Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බටහිර සම්බාධක හමුවේ රුසියානු ආර්ථිකයේ අනාගතය

ක්‍රෙම්ලිනය, යුක්‍රේනය ආක්‍රමණය කිරීමට ගත් තීරණය සමඟ අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක පැනවීමට පියවර ගත්හ. මතුපිටින් ඉතා උදාසීන පියවරක් ලෙස පෙනුණ ද, මෙම සම්බාධක දිගුකාලීන ව ඉතා දරුණු බලපෑමක් රුසියානු ආර්ථිකය මත ඇති කිරීමට සමත් වනු ඇති බව පෙනෙයි.

ගෝලීය ආර්ථික බල තුලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස රුසියාව මුහුණ දෙන මෙම ආර්ථික අර්බුදය හැඳින්විය හැකි ය.

රූබලයේ අවප්‍රමාණය වීම දැක්වෙන කාටූනයක් – www.financialtimes.com 

 

කඩාවැටෙන රූබලය

මෙම ආර්ථික අර්බුදය වටහා ගැනීමට මේ වනවිට සම්බාධක හමුවේ ප්‍රතිවිපාකවලට මුහුණ දෙමින් තිබෙන රුසියානු ආර්ථිකයේ දරුණු මුහුණුවර පිළිබඳ ව අවධානය යොමු කළ යුතු වේ. පසුගිය සතියේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රූබලය මෑත ඉතිහාසයේ දැවැන්ත ම කඩාවැටීමකට ලක්වූ අතර 30% ක පමණ ප්‍රමාණයකින් එය අවප්‍රමාණය වූ බව වාර්තා සඳහන් කර තිබිණි.

කඩාවැටෙන රූබලය සහ භාණ්ඩ මිල වඩාත් ස්ථාවර ව පවත්වාගෙන යාමේ අරමුණින් රුසියානු මහ බැංකුව පොලී අනුපාත ප්‍රතිශතය 9.5% සිට 20% දක්වා වැඩි කිරීමට පියවර ගත් බව ද විදෙස් මූලාශ්‍ර වාර්තා කළේය. මොස්කව් කොටස් වෙළෙඳපොළ වසා දැමීමට ද එරට මහ බැංකුව තීරණය කළ බව නිවේදනය කෙරිණි. මෙවැනි ක්‍රියාමාර්ග ආයෝජකයන්ගේ උද්යෝගය අවම කරන බැවින් එය ද රුසියානු ආර්ථිකය මත දැඩි පීඩනයක්‌ ඇති කර තිබේ.

SWIFT ක්‍රමයේ ගනුදෙනු කිරීමට රුසියාවට සම්බාධක පනවා ඇත – www.thegaurdian.com 

 

වැඩක් නැති විදේශ වත්කම්

බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ප්‍රංශය ප්‍රමුඛ යුරෝපා රටවල් රුසියානු බැංකු ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනුවල දී අවහිර කිරීම්වලට ලක්‌කිරීමේ අරමුණින්, SWIFT ක්‍රමය (Swift- Society for Worldwide Interbank Financial Telecommunication) ඇතුළු මුදල් ගනුදෙනු ක්‍රමවලින් රුසියානු මූල්‍ය ආයතන වලක්වාලමින් සම්බාධක පැනවීම නිසා, රුසියානු මහ බැංකුව සතු අමෙරිකානු ඩොලර බිලියන 630 ක පමණ විදේශ වත්කම් භාවිත කිරීමට නොහැකි තත්වයයට ඇද වැටී තිබීම රුසියාව මුහුණ දෙන දැවැන්ත ආර්ථික ගැටලුවක් බවට පත්වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

රුසියානු රජය කාඩ්පත් ගෙවීම් සඳහා Mir ලෙස හැඳින්වෙන ජාතික ගෙවීම් කාඩ්පත් පද්ධතියක් නිර්මාණය කර තිබුණ ද දැනට එය භාවිත වන්නේ විදේශ රටවල් කිහිපයක පමණි. යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා ගෝලීය ගෙවීම් ජාලයෙන් කපා හැර ඇති රුසියානු බැංකු චීනයේ රජය සතු යූනියන්පේ ක්‍රමය වෙත හැරෙමින් සිටිතැයි ද වාර්තා වේ.

ලොව එකොළොස් වැනි විශාලත ම දළ දේශීය නිෂ්පාදිතයට හිමිකම් කියන රුසියාව, ආර්ථික වශයෙන් මෙන් ම දේශපාලනික වශයෙන් ද වර්තමානයේ මුහුණ දී සිටින දැඩි හුදෙකලා වීම, රුසියානු ආර්ථිකය හමුවේ සැලකිය යුතු බලපෑමක් ඇතිකර තිබෙන බව ඉන් පෙනී යයි. රටක විදේශ වත්කම් එහි ආර්ථිකයේ ශක්තිමත් භාවයේ සලකුණක්‌ වන අතර මෙලෙස විදේශ වත්කම් භාවිත කිරීමට නොහැකි තත්වයකට රටක් පත්වීම දරුණු අවස්ථාවක්‌ ලෙස පෙන්වා දිය හැකි ය.

මොස්කව් නුවර බැංකු අසල ඇති දිගු පෝලිම් – www.nbcnews.com 

 

සල්ලි ගන්න පෝලිමේ

 තම රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පිළිබඳ විශේෂ අවධානයකින් රුසියානුවන් පසුවන බව දැකිය හැකි ය. රූබලය අවප්‍රමාණය වීම සමඟ මොස්කව්, ශාන්ත පීටර්ස්බර්ග් වැනි නගරවල ATM යන්ත්‍ර අසල දිගු පෝලිම් නිර්මාණය වීම පවතින ආර්ථික තත්වය හමුවේ ප්‍රජාව තුළ ඇති බිය පෙන්නුම් කරයි. ඒ පුටින් පරිපාලනය කරගෙන යන ආක්‍රමණකාරී යුද්ධයට රට අභ්‍යන්තරයෙන් ම දැඩි විරෝධයක් නැඟෙන පසුබිමක ය.

මේ අතරවාරයේ දී විදේශ ආයෝජකයන් ද රුසියාවේ පවතින තම වත්කම් ආපසු ගැනීමට පෙලැඹී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. ඉන් රුසියාවේ ආර්ථිකය හමුවේ ඇති අනාගතය අර්බුදය පිළිබඳ ගෝලීය ප්‍රජාවේ නිරීක්ෂණය පෙන්නුම් කරයි.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය www.theindependent. com

අන්තර්රාජ්‍ය ලෙස මෙන් ම පුද්ගලික වත්කම් සම්බන්ධයෙන් ද රුසියාවට සම්බාධක පනවා ඇති අතර ව්ලැද්මීර් පුටින් සහ ඔහුගේ විදේශ ඇමති සර්ජි ලැව්රොව්ගේ විදේශ වත්කම් අහෝසි කිරීමට ද ඇතැම් රටවල් පියවර ගත්හ.

යුද්ධයේදී රුසියාවට පක්ෂ ව කටයුතු කරන බෙලරුස් රාජ්‍යයට ද සම්බාධක රැසක් පනවා තිබේ. බෙලරුස් රාජ්‍යය යුක්‍රේන – රුසියා සාම සාකච්ඡා සඳහා සත්කාරකත්වය ද සැපයූව ද ඔවුන් දැඩි රුසියානු හිතවාදී රාජ්‍යයක් බැවින් එරටට සම්බාධක පැනවීමට එය හේතුවක් විය.

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි – gettyimages.com

 

නවාල්නි කියූ දේ

 නිරීක්ෂණ සහ ආර්ථික විශ්ලේෂණයන්ට අනුව රුසියාව කෙරෙහි පැනවූ සම්බාධක සාර්ථක ලෙස ක්‍රියාත්මක වී ඇති බවත් එමඟින් රුසියානු ආර්ථිකය මත දැඩි බලපෑමක්‌ ඇතිකරලීමට අමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර කඳවුර සමත් වී ඇති බවත් පෙනී යයි. රුසියාව මුහුණ දී සිටින අර්බුදයේ සැබෑ නිර්මාණකරුවා බටහිර නොව පුටින් බව නිගමනය කළ හැකි අතර පසුගිය කාලයේ දී ක්‍රෙම්ලිනයේ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයෙන් දිවි ගලවා ගත් රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ට්විටර් පණිවිඩයක් මඟින් ප්‍රකාශ කර ඇත්තේ,

” ඔබ රුසියානුවෙක් නම් යුක්‍රේන ආක්‍රමණයට විරුද්ධව පාරට බහින්න. මොකද පුටින් කියන්නේ රුසියාව නෙවෙයි “යනුවෙනි.

මෙම ප්‍රකාශය පුටින් පරිපාලනයේ තීරණ කුමන ආකාරයේ බලපෑමක් එරට අනාගතය හැඩගැස්වීමේ දී කරනවා ද යන්න වටහා දීමට හැකිය.

රුසියානු මහ බැංකුව – www.theeconomist.com

 

අපට මොකද වෙන්නේ?

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ විශාලත ම තේ ගැනුම්කරුවා ලෙස රුසියාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදය එහි ප්‍රධාන අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි කුමන අන්දමේ බලපෑමක්‌ ඇති කරනු ඇත්දැයි සුළුපටු ලෙස සිතිය නොහැකි ය. ගැටුම හේතුවෙන් ඉන්ධන සහ ද්‍රව ස්වභාවික ගෑස් (LNG) මිල ඉහළ යාමේ අවදානමක් ද අප හමුවේ පවතියි. රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ගෝලීය කොටස් වෙළෙඳපොළ පසුබෑමකට ලක්ව ඇති බව ද අනාවරණය වී ඇත. වසර ගණනාවකට පසු උද්ගත වූ ආර්ථික අර්බුදය සමඟ ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ද පහත වැටුණු බව ද වාර්තා විය. කොවිඩ් 19 වසංගතයෙන් පසු බිඳවැටුණු සංචාරක කර්මාන්තය නඟා සිටු වීමේ දී රුසියානු සහ යුක්‍රේන ජාතිකයන්ගෙන් ලැබුණු දායකත්වය ද යළි පහත වැටීම තවත් අනතුරකි. 

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු 2014 වසරින් පසු පළමු වරට තෙල් මිල බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා ගියේ ය.

රුසියානු බැංකු චීනයේ රජය සතු යූනියන්පේ ක්‍රමය වෙත හැරෙමින් – wsj.com

 

චීනයට සුබ ලකුණක්‌

ලෝකයේ දෙවැනි ආර්ථික බලවතා ලෙස පිළිගැනෙන චීනය බොහෝ විට ඉදිරි අවුරුදු කිහිපය ඇතුළත ලෝක ආර්ථික බලවතා බවට පත්වෙන බව ආර්ථික විශ්ලේෂකයන් අනාවැකි පළ කරන්නේ කාලයක් තිස්සේ ය. එවැනි පසුබිමක චීනයට වාසිසහගත ලෙස රූබලය කඩාවැටීම, ඇමෙරිකා එක්සත් ජනපදය යම් හෙයකින් යුද්ධයට අවතීර්ණ වුවහොත් එයින් ලැබෙන වාසියත් සමඟින් චීනයට ලෝක ආර්ථිකය තුළ වාසිසහගත තත්වයක් නිර්මාණය වීම සිදුවිය හැකි ය. මෙම අර්බුදය හමුවේ චීනය මධ්‍යස්ථව හැසිරීම ද මෙම කාරණාවේ දී තමන් මත ඇතිවිය හැකි බලපෑම අවම කරගැනීමේ අරමුණින් අනුගමනය කරන ක්‍රියාවක් ලෙස ඇතැම් විදේශ මූලාශ්‍ර වාර්තා කොට තිබිණි.

 

කවරයේ ඡායාරූපය- රුසියාව මුහුණ දෙන ආර්ථික අර්බුදය - ulak.news 

මූලාශ්‍ර:

www.thegaurdian.com

www.theeconomist.com

www.financialtimes.com

 www.wsj.com 

Related Articles