පසුගිය මාස කිහිපය ඇතුළත අප රටේ දරුණු ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණා. ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන, ගෑස් වැනි අත්‍යවශ්‍ය දේවල් ගෙන්වීමට නොහැකි වීමෙන් රට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. පැය 10 ඉක්මවා සිදුවුණු විදුලි කප්පාදුව නිසා ජනතාවගේ දෛනික ජන ජීවිතය අඩාල වුණා.
ගෑස් සහ ඉන්ධන මිල දැරිය නොහැකි තරම් වැඩිවෙද්දී ජනතාව දැඩි අපහසුතාවකට පත්වුණා. ඉන්ධන මිලේ වැඩිවීමත් සමඟ ම ඊට සාපේක්ෂ ව බඩු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. නිතර නිතර මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය අහස උසට ඉහළ ගියා.
රටේ ප්‍රශ්න උත්සන්න වෙද්දී ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන මෙන් විරෝධතා රට පුරා ආරම්භ වුණා. ඉන් පසුව ගාලු මුවදොර පිටියට පැමිණි විරෝධතාකරුවන් එහි “ගෝඨාගෝගම” නමින් ගම්මානයක් පිහිටුවා පදිංචි වුණා.
ඉන් නොනැවතුණු විරෝධතාකරුවන් එවකට අගමැති තනතුර දැරූ මහින්ද රාජපක්ෂට ද ඉල්ලා අස්වන මෙන් බලකරමින් අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය අසල “මයිනාගෝගම” නමින් ගම්මානයක් ස්ථාපිත කළා.
ඒ අයුරින් අඛණ්ඩ ව ඉදිරියට ගිය අරගලයේ තීරණාත්මක පළමු දිනය බවට පත්වුණේ මැයි 9 වැනිදා යි. එදින ආණ්ඩුවට පක්ෂ මැර පිරිස් ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහර දීම හේතුවෙන් රට පුරා කෝලාහල ඇති වුණා. එම කෝලාහලවලින් පසුව අගමැති මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වීමට සිදුවුණා. ඉන් පසුව ද රටේ ජනතා ප්‍රශ්නවලට විසඳුමක් දීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට හැකිවුණේ නැහැ.
රටේ ඉන්ධන මිල තව තවත් වැඩිවීමත්, උග්‍ර ඉන්ධන හිඟයත් නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය ජූලි 9 වැනිදා රටේ සෑම ප්‍රදේශයකින් ම කොළඹට එකතු වුණු මහජනතාව දැඩි සටනකින් පසුව ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන ස්ථාන තුන අත්පත් කර ගත්තා.
ජූලි 9 වැනි දින සිදුවුණු එම දැවැන්ත අරගලයෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමට තීරණය කළා. ඊට දින 2කට පසුව එනම් ජූලි 11 වැනිදා කැබිනට් ඇමතිවරු සියලු දෙනා ම ඉල්ලා අස් වුණා.
අන්තර්කාලීන ආණ්ඩුවක් යනු?
එහි ප්‍රතිඵලයක් වශයෙන් අප රට තුළ අන්තර්කාලීන ආන්ඩුවක් පිහිටුවීම සඳහා මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතිනවා. අන්තර්කාලීන ආණ්ඩු සංකල්පය අප රටේ ජනතාවට එතරම් හුරු පුරුදු එකක් නොවෙයි. මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතින එම අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ කරුණු කිහිපයක් මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.
අන්තර්කාලීන ආණ්ඩුවක් යනුවෙන් හැඳින්වෙන්නේ සාමාන්‍ය කාලයක් සඳහා, සාමාන්‍ය ජනවරමක් සහිත නව ආණ්ඩුවක් තේරී පත්වන තෙක්, පවතින කෙටි කාලයකට ආණ්ඩුවේ කටයුතු මෙහෙයවීම සඳහා කෙටි කාලීන ව විධිමත් ලෙස පිහිටුවන තාවකාලික ආණ්ඩුවක්. පාලන තන්ත්‍ර බිඳ වැටීම, සාකච්ඡා මත එළඹෙන ගිවිසුම්, විශේෂ මැතිවරණ හෝ ජාත්‍යන්තර මැදිහත්වීම වැනි තත්ත්වයන් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් නිර්මාණය වීමේ හැකියාව තිබෙනවා.
අන්තර්කාලීන ආණ්ඩුවක කාල සීමාව
අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳ ව අර්ථ දැක්වීම තුළ එහි ආයු පිළිබඳව ද යම් සඳහනක් තිබෙනවා. එම අර්ථ දැක්වීමට අනුව අන්තර්කාලීන ආණ්ඩුවක් පැවතිය හැක්කේ සාමාන්‍ය කාලයක් සඳහා පමණ යි. එම සාමාන්‍ය කාලය රට තුළ පවතින තත්ත්වය අනුව මාස 6, මාස 12, මාස 18, මාස 24 දක්වා පවතින්නට පුළුවන්. මීට මාස කිහිපයකට ශ්‍රී ලංකා නීතිඥ යෝජනා කළේ මාස 18ක අන්තර්කාලීන ආණ්ඩුවක් අප රට තුළ ස්ථාපිත කළ යුතු බව යි. සාමාන්‍යයෙන් යම් රටක අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කරන්නේ අර්බුදයක් ඇති වුණු අවස්ථාවල දී යි. එවැනි අවස්ථාවක අර්බුදය යම් තරමකට සමනය වන තුරු අන්තර්කාලීන ආණ්ඩුව පවත්වා ගෙන යාම සිදුවෙනවා.
අන්තර්කාලීන ආණ්ඩු වර්ග
යොෂී ශේන් සහ ජුආන් ලින්ස් 1995 දී අන්තර්කාලීන ආණ්ඩු පිළිබඳ ලියූ Between States: Interim Governments in Democratic Transitions ග්‍රන්ථයේ අන්තර්කාලීන ආණ්ඩු 4ක් දක්වා තිබෙනවා. මේ එම අන්තර්කාලීන ආණ්ඩු වර්ග 4යි.
1). විපක්ෂයේ නායකත්වයෙන් යුත් තාවකාලික ආණ්ඩු
2). බලය බෙදාගැනීමේ අන්තර්කාලීන ආණ්ඩු
3). බලයේ සිටින භාරකාර ආණ්ඩු
4). එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අන්තර්වාර ආණ්ඩු
යම් රටක පවතින අර්බුදයේ ස්වභාවය අනුව ඉහත අන්තර්කාලීන ආණ්ඩු පිහිටුවීම සිදුවෙනවා.
අන්තර්කාලීන ආණ්ඩුවකට පැවරෙන වගකීම්
ඉහත සඳහන් කළ ආකාරයට පිහිටුවන අන්තර්කාලීන ආණ්ඩු, දේශපාලන පක්ෂ ගණනාවක් නියෝජනය කරන මහජන නියෝජිතයන්ගෙන් සමන්විත වෙනවා. බොහෝ විට මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පිහිටුවා ගන්නා තෙක් අන්තර්කාලීන ආණ්ඩුව බලයේ සිටිනවා. එනිසා මැතිවරණයක් මඟින් සුදුසු පාලක පක්ෂයක් තෝරා ගන්නා තෙක් අන්තර්කාලීන රජය නියෝජනය කරන සියලු පාර්ශව අදාළ රට තුළ පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් වැඩපිළිවෙළ සකස් කළ යුතු යි. එවැනි රජයක් අතින් ඉටුවිය යුතු ප්‍රධානත ම කාර්යභාරයන් කිහිපයක් මේ.
1). රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම
2). රටේ ආර්ථිකය ස්ථාවර කිරිම
3). රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම
4). රටේ නීතිරීති පද්ධතිය ආරක්ෂා කරමින් පාලනය ඉදිරියට ගෙන යාම
අන්තර්කාලීන ආණ්ඩුවකට එම වගකීම් ඉටුකිරීමට ලෙහෙසි පහසු වන්නේ නැහැ. ඒ අන්තර්කාලීන ආණ්ඩුවක් කෙරෙහි ජන සමාජය තුළ එතරම් පැහැදීමක් නොමැතිකම නිසා යි. එයට ප්‍රධානත ම හේතුව වන්නේ ජනතා අප්‍රසාදයට ලක් වුණු දේශපාලනඥයන් පවා අන්තර්කාලීන ආණ්ඩුවල සිටීම යි.
එනිසා අන්තර්කාලීන ආණ්ඩුවක් මුලින් ම කළ යුත්තේ ජනතා විශ්වාසය ගොඩ නඟා ගැනීම යි. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ ජනතා හිතවාදී පාලනයක් ගෙන යාමට සූදානම් බව ප්‍රායෝගික ව ඔප්පු කර පෙන්වීම යි. එවැනි තත්ත්වයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවකට ජනතා විශ්වාසය දිනා ගෙන රට ඉදිරියට ගෙන යාමේ හැකියාව පවතිනවා.
ඈත අතීතයේ බිහිවුණු අන්තර්කාලීන ආණ්ඩු
අන්තර්කාලීන ආණ්ඩුවලට සමාන පාලන ක්‍රම ඈත අතීතයේ පටන් පැවතුණා. ඒවා මුල් කාලයේ දී ස්ථාපිත කළේ යම්කිසි විප්ලවයක් අවසානයේ සිට නැවතත් රාජාණ්ඩුව බලයට පත් වීම දක්වා වුණු කාලය තුළ බව පැරණි මූලාශ්‍රවල දක්වා තිබෙනවා. 1641-49 ඉංග්‍රීසි විප්ලවය සමයේ අයර්ලන්තයේ පරිපාලනයට අදාළ තීරණ ගැනීම සඳහා සිදු වුණු අවිධිමත් රැස්වීම් අන්තර්කාලීන ආණ්ඩුවකට සමාන ක්‍රමවේදයක්. උතුරු අමෙරිකාවේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි තිබුණු බ්‍රිතාන්‍ය යටත් විජිත 13ක නියෝජිතයන්ගේ සමුළුවක් 1776 දී එරට අන්තර්කාලීන ආණ්ඩුව බවට පත් වුණා. ඒ ආකාරයට මීට සියවස් ගණනාවකට පෙර යුගවල දී පවා අන්තර්කාලීන ආණ්ඩුවලට සමාන පාලන ක්‍රමවේදයන් ලෝකයේ ඇතැම් රටවල් තුළ දක්නට ලැබුණා.
පසුගිය සියවසේ බිහිවුණු අන්තර්කාලීන ආණ්ඩු
පසුගිය සියවස තුළ ලෝකයේ විවිධ රටවල් ආශ්‍රිත ව බිහිවුණු අන්තර්කාලීන ආණ්ඩු පිළිබඳව කතා කිරීමේ දී 1946 දී ඉන්දියාවේ ස්ථාපිත කළ අන්තර්කාලීන ආණ්ඩුව අමතක කරන්නට බැහැ. එම අන්තර්කාලීන රජය සඳහා ඉන්දීය ජාතික කොංග්‍රසය, සමස්ත ඉන්දීය මුස්ලිම් ලීගය යන ප්‍රධාන දේශපාලන පක්ෂ සම්බන්ධ වුණා. ඊට අමතර ව පක්ෂවලට අයත් නොවුණු ස්වාධීන මන්ත්‍රීවරුන් ද එම ආණ්ඩුවට සම්බන්ධ වුණා.
එම ආණ්ඩුව පිහිටුවන විට ආචිබෝල්ඩ් වේවල් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙසින් කටයුතු කළා. එනිසා එම අන්තර්කාලීන ආණ්ඩුවේ මුලසුන හිමිවුණේ ඔහුට යි. ඔහුගෙන් පසුව ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙසින් පත් වුණු මවුන්බැටන් සාමිවරයා කෙටි කාලයක් අන්තර්කාලීන ආණ්ඩුවේ මුලසුන දැරුවා. එලෙස ක්‍රියාත්මක වුණු ආණ්ඩුවේ උප සභාපති තනතුර ශ්‍රී ජවහර්ලාල් නේරුට හිමි වුණා. එම අන්තර්කාලීන පාලනය 1946 සැප්තැම්බර් 2-1947 අගෝස්තු 15 කාලය තුළ පැවතුණා.
ගෙවුණු දශක කිහිපය තුළ අප්‍රිකානු රටවල් ආශ්‍රිත ව වැඩි වශයෙන් අන්තර්කාලීන ආණ්ඩු දක්නට ලැබුණා. 1958-1962 කාලය තුළ ඇල්ජීරියාවේ, 1985-1989 කාලයේ නැමීබියාවේ, 1991-1995 කාලයේ ඉතියෝපියාවේ, 1993 දී එරිත්‍රියාවේ, 2003-2006 කාලයේ කොංගෝ ජනරජයේ, 2003-2006 කාලයේ ලයිබීරියාවේ, 2011-2012 කාලයේ ලිබියාවේ ස්ථාපිත කළ අන්තර්කාලීන ආණ්ඩු ඒ සඳහා උදාහරණ ලෙසින් දක්වන්නට පුළුවන්.
ඊට අමතර ව ආසියාවේ ඇෆ්ගනිස්තානය, මියන්මාරය, යේමනය, සිරියාව වැනි රටවල් ආශ්‍රිතව ද, යුරෝපයේ බෙලරූස්, ස්පාඤ්ඤය, අයර්ලන්තය, ග්‍රීසිය, තුර්කිය වැනි රටවල් ආශ්‍රිත ව ද, ලතින් අමෙරිකාවේ වෙනිසියුලාව සහ හයිටි යන රටවල් ආශ්‍රිත ව ද අන්තර්කාලීන ආණ්ඩු බිහි වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම
2022 අප්‍රේල් මාසය උදාවෙද්දී අප රට තුළ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබුණා. එවැනි තත්වයක් යටතේ රට තුළ අන්තර්කාලීන ආණ්ඩුවක් බිහිවිය යුතු බව ඇතැම් විද්වතුන්ගේ අදහස වුණා. ඇතැම් පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් අන්තර්කාලීන ආණ්ඩුකට විරෝධය දක්වමින් කතා කරන ආකාරය මාධ්‍ය මඟින් අපට දැකගන්නට ලැබුණා. 2022 මැයි 9 වැනිදා රට තුළ ඇති වුණු ගැටුම්කාරී තත්ත්වයත් සමඟ ම අග්‍රාමාත්‍ය ධූරය දරමින් සිටි මහින්ද රාජපක්ෂ එම ධුරයෙන් ඉල්ලා අස් වුණා.
ඒ සමඟ ම අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට යන බවට කසුකුසුවක් ද රට පුරා පැවතුණා. එම අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂයෙන් ඉල්ලා සිටියේ අන්තර්කාලීන ආණ්ඩුවක් බිහිකිරීම සඳහා එකතු වන ලෙස යි. එයට එකඟ නොවුණු විපක්ෂය පවසා සිටියේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුණොත් අන්තර්කාලීන ආණ්ඩුවක් සෑදීමට එකතු වන බව යි.
එම අවස්ථාවේ සිය ධූරයෙන් ඉවත් නොවුණු ජනාධිපතිවරයා, අගමැති තනතුර සඳහා රනිල් වික්‍රමසිංහ අලුතින් පත් කළා. ඉන් අනතුරුව අලුතින් කැබිනට් මණ්ඩලයක් පත් කර සිය පාලනය දිගට ම කරගෙන ගියා.
ඒ අයුරින් සිදුවුණු තනතුරු මාරුවෙන් පසුව ද රටේ ප්‍රශ්න විසඳුණේ නැහැ. ඉන්ධන අර්බුදය, ගෑස් අර්බුදය, උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යාම වැනි තත්ත්වයන් උග්‍ර වීම හමුවේ රටේ ජනතාව තව තවත් පීඩාවට පත් වුණා. රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට නොහැකිව තිබියදීත් ජනාධිපතිවරයා දිගින් දිගට ම සිය තනතුරේ රැඳී සිටීම හේතුවෙන් ජනතාව දැඩි ලෙස අප්‍රසාදය පළ කළා.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ජූලි 9 වැනිදා රටේ සියලුම ප්‍රදේශවලින් ජනතාව කොළඹට පැමිණ ජනාධිපතිවරයාට එරෙහි ව විරෝධය පළ කළා. එම විරෝධතාවලින් පසුව ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කළා. තවමත් නිල වශයෙන් ජනාධිපතිවරයා ඉල්ලා අස්වී නැතත් ජූලි 13 වැනිදා එම ඉල්ලා අස්වීම නිල වශයෙන් සිදු කරන බව ඔහු පසුගිය ජූලි 9 වැනිදා ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීම කළ යුතු යි. ජනාධිපති තනතුර පුරප්පාඩු වීමෙන් පසුව අලුත් ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගන්නා ආකාරය පිළිබඳව අපි මීට පෙර ලිපියකින් කතා කළා. එම ලිපිය මේ සබැඳිය ඔස්සේ කියවන්නට පුළුවන්.
අද වන විට ඉක්මනින් විසඳුම් ලබා දිය යුතු ප්‍රශ්න රැසක් අප රටේ පවතිනවා. එනිසා මේ මොහොතේ සෑම පක්ෂයක ම සිටින කාර්යශූර මහජන නියෝජිතයන් එකතු වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවාගෙන රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කළ යුතු බවයි ජනතා අදහස. අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ දී මහජන අප්‍රසාදයට පත්ව සිටින උදවිය එකතු කර නොගැනීමට අදාළ පාර්ශව වග බලා ගත යුතු වනවා. අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විවිධ පක්ෂ අතර සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින බව විවිධ මාධ්‍ය මඟින් වාර්තා කළා. එම සාකච්ඡා කඩිනම් කර ඉක්මනින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවාගෙන රට තුළ පවතින දැවෙන ගැටලුවලට ඉක්මන් විසඳුම් ලබාදීමට උත්සාහ කිරීමයි කළ යුතු වන්නේ.