Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියාවේ ඊළඟ ඉලක්කය ස්වීඩනය සහ ෆින්ලන්තය ද?

යුක්‍රේන-රුසියානු අර්බුදය තවමත් ඇත්තේ ඉතා උණුසුම්කාරී වාතාවරණයක යි. දෙපිල ම එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගනිමින් සිවිල් ජීවිත සහ දේපළ හානි සිදු කරමින් සිටින අතර, අති විනාශකාරී සිදුවීම් කිහිපයක් ගත වූ සති දෙකක කාලය තුළත් වාර්තා වුණා.

පසුගිය අප්‍රියෙල් 07 වැනිදා නැඟෙනහිර ඩොනෙට්ස්ක් ප්‍රදේශයට අයත් ක්‍රැමටෝර්ස්ක් නගරයේ යුද්ධයෙන් දිවි ගලවා ගත් දහස් ගණනක් රැස් වී සිටි දුම්රිය ස්ථානයකට රුසියානු හමුදාව පොකුරු බෝම්බ ප්‍රහාරහයක් එල්ල කළ සිදුවීම ඒ අතුරින් වැඩි අවධානයක් දිනා ගත්තා.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා යුක්‍රේනයේ හදිසි සංචාරයක නිරත වුණා – www.aljazeera.com 

ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 52 ක් ජීවිතක්ෂයට පත් වූ බව පැවසෙනවා. ඉන්පසු රුසියාවෙන් එල්ල වූ ප්‍රහාර කිහිපයක් මැඬ පැවැත්වීමට යුක්‍රේනය සමත් වුණා.

බ්‍රිතාන්‍ය අගමැති බෝරිස් ජොන්සන්ගේ හදිසි යුක්‍රේන සංචාරයත් බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවලට උණුසුම් ප්‍රවෘත්තියක් වුණා. යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පෞද්ගලික ව හමු වී කතාබස් කිරීමෙන් පසු නව මූල්‍ය සහ මිලිටරි ආධාර පැකේජයක් යුක්‍රේනය වෙනුවෙන් සකස් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති අවධානය යොමු කොට තිබුණා.

මොස්ක්වා නෞකාව – www.bbc.com 

“මොස්ක්වා” නෞකාවට ප්‍රහාරයක්

යුක්‍රේන-රුසියානු අර්බුදයේ උණුසුම් ම සිදුවීම වන්නේ කළු මුහුදේ දී රුසියාවට අයත් යුද නෞකාවක් ගිලී යෑමේ පුවත යි. “මොස්ක්වා” ලෙස හඳුන්වන මෙම නෞකාව කළු මුහුදේ අනුයුක්ත කර තිබෙන රුසියානු බළ ඇණියේ ප්‍රමුඛයෙක් බව පැවසෙනවා. යුක්‍රේන පාර්ශවය පවසන්නේ තම මිසයිල යුද නෞකාවේ ගැටුණු නිසා නෞකාව විනාශ වූ බව යි. මොස්කව් පාලනය කිසිදු ප්‍රහාරයක් සිදු වූ බව වාර්තා කර නැහැ. යුද නෞකාවේ ඇති වූ ගින්නකින් නෞකාවේ පතොරම් පිපිරීමට ලක් වූ බවත්, නෞකාවේ මුළු කාර්ය මණ්ඩලය ම කළු මුහුදේ අනෙකුත් නෞකා වෙත යොමු කළ බවත්, රුසියාව පවසා තිබුණා.

නෞකාව විනාශයට පත්වීම රුසියාවේ අභිමානයට එල්ල වූ බරපතල හානියක් බව මොස්ක්වා නෞකාව සැමරීමේ උත්සවයක් ක්‍රිමියාවේ දී පැවැත්වීමෙන් ම අවධාරණය කෙරෙනවා. මේ හේතුවෙන් යුක්රේනයට එරෙහි විශේෂ හමුදා මෙහෙයුමක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවට රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටීන්  අවධාරණය කරනවා. සෝවියට් යුගයේ දී නිර්මාණය කර ඇති මොස්ක්වා නෞකාව හමුදා ශක්තිය අතින් ඉතා ඉහළ නෞකාවක් බවයි යුද විශ්ලේෂකයන් පවසන්නේ. 1980 දශකයේදී යුද මෙහෙයුම් සදහා භාවිත කළ එය සිරියාවේ ද යුද මෙහෙයුම්වල නිරත ව සිටියා.

නෝර්ඩික් රාජ්‍යය – www.pinterest.com 

රුසියාවෙන් තවත් තර්ජනයක්!

දෙරට අතර ගැටුම් දිගින් දිගට ම පවතිද්දී එහි බලපෑම් වක්‍රාකාරයෙන් මුළු ලෝකයට ම අත් විඳින්නට සිදු වුණා. බලශක්ති ක්ෂේත්‍ර සහ ආහාර සුරක්ෂිතතාවට ඇති වූ බලපෑම් ඉන් ප්‍රමුඛ යි. යුක්‍රේන-රුසියානු ගැටුම්වලට කිසිදු රාජ්‍යයක් සෘජු ව මැදිහත් වුණේ නැහැ. ඒ වෙනුවට යුක්‍රේනය සඳහා මානුෂීය ආධාර සහ යුදමය ආධාර ලබා දීම ඔවුන් අතින් වක්‍ර ව සිදු වුණා.

රුසියාවෙන් එල්ල විය හැකි අනාගත අවදානමක් ගැන බොහෝ යුරෝපීය රටවල් දැන් සැලකිලිමත් වෙනවා. ඊට ආසන්නත ම සිදුවීම අසන්නට ලැබුණේ ස්වීඩනය සහ ෆින්ලන්තයෙන්.

මෙතෙක් නේටෝ සංවිධානයේ සාමාජිකයන් නොවූ ස්වීඩනය සහ ෆින්ලන්තය, යුක්‍රේන අර්බුදයේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් නේටෝවේ සාමාජිකත්වය ලබා ගැනීම දැඩි ව සලකා බලන බව දෙරටේ අගමැතිවරුන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව රුසියාවේ ආක්‍රමණය යුක්‍රේනයෙන් එතෙරට ව්‍යාප්ත වුවහොත්, නේටෝ සන්ධානයේ ආරක්ෂක පියවර ෆින්ලන්තය සහ ස්වීඩනය කෙරෙහිත් බලපානු ඇති.

ෆින්ලන්ත හමුදා නේටෝ හමුදා අභ්‍යාසවලට මෑතක දීසහභාගී වී ඇත –  www.bbc.com 

නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කිරීම

යුක්‍රේනය අද මුහුණ දෙන යුදමය තත්ත්වයට බලපෑ ආසන්නත ම හේතුවක් වන්නේත් නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කිරීම යි. රුසියාව කලක පටන් එම ක්‍රියාපිළිවෙත හකුළා ගන්නා ලෙස යුක්‍රේනයට අනතුරු හැඟෙව්වා. දැන් එවැනි ම අනතුරු හැඟවීමක් ස්වීඩනය සහ ෆින්ලන්තයට නිකුත් කිරීමට රුසියාව පියවර ගත්තා. ඔවුන් තම තීරණයේ දිගින් දිගට ම එල්බ ගෙන සිටී නම් න්‍යෂ්ටික බලයෙන් තොර බෝල්ටික් කලාපයක් ගැන තවදුරටත් කතා නොකරන බව පුටින් පරිපාලනය පවසා තිබෙනවා.

ෆින්ලන්ත-රුසියානු දේශ සීමාව ආසන්නයේ රුසියානු හමුදා ශක්තිය තවදුරටත් වැඩි වනු ඇති බව රුසියාව තවදුරටත් පවසනවා. ෆින්ලන්තය රුසියාවටත් මායිම් වන අතර, එම දේශ සීමාවේ විහි දීම සැතපුම් 810 ක් පමණ වෙනවා. ඒ අනුව බොහෝ කාලයක් ඉතා සාමකාමී රාජ්‍යයක් ලෙස පැවති ෆින්ලන්තයට සිය භූ ගෝලීය පිහිටීම අනුව අන් කවරදාකටත් වඩා යුද උණුසුම දැනෙමින් තිබෙනවා.

නේටෝ සාමාජිකත්වයේ යුරෝපීය පසුබිම

බෝල්ටික් මුහුදට මායිම් වන ලිතුවේනියාව, ලැට්වියාව සහ එස්තෝනියාව යන ඊසාන දිග යුරෝපීය රටවල් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය දරනවා. ඒ රටවල් ත්‍රිත්වය ම රුසියාවට හෝ රුසියානු හිතවාදී බෙලරුස් රාජ්‍යයට හෝ ඒ දෙකට ම මායිම් ව තිබීම විශේෂත්වයක්. නෝර්ඩික් රටවල් සැළකීමේ දී ඩෙන්මාර්කය, අයිස්ලන්තය, නෝර්වේ, නේටෝ සාමාජිකත්වය දැරුවත්, ඉතිරි නෝර්ඩික් රටවල් දෙක වන ෆින්ලන්තය සහ ස්වීඩනය නේටෝ සාමාජිකත්වය කෙරෙහි මෙතෙක් අවධානය යොමු කළේ නැහැ. භූ දේශපාලනික පසුබිම සැළකීමේ දී ස්වීඩනය සහ ෆින්ලන්තයට නේටෝ සාමාජිකත්වය ඉතා වැදගත් බව පෙනී යන කරුණක්. උක්ත සඳහන් නේටෝ සාමාජිකයන් හැර තවත් යුරෝපා රටවල් බොහෝමයක් නේටෝ හි ආරක්ෂණ ක්‍රියාදාමයට ඇතුළත් ව සිටින පසුබිමක ස්වීඩනය සහ ෆින්ලන්තය ඉන් වියුක්තව සිටියේ ඇයි?

යුරෝපයේ නේටෝ සාමාජිකයෝ – www.bbc.com 

උදාසීන කලාපය

 රුසියාව සහ ෆින්ලන්තය අතර ඇත්තේ ඉතිහාසගත සබඳතාවක්. 1917 නිදහස ලබා ගැනීමට පෙර ෆින්ලන්තය ස්වීඩනයේ සහ රුසියාවේ කොටසක් වශයෙන් පැවතුණු අතර, 1939 දී ඇරඹුණු ශීත ඍතු යුද්ධය සහ 1941-1944 කාල වකවානුවේ පැවති යුදමය තත්ත්වය නිසා දෙරට අතර තිබුණු අන්තර් ක්‍රියාකාරීත්වය තවදුරටත් ඉහළ ගියා.

 ගැටුම්කාරී සිදුවීම් ගහණ ඉතිහාසයක් සහිත ෆින්ලන්තයට තම විදේශ ප්‍රතිපත්තිය ගැන නැවත සිතා බැලීමට අවශ්‍ය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සීතල යුද්ධය පැවති කාලයේ දී මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස ක්‍රියා කිරීමට ෆින්ලන්තය පියවර ගත්තා. ඒ අතරතුර නැඟෙනහිරින් පිහිටි සිය යෝධ අසල්වැසියා, රුසියාව සමඟ හොඳ සබඳතාවක් පවත්වා ගැනීමටත් ෆින්ලන්තය ප්‍රවේශම් වුණා. ෆින්ලන්තය සහ සෝවියට් සංගමය 1948 දී අත්සන් කළ මිත්‍රත්වය, සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය සහයෝගීතා ගිවිසුම මඟින් රුසියාව කෙරෙහි ආන්තික ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීමට ෆින්ලන්තය වග බලා ගත්තා.

ගිවිසුමේ මූලධර්මවලට ගරු කිරීමක් ලෙස මාෂල් සැලැස්මේ අරමුදල් පවා ෆින්ලන්තය භාර ගත්තේ නැහැ. එම අරමුදල් ප්‍රතික්ෂේප කිරීම සෝවියට් සංගමයේ පීඩනය මත සිදු වූවක් බව පුළුල් ව පිළි ගන්නා මතය වුවත්, පවත්වා ගෙන ගිය මධ්‍යස්ථභාවය නිසා ෆින්ලන්තයට සමෘද්ධිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වීමට ප්‍රමාණවත් නිදහසක් ලැබුණා. බැලූ බැල්මට ම ෆින්ලන්තය රුසියාව සමඟ පවත්වා ගෙන ගියේ පක්ෂග්‍රාහි සබඳතාවක් නොවෙ යි. ඔවුන් රුසියාව සහ බටහිර ලෝකය අතර උදාසීන කලාපයක් ලෙස තම රට පවත්වා ගෙන ගියා.

ස්වීඩනයේ අගමැතිනී මැග්ඩලීනා ඇන්ඩර්සන් සහ ෆින්ලන්ත අගමැතිනී සැනා මැරීන් – news.sky.com 

ස්වීඩනයේ ස්ථාවරත්වය

ස්වීඩනය 1814 සිට වසර 200 කට වැඩි කාලයක් කිසිදු හමුදා සන්ධානයකට හෝ යුද්ධයකට සහභාගී වී තිබුණේ නැහැ. ස්වීඩනය තුළ අඛණ්ඩ සාමකාමී වාතාවරණයක් පවත්වා ගැනීමට එම ක්‍රියා පිළිවෙත ඉවහල් වුණා. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු සාම්ප්‍රදායික බලවතුන් බිඳ වැටී නව බලවතුන් ඉස්මතු වූ විට ස්වීඩනය සිය ආරක්ෂක ප්‍රතිපත්තියේ සංධිස්ථානයකට පැමිණියා. සීතල යුද්ධය අතරතුරේ දී එක්සත් ජනපදයට හෝ සෝවියට් සංගමයට සහාය නොදක්වමින් තම ආරක්ෂාව සහ කලාපීය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා තෙවැනි විකල්පයක් සෙවීමට ස්වීඩනය උත්සුක වුණා.

1948 දී මධ්‍යස්ථ ස්කැන්ඩිනේවියානු ආරක්ෂක සන්ධානයක් නිර්මාණය කිරීමට ස්වීඩනය උත්සහ ගත්තේ ඒ නිසා යි. කෙසේ නමුත්, නෝර්වේ සහ ඩෙන්මාර්කය නේටෝව සමඟ පෙළ ගැසීමට තීරණය කළ නිසා හුදෙකලාව හෝ මධ්‍යස්ථ වීමට ස්වීඩනය තීරණය කළා.

තත්ත්වය එසේ වුවත්, ෆින්ලන්තය තරම් ස්වීඩනය උදාසීන කලාපයක් ලෙස තම භූමිය පවත්වා ගෙන ගියේ නැහැ. පශ්චාත් යුද සමයේ පැවති ආර්ථික තත්ත්වය සලකා එක්සත් ජනපදය ලබා දුන් ආධාර භාර ගැනීමට ස්වීඩනය උනන්දු වුණා. ඊට හිලව්වක් වශයෙන් ද්විපාර්ශ්විකව සහ නේටෝව හරහා සීතල යුද්ධය පුරා බටහිර බලවතුන්ට රහස් ඔත්තු සැපයීම ස්වීඩනය හරහා සිදු වූ බව පැවසෙනවා. කෙසේ හෝ වේවා සිය ආරක්ෂක සහ විදෙස් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දෙරට ම දශක කිහිපයකට පසු නැවතත් සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා.

නේටෝ සාමාජිකත්වය – www.newsdayexpress.com 

 

පුරවැසියන්ගේ සහායත් ලැබෙන ලකුණු

ෆින්ලන්ත අගමැතිනී සැනා මැරීන්, සති කිහිපයක් ඇතුළත නේටෝ සංවිධානයේ සාමාජිකත්වය වෙනුවෙන් අයදුම් කරන්නේ ද නැද්ද යන්න වග තීරණය කරනු ඇති. ස්වීඩනයේ අගමැතිනිය සමඟ පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී තීරණය ප්‍රමාද කිරීමට කිසිදු හේතුවක් නොමැති බව ඇය පවසා තිබෙනවා. ස්වීඩන් අගමැතිනී මැග්ඩලීනා ඇන්ඩර්සන් ද නේටෝ සාමාජිකත්වය සම්බන්ධයෙන් ඉතා බරපතල විශ්ලේෂණයක් සිදු වන බවත්, එය ප්‍රමාද කිරීමේ තේරුමක් නැති බවත්, පවසා තිබෙනවා.

ෆින්ලන්තය සහ ස්වීඩනයේ පුරවැසියන් දිගු කලක් තිස්සේ ඔවුන් ගේ නොබැඳි ප්‍රතිපත්තිය අගය කර තිබුණත්, නවත ම වාතාවරණය හමුවේ ඔවුන් ගේ මනෝභාවය දැන් වෙනස් වෙමින් පවතිනවා. උදාහරණයක් ලෙස මෑත කාලීන මත විමසුම්වල දී නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් ෆින්ලන්තයේ මහජන සහයෝගය 62% දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය පෙබරවාරි මාසයේ පැවතුණේ 28% ක් වැනි මට්ටමක යි.

යුද වියදම් ඉහළට

නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමේ පටිපාටියේ දී ස්වීඩනයට සාපේක්ෂ ව ෆින්ලන්තය සිටින්නේ තරමක් ඉදිරිගාමී වාතාවරණයක යි. ඔවුන්ගේ භූ දේශපාලනික පිහිටීම ඒ සඳහා වඩාත් හේතු වී තිබෙනවා. ෆින්ලන්ත රජයෙන් නිකුත් කළ වාර්තාවකට අනුව ෆින්ලන්තයට එරෙහි ව සෘජුව මිලිටරි බලය යෙදවිය හැකි පසුබිමක් මේ හරහා ඇති විය හැකි බව අනතුරු හඟවා තිබෙනවා.

 නේටෝ සාමාජිකත්වය පැතීම හරහා සීතල යුද්ධයෙන් පසු ෆින්ලන්තය බරපතළ ම ආරක්ෂක තත්ත්වයකට දැන් මුහුණ දෙමින් සිටිනවා. දැනටමත් රුසියානු-ෆින්ලන්ත දේශ සීමාව ආසන්නයට හමුදා උපකරණ ගෙන යෑමට මොස්කව් පරිපාලනය ඉඩ දී ඇති බව වාර්තා වෙනවා. මෙම කරුණ තවමත් තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාධක ලැබී නොමැති බව එක්සත් ජනපද නිලධාරීන් සඳහන් කරනවා. සැලසුම් කර ඇති පරිදි ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය ලබා ගතහොත්, එරට අයවැයෙන් 1.5% ක් දක්වා ආරක්ෂාව සඳහා වියදම් කිරීමට සිදු වනු ඇති. 2026 වනවිට ආරක්ෂක අයවැය 40% න් වැඩි කිරීමටත් ෆින්ලන්තය අපේක්ෂා කරනවා.

නෝර්ඩික් කලාපය ලෝකයේ ඉතා සාමකාමී රාජ්‍ය පවතින පෙදෙසක් ලෙස සැලකෙනවා. ගෝලීය සාම දර්ශකයේ සහ ලෝකයේ සතුටින් ම සිටින රටවල් අතරත් ස්වීඩනය සහ ෆින්ලන්තයට ඉහළ ස්ථාන හිමි වී තිබෙනවා. පවතින රුසියානු-යුක්‍රේන අර්බුදය පෙර කී තත්ත්වයට බලපෑම් එල්ල කරාවි ද යන්න ගැන තවමත් නිශ්චිත ව පැවසිය නොහැකි යි.  සිය ආරක්ෂාව ගැන පෙරට වඩා සිතන්නට සිදුවීම ගැන නෝර්ඩික් රාජ්‍ය දැන් සිටින්නේ තරමක පීඩනයකින්.

කවරයේ ඡායාරූපය: නේටෝ සාමාජිකත්වය ගැනීමේ සූදානම නිසා ෆින්ලන්තය සහ ස්වීඩනයත් රුසියාවේ තර්ජනයට ලක් වී තිබෙනවා - www.youtube.com

මූලාශ්‍ර:

www.aljazeera.com

www.bbc.com

www.forbes.com

news.sky.com

www.wilsoncenter.org

www.bbc.com 

 www.itnnews.lk 

Related Articles