාභාවය මෙදා ගතට  නොදැනෙන්නේ හිරු අවරට ගිය නිසාවෙන් බව ආගන්තුකයාගේ හැඟීම යි.

ගුරුනගර් සුන්දරත්වයත් ඔබ විඳිය යුතු ම ය – facebook.com/Jaffna

කොටුවට පිවිසෙන දොරකඩ ලන්දේසි ලාංඡනය තවමත් ශේෂ වී  පවතී. බළකොටුවේ සිට බටහිර අහස් කුසේ ගිලෙන හිරු බැස යෑම නැරඹීම ද තරමක් ආදරණීය ය.එදා පිලිප් ද ඔලිවේරා මේ ශක්තිමත් පවුර මත්තට වී තේජස් ව යාපන මහ මුහුද දෙස බලා නැවත ඔවුන්ගේ බළ සේනාංක මෙහි පැමිණෙන තෙක් උදම්  අනමින් සිටියා විය හැකි ය.

ගුරුනගර් සුන්දරත්වය

යාපනයේ සංචාරය කරන්නෙක් නම් ගුරුනගර් වෙතත් පිවිස මෙහි සුන්දරත්වයත් ඔබ විඳිය යුතු ම ය. ඇස ගැටෙන මානයේ ඈතට විහිදෙන පන්නායි කෝස්වේ පටු පාලම් මාර්ගය හෙවත් දූපත් හා ගොඩබිම් යාකර තැනුණු මුහුදුබඩ මාර්ගය යි. කයිට්ස්, නයිනතිව් ,ඩෙල්ෆ්ට් ,පුන්කුඩිතිව්, අනලතිව් වැනි දූපත් ගණනාවකට ම ප්‍රවේශයට ඉඩ සලසන්නේ යාපන කළපුව මැද්දෙන් වන මේ පන්නායි පටු මාර්ගයයි. මේ පටු පාලම AB 39 ලෙස ගූගල් මැප්හි සටහන් ව  තිබේ. 

පන්නායි කෝස්වේ පටු පාලම් මාර්ගය හෙවත් දූපත් හා ගොඩබිම් යාකර තැනුණු මුහුදුබඩ මාර්ගය – Google.com/maps

යාපනේ අර්ධද්වීපයත් කොටස් පහක එකතුවකි. ඉන් පසක් වන්නේ ඒ අතරත් බෙදීම් නැති බව ම නොවේ යන්නයි. මේ අර්ධද්වීපය වලිකාමම්, තේන්මරච්ච්, යාල්පානම්, වඩමාරච්චි හා දූපත් සමූහයක එකතුවකි. යාපනයේ මස්තිෂ්කය ලෙස සැලකෙන්නේ වඩා  හෙවත් වඩමාරච්ච් ය.ඒ මන්දැයි ඇසිය යුත්තේ වඩමාරච්ච්වලම අයකුගෙනි.

පටු පාලම දෙපස ඉස්සන් කොටු – facebook.com/palmyrahisland

පන්නායී මුහුදු තීරය

කොටුවට මුහුණ ලා ඇත්තේ පන්නායී මුහුදු තීරයයි. ගුරුනගර් අවට ධීවර ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ මේ මත්ස්‍යය සම්පතයි. පන්නායි පටු මාර්ගය  අප රැගෙන යන ගමනාන්තය  වන්නේ යාපනයේ දූපත් සමූහයයි. පන්නායි කෝස්වේ හරහා යන්නකුට ප්‍රථමයෙන්  මන්ඩතිව් දූපතට පිවිසිය හැකි ය. පන්නායි නම් කළපු ආශ්‍රිත ප්‍රදේශයකි. පටු පාලම දෙපස ඉස්සන් කොටු, බෝට්ටු දැක ගත හැකි ය.

කඩොලාන ආශ්‍රිත පරිසරය මේ ගුෂ්ක භුමියට හරිත වර්ණයක් එකතු කරයි. ඉස්සන්,කකුළුවන්, කුඩා මත්ස්‍යයන් ඇතුළු ජලජ සම්පත් වැඩීමට හා වර්ධනය වීමට කදිම නවාතැන මේ කඩොලාන පරිසරයයි. මුහුදු කෑම වලක්වන අපූරූ පාරිසරික උපක්‍රමයත් මේ කඩොලාන පරිසරයයි. ජීවින් සමූහයක් සහිත මේ කඩොලාන පරිසර පද්ධතියේ  ආහාර දාමය ද සංකීර්ණ  ස්වරූපයක් ගත්තකි.

පන්නායී කළපුවේ මැවෙන රටා – facebook.com/palmyrahisland

මන්ඩතිව් දූපතට ඇතුළු වී යාපන ලන්දේසි බළකොටුව දෙස බලන්නකුට  නගරයේ තිබෙන උස් ගොඩනැගිලි සමූහය දිස් වන්නේ හරිම අපූරුවට ය. මේ අතර යාපනේ පුස්තකාලයේ හිස් මුදුනත්, අලුතෙන් ඉදිවන සංස්කෘතික ශාලාවත් කැපී පෙනෙයි. පාලම මත්තෙන් යන්නකුට දකුණු පසින් කුඩා දූපතක වූ කුරුසියක ඇණ ගැසූ ජේසූස් වහන්සේ ගේ  සුරුවමක් සහිත කතෝලික පල්ලියක් දැකිය හැකි ය. ඒ නම් “කුරුචාටිතීව්” දූපතයි.

උතුරු අහසේ නේක වර්ණ රටා

උතුරු අහසේ නේක වර්ණයෙන් රටා මවමින් හිරු බටහිර අහසේ ගිලීමට සූදානම් ය. මේ සුන්දරත්වය නැරඹීමට කදි ම නවාතැන යාපනයේ කොටුවයි.යාපනය බළකොටුව, රටේ යටත් විජිත අතීතයේ සදාකාලික උරුමයකි. මේ සුප්‍රසිද්ධ ලන්දේසි බළකොටුව 1618 දී පිලිප් ද ඔලිවේරා යටතේ පෘතුගීසීන් විසින් ඉදි කරන ලද්දකි.1680 දී කොටුව අත්පත් කරගත් ලන්දේසින් එය නැවත ගොඩ නඟා ඇත.

යාපන කොටුවේ පිවිසුම් ද්වාරය – Getty images – Amal Jayasinghe

 

පෙන්ටගනයක හැඩයෙන් කරන ලද මේ නිර්මාණය වසර 400 ක් පමණ පැරණි ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ සංකේතයකි. පෙන්ටගන හැඩයේ ද සැගවුණු කතාවකි.මේ පෙන්ටගනයේ කොන් පහ නෙදර්ලන්තයේ පළාත් වන සීලන්ඩ්, ඕලන්දය, ගෙල්ඩර්ලන්ඩ්, උට්‍රෙච්ට් සහ ෆ්‍රීස්ලන්ඩ් නිරූපණය කරයි.(Zeeland, Holland, Gelderland, Utrecht and Friesland).

යාපන කොටුවේ අභ්‍යන්තරය ගවේෂණයට පා තබත් ම පිවිසුම් ද්වාරයේ  නෙත් ගැටෙන්නේ ලන්දේසි ලාංඡනය යි. කොටුව ඇතුළත  නටබුන් වී, විනාශ වී ගිය ලන්දේසි ලුතිනන් ආණ්ඩුකාරවරයාගේ නිවස, මිලිටරි බැරැක්ක, සිර කුඩු ,ගබඩා, ලන්දේසි පල්ලියක්, ආරක්ෂක කාමර, පොලිස් නිල නිවාස, බන්ධනාගාරයක්, උසාවි නිල නිවසක් වැනි ගොඩනැගිලි ද ක්‍රීඩා පිටියක් හා වරදකරුවන් එල්ලා මරන ස්ථානයක් ද පවතී. අතෙක සන්නිවේදනය සදහා වූ ඝණ්ඨාර කුලුණකි. 

යාපන කොටුවේ පිටත ව්‍යුහය – Getty images – Ishara S.kodikara

සාගරය හා සම්බන්ධ උමං පද්ධතිය

මෙහි බොහෝ ස්ථාන අදවන විට හුදු ගල් අවශේෂ බවට පත් ව තිබෙන අයුරු දැක ගත හැකි ය. හුණුගල් සහ කළු කොරල්ගලින් තැනූ යාපන කොටුවේ පිටත ව්‍යුහය තවමත් ශක්තිමත් ව පැවතීම පුදුමයට කාරණාවකි. විස්මය දනවන කාරණාවකි. කොටුව තුළ සාගරය හා සම්බන්ධ උමං පද්ධතියකි. පිටතින් එන ඕනෑම සතුරු බලයක් පරාජය කිරීමට ඇති හැකියාව හා සූදානම පිළිබඳ  එය කදිම සාක්ෂියකි. 

යාපන කොටුව අහසින් –  Thilina Kaluthotage

ශ්‍රී ලංකාවේ මුළු භූමියෙන් උතුරු අර්ධද්වීපය පමණක් සියයට නවයක අගයක් අත්පත් කර ගනී. මේ අර්ධද්වීපය වියළි තැනිතලාවෙන් ද, දූපත් රාශියකින් ද එකතු වූ භූමි භාගයකි. එහි වූ “මන්ඩතිව්” දූපත යාපනය AB 35 මාර්ගයේ කිලෝමීටර් පහකට පමණ එපිටින් වන දිවයිනකි. කයිට්ස් දූපත කිලෝමීටර් එකකට එහායින් ද, නයිනතිව් හෙවත් නාගදීපය ඊට මත්තෙන් ද පිහිටි අනෙක් දූපත්‍ ය.

කොළ ගැහුණු භූමිය “මන්ඩතිව්”

නිල් දියඹට මත්තෙන් කොළ ගැහුණු භූමිය “මන්ඩතිව්” දිවයින හෙවත් මකුළු දූව නම් දැඩි හිරු රශ්මියත්, කර්කෂ පොළොවත්, කරදියත්, වියළි සුළඟත්, සුදු වැල්ලත් යන සියල්ලෙන් ම නිම වූ බිම් කඩකි.  එය වර්ග කිලෝමීටර් පහළොවක පමණ විශාලත්වයෙන් ‍යුත්, දිගින් කිලෝමීටර් හයක් පමණ හා පළලින් කිලෝමීටර් තුනක් පමණ වූ මිනිස් වාසය සහිත භූමියකි. එහි වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක තිස්තුනකට එහා අගයක් ගනී. 

කඩොලාන ආශ්‍රිත පරිසරය මේ ගුෂ්ක භුමියට හරිත වර්ණයක් එකතු කරයි – facebook.com/palmyrahisland

ඔක්තෝම්බර් සිට දෙසැම්බර් කාල සීමාව තුළ සුළඟ සමඟ කඩින් කඩ වර්ෂාව ලැබීමේ ප්‍රතිපලයක් ලෙස විල්ලු පරිසරයක් නිර්මාණය වී පවතී. පර්යටන පක්ෂීන්ට හා ඒකදේෂික පක්ෂීන්ට එය අපූරු වාස භූමියකි.

සුදු වැල්ලේ තැනින් තැන වූ තෘණ ශාක හා වර්ණවත් පැළෑටි භූමියට එක්කරන්නේ විචිත්‍රත්වයකි. මුහුදේ සිට ගොඩබිමට හමා එන වේගවත් සුළඟ නිසා ගහ කොළ මෙන්ම තෘණ පවා ගොඩබිම දෙසට නැමී පවතී. ශාක විශේෂ අතර මණ්ඩා, මහ කඩොල්, පුංකණ්ඩා සුලබ ය.

පරිසර සංවේදී තෙත්බිම

මන්ඩතිව් නම් පරිසර සංවේදී තෙත්බිමකි. ලවණ වගුරු බිමකි. වසරේ විවිධ කාලසීමාවන්හි සංචරණ පක්ෂීන්ගේ පාරාදීසයක් බවට මන්ඩතිව් දිවයින පත්වේ. ආදරයේ සංකේතය වූ රාජ සියක්කාරයන්ගේ ගමන් මගේ එක් සංධිස්ථානයක් වන්නේ මේ මන්ඩතිව් දූපත ය.

මන්ඩතිව් නම් පරිසර සංවේදී තෙත්බිමකි – facebook.com/palmyrahisland

මන්ඩතිව් දූපතේ සිට යාපනය නගරය දෙස බලන්නකුට නම් පැහැදිලි ව පෙනෙන්නේ යාපනය පුස්තකාල ගොඩනැගිල්ලේ ඉහල කොටසත්,ඊට මත්තෙන් වූ අලුතින් ඉදිවන සංස්කෘතික අංගනය හා ලන්දේසි කොටුවේ ශක්තිමත් පවුරත් ය.  බොහෝ දුරට  සයුරේ සැඟව ගිය  හිරු ගේ ඇවෑමෙන් යාපනය අර්ධද්වීපය ම අන්ධකාරය ගිල  ගනිමින් සිටී.  එය පාපැදියයේ පැඩලයට ජවය යොදා නැවත  යාපන නගර සීමාවට ඔබ සේන්දු විය යුතු බව පවසන නිහඬ සංඥාවකි.  

කවරයේ පින්තූරය - නගරයේ තිබෙන උස් ගොඩනැගිලි සමූහය දිස් වන්නේ හරිම අපූරුවට - facebook.com/palmyrahisland

මූලාශ්‍ර:

facebook.com/palmyrahisland

facebook.com/Jaffna

Related Articles

Exit mobile version