කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මුළු ලෝකයට ම අති දුෂ්කර කාලයක් ගෙවා දැමීමට සිදු වුණා. වසංගතයට එදිරි ව ගෝලීය මට්ටමෙන් සිදු වූ එන්නත්කරණ වැඩසටහන් නිසා ලෝකයේ බොහෝ රටවලට ආර්ථික, දේශපාලනික සහ සමාජීය කටයුතු නැවත පෙර තත්ත්වයෙන් ම ඇරඹීමේ හැකියාව දැන් ලැබී තිබුණත්, වසංගතයේ බලපෑම සම්පූර්ණයෙන් ම පහ ව ගොස් නැහැ. ලෝකයට පාඩම් රැසක් කියා දුන් අර්බුදයක් ලෙස කොවිඩ්-19 හැඳින්විය හැකි යි. නැවතත් එවැනි ගෝලීය වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම මතු වුවහොත්, ඊට සූදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් මනා අත්දැකීමක් ලෝකයට දැන් ලැබී තිබෙනවා. කොවිඩ්-19 වසංගතය ලෝකය පෙළන අතරතුර පවා තැනින් තැන හුදෙකලා අන්දමින් මතු වූ වෙනත් රෝගවලට පවා විශාල අවධානයක් ලැබුණේ ඒ නිසා යි.
මේ වනවිට යුරෝපයේ රටවල් කිහිපයක හිස ඔසවමින් පවතින නවතම රෝගී තත්ත්වයක් ගැන ලෝකයේ අවධානය යොමු වෙමින් තිබෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේ දී මෙම රෝගය හඳුන්වන්නේ “Monkeypox” යනුවෙන්. කොවිඩ්-19 වසංගතයේ හමුවේ ඉතා දරුණු ලෙස බැට කෑ මහද්වීපයක් ලෙස මුළු යුරෝපය ම “Monkeypox” හි පැතිරීම ගැනත් දැඩි විමසිල්ලකින් පසු වෙනවා.
දුර්ලභ රෝගී තත්ත්වයක්
ආරම්භයේ දී මහ බ්‍රිතාන්‍යය, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ අමෙරිකා එක්සත් ජනපදය යන රටවලින් “Monkeypox” යැයි සැක කළ හැකි රෝගීන් අතළොස්සක් වාර්තා වුණා. තව ම සුළු වශයෙන් වාර්තා වුවත්, කරුණු දෙකක් මත බැරෑරුම් සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වීමේ විභවයක් මෙම රෝගයට පවතින බව විශ්වාස කරනවා. පළමු කරුණ වන්නේ “Monkeypox” රෝගය වෛරසයකින් පැතිරෙන්නක් වීම යි. වෛරස් රෝගයක් වසංගතයක් බවට පත් වීමේ අවදානම දැන් අපි පමණට වඩා අත්දැක තිබෙනවා. දෙවැනි කරුණ වන්නේ මෙම රෝග කාරකය බොහෝ දුරට බටහිර සහ මධ්‍යම අප්‍රිකාවට සීමා වී පැවතීම යි. ඒ අනුව ලෝකයේ තරමක් දුර්ලභ ව දැකිය හැකි රෝගයක් ලෙස “Monkeypox” සැලකෙනවා. ඉතා කලාතුරකින් රෝගය අදාළ ප්‍රදේශවලින් බැහැරට ව්‍යාප්ත වූ අවස්ථා තිබුණත්, අප්‍රිකාවෙන් දුර ඈත භූගෝලීය කලාපවල පවා එය වාර්තා වීම කිසිසේත් සුළු කොට තැකිය නොහැකි යි.
“Monkeypox” රෝගයේ වෛරසය, “Poxviridae” පවුලේ “Orthopoxvirus” නම් ගණයට අයත් වෛරසයක් වන අතර, “Orthopoxvirus” ගණයට මාරාන්තික වසූරිය ඇති කරන වෛරසයත් ඇතුළත් වෙනවා. කෙසේ නමුත්, වසූරිය තරම් “Monkeypox” රෝගය කිසිසේත් ම දරුණු වන්නේ නැහැ. ආසාදනය වීමේ සම්භාවිතාව පවතින්නේත් අවම මට්ටමක යි.
තත්ත්වය අසාමන්‍යය යි
“Monkeypox” රෝගය මුලින් ම හඳුනාගැනුණේ 1958 දී පර්යේෂණ සඳහා තබා ගෙන සිටි වඳුරන් ආශ්‍රයෙන් වන අතර, රෝගයේ නමත් ඊට සුදුසු අන්දමින් නිර්මාණය වුණා. රෝගය වඳුරන් ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ බවට හෙළි කරන මුල් ම සාක්ෂිය 1970 දී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට අයත් ප්‍රදේශයකින් වාර්තා වුණා. ඉන් පසු බටහිර සහ මධ්‍යම අප්‍රිකානු කලාපයේ වනාන්තර ආශ්‍රිත ව දිවි ගෙවන මිනිසුන් අතර සීමා වූ රෝගයක් ලෙස “Monkeypox” පැවතුණත්, පසු කාලීන ව මිනිස් සංක්‍රමණ සහ ආනයනික සතුන් හරහා රෝගකාරකය එක්සත් ජනපදය, ඊශ්‍රායලය, එක්සත් රාජධානිය වැනි රටවලට පැමිණියා. නමුත්, සැලකිය යුතු බලපෑමක් ඉන් ඇති වුණේ නැහැ.
මෙවර එම රෝගයේ පැතිරීම සාපේක්ෂව ප්‍රබල මට්ටමකින් සිදු වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. මූලික අවධියේ දී ආසාදිත රෝගීන් දෙදෙනකු එක්සත් රාජධානියෙන් වූ අතර, ඔවුන් නයිජීරියාවේ සිට සංක්‍රමණය වූ අය බව සොයා ගෙන තිබෙනවා. ඉන්පසු වෛරසය ඔවුන් ආශ්‍රයේ සිටි සෞඛ්‍ය සේවකයකුට ආසාදනය වී ඇති බව අනාවරණය වුණා.
කොවිඩ්-19 වසංගතයේ දී එක් ආසාදිතයෙක් සොයාගත් විට ඔහු ගේ පළමු පෙළ, දෙවන පෙළ ආශ්‍රිතයන් හඹා යමින් නිරෝධායනයට ලක් කළ අයුරු ඔබට මතක ඇති. එක්සත් රාජධානියේ සෞඛ්‍ය බලධාරීන් එවැනි ම ප්‍රයත්නයක් මුලින් ම හමු වූ “Monkeypox” රෝගීන් සම්බන්ධයෙන් කර තිබුණා. එහෙත්, රෝගීන්ගේ ආශ්‍රිතයන් හෝ ඔවුන් ගේ මෑත කාලීන සංචාරක ඉතිහාසයේ තොරතුරු සපයා ගැනීම දුෂ්කර වුණා. දැන් වෛරසය ප්‍රජාව තුළ ව්‍යාප්ත වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් අනුමාන කරනවා.
මීට පෙර “Monkeypox” රෝගය අප්‍රිකානු කලාපයෙන් පිටත වාර්තා වී ඇත්තේ අට වතාවක් පමණ යි. නමුත්, පසුගිය මැයි 19 වනවිට පෘතුගාලයෙන් ආසාදිතයන් පහක් වාර්තා වූ අතර, ස්පාඤ්ඤයෙන් ආසාදිතයැ යි සැක කළ 23 දෙනකු වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කර තිබෙනවා. එම රටවලින් මින් පෙර කවදාවත් “Monkeypox” රෝගය වාර්තා වී තිබුණේ නැහැ. වෛරසය අත්ලාන්තික් සාගරය තරණය කර ඇති බව හෙළි වූයේ, එක්සත් ජනපදයෙනුත් ආසාදිතයන් වාර්තා වීමත් සමඟ යි. ඒ අනුව රෝගකාරක වෛරසයේ මෙවර හැසිරීම ඉතා අසාමාන්‍ය බව විශේෂඥයන් පෙන්වා දෙනවා.
රෝග ලක්ෂණ මොනවා ද?
උණ, හිසරදය, ඉදිමීම්, මාංශ පේශී වල කැක්කුම, ශරීරයේ පිටුපස හට ගන්නා වේදනා, උදාසීනත්වය, මෙම රෝගයේ ආරම්භක රෝග ලක්ෂණ ලෙස හැඳින්විය හැකි යි. උණ තත්ත්වය තරමකින් සමනය වූ පසු සමේ පළු හෝ බිබිලි ආකාරයේ කුෂ්ඨ මතු වන අතර, ඒවා බොහෝවිට මුහුණෙන් ආරම්භ වී ශරීරයේ අනෙකුත් කොටස්වලට පැතිර යෑමේ අවදානමක් පවතිනවා. කුෂ්ඨ ඇති වීමෙන් පසු ඒවා දරුණු ලෙස කැසීමේ අවශ්‍යතාවක් මතු වන බැවින්, තුවාල සිදු විය හැකි යි. අවධි කිහිපයක් ඔස්සේ ගමන් කළ පසු මෙම කුෂ්ඨ වියළී ගොස් කොරපොතු ආකාරයෙන් සම මත ඉතිරි වන අතර, සම මත කැළැල් ඇති කරමින් හැලී යනවා. මේ සියලු අපහසුතා දින 14 සිට 21 දක්වා වූ කාලයක් රෝගියාට ඉවසා දරා සිටීමට සිදු වෙනවා. ඉන්පසු රෝගී තත්ත්වය ඉබේ ම පහව යන බව යි වාර්තා වන්නේ.
ආසාදනය වන්නේ කොහොම ද?
රෝගය මූලික ව ම ආසාදනය වන්නේ සමීප සබඳතා හරහා යි. එනම්, ආසාදිත පුද්ගලයකුගේ මැරුණු සමේ කොටස් ශ්වසන මාර්ගය, ඇස්, නාසය හෝ මුඛය වැනි ශරීර අභ්‍යන්තරයට විවෘත වන ස්ථාන හරහා ගමන් කිරීමෙන් ආසාදනය වීමේ සම්භාවිතාව අධික යැ යි පැවසෙනවා. අතීතයේ දී මෙම රෝගය මිනිසුන් ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූයේ ඉතා මන්දගාමීව යි. නවත ම තත්ත්වයට අනුව වාර්තා වූ ආසාදිතයන් ගණන සහ ඔවුන් හමු වූ භූ ගෝලීය වපසරිය සැලකීමේ දී රෝගයේ පැතිරීම තරමක් බැරෑරුම් බව පෙනී යනවා.
“Monkeypox” රෝගය ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝගයක් ලෙස හඳුනා ගැනෙන්නේ නැහැ. නමුත්, ලිංගික ව එක්වීමේ දී සෘජු ස්පර්ශයන් සිදුවන නිසා රෝගය පැතිර යෑමට යම් අනුබලයක් ලැබිය හැකි යි. මීට අමතර ව, ආසාදිත වඳුරන්, ලේනුන්, මීයන් ගැවසීම සහ වෛරසයෙන් දූෂිත වූ ඇඳ ඇතිරිලි, ඇඳුම් භාවිතයෙන් ද රෝගකාරකය ආසාදනය වීමේ හැකියාවක් පවතිනවා.
රෝග ලක්ෂණ තරමක් බැරෑරුම් වුණත්, “Monkeypox” රෝගය පැපොල වැලඳුණු රෝගියෙක් ගේ තත්ත්වයට සමාන වන බව පැවසෙනවා. කෙසේ නමුත්, “Monkeypox” රෝගය නිසා බටහිර අප්‍රිකාවෙන් මරණ සිදු වූ බවට වාර්තා වී ඇති අතර, රෝගී උපස්ථානය නිසි අයුරින් සිදු කිරීම වැදගත්.
ප්‍රතිකාර තිබේ ද?
දැනට පවතින තත්ත්වයට අනුව “monkeypox” සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ. ආසාදන සිදුවීමේ සම්භාවිතාව අවම කිරීමේ ක්‍රියා පිළිවෙත් හරහා රෝගයේ පැතිරී යෑම පාලනය කළ හැකි යි. ඒ නිසා කොවිඩ්-19 ඉදිරියේ ආරක්ෂිත පියවර අනුගමනය කළා සේ “monkeypox” හමුවේත් කටයුතු කිරීමට සිදු වෙනවා. වසූරිය සඳහා භාවිතා කළ වැක්සීනය “monkeypox” සඳහා 85% න් ප්‍රතිඵලදායක බව වාර්තා වුවත්, කොපමණ මාත්‍රා ප්‍රමාණයක් ලබා දිය යුතු ද යන්න තවම පැහැදිලි නැහැ. එක්සත් රාජධානිය දැනටමත් වසූරිය සඳහා වූ වැක්සීනය මිල දී ගෙන ඇති බව පැවසෙනවා.
එක්සත් ජනපදයේ තත්ත්වය සැලකීමේ දී ෆෙඩරල් රජය සතු ව තවමත් භාවිතා කළ හැකි වසූරිය එන්නත් තොගයක් තිබෙනවා. ඔවුන් වසූරිය වෙනුවෙන් සිදුකළ එන්නත්කරණ වැඩපිළිවෙළ නවතා දැමුවේ 1972 තරම් ඈත කාල වකවානුවක යි. එකල එන්නත ලබා ගත් පුද්ගලයන්ට තවමත් වසූරියට එරෙහි ප්‍රතිශක්තීකරණය ඇති බව එක්සත් ජනපදයේ සෞඛ්‍ය බලධාරීන් විශ්වාස කරනවා. මීට අමතරව, ප්‍රති වෛරස් ඖෂධ ද උපකාරී විය හැකි නිසා මෙය කොවිඩ්-19 තරම් අර්බුදයකට හේතු විය නොහැකි යන විශ්වාසය පවතිනවා.
කෙසේ නමුත්, තුන්වන ලෝකයේ රටවල් සැලකීමේ දී තත්ත්වය මීට වඩා වෙනස් විය හැකි යි. අවම සෞඛ්‍ය පහසුකම් යටතේ සිටින එම රටවලට කොවිඩ්-19 වසංගතයේ අවදානම සම්පූර්ණයෙන් පහ ව ගොස් නැති නිසා “Monkeypox” යනු තවත් අමතර පීඩනයක් පමණ යි. අප්‍රිකාවෙන් පසු රෝගය මූලිකව ම වාර්තා වීම යුරෝපයෙන් සිදු වූ නිසාත්, ඔවුන් දැනටමත් නිසි සෞඛ්‍ය පියවර ගනිමින් සිටින නිසාත්, ලෝකයේ අනෙකුත් කලාපවලට රෝගය පැතිර යෑමේ සම්භාවිතාව අඩු මට්ටමක පවතිවීයැ යි අපේක්ෂා කළ හැකි යි.
නවත ම තත්ත්වය
මෙම රෝගය හා සම්බන්ධ තොරතුරු තවමත් යාවත්කාලීන වෙමින් පවතිනවා. නවතම BBC වාර්තාවකට අනුව මැයි 21 වනවිට අවම වශයෙන් රටවල් 12 න් “Monkeypox” ආසාදිතයන් 80 ට වඩා තහවුරු කරගෙන තිබෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය තවත් සැක සහිත රෝගීන් පනස් දෙනකු පමණ විමර්ශනය කරමින් සිටිනවා. දැනට යුරෝපයේ රටවල් නවයකින් තහවුරු කළ රෝගීන් හඳුනා ගෙන තිබෙනවා. ඒවා අතරට ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය, නෙදර්ලන්තය, ඉතාලිය, ස්වීඩනය පවා ඇතුළත් වී අවසන්.
ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ප්‍රකාශයකට අනුව “Monkeypox” රෝගයේ මෑත කාලීන අවදි වීම, රෝගය ආවේණික නොවූ රටවල සිදු වන බැවින් එය අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකා තිබෙනවා. ඒ අනුව ආසාදිත පුද්ගලයන් සොයා ගැනීමට සහාය වීම, රෝග නිරීක්ෂණය පුළුල් කිරීම, වැනි කටයුතු සඳහා බලපෑමට ලක් වූ රටවල් සමඟ සමීප ව ක්‍රියා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරමින් සිටිනවා. ආසාදිත රෝගීන්ට වෙනස් කොට සැලකීමෙන් වැලකිය යුතු බවත් අවධාරණය කොට තිබෙනවා. එවැනි නුසුදුසු ක්‍රියා හමුවේ ආසාදිතයන් සැඟ වී සිටීම හෝ ප්‍රතිකාරවලට යොමු නොවී සිටීමට පෙලැඹීමේ හැකියාවක් තිබෙන අතර, හඳුනා නොගත් ව්‍යාප්තියක් දක්වා රෝගය වර්ධනය වීමට එය හේතුවක් විය හැකි යි.