Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

භාෂණයේ නිදහස පතා රුසියාව අතහරින රුසියානුවෝ

යුක්‍රේනය සහ රුසියාව අතර පවත්නා දරුණු ගැටුම් හේතුවෙන් දහස් ගණනක ජනයා යුක්‍රේනයෙන් පලා යමින් සිටින බව අප බොහෝ දෙනා දන්නා කරුණක්. දෙපාර්ශවයක් අතර පවතින යුද්ධයක් වුවත්, භෞතික සහ ජීවිත හානි වැඩියෙන් ම සිදුවී ඇත්තේ යුක්‍රේනයට යි. පලා යන යුක්‍රේන ජනතාවට මිත්‍රත්වයේ දෑත් දිගු කිරීමට බොහෝ යුරෝපීය රටවල් ඉදිරියට පැමිණි අතර, යුද්ධයෙන් පීඩාවට පත් වූ මිනිසුන්ට උපකාර කිරීම සඳහා ලෝකයේ නන් දෙසින් ස්වෙච්ඡා සේවකයන් යුක්‍රේනයට පැමිණීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබුණා.

මේ යුද්ධයෙන් රුසියාවටත් හානි සිදු වුණා. බොහෝ දුරට එම හානිය සිදු වුණේ රුසියානු හමුදාවට මිස සාමාන්‍ය ජනතාවට නොවෙ යි. එසේ නම්, රුසියාවේ ඇතැම් පුරවැසියන් රුසියාව හැර යෑමේ තත්ත්වයක් උද්ගත ව ඇත්තේ ඇයි? මේ ලිපිය දිග හැරෙන්නේ ඒ ගැටලුවට පිළිතුරු වෙනුවෙන්.

යුක්‍රේන හිතවාදී රුසියානුවෝ

රුසි‍යාව හැර යන රුසියානුවන් සැලකීමේ දී ඊට බලපාන හේතු කිහිපයක් පවතිනවා. ආර්ථික, සමාජීය සහ දේශපාලනික සාධක අරබයා ඉස්මතු වන හේතුන් ලෙස ඒවා දැක්විය හැකි යි. ජෝර්ජියා රාජ්‍යයේ පාර්ලිමේන්තුව ආසන්නයේ යුක්‍රේනය බලා පිටත් වන ට්‍රක් රථ සඳහා ඇඳුම් පෙට්ටි සහ ආහාර පාර්සල් රැගෙන යන යිව්ගිනි ල්යැමින් ද රුසියාවේ සිට පැමිණි තැනැත්තෙක්. ඔහුත් ඇතුළු ව රුසියානු ජාතිකයන් 25,000 කට අධික ගණනක් දැන් ජෝර්ජියාවට පැමිණ තිබෙනවා.

‍යුක්‍රේන හිතවාදී රුසියානුවන්ට පවා ජෝරිජියානුවන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ – www.laprensalatina.com 

එලෙස පැමිණි රුසියානුවන් ජෝර්ජියාවේ ප්‍රධාන නගරවල දැරිය හැකි මිලකට නවාතැන් සොයා ගැනීමේ අරගලයක නිරත වන අතර, බොහෝ අය තම ගමන් මලු සහ සුරතල් සතුන් පවා රැගෙන ට්බිලිසි අගනුවර සැරිසරන අයුරු දැකිය හැකි යි. ඒ අතර යුක්‍රේනයට සහාය දක්වන රුසියානු ජාතිකයන් සැලකිය යුතු ගණනක් සිටිනවා. යිව්ගිනි ල්යැමින් ද තම කබායේ නිල් සහ කහ පීත්ත පටි (යුක්‍රේන ධජයේ වර්ණ) පැළඳ ගනිමින් විපතට පත් යුක්‍රේන ජනයාගේ සහන කටයුතු වෙනුවෙන් කැප වෙනවා.

“පුටින්ගේ පාලනයට එරෙහි ව ක්‍රියා කළ හැකි හොඳම ක්‍රමය වන්නේ රුසියාවෙන් සංක්‍රමණය වීම බව මං තේරුම් ගත්තා. යුක්‍රේනයේ මිනිසුන්ට උපකාර කිරීම සඳහා මට කළ හැකි ඕනෑම දෙයකට සහයෝගය දීම මගේ වගකීමක්.” දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකු වන 23 හැවිරිදි  යිව්ගිනි පවසනවා.

රුසියානුවන්ගේ නික්ම යාම සීමා වී ඇත්තේ ජෝර්ජියාවට පමණක් නොවෙ යි. යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ කැනඩාව වැනි රටවල් රුසියානු ගුවන් ගමන් සඳහා තම ගුවන් සීමා වසා ඇති හෙයින්, තවමත් සංචාරය සඳහා අවස්ථාව ලබා දෙන තුර්කිය, මධ්‍යම ආසියානු රටවල්, කොකේසියානු රටවල්වලට රුසියානුවන් සංක්‍රමණය වෙමින් සිටිනවා.

ජෝර්ජියාවට පමණක් රුසියානුවන් විසි පන්දහසක් පමණ පැමිණ ඇති බව වාර්තා වෙනවා – www.bbc.com 

රුසියානු ආර්ථික විද්‍යාඥයකුගේ එක් ඇස්තමේන්තුවකට අනුව යුක්‍රේන – රුසියානු යුද්ධයේ ආරම්භයේ සිට මේ දක්වා දෙලක්ෂයක් (200,000 ක්) පමණ රුසියානුවන්, රුසියාව හැර ගොස් තිබෙනවා. රුසියාවේ සිටිමින් යුක්‍රේනයට සහයෝගය දැක්වීම අවදානම් සහගත ක්‍රියාවක් වන හෙයින්, රුසියාවෙන් පිටතට පැමිණ ඒ සහයෝගය දැක්වීමට ඇතැම් මධ්‍යස්ථ මතධාරී රුසියානුවන් පෙලැඹී සිටිනවා. මේ සා විශාල රුසියානුවන් ගණනක් සිය රට අත් හැරීම පිටුපස තවත් බොහෝ කාරණා තිබෙනවා.

ආර්ථිකය සිර කරන සම්බාධක

රුසියාව හැර යාම පිටුපස තිබෙන අනෙක් ප්‍රධානත ම හේතුව වන්නේ සම්බාධක යි. එය රුසියානුවන්ට පමණක් නොව බෙලරුස් රාජ්‍යයේ වැසියන්ටත් බලපා තිබෙනවා. රුසියාවේ ව්ලැදිමීර් පුටින් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම නිසා බෙලරුස් හි නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ රජයට බටහිරෙන් සම්බාධක පනවා ඇති අතර, රුසියානුවන් තරමට ම බෙලරුසියානුවන් ද සිය නිජ භූමිය අත් හැරීමට මේ නිසා පෙලැඹී සිටිනවා. මේ හේතුව නිසා තුර්කියේ ඉස්තාන්බුල් සහ ආර්මේනියාවේ යෙරවාන් වැනි ප්‍රධාන නගරවල ගුවන් ගමන් සහ කුලී නවාතැන්වල මිල ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් පුද්ගලයන්ගේ අත්දැකීම්වලට අනුව ඉස්තාන්බුල් වෙත එක් වාරයක් සඳහා වූ ගුවන් ගමනකට සාමාන්‍ය පවුලක මාසික ආදායමටත් වඩා වැඩි මුදලක් වැය වෙනවා.

‍යුක්‍රේන හිතවාදී රුසියානුවන්ට පවා ජෝරිජියානුවන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ – www.laprensalatina.com  

වැඩි ආරක්ෂාව උදෙසා මාධ්‍යයට වාසගම හෙළි නොකළ ආන්යා, රුසියාවෙන් සංක්‍රමණය වී ඇත්තේ එහි බලාත්මක වූ “රාජ්‍ය පාවාදීමේ” අලුත් නීතියත් සමඟ යි. යුක්‍රේනයට සහාය පළ කරන ඕනෑම අයකුට වසර 20 ක් දක්වා සිර දඬුවම් මෙම නීතිය යටතේ පැනවිය හැකි යි. එම නීතියේ බලපෑම ඉතා ඉක්මනින් තමා වෙත එල්ල වීමේ අවදානම මත ආන්යා රුසියාවෙන් පිට වුණා.

“වසා දැමුණු දේශසීමා, දේශපාලන මර්නදය සහ බලහත්කාරයෙන් හමුදා සේවයේ යෙදවීම, අපගේ DNA තුළ ම තිබෙන දෙයක්. මට මතකයි මගේ මිත්තණිය ස්ටාලින් යුගයේ තිබුණු භීතිය විස්තර කළ හැටි. දැන් අපිත් එය අත්විඳිනවා.”

රුසියානු ජනගහනයේ සැලකිය යුතු නියෝජනයක් පවත්නා පුටීන් පාලනයේ පීඩනයෙන් හෙම්බත් වී ඇති බව මින් පෙනී යනවා. ආර්ථික සම්බාධක හේතුවෙන් රැකියාවල නිරත වීමේ නිදහසත් ඔවුන්ගෙන් ඈත් වීමේ අවදානමක් දැන් මතු වෙලා. ඒ අනුව තම වෘත්තීය අනාගතය සහ යුක්‍රේනයට සහාය පළ කිරීමේ නිදහස යන සාධක දෙක ම සලකමින් රුසියාව හැර යෑමට රුසියානුවන් පෙලැඹෙනවා. මෙලෙස සංක්‍රමණය වන රුසියානුවන් අතර තාක්ෂණික ක්ෂේත්‍රවල නිරත වන වෘත්තිකයන් ප්‍රමුඛ යි. ඔවුන්ට ආයතනයට නොගොස් දුරස්ථ ව සිටිමින් සේවය කළ හැකි නිසා එය වාසියක් කර ගෙන තිබෙනවා.

“අපේ කුසලතා සහ මුදල් රැගෙන රුසියාවෙන් පිටවීම තමයි විරෝධය දැක්විය හැකි එකම ක්‍රමය. අපේ කවයේ සිටින සෑම කෙනකුම පාහේ මේ වගේ තීරණයක තමයි සිටින්නේ.” රුසියාවේ සිට පැමිණි එක්තරා වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවෙක් පවසා සිටිනවා.

පුටින්ගේ දේශපාලන අඳුර

 මධ්‍යම ආසියානු සහ කොකේසියානු රටවලට පැමිණෙන රුසියානුවන් සහ බෙලරුසියානුවන් සඳහා නවාතැන් ලබාදීම ප්‍රතික්ෂේප කරන වාතාවරණයක් ද උදා වී තිබෙනවා. Airbnb වැනි විශාල සත්කාරක සමාගම් පවා ඒ අතර තිබෙනවා. යුක්‍රේනයට දක්වන හිතවත්කමක් ලෙස ඇතැම් නවාතැන් සැපයුම්කරුවන් මෙවැනි ප්‍රතික්ෂේප කිරීම් සිදු කරන අතර, එක්තරා නවාතැන් සැපයුම්කරුවෙක් ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ රුසියානුවන්ට හෝ බෙලරුසියානුවන්ට නිවාඩු ගත කිරීම සඳහා වාතාවරණයක් නොමැති බව යි. ඒ වෙනුවට ඔවුන් තම දූෂිත ආණ්ඩුවලට එරෙහි ව කැරැල්ලක් ඇරඹිය යුතු බව අදාළ නවාතැන් සැපයුම්කරු පවසනවා.

“Apple Pay සේවාව තවදුරටත් එහි ක්‍රියාත්මක නොවන නිසා අපි රුසියාවෙන් පලා යන බව ඔවුන් සිතනවා. අපි පලා යන්නේ පහසු ජීවිතයක් සඳහා නොවෙයි. රුසියාවේ අපිට හිමි සියල්ල ම අහිමි වෙලයි තියෙන්නේ. අපි මූලික වශයෙන් ම සරණාගතයන් බවට පත් වෙලා. පුටින්ගේ භූ දේශපාලනය අපේ ජීවිත විනාශ කර අවසන්.” නම හෙළි නොකළ වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරු නවාතැන් සපයා නොදීමේ ගැටලුව ගැන අදහස් ප්‍රකාශ කළේ ඒ අයුරින්.

විශාලත ම බුද්ධි ගලනයක්

යුද්ධය ආරම්භයේ සිට ම ජෝර්ජියාවේ ට්බිලිසි නුවර යුක්‍රේනයට සහාය දැක්වීම සඳහා විශාල මහජන රැළි පැවැත්වුණා. මෑතක දී සිදු කළ සමීක්ෂණයකට අනුව ජෝර්ජියානුවන් ගෙන් 87% ක් යුක්‍රේනයේ පවතින යුද්ධය, තමාගේ ම යුද්ධයක් සේ සලකා තිබෙනවා. ඔවුන් රුසියාවට තදබල විරෝධාකල්ප දක්වන ජාතියක්. ඒ නිසා ම රුසියානුවන්ගේ මේ අසාමාන්‍ය සංක්‍රමණය ජෝර්ජියානුවන් නොසන්සුන් කිරීමට හේතු වුණා.

විරෝධතාවක් අතරතුර යුක්‍රේන ජනපතිවරයාගේ නිවේදනයකට ඇහුම්කන් දෙන ජෝර්ජියානුවෝ – www.bbc.com 

ජෝර්ජියාව ද මීට වසර 14 කට පමණ පෙර රුසියාවේ ආක්‍රමණයකට ලක් වූ නිසා රුසියානුවන්ට දක්වන අකමැත්ත සාමාන්‍ය කරුණක්. පැමිණෙන රුසියානුවන් පුටින් පාලනයට විරුද්ධ වුණත්, ඔවුන් පිළිගැනීමට ජෝර්ජියානුවන් මැළිකමක් දක්වන අතර, විදේශගත රුසියානුවන්ට ආරක්ෂාව අවශ්‍ය බව ව්ලැදිමීර් පුටීන් ප්‍රකාශ කරාවියැ යි ජෝර්ජියානුවන් බියට පත් වී සිටිනවා. රුසියානු ආක්‍රමණයෙන් පසු ජෝරිජියා භූමියෙන් ද 20% ක් පමණ රුසියාවේ බලපෑමට නතු වී ඇති හෙයින්, එම බිය සාධාරණ බව සිතිය හැකි යි.

 ජෝර්ජියාවට පැමිණෙන රුසියානු ජාතිකයන් දෙස ධනාත්මක ආකල්පයකින් බලන පුද්ගලයන් ද සිටිනවා. උදාහරණයක් ලෙස තාක්ෂණික ව්‍යවසායකයකු වන ලෙව් කලාෂ්නිකොව්ට අනුව නූතන ඉතිහාසයේ විශාලත ම බුද්ධි ගලනයට රුසියාව මුහුණ දෙන හෙයින්, ඉන් ප්‍රයෝජන ගත යුතු බව ඔහු අදහස් කරනවා.

මැදි ආදායමක් ලබන වෘත්තිකයන් මධ්‍යම ආසියානු සහ කොකේසියානු කලාපයට සංක්‍රමණය වෙද්දී රුසියාවේ ධනවතුන් ඇදෙන්නේ ඩුබායි වැනි ලෝකයේ ප්‍රමුඛ වාණිජ නගර කරා යි. එය රුසියාවේ ආර්ථිකයට බලපෑම් එල්ල කරන අලුත් ම අභියෝගය බවට පත් වීමේ හැකියාවක් තිබෙනවා.

රුසියාවේ ධනවත් ව්‍යාපාරිකයන් සම්බාධක බිය සහ ව්‍යාපාර නිදහස වෙනුවෙන් ඩුබායි වෙත පැමිණෙමින් සිටිනවා – www.bbc.com 

පුටින් නිසා ඩුබායි ධනයෙන් තර වෙන හැටි

ඩුබායි හි මෙහෙයුම් පිහිටුවීම වෙනුවෙන් සමාගම්වලට උපකාර කරන “Virtuzone”, රුසියානු ගනුදෙනුකරුවන්ගේ විශාල වැඩි වීමක් නිරීක්ෂණය කර තිබෙනවා. “Virtuzone” හි ප්‍රධාන විධායක ජෝර්ජ් හොජීක්ට අනුව යුද්ධය ආරම්භ වීමෙන් පසු ඩුබායි මූලික කර ගනිමින් ව්‍යාපාර කටයුතු ඇරඹූ රුසියානු ව්‍යවසායකයන්ගේ ගණන පස් ගුණයකින් පමණ වැඩි වී තිබෙනවා. ආර්ථික කඩා වැටීම හමුවේ ඔවුන් කනස්සල්ලට පත් ව සිටින බවත්, තම ධනය සුරක්ෂිත කර ගැනීම සඳහා ඔවුන් ඩුබායි කරා පැමිණෙන බවත්, “Virtuzone” හි ප්‍රධාන විධායකවරයා සඳහන් කර සිටිනවා. රුසියානු ජාතිකයන්ගේ ආගමනය හේතුවෙන් ඩුබායි නගරයේ පිහිටි සුඛෝපභෝගී විලා සහ මහල් නිවාසවල ඉල්ලුම ඉහළ ගොස් තිබෙන අතර, ඩුබායි හි දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයත් මේ නව ප්‍රවණතාව නිසා ශක්තිමත් වෙමින් තිබෙන බව වාර්තා වෙනවා.

ආරම්භයේ සිට ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුටින් පරිපාලනයේ ක්‍රියා කලාපවලට විරෝධය නොදක්වමින් මධ්‍යස්ථ හෝ උදාසීන ස්වභාවයකින් සිටීමත් එක්තරා උපක්‍රමයක් ද යන්න සැක සිතෙන්නේ මේ නිසා යි. රුසියාව තුළ රැඳීමට ඉඩ තිබුණු විශාල ආයෝජන ප්‍රමාණයක් දැන් ඩුබායි කේන්ද්‍ර කර ගනිමින් ගොඩ නැඟෙන ප්‍රවණතාව රුසියාවේ අනාගතයට කොහෙත් ම හිතකර වන්නේ නැහැ.

රුසියාවේ කටයුතු ඇරඹීමට සිටි බහුජාතික සමාගම් සහ රුසියාවෙන් බිහි වීමට නියමිත ව තිබූ සමාගම් බොහෝමයක සේවකයන් එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය කරා ගෙන යෑමට කටයුතු කරමින් සිටිනවා. ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම සඳහා වඩාත් ආරක්ෂිත ආර්ථික සහ දේශපාලන පරිසරයක් ලබා දෙන හෙයින්, මෙවැනි තීරණයක් ගැනීමට රුසියාවේ ඇතැම් ව්‍යාපාරිකයන් පෙලැඹී සිටිනවා.

රුසියාවේ ඩොලර් සීමා – hindustannewshub.com 

 

රුසියාවේ ඩොලර් සීමා

රුසියාවට ජාත්‍යන්තර මට්ටමෙන් පවතින විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස එරට මහ බැංකුවට ඩොලර් බිලියන ගණනක් වටිනා විදේශ සංචිතවලට ඇතුළු වීම අවහිර කොට තිබෙනවා. ඇතැම් රුසියානු බැංකු “Swift” මූල්‍ය පණිවිඩ පද්ධතියෙන් පවා ඉවත් කොට අවසන්. තම විදේශ සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා රුසියානු රජයට ප්‍රාග්ධන සීමා පවා පැනවීමට දැන් සිදුවී ඇති අතර, අමෙරිකානු ඩොලර් 10,000 කට වඩා වැඩි මුදලක් සන්තකයේ තබා ගෙන රටින් පිටවිමත් තහනම් කර තිබෙනවා. විදේශ මුදල් මාරු කිරීමේ අපහසුතා නිසා බොහෝ රුසියානු ගැනුම්කරුවන් “ක්‍රිප්ටොකරන්සි” හරහා ගෙවීම් සිදු කිරීමට උත්සහ කරනවා. සමහර ගැනුම්කරුවන්ට අතරමැදියකු සිටින අතර, ඔවුන් ක්‍රිප්ටෝවලින් ගෙවීම් ලබාගෙන පසුව ගැනුම්කරුවන් වෙනුවෙන් විකුණුම්කරුට මුදල් ලබා දෙන පිළිවෙතක් ද ක්‍රියාත්මක වන බව පැවසෙනවා.

රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධයේ ප්‍රතිඵල දෙරටට ලැබෙන්නේ දෙයාකාරයෙන්. යුක්‍රේනයට යුද්ධය හේතුවෙන් ජීවිත සහ දේපළ හානි විශාල වශයෙන් සිදුවන අතරතුර විශාල ආධාර ප්‍රමාණයක් යුදමය සහ මානුෂීය ආධාර වශයෙන් ලැබෙනවා.

සැලකිය යුතු ආර්ථික හානියක්

රුසියාවට ජීවිත හානි සහ දේපළ හානි විශාල වශයෙන් සිදු නොවුණත්, සැලකිය යුතු ආර්ථික හානියක් සිදු වෙමින් පවතිනවා. යුද්ධය අවසන් වූ දවසක යුක්‍රේනය මුල් තත්ත්වයට ගොඩ නැඟීම සඳහා විශාල ජාත්‍යන්තර සහායක් ලැබිමේ හැකියාවක් පවතිනවා. යුද්ධය අතරතුර පවා යුක්‍රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් පශ්චාත් යුද සමයේ දී යුක්‍රේනය තුළ සිදු කළ හැකි ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් පිඹුරුපත් සකසමින් සිටිනවා.

පශ්චාත් යුද සමයේ දී රුසියාවට ලැබෙන සහයෝගය ඇත්තේ අවිනිශ්චිත මට්ටමක යි. යුක්‍රේනය තුළ භෞතික වශයෙන් යුද්ධයක් අරඹන තැනට පුටින් පෙලඹ වූ බටහිර නායකයන්, ඉතා සියුම් ලෙස රුසියාවේ ආර්ථික ආක්‍රමණයක් ඇරඹීමට සමත් වුණා. ඒ සඳහා පුටින්ගේ පාලන තන්ත්‍රයට අකමැති රුසියානුවන්ගෙන් පවා දැනුම්වත් ව හෝ නොදැනුම්වත් ව සහාය ලැබුණා. මේ ක්‍රියාන්විතය සාර්ථක වුවහොත්, පශ්චාත් යුද සමයේ දී පවා රුසියාවට දිගු කාලීන ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වනු ඇති.

කවරයේ ඡායාරූපය: ව්ලැදිමීර් පුටීන්ගේ ක්‍රියා කලාප නිසා රුසියාවේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමේ පසුබිමක් සැකසෙමින් තිබෙනවා - newsofmax.com

මූලාශ්‍ර:

www.bbc.com

www.bbc.com/news

www.deccanherald.com 

Related Articles