Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙවුණු වසරේ ලෝක විත්ති -2

2021 වසරේ ලෝක තතු විත්ති යටතේ ජූලි සිට දෙසැම්බර් දක්වා අතර කාල පරාසය ආවරණය කිරීමට යි මේ සූදානම.

ශීතල කැනඩාව රත් කළ ජූලි

 ජුනි අග භාගයේ සිට ජූලි මැද දක්වා එක්සත් ජනපදය සහ කැනඩාවේ ප්‍රාන්ත කිහිපයක් දරුණු තාප තරංගයකට මුහුණ දුන්නා. එක්සත් ජනපදයට අයත් කැලිෆෝනියාවේ උතුරු ප්‍රදේශය, ඔරිගන්, වොෂිංටන් යන ප්‍රාන්ත මෙන් ම, කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා යන පෙදෙස් මෙම තාප තරංගයේ බලපෑමට දැඩි ව යටත් වුණා. කැනඩාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගිය අතර, උණුසුම හේතුවෙන් හදිසි මරණ සහ රෝහල් ගත කිරීම් තියුණු ලෙස ඉහළ ගියා. තාප තරංගවල බලපෑම නිසා කැනඩාවේ ඇතැම් බටහිර ප්‍රදේශ ලැව් ගිනි තත්ත්වයකටත් මුහුණ දුන්නා. ජූලි 03 වනවිට මේ ස්වභාවික ව්‍යසන වල උපරිම තලයේ බලපෑම් අත් විඳීමට අදාළ රටවලට සිදු වුණා.

තාප තරංගවල බලපෑමෙන් කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රදේශයේ ලැව් ගිනි හට ගත්තා www.bbc.com 

 කැනඩාව සහ එක්සත් ජනපදය තාප තරංගවල බලපෑමෙන් පීඩා විඳින අතරතුර අධික වර්ෂාව හේතුවෙන් යුරෝපයේ ජනයා දරුණු ගංවතුර ව්‍යසනයකට මුහුණ දුන්නා. ජර්මනිය සහ බෙල්ජියමේ දේශ සීමාවට ආසන්න ප්‍රදේශ ගංවතුරේ වැඩි බලපෑමකට යටත් වූ අතර, ප්‍රංශය, ඉතාලිය, ඔස්ට්‍රියාව, රොමේනියාව වැනි යුරෝපීය රාජ්‍ය බොහෝමයක් ගංවතුර අවදානමට ලක් වුණා. උතුරු අමෙරිකාවේ තාප තරංග සහ යුරෝපයේ ගංවතුර තත්ත්වය දේශගුණික විපර්යාසයේ බරපතලකම නැවත නැවතත් ලෝක ප්‍රජාවට ඒත්තු ගන්වන සිදුවීම් ලෙස අතීතයට එක් වුණා.

තාප තරංගයේ බලපෑමට හසු වූ ඔරිගන් ප්‍රාන්තයට අයත් පෝට්ලන්ඩ් නගරයේ සිසිලන නවාතැනක රැඳී සිටින මිනිස්සු –  www.france24.com 

ජූලි 23: කොවිඩ් වසංගතය නිසා 2020 පැවැත්වීමට නියමිත ව තිබූ ගිම්හාන ඔලිම්පික් උළෙල 2021 දක්වා කල් දැමීමට සිදු වූ බව ඔබේ මතකයේ ඇති. ඒ අනුව ඔලිම්පික් වසන්තය වසරක පමාවකින් හෝ ගෙන ඒමට සත්කාරක ජපානය සමත් වුණා.

එහි සමාරම්භක අවස්ථාව සනිටුහන් වුණේ ජූලි 23 වැනිදා යි. අගෝස්තු 8 දක්වා තරගාවලිය පැවැත්වුණු අතර, පදක්කම් සටහනේ පළමු ස්ථානය වෙනුවෙන් එක්සත් ජනපදය සහ චීනය අතර තියුණු තරගයක් අන්තිම දින කිහිපය දක්වා පැවතුණා. කෙසේ නමුත්, අවසානයේ දී පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට එක්සත් ජනපදය සමත් වුණා.

බලය අත්පත් කරගත් තලිබාන්වරු ඇෆ්ගනිස්තානයේ ජනාධිපති මන්දිරයට ඇතුළු වුණා – www.theguardian.com 

අගෝස්තුවේ වැඩි අවධානය ඇෆ්ගනිස්තානයට

අගෝස්තු 14: දරිද්‍රතාවයේ පත්ලට ම වැටුණු හයිටි රාජ්‍යය තවදුරටත් පෙළමින් දරුණු භූමිකම්පාවකට ලක් වුණේ මෙදින යි. එහි රිච්ටර් අගය 7.2 ක් ලෙස සටහන් වූ අතර, 2000 ට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී දහස් ගණනක් අවතැන් වුණා.

  “හයිටි දේශයට සදා වද දෙන හිතක් පපුවක් නැති භූමිකම්පා”  නමැති රෝර් අපේ ලිපියත් කියවන්න.

හයිටි භූමිකම්පාවෙන් විපතට පත් ජනතාව – www.businessinsider.com 

අගෝස්තු 15: ජගත් ප්‍රජාව අතර ඇෆ්ගනිස්තානය නැවතත් උණුසුම් මාතෘකාවක් බවට පත් වූ දිනය ලෙස අගෝස්තු 15 හැඳින්විය හැකි යි. තලිබාන් නම් දැඩි මතධාරී ඉස්ලාමීය ව්‍යාපාරය වසර විස්සකට පසු ඇෆ්ගනිස්තානයේ බලය නැවත අත්පත් කර ගැනීම ඊට හේතුව වුණා.

ඇෆ්ගනිස්තානයේ අගනුවර වූ කාබුල් නගරයේ බලය තහවුරු කරගැනීමට තලිබාන්වරුන් එදින සමත් වූ අතර, එතෙක් ඇෆ්ගනිස්තානයේ ජනාධිපති ධූරය දැරූ අශ්රෆ් ඝානී සිය ධූරයෙන් ඉවත් වී ඇෆ්ගනිස්තානයෙන් පිටමං වුණා. ඉන් පැය කිහිපයකට පසු තලිබාන් සංවිධානය ජනාධිපති මන්දිරයේ සිට රූපවාහිනී සාකච්ඡාවක් පවා පැවැත්වූවා. අදාළ සිදුවීම පිළිබඳ ව සවිස්තරාත්මකව දැන ගැනීමට අවශ්‍ය නම් මේ ලිපියට පිවිසෙන්න.

අගෝස්තු 24: ගිම්හාන ඔලිම්පික් උළෙලේ උණුසුම පහ ව යෑමටත් මත්තෙන් පැරාලිම්පික් තරගාවලියේ සමාරම්භක අවස්ථාව අගෝස්තු 24 වැනිදා ටෝකියේවේ දී සනිටුහන් වුණා. මෙවර පැරාලිම්පික් උළෙල ශ්‍රී ලාංකික අපිටත් බොහොම සුවිශේෂී අවස්ථාවක් වුණා. ඒ ශ්‍රී ලංකා නාමය ඉදිරියෙන් එක් රන් පදක්කමක් සහ එක් ලෝකඩ පදක්කමක් සටහන් වූ නිසා යි. දිනේෂ් ප්‍රියන්ත හේරත්, F46 පිරිමි හෙල්ල විසි කිරීමේ කාණ්ඩයෙන් ලෝක වාර්තාවකුත් සමඟ රන් පදක්කම දිනා ගත් අතර, සමිත දුලාන් කොඩිතුවක්කු F64 පිරිමි හෙල්ල විසි කිරීමේ කාණ්ඩයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා. පැරාලිම්පික් උළෙලේ පදක්කම් පෙරමුණට පැමිණියේ චීනය යි. තරගාවලිය සැප්තැම්බර් 05 දක්වා පැවැත්වුණා.

තලිබාන්වරු බලය අත්පත් කර ගැනීමත් සමඟ කාබුල් නුවර ජනයා එරටින් පලා යෑමට දැඩි උත්සාහයක් ගෙන තිබුණා – www.trtworld.com 

අගෝස්තු 26: තලිබාන්වරුන්ගේ ග්‍රහණයට නතු වීමත් සමඟ ඇෆ්ගනිස්තානයේ ජන ජීවිතය දැඩි වියවුල් සහගත පසුබිමක් කරා ඇදුණා. එහි ප්‍රතිඵලය වුණේ දහස් සංඛ්‍යාත ඇෆ්ගන් ජනයා රටින් පලා යෑමට උත්සහ කිරීම යි. කාබුල් නුවර හමීඩ් කර්සායි අන්තර්ජාතික ගුවන් තොටුපළ වටා විශාල මිනිසුන් පිරිසක් ඒකරාශී වූ අන්දම පාඨක ඔබත් මාධ්‍ය හරහා නරඹන්නට ඇති. එම ගුවන් තොටුපළ වෙත ප්‍රබල බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණේ මේ නොසන්සුන්තා මැද යි. අගෝස්තු 27 වැනිදා වනවිට මිනිසුන් 95 දෙනකු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

අගෝස්තු 30: ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් සහ ආරක්ෂාව වෙනුවෙන් සිටි අවසාන අමෙරිකානු භට කණ්ඩායම ඇෆ්ගන් භූමියෙන් ඉවත් වුණේ මෙදින යි. ඒ අනුව වසර විස්සක් පුරා ඇෆ්ගනිස්තානයේ මුල් බැස ගත් අමෙරිකානු මෙහෙයුම්වල අවසානය සනිටුහන් වුණා.

රුසියාවේ ඩූමා මැතිවරණය පුටින් ප්‍රමුඛ පාලක පක්ෂය ඉහළින් ම ජයග්‍රහණය කළා – www.bbc.com 

 

සැප්තැම්බර් 19: රුසියානු පාර්ලිමේන්තු මැතිවරණය හෙවත් ඩූමා මැතිවරණය සැප්තැම්බර් 17 සිට 19 වැනිදා දක්වා පැවැත්වුණා. මැතිවරණයෙන් ව්ලැද්මීර් පුටීන් නායකත්වය දරණ “All-Russia People’s Front” නම් සන්ධානයේ ප්‍රධානත ම පක්ෂය වූ “United Russia” දැවැන්ත ජයග්‍රහණයක් අත් කර ගත්තා. මැතිවරණයේ පසුබිම් තොරතුරු සඳහා මේ ලිපියට  පිවිසෙන්න.

සැප්තැම්බර් 20: කැනඩාවේ ෆෙඩරල් මැතිවරණය පැවැත්වුණේ මෙදින යි. කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ හදිසි මැතිවරණයක් කැඳවා තිබූ අතර, ඔහුගේ සුළුතර ආණ්ඩු බලය බහුතර බලයක් දක්වා වර්ධනය කර ගැනීම එහි අරමුණ වුණා. ජස්ටින් ටෲඩෝ යළි බලය තහවුරු කර ගැනීමට සමත් වුණත්, බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ලැබුණේ නැහැ. ඔහුට නැවත වතාවක් සුළුතර ආණ්ඩුවක් ලෙස ම කැනඩාවේ රාජ්‍ය තන්ත්‍රය ගෙන යෑමට සිදු වුණා.

ජස්ටින් ටෲඩෝ නැවත බලය රැක ගැනීමට සමත් වුණත්, බහුතර බලයක් සහිත ආණ්ඩුවක සිහිනය බොඳ වුණා – www.statista.com 

සැප්තැම්බර් 26: ජර්මනියේ “බුන්ඩස්ටෑග්” ලෙස හඳුන්වන ෆෙඩරල් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට සභිකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම පැවැත් වූ දිනය යි. පසුගිය දශක දෙකකට ආසන්න මැතිවරණ ඉතිහාසය දෙස බලන විට මෙම මැතිවරණය ජර්මනියට වඩාත් සුවිශේෂී එකක් වුණා. ජර්මනියේ චාන්සලර් ධූරය දරන ඇන්ජෙලා මර්කල්, මැතිවරණය සඳහා තරග නොකිරීම ඊට හේතුව යි. ඒ අනුව ජර්මනියේ නව චාන්සලර්වරයා ලෙස ඕලාෆ් ස්කෝල්ස් තේරී පත් වුණා.

ජර්මනියේ මෙවර මැතිවරණය සඳහා ඇන්ජෙලා මර්කල් තරඟ කළේ නැහැ –  www.bbc.com 

පැන්ඩෝරාව විවෘත කළ ඔක්තෝබරය

ඔක්තෝබර් 03: විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසද‍ය පැන්ඩෝරා පත්‍රිකා ප්‍රසිද්ධියට පත් කළ දිනය යි. පැන්ඩෝරා පත්‍රිකා යනු ලිපි ගොනු මිලියන 12 ට ආසන්න තොරතුරුවල එකතුවක් වන අතර, ලෝකයේ ධනවත් සහ බලවත් පුද්ගලයන් සඟවා ඇති ධනය සහ ඒවා සඟවා ඇති අයුරු, බදු පැහැර හැරීම්, අයථා මුදල් රැස් කිරීම් සහ මුදල් විශුද්ධිකරණ කටයුතු වැනි තොරතුරු රාශියක් ඒ ලිපි ගොනුවල අඩංගු වෙනවා.

පැන්ඩෝරා පත්‍රිකා මඟින් හෙළි කළ පුද්ගලයන් අතර ලෝකයේ බලයේ සිටින සහ බලයේ හිටපු ලෝක නායකයන් 35 ක්, දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් 330 ට වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඔවුන් රටවල් සහ බල ප්‍රදේශ 91 ක් පුරා පැතිර සිටිනවා. පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් අප පළ කළ ලිපිය ඔබට මෙතැනින් කියවිය හැකි යි.

DART Mission – scitechdaily.com 

නොවැම්බර් 24:  Double Asteroid Redirection Test (DART) යනු අන්තරායකර ග්‍රාහකවලින් පෘථිවියට සිදු වන බලපෑම වැලැක්වීම මත පදනම් වූ තාක්ෂණික පරීක්ෂණයක්. මෙය නාසා ආයතනය සහ තවත් අංශ කිහිපයක සහයෝගීත්වයෙන් සිදුකර ගෙන යන ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකි යි.  DART ක්‍රියාන්විතය මඟින් ග්‍රාහකයක චලිතය වෙනස් කොට ඝට්ටනයක් සිදුවීමේ සම්භාවිතාව අවම කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා. මෙම ව්‍යාපෘතිය දියත් කළ දිනය වන්නේ නොවැම්බර් 24 වැනිදා යි.

නොවැම්බර් 30: වසර 396 ක බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයත් සමඟ බැඳුණු අවසාන රැහැන කපා හරිමින් බාබඩෝස් ජනරජයක් බවට පත් වුණේ මෙදින යි. බාබඩෝස් දිවයින එතෙක් ක්‍රියාත්මක වුණේ ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් ලෙසට යි. ඒ අනුව බ්‍රිතාන්‍යයේ මහ රැජන ඔවුන්ගේ නායිකාව වුණා. ජනරජයක් බවට පත් වූ දිනයේ දී ම ඩේම් සැන්ඩ්‍රා මේසන්, ලෝකයේ නවත ම ජනරජයේ ජනාධිපතිවරිය ලෙස දිවුරුම් දුන්නා.

බීජිං ඔලිම්පික් වර්ජන දෙසැම්බරය 

දෙසැම්බර් 06: 2022 ශීත සෘතු ඔලිම්පික් තරගාවලිය චීනයේ බීජිං නුවර දී එළඹෙන පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. කෙසේ නමුත්, තරගාවලියේ ජීව ගුණය රැක ගැනීම සම්බන්ධයෙන් චීනයට ගැටලුවක් පැන නැඟුණා. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් බීජිං ඔලිම්පික් උළෙල වර්ජනය කරන බව එක්සත් ජනපදය නිවේදනය කිරීම ඊට හේතුව යි. දින කිහිපයකට පසු කැනඩාව, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය යන රටවල් ද එක්සත් ජනපදයේ තීරණයට සහාය දැක්වීමට එක් වුණා.

දෙසැම්බර් 10: විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහාධිකරණයට සිදු කළ අභියාචනය එක්සත් ජනපද රජය ජයග්‍රහණය කළා. මෙම තීන්දුවෙන් පසු දැනට ලන්ඩනයේ අධි ආරක්ෂිත බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ සිටින අසාන්ජ්, එක්සත් ජනපදයට පිටුවහල් කිරීමේ හැකියාවක් තිබෙනවා. දශකයකට පමණ පෙර එක්සත් ජනපදයේ රහස්‍ය මිලිටරි ලේඛන සහ රාජ්‍යතාන්ත්‍රික තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ජූලියන් අසාන්ජ් චෝදනා ලැබුවා.

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය – theconversation.com 

දෙසැම්බර් 25: සුප්‍රසිද්ධ හබල් දුරේක්ෂයේ අනුප්‍රාප්තිකයා වශයෙන් නාසා ආයතනය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය එක්ව ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කරන ලද්දේ මෙදින යි. හබල් දුරේක්ෂයෙන් නිරීක්ෂණය කළ හැකි වෙන්නේ නූතන මන්දාකිණී පමණ යි. මේ නිසා විශ්වයේ ආරම්භයේ දී බිහි වූ තාරකා පිළිබඳ තොරතුරු, විද්‍යාඥයන් සතු ව ඇත්තේ අල්ප වශයෙන්. ජේම්ස් වෙබ් දුරේක්ෂයේ මූලික පරමාර්ථය වන්නේත් විශ්වයේ ආරම්භක අවධියේ ඇති වූ මන්දාකිණී පිළිබඳ ව තොරතුරු ලබා ගැනීම යි. මෙය ඉතා සංකීර්ණ කටයුත්තක් වගේ ම විද්‍යාව ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක් ද වෙනවා. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ අරමුණු, ක්‍රියාත්මක වන අන්දම සහ විශේෂතා ගැන සවිස්තරාත්මක ලිපියක් අප සතු යි. එම ලිපියට මෙතැනින් ප්‍රවේශ වෙන්න.

ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන් – www.bbc.com 

දෙසැම්බර් 26: නොබෙල් සාම ත්‍යාගලාභී අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන් ස්වර්ගස්ථ වූ ශෝකජනක පුවත වාර්තා වුණේ මෙදින යි. එතුමන් දකුණු අප්‍රිකාවේ මානව හිමිකම් ක්‍රියාකරුවකු ලෙස දකුණු අප්‍රිකාවට මෙන් ම, ලෝකයට ම ඉමහත් සේවාවක් සහ ධෛර්යයක් ලබා දුන් තැනැත්තෙක්. දකුණු අප්‍රිකාවේ වර්ණ භේද වාදය අවසන් කිරීමෙහි ලා ඉදිරිගාමී සේවාවක් ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන් ඉටු කළා. ස්වර්ගස්ථ වන විට එතුමන් අනූ හැවිරිදි වියේ පසු වුණා.

මේ සියලු දේවල් සිදු වුණේ කොවිඩ් අර්බුදයේ උස් පහත් වීම් මැද බවත්  සඳහන් කළ යුතු යි. මේ වනවිට කොවිඩ් අර්බුදයේ තවත් ප්‍රභේදයක් වන omichrone ද ලොවට තර්ජනයක් වෙමින් හිස ඔසවනවා. කෙසේ නමුත්, 2020 ට සාපේක්ෂ ව 2021 වසර ක්‍රීඩාවෙන්, විද්‍යාවෙන් සහ දේශපාලනයෙන් යම් කිසි අවදි වීමක් දක්නට ලැබුණු වසරක් ලෙස හැඳින්විය හැකි යි. 2022 මීටත් වඩා ක්‍රියාශීලි වසරක් වේවායැ යි අපි ප්‍රාර්ථනා කරමු.

මෙම ලිපියේ පළමු කොටස කියවන්න.

 

කවරයේ ඡායාරූපය: කොවිඩ් මැද වුණත්, ක්‍රීඩාව, දේශපාලනය සහ විද්‍යාව යන අංශවලින් යම් පිබිදීමක් ඇති වූ වසරක් ලෙස 2021 හැඳින්විය හැකි යි.  www.industryweek.com 

මූලාශ්‍ර:

 www.worldweatherattribution.org

www.bbc.com

earthsky.org

www.nasa.gov

www.space.com

www.aljazeera.com 

Related Articles