අලුතින් ව්‍යාපාරයක්, Page එකක් පටන් ගනිද්දී එයට Logo එකක් අවශ්‍ය වෙනවා. එතකොට අපට මුලින්ම මතක් වෙන්නේ සෙට් එකේ ඉන්න Photoshop දන්න යාළුවාව තමයි. ඒත් දාහක් වැඩ අස්සේ එයාට කරදර කරනවාට වඩා මේ ගෙන එන වෙබ් අඩවිවලින් ස්වයංක්‍රීයවම Logo එකක් හදාගන්න පුළුවන්. මේ සඳහා කිසිදු ග්‍රැෆික් දැනුමක් අවශ්‍ය නොවන අතර, Logo Design කරන අයට පවා අලුත් අදහස් ගන්න මේ වෙබ් අඩවි පාවිච්චි කරන්න පුළුවන්.
කැමැත්ත අනුව Logos රැසක් සකසා දෙන Launchaco
මෙය කිසිම ග්‍රැෆික් නිර්මාණ දැනුමක් නොමැතිව ඔබේ අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයටම Logo රැසක් සකසා ගන්නට හැකි නොමිලේම සේවා සපයන වෙබ් අඩවියක්.
ඔබේ ව්‍යාපාරයේ නම ලබා දුන් විට එය විවිධ අකුරු විලාස (Fonts) ලබා දෙනවා. එමඟින් ව්‍යාපාරයේ ස්වභාවය අනුව සහ ඔබේ හිතේ ඇති පෙනුම ලබා දෙන අකුරු රටාවන් කිහිපයක්ම තෝරා ගන්නට පුළුවන්. මෙලෙස ඔබ කැමති Fonts කිහිපයක් තෝරා දීමෙන් ඔවුන්ට Logo රැසක් යෝජනා කරන්නට හැකියාව ලැබෙනවා. අනතුරුව වඩාත් ගැලපෙන වර්ණයක් තෝරා දිය යුතු වෙනවා. නිල්, දුඹුරු, රෝස වැනි චාම් වර්ණවල තද වර්ණයේ සිට ලා වර්ණය දක්වා වර්ණ ලබා දෙන අතර අවස්ථානුකූල සහ ඔබ කැමති වර්ණයක් තෝරා දිය හැකියි.
අවසානයේ අවශ්‍ය නම් අයිකන 3ක් දක්වා තෝරා දෙන්නට පුළුවන්. අයිකන තේරීමේ දී එහි ඉහළ ඇති Search තීරයෙන් සොයා ගැනීම පහසු යි. නැත්නම් දකුණේ සිට වමට ඉතා සෙමින් අහඹු අයිකන ගලා යන ආකාරය බොහෝ වේලාවක් බලාගෙන ඉන්නට සිදු වෙනවා. අයිකනයක් ඔබට අවශ්‍ය නැත්නම් කිසිත් තෝරන්නේ නැතිව ඉදිරියට යන්න.
දැන් ඔබට ඔබේ කැමැත්තට ගැලපෙන Logos සිය ගණනක් ගෙන එන්නට ඔවුන් කටයුතු කරනවා. මේවායෙන් ඔබේ සිත්ගත් ලෝගෝව තෝරාගෙන එයට වෙනස්කම් කරන්නට සහ බාගත කරගන්නට හැකි වෙනවා.
පිවිසෙන්න: launchaco.com/logo
Logo හදන්න App එකක් – Logo Foundry
පරිගණකයක් භාවිතා නොකරන කෙනෙක්ට හෝ Photoshop ගැන දැනුමක් නැත්නම් ඉතාම පහසුවෙන් මේ ඇප් එකෙන් Logos හදන්න පුළුවන්. ඇන්ඩ්‍රොයිඩ් මෙන්ම iOS සඳහා ද මෙය නොමිලේ බාගත කරගත හැකියි.
Fonts විශාල සංඛ්‍යාවක් සහ ආරුක්කු හැඩයට/කොඩියක හැඩයට වැනි අකුරු ඇතුළත් කිරීමේ රටාවන්, අකුරු අතර පරතරය, Layers භාවිතා කිරීමමේ හැකියාව ඇතුළු අකුරුවලින් ලෝගෝවකට දිය හැකි අරුත හොඳින්ම නිරූපණය කරන්නට මෙහි පහසුකම් රැසක් සලසා තිබෙනවා. Logo එකට එකතු කිරීම සඳහා විශේෂ සලකුණු (Icon ආදිය) සහිත සම්පූර්ණ 3000කට වැඩි එකතුවක් මෙහි අඩංගු වන නිසා ඔබේ ව්‍යාපාරයට ගැලපෙන රූප සොයා ගැනීම ඉතාම පහසු යි. ඒවා Search කර පෙරහන් කරගන්නට ද හැකියාව තිබෙනවා. මේ දේවල් සියල්ල එහා මෙහා කොට තැබුවාම ඔබේමම ලෝගෝ එකක් විනාඩි කිහිපයකින් හදාගන්නට හැකි වේවි.
හදාගත් Logo එක JPG එකක් ලෙසස හෝ විනිවිද පෙනෙන PNG එකක් හෝ ලෙස Save කරගන්නට පුළුවන්. Templates හදාගත හැකි නිසා ඔබ Logo Designer කෙනෙක් නම් පරිගණකයක් නොමැතිවම නිර්මාණ සැකසීම හා විකිණීම පරිගණකයක් නොමැතිව මේ ඇප් යොදාගෙනම කළ හැකියි. මෙහි විවිධ අය බෙදාගන්නා නිර්මාණ බලන්නටත් හැකි නිසා ඒවායෙන් නව අදහස් ගන්නට/ ඉගෙන ගන්නට ඔබටත් හැකි වෙනවා.
නොමිලේ SVG ලෝගෝ ආකෘති දෙන Logo Dust
බලපත් හරහා භාවිතයට නිදහස්, වෙනස්කම් කර යළි බෙදා හරින්නට සහ වානිජ්‍ය කටයුතු වලට ද භාවිතයට අවසර දෙමින් මේ වෙබ් අඩවිය අවසර දෙනවා. FairPixels නම් ලෝගෝ නිර්මාණ ආයතනයක් වන ඔවුන් සතුව භාවිතයට නොගෙන ඉතිරිවූ Logos සියල්ල මෙලෙස නිදහස් භාවිතය සඳහා ලබා දී තිබෙනවා. මේවා අවශ්‍ය වාරයක් බාගත කරගන්නට හැකි වන අතර ඔබේ නිර්මාණවලට පදනමක් හෝ එය හැඩ කරවා ගන්නට මෙහි ඇති ලෝගෝ කොටස් භාවිතයට ගත හැකියි.
බාගත කරගැනීමේදී එම ගොනු ZIP එකක් ලෙසත්, එහි ඇතුලත SVG එකක් ලෙසත් ලැබෙන නිසා ප්‍රමාණය වෙනස් කිරීමේදී බොඳ වීම් සිදු වන්නේ නැහැ. වර්ණ වෙනස් කිරීම් පවා ඉතා පහසුවෙන් කළ හැකි නිසා මෙහි ඇති දේවල් එක් කිරීමෙන් ඔබට නව අපූරු ලෝගෝවක් සකසා ගත හැකි වේවි.
පිවිසෙන්න: logodust.com
Powerpoint වලින් හැදූ Logos නොමිලේ ලබාදෙන FreeMinimalLogos
Photoshop හා Illustrator දැනුමක් නොමැති කෙනෙක්ට Word හෝ Powerpointවලින් වුණත් Logos හදන්න පුළුවන්. එහි ඇති හැඩතල, විවිධ Font භාවිතයේ පහසුකම, ඡායාරූප සංස්කරණ හැකියාවන් ආදිය ඕනෑම කෙනෙක්ට පහසුවෙන් අවබෝධ කරගත හැකි නිසා Logo එක එහි සකසා පිටතට Image එකක් ලෙස Export කරගන්නට පුළුවන්.
FreeMinimalLogos වෙබ් අඩවිය නොමිලේ සහ භාවිතයට නිදහස්, වෙනස් කිරීමට හා බෙදා හැරීමට අවසර සහිතව ලෝගෝවල කොටස් ලබා දෙනවා. මොවුන් ලෝගෝ නිර්මාණකාර සේවාවක් සපයන අතර, එයට සමගාමීව මේ සේවාව ද පවත්වාගෙන යනවා. මෙහි ඇති Logos බාගත කරගත් විට ලැබෙන්නේ .pptx හෙවත් Powerpoint ගොනුවක් ලෙස යි. ඔබට අවශ්‍ය නම් එහි තබාගෙනම ඒවා edit කිරීම හෝ Photoshopවල භාවිතයට ඡායාරූප ගොනුවක් වශයෙන් පිටතට ගැනීමටත් හැකියාව තිබෙනවා.
පිවිසෙන්න: freeminimallogos.com
හදාගත්තු Logo එක Check කරන්න AI කෙනෙක් දෙන Logo Rank සේවාව
ඉහත ක්‍රමවලින් ඔබ හදාගත් ලොගෝ එකක් කෙතරම් සාර්ථක ද යන්න පරීක්ෂා කරගන්න මේ Tool එක පාවිච්චි කරන්නට පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් කෙනෙකුට/ ආයතනයකට කියලා Logos හදා ගනිද්දී ඔවුන් ලබා දුන්නු සාම්පල කිහිපයක සාර්ථක බව මැන ගැනීමට හෝ ඉන් වඩාත්ම හොඳ එක මොකක්දැ යි ඔබට තෝරා බේරා ගන්නට අපහසු නම් Logo Rank ඊට සහාය වේවි.
Logo මිලියනයකට අධික ප්‍රමාණයක් ලබාදී පුහුණු කරන ලද මෙම AI එකට, දෙන ලද ලෝගෝවක ඇති ගුණ අගුණ අනුව ඊට ලකුණු ලබා දෙන්නට පුළුවන්. මෙය යොදා ගන්නා නිර්ණායක වන්නේ අනන්‍යතාව, පැහැදිලි බව, වර්ණ යනාදිය යි.
‘අනන්‍යතා’ අගය වැඩි වත්ම, ලොව ඇති වෙනත් ප්‍රසිද්ධ ලෝගෝ වලට වඩා එය සුවිශේෂී ද යන බව ඔබට මිනුම් කරගත හැකියි. වෙනත් කෙනෙක් ලෝගෝව සකසා දුන්නා නම් ඔවුන් වෙනත් ලෝගෝවක කොටස් වැඩි වශයෙන් යොදාගෙන රවටා ඇති වග ද මින් දැනගත හැකියි. ‘පැහැදිලි බව’ මඟින් දුර සිටින කෙනෙකුට ලෝගෝව දුටු විට එය හඳුනාගත හැකි ද යන්න නිරූපණය වෙනවා. මේ සඳහා එය බොඳ කර පෙන්වමින් ඔබටම එය තීරණය කරගන්නටත් අවස්ථාව සලසනවා. ‘වර්ණ’ යන සාධකය මඟින් බලන්නේ වෙනත් දේවල් අතරින් ලෝගෝව කැපී පෙනෙන එකක් ද යන වග යි. ප්‍රසිද්ධ ලෝගෝවල උදාහරණ ලබා දෙමින් එය ලකුණු ලබා දෙනවා. අවසාන වශයෙන් මේ තුනම සලකා, සමස්ත ලකුණු ප්‍රමාණයක් ද ලබා දෙනවා.
පිවිසෙන්න: brandmark.io/logo-rank/
ඉතින් මේ තරම් අඬු ගොඩක් තියාගෙන ලෝගෝ හදන්න අත පුච්චා ගන්නේ මොකට ද? ඔබේ අසරණ Designer යාළුවාට නිදහසේ ඉන්න දීලා, කිසිම වියදමක් නැතිව ඔබටම දැන් අපූරු ලෝගෝ එකක් හදාගෙන ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්.