තාපගතික, තාපජ බෝම්බ අවි හෙවත් ‘රික්තක බෝම්බ (Thermobaric) ඉතා භයානක මෙන්ම විනාශකාරී ප්‍රතිඵල ඇති කළ හැකි අවි විශේෂයක්. යුක්‍රේනය 2022 පෙබරවාරි මස 24 වන දින රුසියාව ආක්‍රමණය කළ දිනයේ පටන් මෙම අවි විශේෂය ගැන ලෝක අවධානය නැවතත් යොමු වුණා.
එහි භයානක හා විනාශකාරී ප්‍රතිඵල ගැන යුක්‍රේන බලධාරීන් මෙන් ම මානව අයිතිවාසිකම් පිළිබඳ ආයතනත් ලොවට ම රතු එළි දල්වා ඇත්තේ රුසියානු හමුදා මෙම තාපගතික අවි හෙවත් රික්තක බෝම්බ, පාලනයකින් තොරව යුක්‍රේන යුද බිමේ භාවිත කිරීමේ හැකියාව හුවා දක්වමින්.
තාපගතික අවිවල යාන්ත්‍රණය
තාපගතික අවිවල ප්‍රහාරයන ට ගොදුරු වන අයගේ පෙනහළුවල වාතය එක්වර ම ඉවතට උරා ගැනීම නිසා ඔවුන් මියයන්නේ ඉතා අමානුෂික අන්දමට යි. බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය මාර්තු මස 9 වනදා පවසා සිටියේ රුසියානුවන් යුක්‍රේන බිමේ දී තාපගතික අවි භාවිත කරන බවට තහවුරු ව ඇති බව යි. තාපගතික අවියක් ක්‍රියාත්මක වන යාන්ත්‍රණය, ඉන් සිදු වන ඉතා භයානක මෙන්ම විනාශකාරී ප්‍රතිඵල හා සංග්‍රාමික ලෙස තාපගතික අවි වැදගත් වන ආකාරය පිළිබඳ තොරතුරු යි පාඨක ඔබ වෙත මෙම ලිපියෙන් ගෙන එන්නේ.
තාපගතික අවිය නිපැයීම හා භාවිතයට ගැනීම ගැන තොරතුරු ලොවට මුලින් ම ඇසෙන්නේ අද ඊයේක නොවෙයි. මේවා භාවිත කරන සහ කළ එකම රට ද රුසියාව නොවෙයි. මීට දශක ගණනකට පෙර ද තාපගතික අවි විවිධ රටවල් හා කඳවුරු අතර හට ගත් ගැටුම්වල දී භාවිත කර තිබෙනවා.
මෙම තාපගතික අවි පිළිබඳ යාන්ත්‍රණය ලොවට රැගෙන ආවේ අමෙරිකාව 1960 දශකයේ දී යි. අමෙරිකානු ගුවන්හමුදා මෙම තාක්ෂණයෙන් යුතු අවි නිපදවා වියට්නාම යුද්ධය හා සබැඳි බිම්බෝම්බ වැනි දේ, භූමියෙන් ඉවත් කොට විනාශ කිරීමට භාවිත කර තිබෙනවා.
තාපගතික අවි භාවිතයේ ඉතිහාසය
තාපගතික අවි භාවිත කළ මුල් ම අවස්ථාව ලෙස වාර්තා පොත්වල සඳහන් වන්නේ අමෙරිකානු හමුදා වියට්නාමයේ බිම් පෙදෙසක වූ බිම් බෝම්බ එකට පුපුරවා හැරීමට කිලෝග්‍රෑම් 340 ක් බර තාපගතික බෝම්බයක් යොදා ගත් අවස්ථාව යි.
එය පිපිරීමත් සමඟ කැබලි තුනකට බෙදී ඉන් වහා ගිනි ඇවිලෙනසුලු, අවර්ණ එතිලීන් ඔක්සයිඩ් වායුව ධූමායනය වන්නට පටන්ගත් අතර, එම පිපිරීමෙන් අතිශය බලවත් පිපුරුම් තරංගයක් ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබෙනවා, ඉන් බිම් බෝම්බ පිපිරී විනාශ වී තිබෙනවා. එකල මේවා හඳුන්වා තිබෙන්නේ ‘ඉන්ධන-වායු පිපිරෙන ද්‍රව්‍ය ‘ ලෙස යි.
තාපගතික අවි ආයුධ මීට පෙර භාවිත කළ රටවල්
ජර්මානු හමුදාව දෙවන ලෝක සංග්‍රාමයේ දී තාපගතික අවි ආයුධ මුලින් භාවිත කළ බවට තොරතුරු සොයා ගත හැකි යි. එනමුදු එක්සත් ජනපදය වියට්නාමයේ දී 1960 ගණන්වල ඒවා භාවිත කරන තෙක් තාපගතික අවි ආයුධ පුළුල් ලෙස සංවර්ධනය වී නොතිබූ බවයි වාර්තා වන්නේ.
එක්සත් ජනපද හමුදා ඇෆ්ගනිස්ථානයේ දී තාපගතික අවි හා බෝම්බ භාවිත කළ බවත් අනාවරණය වනවා. ඒ ටෝරා බෝරා කඳුකරයේ ගුහාවල සැඟ වී සිටින අල්-කයිඩා හමුදා විනාශ කිරීමට උත්සාහ කිරීමට 2001 දී සහ 2017 දී ඉස්ලාමීය රාජ්‍ය හමුදාවන්ට එරෙහිව යි.
රුසියාව 1999 දී පැවති චෙච්නියා යුද්ධයේ දී තාපගතික අවි භාවිත කර ඇති අතර ඔවුන් එසේ කිරීම ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය හෙළා දැක තිබුණා.
රුසියාව පසුකාලීනව මෙන් ම, අමෙරිකා එක්සත් ජනපදයත් නැවත වතාවක් මෙම ‘ඉන්ධන – වායු පිපිරෙන ද්‍රව්‍ය’ හෙවත් තාපගතික අවි නිපදවා තිබෙනවා.
තාපගතික අවිවල ක්‍රියාකාරීත්වය
තාපගති බෝම්බයක සංයුතිය හා සැකැස්ම පහත පරිදි යි. මේවායේ මධ්‍යයේ ඉතාමත් සක්‍රීය පිපිරෙන ද්‍රව්‍ය සහිත හරයක් ඇති අතර, ඒ වටා ඇලුමිනියම් වැනි ලෝහයක කුඩු ස්ථානගත කොට තිබෙනවා. පිපිරෙන ද්‍රව්‍ය සහිත හරය, ලෝහ කුඩු දල්වා ලන අතර, ඒ දැල්වීමේ දී හොඳ කාර්යයක්ෂ්මතාවකින් යුක්ත ව දැල්වීමට අවශ්‍ය ඔක්සිජන් ඒ තදාසන්න පරිසරයෙන් උරා ගන්නවා.
අවිය නිපදවා ඇත්තේ එය තුළ ඔක්සිජන් මට්ටම අවම වන ලෙස යි. මේ නිසා දැල්වීමට ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණයක් අවිය තුළ පවතින්නේ නැහැ. මේ නිසා එහි ඇති වන ලෝහ කුඩු වලාව හා ගිකි දැල් අවියෙන් පිටත පරිසර සීමාවෙහි ඇති ඔක්සිජන්වලින් සරු පරිසරය වෙත ඇදී යනවා. එම සීමාවේ ඔක්සිජන් හිඟ වන විට තව තවත් ඉවතට ඒවා ඇදී යනවා. මෙය ඉතා වේගයෙන්, පිපුරුම්ක් දිගට ම සිදුවනවා.
තාපගතික අවියකින් ඇති කරන කම්පන තරංගයේ උපරිම ශක්තිය, සාමාන්‍ය අධි බල පිපුරුම් ද්‍රව්‍යයක කම්පන තරංගයේ උපරිම ශක්තිය තරම් අගයක් වෙන්නේ නැහැ. කෙසේ නමුත් ඊට වඩා කාලයක් එය ප්‍රශස්ත තලයක පවතිනවා. මේ නිසා සමස්තයක් ලෙස විශාල ආවේගයක්, වැඩි කාලයක් පවතින ලෙස ඉන් ජනනය වෙනවා. (ඉහත තාපගති අවියක ක්‍රියාකාරීත්වය රූපසටහන පරිශීලනය කරන්න) මේ නිසා මින් සිදු වන විනාශය විශාල යි.
තාපගතික අවියක ඇති මෙම ශක්තිය නිසා මිනිස් පෙනහළුවල පටක වැනි, සියුම්, කුඩා පටක පහසුවෙන් පුපුරා යා හැකි යි. ඉතා විනාශකාරී ලෙස පිටත වාතය පුද්ගලයකුගේ රුධිර සංසරණ පද්ධතියට තල්ලු කිරීම ද සිදු විය හැකි යි. මේ නිසා කිසිදු බාහිර තුවාල හා හානි නොමැති ව මේ ප්‍රහාරයකට ලක්වූ යමකු මිය යා හැකියි. ඒ කුඩා රුධිර නාල වැනි දේ, වාතය පිරීමෙන් පුපුරා යාමෙන්.
තාපගතික අවි හා සම්බන්ධ තවත් විශේෂ සංසිද්ධියක් වන්නේ වායුගෝලීය පීඩනයට සාපේක්ෂ ව ඍණ වායු පීඩනයක් ඇති කරන, සාපේක්ෂව දීර්ඝ කාලසීමාවක් එහි ප්‍රබලත්වය පැවතීම යි. තාපගතික අවියක් ක්‍රියාත්මක වී, එහි ලෝහ කුඩු හා මධ්‍යයේ වූ පුපුරණ ද්‍රව්‍යවල ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් හීන වී, ඒවායේ උෂ්ණත්වය අඩු වී යන විට, අඩු පීඩන කලාපයක් ඇති වී, අවට වාතය ප්‍රචණ්ඩ ලෙස එදෙසට උරා ගැනීම සිදුවෙනවා. මේ හේතුව නිසාම මෙයට ‘රික්තක බෝම්බ’ යන නම පට බැඳුණා.
වැඩි වේලාවක් පවතින ආවේගී බලය හා ආසන්න ලෙස රික්තකයක් ඇතිවී වාතය එදෙසට ඇද ගන්නා කාලසීමාවක් ඇති කිරීම යන කරුණු නිසා මෙම තාපගතික අවි, ඉදිකිරීම් විනාශකිරීම වැනි කර්තව්‍ය සඳහාත් සටන්වලදී යොදා ගන්නවා. මෙම දීර්ඝ පිපුරුම් ‘ස්පන්දනය’ මඟින් සතරැස් මෙන් ම රවුම් කොන් සහිත ඉදිකිරීම් ද විනාශ කළ හැකි යි. බංකර්, අගල් වැනි දේ ද මෙමඟින් සාර්ථක ලෙස විනාශ කළ හැකි යි.
යුද බලවතුන්ගේ තාපගතික අවි භාවිතය
රුසියානුවන් මෙම අවි ‘ඉන්ධන -වායු පුපුරන ද්‍රව්‍ය’ හා තාපගතික අවි යන නම් දෙකෙන් ම හඳුන්වන අතර, අමෙරිකානුවන් හා බ්‍රිතාන්‍යයන් මේවා හඳුන්වන්නේ ‘වැඩි දියුණු කළ අවි ‘ යනුවෙනු යි. අමෙරිකානු හමුදා සතු ව මේ පන්නයේ අවි රාශියක් පවතිනවා. ඔවුන් එම ගුණ ඇති මිසයිල, රොකට් විදින වැනි උපකරණ හා ආයුධ ඇෆ්ඝනිස්ථාන යුද්ධයේ දී භාවිත කර තිබෙනවා.
රුසියානුවන් ද ඊට නොදෙවනි අතර මේ වන විට ඔවුන් යුක්‍රේනය වෙත’ බුරටිනෝ’ නම් තාපගතික රොකට්ටු 24 ක් එකට විදිය හැකි ආයුධය රැගෙන විත් තිබෙනවා. මෙමඟින් වර්ග අඩි 80,000 ක වපසරියක් ආවරණය කළ හැකි බැව් සැළ යි.
රුසියාව මීට පෙර චෙච්නියානු අගනුවර වන ග්‍රොස්නි නුවර දී 1999 වසරේ මෙවැනි තාපගතික ආයුධ භාවිත කර තිබෙනවා. සිරියාවේ දී 2018 වසරේ ද මෙවැනි උපකරණ භාවිත වුණා. ඉන් ඉතා දැඩි අලාබ හානි සිදු වූ අතර, යුක්‍රේනයේ දී රුසියා හමුදා දිගින් දිගට මේ තාපගතික අවි භාවිත කළහොත් විශාල දේපළ හා ජීවිත හානි සිදුවනු ඇති බවට යි අනතුරු ඇඟවෙන්නේ.
තාපගතික අවි යුද්ධයක දී යොදා ගැනීම යුද අපරාධයක් හෝ මානව හිමිකම් කඩ කිරීමක් ලෙස තව ම සැලකෙන්නේ නැහැ. එනිසා ඒවා පහසුවෙන් හා ඉතා අමානුෂික ලෙස හෝ යුද අපරාධ ඇති වන අයුරින් යොදා ගත හැකි ඉඩක් විවර ව තිබෙනවා. මේ හේතුව නිසාම රුසියාව හා යුක්‍රේනය වෙත ලොව ම ඇස ගසාගෙන සිටිනවා.
තාපගතික අවි භාවිතයේ නීති
තාපගතික අවි භාවිතා කිරීම තහනම් කරන ජාත්‍යන්තර නීති තව ම පැනවී නොමැත. යම් රටක් , වෙනත් රටක හෝ ප්‍රදේශවල, පාසල්වල හෝ රෝහල්වල සිවිල් ජනතාව ඉලක්ක කිරීමට ඒවා භාවිත කරන්නේ නම්, එය 1899 සහ 1907 හේග් සම්මුතීන් යටතේ යුද අපරාධයක් ලෙස අර්ථ නිරූපණය කළ හැකි යි. ඒ භාවිත කරන්නා වරදකරු ද කළ හැකි යි.
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදක කරීම් ඛාන් පවසා ඇත්තේ යුක්‍රේනයේ සිදුවිය හැකි යුද අපරාධ සම්බන්ධයෙන් තම අධිකරණය අවදියෙන් සහ විමර්ශනාත්මක ව අවධානය යොමු කරන බව යි.