Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අප ජීවත් වන්නේ පරිගණක දෘෂ්‍ය මායාවක ද?

අප ජීවත් වන්නේ දෘෂ්‍ය මායාවකදැයි සිතීම වර්තමාන තාක්ෂණයත් සමඟ සිතට නිතැතින්ම නැගෙන දෙයක්. කිසියම් ඡායාරූපයක් පරිගණක ගත කළ පමණින් එම රූපයට අදාල ත්‍රිමාණ රූපය ස්වයංක්‍රීයව ගොඩනැගී ඊට වෙනත් කෙනෙකුගේ සත්‍ය මුහුණකින් ලබා දෙන මුහුණේ හැඟීම් ලබාගෙන සජීවීකරණය කළ හැකි තරම් දියුණුවක් අද ලබා තිබෙනවා. ක්‍රම ක්‍රමයෙන් එදිනෙදා ජීවිතය පහසු කරගැනීම සඳහා කෘත්‍රීම බුද්ධියක් සංවර්ධනය කරමින්, ඊට යාන්ත්‍රික ඉගෙනීම ලබාදී මෙතෙක් කල් පැවති දත්ත කැවීම හරහා අවබෝධය ලබන පරිගණකයක් වෙනුවට, තමා මුහුණ දෙන දේවල් හරහා යමක් ඉගෙන ගෙන අවබෝධයක් ලබාගෙන නවමු දෙයක් කළ හැකි ආකාරයේ පරිගණක පද්ධති මේ වන විටත් ගූග්ල්, ඇපල්, ටෙස්ලා වැනි සමාගම් නිපදවනු ලබනවා. ඊට සරලම උදාහරණය ලෙස ඔබේ ඇපල් දුරකථනයේ සිටින සිරී පෞද්ගලික සහායිකාව සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවල සිටින ගූග්ල් ඇසිස්ටන්ට් දක්වන්න පුළුවන්. ඉතින් මිනිසා, සත්ත්වයා සහ ගහකොළ කියන්නේ අපිටත් වඩා දියුණු ජීවීන් පිරිසකගේ පරිගණකයක් තුළ වෙසෙන පිරිසක් වන්නටත් පුළුවන්.

පරිගණක ක්‍රීඩාවක සිර වුණොත්?

alienwarearena.com

ඔබ සාම්ප්‍රදායික පියවරෙන් පියවරට, ඉලක්ක ජයගනිමින් යන ආකාරයේ පරිගණක ක්‍රීඩා වෙනුවට GTA Vice City වැනි අන්තර්ක්‍රියාකාරී (ඔබට ඔවුන්ගේ විධාන වලට අවනත නොවී නගරයේ හැසිරෙමින් ඕනෑම දෙයක් කළ හැකි ආකාරයේ) පරිගණක ක්‍රීඩාවල නිරතවී තිබෙනවා නම් මෙය ගැන සිතීම ටිකක් පහසුවක් වේවි. එසේත් නොමැති නම් කුඩා කල ‘රූපවාහිනිය තුළ මිනිසුන් සිටිනවා’ යැයි හෝ ඔබට සිතී ඇති. ඉතින් එවන් ආකාරයේ පරිගණක ක්‍රීඩාවක සිරවන්නට සිදු වුවොත් කුමන ආකාරයේ දෙයක් සිදුවිය හැකිදැයි සිතාගන්නටවත් බැහැ. මුලදී ඇතිවන වෙනස නිසා ඉන් ගැලවෙන්නට ක්‍රම කල්පනා කළත්, එයට කිසිදු මගක් නැතැයි ඔබට පෙනී ගිය වහා ඊට දක්වන උත්සාහය අතහැර දමනවා. ඉතින් කාලයක් එහිම ජීවත් වන විට එදිනෙදා දවස ගෙවා දැමීම, බඩගිනි වන විට කන්නට යමක් සොයා ගැනීම, කෑම ලබා ගන්නට රැකියාවක් කරන්නට සිදුවීම, ඒ අතරතුර ඇතිවන වෙනත් ආශාවන් එනම්, පාරේ යන වාහන දුටු විට තමාටත් එයින් එකක් තිබුණා නම් යැයි සිතීම, සිත ගිය පුද්ගලයෙක් සමඟ රමණය කරන්නට සිත් පහළවීම වැනි නොයෙක් ආකාරයේ දේවල් ඔබට එහි සිරවීමෙන් එළියට එන්නට නොහැකි වුවහොත් අනිවාර්යයෙන් කරන්නට සිත් දෙනවා.

දැනට බටහිර විද්‍යාව සොයාගෙන ඇති අන්දමට ඕනෑම ද්‍රව්‍යයක ඇති කුඩාම කොටස වන්නේ පරමාණුවයි. එයත්, නියුට්‍රෝන – ප්‍රෝටෝන මූලික කරගෙන ඉලෙක්ට්‍රෝන ද ඇසුරු කරගනිමින් සැකසී තිබෙනවා. ආවර්තිතා වගුවේ සිය ගණනක් මූලද්‍රව්‍ය තිබුණත්, අපි ඒවා විවිධ නම් වලින් හැඳින්වූවත් ඒ සියල්ලකම තිබෙන්නේ මේ තැනුම් ඒකකයි. ඔබ ඔබේ දෙසම සිහිකර බලන්න. මගේ මුහුණ, අත, කකුල් ලෙස කියන මේ හැම තැනකම තිබෙන්නේ මේ පරමවූ අණු එකතුවීමෙන්, රාශිගත වීමෙන් මවනු ලබන නව ද්‍රව්‍යයකුයි. මෙය අපි දකින්නේත් පරමාණු වලින් සැකසුණු ඇසකින් සහ මොළයකින්. මොළයට; “මොළය” යැයි නම දාගත්තේත් මොළයමයි. පරිගණකයක ක්‍රියාකාරීත්වය ඇති වන්නේත් මේ ආකාරයෙන්මයි. එය ක්‍රියාත්මක කරන කෙනෙක් අභ්‍යන්තරයේ නැහැ. එහෙත් අපි බොත්තමක් එබූ සැණින් තමාගේ කොටස් එකින් එක හඳුනාගෙන, හාඩ් ඩිස්කය නමැති මතකයේ ගබඩා කළ ඇරඹීමේ පටිපාටිය අනුගමනය කරමින් එය වැඩතලය තෙක් පණ ගැන්වෙනවා. එහි කිසියම් ගැටළුවක් තිබෙනවා නම් ඒ බව අපට දැනුම් දෙනවා. පරිගණකය කෑලි කෑලි ගලවා වෙන් කළොත් මේ කිසිවක් සිදුවන්නේ නැහැ. අපේ අත, පය, හිස, කඳ ගලවා දැමුවත් ‘කය’ ක්‍රියාත්මක වන්නේ නැහැ. එතකොට මෙය ක්‍රියාත්මක කරන්නේ කවුද?

අතීත සංකල්පනා

theharekrishnamovement.org

 අතීතයේ සිටම ආදි මිනිසාගේ පටන් මේ ලෝකය කිසියම් කෙනෙක් විසින් පාලනය කරනු ඇති බවත්, ඔහුව සතුටු කිරීමෙන් තමාට යහපතක් සිදුවන බවත් සිතෙහි කිඳා බැසගත් දෙයක්. මේ නිසා ගස්, ගල් වන්දනා කිරීම්, සත්ත්වයන් බිලි පූජා ලෙස ලබාදීම් වැනි වෙනත් කෙනෙක්ගේ ජීවිත ආශාව පවා පාවා දෙමින් තමාට තෘප්තියක් සෙවීමේ ක්‍රියාවලියෙහි හැම කෙනෙක්ම නියුක්ත වී ඉන්නවා. ඇතැමුන් අද බිලි පූජා නොකළත් තමා සමඟ එකට වැඩ කරන කෙනෙක්ට, අසල්වාසියෙක් හෝ මිත්‍රයෙක්ට වුවත් වළ කපා තමාගේ වාසිය සලසා ගන්නට පෙළැඹෙනවා. එහෙත් ජීවිතය ගැන නවමු මානයකින් බලන්න පහසුම ක්‍රමය නම් ‘පිටත සිට බැලීම’ යි. එනම් අභ්‍යවකාශයේ එපිට සිට එහි ඇති සූර්යයා මෙන් දහ ගුණයකටත් වඩා විශාල තරු, ග්‍රහලෝක අතරෙහි, විවිධ ප්‍රමාණයන්ගෙන්වූ සිය දහස් ගණන්වූ නිමක් නොපෙනෙන විශ්වයක බ්‍රහස්පතිටත් වඩා කුඩා ග්‍රහලෝකයක සිට එහිම එල්බීගත් කුරා කුහුඹුවන් කොටසක් පමණයි මේ ඔහු, ඇය, මිනිසුන්, මම කියලා විවිධ පද වලින් අපි හඳුන්වන්නේ.

නූතන සාහිත්‍යමය පසුබිම

jonnegroni.com

 මෙම ‘අප පරිගණකයක කොටසක්’ යැයි කීම මේ වන විට බටහිර රටවල ඉතා විශාල වශයෙන් කතාබහට ලක් වන දෙයක්. මෑතදී බිහිවූ බොහෝ සමාජ කතිකාවතට තුඩුදුන් සාහිත්‍ය නිර්මාණ, චිත්‍රපටවල පවා මෙය බොහොම දකින්නට ලැබුණා. උදාහරණයක් වශයෙන් ඉන්සෙප්ෂන් නමැති චිත්‍රපටයේ ඔබට තවත් කෙනෙක්ගේ සිහිනයක් තුළට ගොස් එහි ජීවත් විය හැකි බවත් එම සිහිනය තුළ පිටත ජීවිතයට වඩා කාලය අඩකින් ගතවන බවත්, එම සිහින තුළ සිටින පුද්ගලයන්ගේත් සිහින වලට පිවිසිය හැකි බවත් යනාකාරයෙන් නවමු මානයක් ගෙන ආවා. එසේම කැමති ෆැන්ටසියක් තෝරාගෙන එහි ජීවත් විය හැකි තාක්ෂණයක් හඳුන්වාදෙන ‘ටෝටල් රිකෝල්’, කිහිප දෙනෙක්ට ක්‍රීඩා කළ හැකි පරිගණක ක්‍රීඩාවක් තුළට පිවිස එහි ජීවත් වීම සහ අභියෝග ජය ගැනීම දක්වන ‘එක්සිස්ටන්ස්’, මෑත කාලීන දරුවන්ටම පමණක් සීමා නොවූ විද්‍යා ප්‍රබන්ධ කාටූන් මාලාවක්වූ ‘රික් ඇන්ඩ් මෝර්ටි’ වැනි කෘතීන් මේ ගැන බොහොම කතා වෙනවා.

මෙයින් මිදිය හැකි ද?

productfocus.com

හේතු-ඵල වාදී දර්ශනයන් හරහා ජීවිතය යන අර්ථ දැක්වීමට හොඳ කරුණු සපයනවා. එහි මූලික කරුණ වන කිසියම් දෙයක් තිබෙනවා නම් එය ඇතිවීම සඳහා කුමක් හෝ මූලික හේතුවක් තිබිය යුතු බව කියනවා. ඉතින් මේ තර්කය සම්පූර්ණයෙන් ම පරිගණකයක් තුළ ජීවත් වීම, දෙවියන් හෝ කිසියම් පුද්ගලයකු විසින් මවන ලදැයි යන තර්ක වලට ප්‍රශ්නයක් නගනවා: “එහෙනම් අප මවන ලද පුද්ගලයා ඇතිවූයේ කෙසේද?” යනුවෙන්. එසේ නම් ඔවුන්ව සැකසූ පිරිසත් පරිගණකයක් තුළ ඔවුන්ව රඳවාගෙන සිටිනවා විය හැකිදැයි ඔවුන් ද සිතනවා ඇති. අපි ලෝකය දකින්නේ අපේ ඉන්ද්‍රියයන් මුල් කරගෙනයි. ඇස හරහා රූප දකිනවා, ඔබ මේ ලිපිය කියවනවා. කණ හරහා බාහිර ශබ්ද අසා ඒ රූපය සමඟ ගලපමින් ඔහුට ඇත්තේ මෙවන් හඬක්යැයි ගලපා ගන්නවා. ඇසෙන් දුටු පිඟානේ ඇති ආහාරය දිවෙන් රස බලා මේ රස යැයි සිතාගනවා. (නමුත් කට ඇතුලේ කෙළ සමඟ මුසුව ජරාජීර්ණවූ වමනයක රස බලන බවක් අපට සිහිවන්නේ නැහැ.) එසේම දකින දේ ස්පර්ශ කර ගැනීමෙන් ඒවායේ හැඩය සත්‍යයක් ම යැයි සිතා ගන්නවා. දෘෂ්‍යාබාධිත හෝ වෙනත් ආබාධයක් ඇති කෙනෙක් වුවත් ලෝකය හඳුනාගන්නේ තමාගේ සංවේදනයන්ට අනුව යමිනුයි. අන්ධයා කිරෙහි සුද කී හැටි, අලියා හඳුනාගත් හැටි ආදී වශයෙන් අපි කුඩා කල අසා තිබෙන කථා කිසිවක් රසවින්දනය උදෙසාම ගොඩ නැගුණු ඒවා නොවෙයි. එය පිටුපස මහා දාර්ශනික කරුණු ගොන්නක් තිබෙනවා. ඔබ රතු පාට පෙන්වා දරුවාට මේ රතුපාට යැයි උගැන්වූ නිසා ඔහුත් එයට එහෙම කියාවි. එහෙත් ඔබ දුටු වර්ණය එලෙසින්ම ඔහුට පෙනෙනවා යැයි කාට නම් කිවහැකිද? කොහොම නමුත්, ‘ලෝකය’ යනු හුදෙක් අපේ සංවේදනයන් හරහා අප මේ මේ ආකාරයෙන් තිබෙන්නක් යැයි හඳුනාගත් දෙයක් පමණයි. මෙයින් මිදෙන්නේ කොහොමද යන බැරෑරුම් පැනයට අපූරු පිළිතුරක් “විදර්ශනාව” යන නමින් සමාජය තුළ තිබෙනවා.

කවරයේ ඡායාරූපය: inquisitr.com

Related Articles