Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොවිඩ් එන්නතට එරෙහි වූ කැනේඩියානු ට්‍රක් රථ රියැදුරෝ

කැනඩාවේ ට්‍රක් රථ රියදුරන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවකයන් කැනඩා-එක්සත් ජනපද දේශ සීමාව හරහා ගමන් කරන්නේ නම්, ජනවාරි 15 වැනිදා සිට කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත ලබා ගත් බවට වූ සාක්ෂි ඉදිරිපත් කිරීම 2021 නොවැම්බර් මාසයේ දී අනිවාර්ය කෙරුණා. මෙම නියෝගයට අනුව එක්සත් ජනපදයේ සිට කැනඩාවට ඇතුළු වන එන්නත ලබා නොගත් සියලු ට්‍රක් රථ රියදුරන් කොවිඩ්-19 පරීක්ෂණයකට සහ සති දෙකක ස්වයං නිරෝධායනයකට ලක් විය යුතු යි. එක්සත් ජනපදයත් පසුගිය ජනවාරි 22 වැනිදා සිට එවැනි ම අවශ්‍යතාවක් බලාත්මක කළා.

නියෝගය අදාළ දිනට බලාත්මක වීමේ දී කැනේඩියානු ට්‍රක් රථ රියදුරන් 90% ක් පමණ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගත් බව වාර්තා වුණා. කෙසේ නමුත්, කැනඩාව ඇතුළු බොහෝ බටහිර රටවල එන්නත්, මුහුණු ආවරණ සහ සංචරණ සීමාවලට එරෙහි ව විරෝධය දක්වන පිරිසක් සිටිනවා. එන්නත් විරෝධී අදහස් දරණ කැනේඩියානු ට්‍රක් රථ රියදුරන් ද ටෲඩෝ පාලනයේ අලුත් ම නීතියට එරෙහිව පෙළ ගැසුණා.

 නීතිය බලාත්මක වීමට දිනක් තිබිය දී “Freedom Convoy 2022” නම් ශීර්ෂ පාඨය යටතේ “GoFundMe” හරහා තම විරෝධතා ව්‍යාපාරයට අරමුදල් එක්රැස් කිරීමටත් ට්‍රක් රථ රියදුරන් උනන්දු වුණා. “GoFundMe” යනු විවිධ සමාජීය අරමුණු අරභයා අරමුදල් රැස් කිරීමට සහාය දක්වන වේදිකාවක්. ඒ හරහා ට්‍රක් රථ රියදුරන් දැනට කැනේඩියානු ඩොලර් මිලියන 9.9 ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා. ආරම්භයේදී ම ප්‍රබල ව ගොඩ නැගුණු ඔවුන්ගේ විරෝධය, කැනඩා ආර්ථිකයට තර්ජනයක් එල්ල කිරීමට පවා සමත් වී අවසන්.

ඇම්බැසඩර් පාලම කැනඩාව සහ එක්සත් ජනපදයට එකසේ වැදගත් වන ආර්ථික මර්මස්ථානයක් – www.bbc.com 

ට්‍රක් රථ රියදුරෝ ඔටාවා වෙත..

නව කොවිඩ් නීතියට එරෙහි විරෝධතාවේ කොටසක් ලෙස ට්‍රක් රථ සිය ගණනක් කැනඩාවේ ඔටාවා අගනුවරට පසුගිය ජනවාරි 29 වැනිදා  පැමිණුනා. විරෝධතාව ආරම්භයේ දී සාමකාමී වුවත්, ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ හැසිරීම කලහකාරී තත්ත්වයකට හැරුණා. මුහුණු ආවරණ නොපැළඳීම, ජාතික යුද ස්මාරකය ඉදිරියේ අශ්ලීල ලෙස හැසිරීම, නාසි ධජ එසවීම, සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල කිරීම ඔවුන් වෙතින් ප්‍රදර්ශනය වූ නිසා තත්ත්වය බරපතල වීමේ අවදානමක් හට ගත්තා. වත්මන් කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝට එදිරි ව නින්දිත ආකාර‍‍යේ සටන් පාඨ ඔවුන් පැවසූ බව ද සඳහන්.

 විරෝධතාකරුවන් පවසන්නේ එන්නත ලබා ගැනීම හෝ නොගැනීම තම ස්වාධීන තීරණයක් හෝ අයිතියක් බව යි. ඒ සඳහා රජයට බලපෑම් කළ නොහැකි බව ඔවුන් අවධාරණය කරනවා. තත්ත්වය නරක අතට හැරීමත් සමඟ අගමැතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔටාවා හි පාර්ලිමේන්තු මන්දිරය අසල පිහිටි නිවස්නයේ සිට හෙළි නොකළ ස්ථානයකට රැගෙන ගිය බවත් වාර්තා වුණා.

ඇල්බර්ටාවේ කවුට්ස් දේශසීම ප්‍රවේශය ආසන්නයේ තත්ත්වය – www.thestar.com 

ඇල්බර්ටාවත් නොසන්සුන්

ඔටාවා කේන්ද්‍ර කර ගනිමින් ඇරඹුණු විරෝධතාව කැනඩාවේ අනෙකුත් ප්‍රදේශවලට පැතිරීමේ අවදානමක් මතු කරමින් ඇල්බර්ටා ප්‍රාන්තයේ ද නොසන්සුන්තාවක් හට ගත්තා. කැනඩාව සහ එක්සත් ජනපදය අතර ආසන්න වශයෙන් ඩොලර් බිලියන 6 ක වෙළෙඳාමක් සිදු වන “කවුට්ස්” දේශසීමා ප්‍රවේශය අසල මහා මාර්ගයක් ට්‍රක් රථ රියදුරන් අවහිර කිරීම නිසා අත්‍යාවශ්‍ය සේවා සැපයීම යම් අභියෝගයකට ලක් වුණා. විරෝධතාකරුවන් පොලිස් බාධක බිඳ දමා නිලධාරීන් සමඟ ගැටුමක් ඇති කර ගැනීමට උත්සහ කිරීම නිසා කවුට්ස් හි තත්ත්වය යම් ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ද ඉසිලුවා. සාමකාමී විසඳුමක් සෙවීම සඳහා විරෝධතාකරුවන් සමඟ සම්බන්ධ වීමට උත්සහ කළත්, විරෝධතාකරුවන් ඊට අවනත නොවූ බව පොලිසිය පවසා තිබුණා.

ජස්ටින් ටෲඩෝගේ ස්ථාවරය

ට්‍රක් රථ රියදුරන්ගේ විරෝධතාව කොතෙක් ප්‍රබල වුවත්, පැනවූ අලුත් කොවිඩ් නීතිය අහෝසි කිරීම හෝ විරෝධතාකරුවන් හමුවීම අගමැති ටෲඩෝ ප්‍රතික්ෂේප කළා.  ඔහු තරමක් දීර්ඝ ට්විටර් පණිවිඩයක් තබමින් මෙසේ ද පවසා සිටියා.

“පසුගිය දින කිහිපය තුළ අපගේ අගනුවර කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන විරෝධතා හමුවේ කැනේඩියානුවන් කම්පනයට පත්ව ඇත. ඔවුන් විරෝධතාකරුවන්ගේ ක්‍රියා දෙස බලන්නේ පිළිකුලෙන් යුතුව යි. නිවාස අහිමි පුද්ගලයන්ගේ ආහාර සොරකම් කරන සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් අපයෝජනයට ලක් කරන මිනිසුන්ට අප බිය වන්නේ නැත. ජාතිවාදී ධජ ඔසවන පුද්ගලයන්ට අප යටත් නොවන අතර, විනාශකාරී ක්‍රියාවල යෙදෙමින් කෘතහස්ත මිනිසුන්ගේ මතකයට අගෞරව කිරීමට අපි ඉඩ නොදෙමු. මෙවැනි හැසිරීම්වලට කැනඩාවේ ඉඩක් නොමැත. එබැවින් වග කිව යුතු පුද්ගලයන් මෙය වහාම නැවැත්විය යුතු යි. විරෝධතාවලට සම්බන්ධ වූ නමුත්, වෛරයේ සහ බෙදුම්වාදයේ සංකේත ප්‍රදර්ශනය කිරීමෙන් අපහසුතාවට පත් වූ පුද්ගලයන් ධෛර්යමත් වන්න, කතා කරන්න. නොඉවසීම සහ වෛරය වෙනුවෙන් පෙනී සිටින්න.”

විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් අගමැති ජස්ටින් ටෲඩෝට ගැටලුවක් නොතිබුණත්, විරෝධතාව හරහා ඉතා සාමකාමී රාජ්‍යයක් ලෙස ප්‍රකට ව පවතින කැනඩාවේ ප්‍රතිරූපයට සහ ආර්ථිකයට වන හානිය ගැන ඔහු දැඩි ස්ථාවරයක සිටින බවක් පෙනී යනවා.

ඔටාවා නගරයේ වීදියක් අවහිර කළ විරෝධතාකරුවන් කාලය ගෙවා දමන අයුරු – www.bbc.com 

කොන්සර්වේටිව් පාර්ශවයේ මතය

ගෝලීය මට්ටමෙන් සැලකීමේ දී කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සඳහා පුළුල් සහයෝගයක් දැක් වූ ජාතියක් ලෙස කැනේඩියානුවන් හැඳින්විය හැකි යි. දැනටමත් සුදුසුකම් ලැබූ ජනගහනයෙන් 80% ක් පමණ එන්නත ලබා අවසන්. කැනඩාවේ බහුතරය අලුත් කොවිඩ් නීතියට සහාය දක්වන බවත් වාර්තා වෙනවා. එන්නත්කරණයට විරෝධය දක්වන ඇතැම් ට්‍රක් රථ රියදුරන් “කුඩා ආන්තික සුළුතරයක්” ලෙස හෙළා දැකීමට අගමැති ජස්ටින් ටෲඩෝ පෙලැඹුණෙත් ඒ නිසා යි. දැන් දැන් මේ විරෝධතා රැල්ල යම් දේශපාලනික මුහුණුවරක් ද ගෙන තිබෙනවා. විශේෂයෙන් ම, ටෲඩෝ ප්‍රමුඛ ලිබරල් පක්ෂයේ ප්‍රධාන අභියෝගකරු වූ කොන්සර්වේටිව් පක්ෂයේ දේශපාලනඥයන්ගෙන් විරෝධතාව සඳහා යම් සහයෝගයක් ලැබී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.

 කොන්සර්වේටිව් පාර්ශවය වත්මන් විරෝධතාව හඳුන්වා තිබුණේ “විඩාව සහ බෙදීමේ සංකේතයක්” ලෙසට යි. වසර දෙකක් මුළුල්ලේ වසංගතය හේතුවෙන් කැනඩාව තුළ පවත්නා ගෙන යන ඇතැම් ක්‍රියා මාර්ග හරහා රජය තම සීමාව ඉක්මවා ගොස් ඇති බව ඔවුන් චෝදනා කරන අතර, ට්‍රක් රථ රියදුරන්ගේ විරෝධතාව එම කනස්සල්ලේ උච්චත ම අවස්ථාවක් බව කොන්සර්වේටිව් පාර්ශවය පෙන්වා දෙනවා.

වසංගතය හේතුවෙන් අනෙකුත් බොහෝ රටවල පවත්නා ගැටලු කැනඩාවේ ද පවතිනවා. ඉහළ යන උද්ධමනය, ශ්‍රම හිඟය, සැපයුම් දාමයේ ගැටලු ඒ අතරින් ප්‍රධාන යි. විටින් විට ඔවුන් මුහුණ දෙන ආන්තික කාලගුණ විපර්යාසත් එම ගැටලු උග්‍ර වීම කෙරෙහි බලපා තිබෙනවා. ආහාර සහ ඉන්ධන වල මිල ගණන් ඉහළ යමින් පවතින අතර, ඇතැම් නිෂ්පාදනවල හිඟයක් ද පවතිනවා. කෙසේ නමුත්, දූෂණය, විනය, සමානාත්මතාව සහ දේශපාලන විනිවිදභාවය ඉහළින් ම පවත්වා ගෙන යන රාජ්‍යයක් ලෙස මෙම ගැටලු තාවකාලික බව සිතිය හැකි යි. 

ට්‍රක් රථ රියදුරන්ට පැනවූ අළුත් කොවිඩ් නීතිය සම්බන්ධයෙන් අගමැති ටෲඩෝ දරණ ස්ථාවරය විරෝධතාකරුවන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබෙනවා – theprint.in 

දේශපාලන අර්බුදයක් කරා..

දේශ සීමාව හරහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් මත කැනඩාවේ ආර්ථිකය දැඩි ලෙස රඳා පවතිනවා. එබැවින් ට්‍රක් රථ රියදුරන් අත්‍යාවශ්‍ය සේවකයන් ලෙස සලකන අතර, ආරම්භයේ දී කොවිඩ් නීතිවලින් ද ඔවුන් නිදහස් කර තිබුණා. කෙසේ නමුත්, පෙර සඳහන් කළ පරිදි ම කැනේඩියානු ට්‍රක් රථ රියදුරයන්ගෙන් අති බහුතරයක් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා ලබාගෙන තිබෙන හෙයින්, ඔටාවා නගරයට එක්රැස් වූ විරෝධතාකරුවන් සැබැවින් ම අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධදැ යි සැක මතු වී තිබෙනවා. විරෝධතාවට සහය නොදක්වන බවත්, පැනවූ නව කොවිඩ් නීතියට තම කර්මාන්තයේ නියුතු සාමාජිකයන් අනුගත විය යුතු බවත්, කැනඩාවේ ට්‍රක් රථ රියදුරන්ගේ සන්ධානය පවසා සිටීම ඊට ආසන්නත ම හේතුව යි.

ජස්ටින් ටෲඩෝ විශ්වාස කරන අන්දමට කොවිඩ්-19 වසංගතයට එරෙහි ව සටන් කිරීමේ ප්‍රධාන මෙවලම වන්නේ එන්නත් අනුපාතය ඉහළ දැමීම යි. කෙසේ නමුත්, විරෝධතා ව්‍යාපාර හමුවේ අඩාල වන සැපයුම් දාමයෙන් හට ගන්නා ගැටලු ඊටත් වඩා උග්‍ර බව කොන්සර්වේටිව් පාර්ශවය පෙන්වා දෙනවා. අගමැති ටෲඩෝ මේ සියලු චෝදනා හමුවේ පසුබසින බවක් නම් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ අනුව දැන් දැන් කැනඩාවේ ට්‍රක් රථ රියදුරන්ගේ අර්බුදය දේශපාලන කඹ ඇදිල්ලක ස්වභාවයක් ගෙන තිබෙනවා.

ඇම්බැසඩර් පාලමේ ආර්ථික දායකත්වය – www.bbc.com 

ඇම්බැසඩර් පාලමත් අවහිර වෙයි!

විරෝධතාකරුවන්ගේ ක්‍රියා තදින් විවේචනය වෙමින් පැවතුණත්, නොසන්සුන්කාරී වාතාවරණය තවමත් පහ වී නැහැ. මීට දින දෙකකට පෙර එක්සත් ජනපදය සහ කැනඩාව යා කරන ආර්ථික මර්මස්ථානයක් බඳු “ඇම්බැසඩර් පාලම” අවහිර කිරීමටත් විරෝධතාකරුවන් ක්‍රියා කළා. අමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර සිදු වන වාර්ෂික වෙළෙඳාමෙන් 30% කට ආසන්න ප්‍රමාණයක් සිදු වන්නේ “ඇම්බැසඩර් පාලම” හරහා යි. මෙය ඉතා බරපතල තත්ත්වයක් බව කැනඩාවේ ප්‍රවාහන අමාත්‍ය ඕමාර් අල්ගබ්‍රා පවසා තිබෙනවා. එක්සත් ජනපද රජය පවා ඇම්බැසඩර් පාලම ආශ්‍රිත ව සිදුවන විරෝධතාව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර, දේශ සීමාව තරණය කිරීමේ දී කම්කරුවන්ට සිදු වන බාධා සමීපව නීරික්ෂණය කරන බවත් ප්‍රකාශ කර තිබුණා.

“අපිට ඔබව ඇසෙනවා. දැන් ගෙදර යන්න වෙලාව ඇවිත්. බලපත්‍රය අහිමි වී අපරාධ වාර්තාවක් සමඟින් ඔබගේ රැකියාව, ඔබගේ ජීවනෝපාය සහ රාජ්‍යයන් අතර ගමන් කිරීමේ හැකියාව නැති කර ගැනීමේ අවශ්‍යතාවක් ඔබට නැහැ. මිනිසුන් ආරක්ෂිතව තබා ගැනීමට අප ගන්නා ක්‍රියා මාර්ග අතුරින් කොවිඩ් පිළිබඳ ව ඔබට ඇති කලකිරීමත් අපට ඇසී තිබෙනවා.”

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අගමැති ජස්ටින් ටෲඩෝ දැඩි අනතුරු ඇඟවීමක් විරෝධතාකරුවන් වෙත නිකුත් කර තිබුණේ ඒ අයුරින්. මේ වනවිට කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම දක්වා අර්බුදය වර්ධනය වී තිබෙනවා.

ඇම්බැසඩර් පාලම අවහිර කළ විරෝධතාකරුවෝ- www.theguardian.com 

ඇම්බැසඩර් පාලමේ තත්ත්වය සහ විරෝධතා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කැනේඩියානු ආරක්ෂක අංශ සක්‍රීය ව මැදිහත් වෙමින් සිටින නිසා විරෝධතාවේ තත්ත්වය වෙනස් වෙමින් පවතින බවත් මෙහි දී සඳහන් කළ යුතු යි. ඇතැම් ට්‍රක් රථ රියදුරන් දේශසීමා ප්‍රවේශයන් වෙතින් ඉවත් වෙමින් සිටින බවත් වාර්තා වෙනවා. නමුත්, තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් ම සන්සුන් වී නැහැ.

 

කවරයේ ඡායාරූපය: "Freedom Convoy 2022" විරෝධතාවය කැනඩාවේ ආර්ථිකයට යම් බලපෑමක් එල්ල කරමින් සිටිනවා - www.teenvogue.com

මූලාශ්‍ර:

indianexpress.com

www.bbc.com

www.bbc.com

cantruck.ca

www.aljazeera.com

www.hindustantimes.com 

Related Articles