ගොඩනැගිලිවල රූප රටා මවන “අනුරූපික ප්‍රක්ෂේපණය” හෙවත් Projection Mapping

මෑත කාලීනව අපේ රටේ ඒ තරම් ප්‍රසිද්ධ නැති තාක්ෂණයන් විවිධ හේතූන් නිසා බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙන, ඒ නිසාම හැමෝම ඒ ගැන විස්තර දැන කියා ගන්නා ප්‍රවණතාවක් තියෙනවා. මීට මාස කිහිපයකට කලින් හැමෝම උනන්දු වුණු VPN දා ගැනීම ඒ වගේ එක තාක්ෂණයක්. අපේ අය අලුතෙන් උනන්දු වෙන තවත් තාක්ෂණයක් ගැන මේ දවස්වල නිතරම කතා බහට ලක් වෙනවා. ඒ තමයි Projection Mapping. සිංහලෙන් මේකට නමක් දෙනවා නම් “අනුරූපික ප්‍රක්ෂේපණය” කියලා කියන්න පුළුවන්.

පසුගිය වෙසක් පෝයට සමගාමීව රටේ ප්‍රසිද්ධ ආයතනයක් ශ්‍රී ලංකාවේ මුල්වරට Projection Mapping යොදාගෙන ව්‍යාපෘතියක් සිදු කිරීම තමයි, මේ ගැන අපේ රටේ හැමෝම වගේ උනන්දු වෙන්න ප්‍රධාන හේතුව වුණේ. අදාළ තාක්ෂණය යොදා ගැනීම ඉතා හොඳින් සිදු වුණත් රුවන්වැලිසෑය මේ සඳහා යොදා ගත්ත එක සුදුසු ද නැද්ද කියන එක ගැන මේ වෙනකොට පුළුල් සංවාදයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසාම මේ තාක්ෂණය යොදා ගන්නා විදිහ ගැනත් ලොකු කතාබහක් ඇති වුණා. නමුත් ඒ ගැන අදහස් දක්වලා තිබුණු සමහර අය සතුව Projection Mapping සිදු කරන ආකාරය ගැන වැරදි වැටහීමක් තියෙන බව තමයි දකින්න ලැබුණේ.

ඉතින් රටේ ප්‍රධාන ආගමික සිද්ධස්ථානයකට මෙය යොදා ගන්න එකේ හොඳ නරක ගැන ඔබටම තීරණය කරන්න ඉඩ හැරලා තාක්ෂණික පැත්තෙන් මේ වැඩකටයුත්ත සිදු වෙන හැටි ගැන ඔබව දැනුවත් කරන්න ටෙක් අපි තීරණය කළා.

Projection Mapping වල විශේෂත්වය

පැතලි තීරයකට රූප ප්‍රක්ෂේපණය අපි කවුරුත් දැකලා තියෙනවා. (dnp-screens.com)

බොහොම සරලව කිව්වොත් Projection Mapping වල දී සිදු වෙන දේ සාමාන්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයකින් (projector එකකින්) කෙරෙන දේට වඩා වැඩි වෙනසක් නැහැ. සාමාන්‍ය විදිහටම යම් රූපයක් හරි, වෙනත් ආලෝක රටාවක් හරි ප්‍රක්ෂේපණය කිරීම තමයි Projection Mapping වලදීත් සිදු වෙන්නේ. කොහොම නමුත් මෙහි දී රූපය වැටෙන පෘෂ්ඨයේ හැඩයේ ලොකු වෙනසක් තියෙනවා. මොකද පැතලි පෘෂ්ඨයක් වෙනුවට ඕනෑම හැඩයක මතුපිටක් මතට රූපයක් හරි, වෙනත් ආලෝක රටාවක් හරි ප්‍රක්ෂේපණය කරන්න මේ තාක්ෂණය මගින් පුළුවන්.

සාමාන්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් නිර්මාණය කර තිබෙන්නේ පැතලි හෝ බොහෝ දුරට පැතලි පෘෂ්ඨයක් මතට රූපයක් ප්‍රක්ෂේපණය කිරීමේ අරමුණෙන්. ඒ වගේම ඒ සඳහා බොහෝ විට යොදා ගන්නේ එක් යන්ත්‍රයක් පමණයි. Projection Mapping සඳහා යොදා ගන්නා ප්‍රක්ෂේපණ යන්ත්‍ර සැකැස්ම අතින් ලොකු වෙනස්කමක් නැතත්, බොහෝ විට එකම රූපයක් ප්‍රක්ෂේපණය කරන්නත් විවිධ කෝණවලින් යන්ත්‍ර ගණනාවක් යොදා ගැනෙනවා. අධික දීප්තිය, එළිමහනේ භාවිතයට ඔරොත්තු දීම වගේ කරුණු හැරෙන්න සැකැස්ම අතින් නම් මේ යන්ත්‍ර අතර ලොකු වෙනසක් නම් නැහැ. ඒ නිසාම ටිකක් මහන්සි වෙනවා නම් කුඩා ප්‍රමාණයේ Projection Mapping වැඩක් කරන්න අපි කවුරුත් දන්නා ප්‍රක්ෂේපණ යන්ත්‍ර යොදා ගන්නත් බැරිම නැහැ.

ප්‍රක්ෂේපණ යන්ත්‍ර ගණනාවක් භාවිතයෙන් Projection Mapping සිදු කෙරෙන අයුරු (robotized.arizona.ch)

Projection Mapping වල ප්‍රධානම විශේෂත්වය වෙන්නේ ඒ සඳහා යොදා ගන්නා මෘදුකාංග පද්ධති යි. අපි හැමෝම සාමාන්‍යයෙන් හුරු වෙලා තියෙන පරිගණක තිරයක්, දුරකථන තිරයක්, වීඩියෝවක් වගේ දෙයක් සාමාන්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් යොදා ගත්තාම ප්‍රක්ෂේපණය කරන්නෙත් පැතලි පෘෂ්ඨයක් මතට නිසා, ඒ වෙනුවෙන් මෘදුකාංග හරහා කරන්න ලොකු කාර්යභාරයක් නැහැ. (නමුත් ප්‍රක්ෂේපණ යන්ත්‍රය පවතින කෝණය අනුව තිරය නිවැරදිව පෙනෙන විදිහට යම් ප්‍රමාණයක නිවැරදි කිරීමක් කරන්නත් බොහෝ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල පහසුව සලසලා තියෙනවා.) නමුත් Projection Mapping වල දී අදාළ පෘෂ්ඨයට අනුව අපි ලබා දෙන රූපය හැඩ ගස්වා ගන්න නම් මෘදුකාංග පැත්තෙන් ලොකු වැඩ කොටසක් ඉටු විය යුතු යි (අතීතයේ දී දර්පණ, කාච ආදිය භාවිතයන් යාන්ත්‍රිකව මෙම ක්‍රියාව කෙරුණත් වර්තමානයේ ඒ සියල්ල මෘදුකාංග හරහා සිදු කෙරෙනවා). ඒ විතරක් නෙවෙයි, ඒ සඳහා අපි ප්‍රක්ෂේපණය කරන පෘෂ්ඨයේ හැඩය ත්‍රිමාණ ලෝකයේ පවතින විදිහත් සිතියම්ගත කර ගැනීම අවශ්‍ය යි. මෙන්න මේ සිතියම්ගත කිරීම හෙවත් “අනුරූපණය කිරීම” නිසා තමයි මේ තාක්ෂණය Projection Mapping කියා හඳුන්වන්නේ.

කණ්ණාඩියක් දිහා බලලා Projection Mapping තාක්ෂණය ගැන තේරුම් ගනිමු.

කවදා හරි කණ්ණාඩියකින් මූණ බලලා තියෙනවා ද? අපි සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ කණ්ණාඩියකින් බැලුවොත් අපේ මූණ තියෙන විදිහටම ආපසු දැක ගන්න හැකියාව තියෙනවා. නමුත් ටිකක් බාල තත්ත්වයේ, වැඩිය සමතල නැති කණ්ණාඩියකින් මූණ බලන්න උත්සාහ කරනවා නම් අපිට ටිකක් අමුතු රූප ටිකක් දැක ගන්න පුළුවන්. මේක විශේෂයෙන්ම ටිකක් ඈතින් තියෙන වස්තුවක් දෙස කන්නාඩිය තුළින් බැලුවාම ඉතා හොඳින් දැක ගන්න ලැබෙනවා. එක එක තැන්වලින් දික් වෙලා, කෙට්ටු වෙලා, මහත් වෙලා සහ තවත් එක එක විකාර විදිහේ රූප බලාගෙන හොඳට හිනා වෙන්න පුළුවන් එක බාල කණ්ණාඩියකින් ලැබෙන ප්‍රයෝජනයක්.

බාල කණ්ණාඩි වගේම විනෝදය සඳහා මේ වගේ විකාර රූප පෙන්වන්න හිතා මතා හදපු කණ්ණාඩිත් තිබෙනවා. (poojycat.wordpress.com)

මේ වගේම වැඩක් තමයි යම් පෘෂ්ඨයකට රූපයක් ප්‍රක්ෂේපණය කරන්න ගියාම සිදු වෙන්නේ. හොඳ තත්ත්වයේ කණ්ණාඩියකින් නියමාකාර රූපයක් පේනවා වගේම පැතලි පෘෂ්ඨයකට රූපයක් ප්‍රක්ෂේපණය කරාම එය නියම තත්ත්වයෙන්ම ආපසු දැක ගන්න පුළුවන්. නමුත් විෂම හැඩයේ පෘෂ්ඨයකට ඒ රූපයම ප්‍රක්ෂේපණය කරොත් අපිට දකින්න ලැබෙන්නේ බාල කණ්ණාඩියේ වගේම එක එක විදිහට විකෘති වුණු රූපයක්. (Projector එකක් භාවිතයට ගන්න හැකියාවක් තියෙනවා නම් වාහනයක්, ගසක් වගේ විෂම හැඩයක් තියෙන වස්තුවකට රූපයක් නිකමට ප්‍රක්ෂේපණය කරලා බලන්න.)

ඉතින් මේ විකාර විදිහට පෙනෙන රූපය වෙනුවට ප්‍රක්ෂේපණ යන්ත්‍රයට යවන්න කලින්ම විවිධ මෘදුකාංග ක්‍රම හරහා එයට ලබා දෙන රූපය හැඩගස්වා ගැනීම තමයි Projection Mapping වල දී කෙරෙන්නේ. මේ විදිහට කලින්ම විකාරරූපී කරලා එවන රූපය අදාළ පෘෂ්ඨයට වැටුණාම ඒ විෂමතාවන් දෙක එකිනෙක කැපිලා ගිහින් අපේ ඇසට හුරු නිවැරදි රූපය පෙන්වනවා. නමුත් ඒක පැතලි තිරයකට ප්‍රක්ෂේපණය කරොත් නම් දකින්න ලැබෙන්නේ අර වගේම විකාර රූපයක් තමයි.

ත්‍රිමාණ හැඩයේ සියලු පෘෂ්ඨවල නිසි ලෙස රූපය දක්වන්න විවිධ කෝණවලින් ප්‍රක්ෂේපණ යන්ත්‍ර ගණනාවක් පාවිච්චි වෙනවා. ඒ එකින් එකට වෙනස්, සුදුසු සැකසුම් සහිතව රූපයේ කොටස් අදාළ ප්‍රක්ෂේපණ යන්ත්‍රය වෙත යැවෙනවා.

කියන තරම් කරන එක ලේසි නැහැ.

projectionfreak.com

ඉතින් කොහොමද මේ වැඩේ කරන්නේ? ඒ සඳහා අපි තේරුම් ගන්න අවශ්‍ය වැදගත්ම දේ තමයි ආලෝකය ස්වභාවිකව හැසිරෙන ආකාරය. ආලෝකය යම් ස්ථානයක ඉඳලා තවත් තැනකට යනකොට විහිදී යනවා වගේම ඒ නිසා දුරත් එක්ක ආලෝකයේ දීප්තියත් අඩු වෙනවා. මේ නිසා Projection Mapping සිදු කිරීමේ දී එක් එක් යන්ත්‍රයේ සිට අවශ්‍ය පෘෂ්ඨයේ විවිධ තැන්වලට තියෙන දුර ඉතා නිවැරදිව ගණනය කරලා, එයට අනුරූප වෙන්න අපි යන්ත්‍රයට ලබා දෙන රූපයේ අදාළ කොටස්වල දීප්තිය අඩු වැඩි කිරීම අත්‍යාවශ්‍ය යි. ඒ වගේම යම් ත්‍රිමාණ තලයක ආලෝකය විසිරී යන ආකාරය, එයින් පරාවර්තනය වෙන ආකාරය හඳුනාගන්නත්, ඒකට සුදුසු ලෙස අප ලබා දෙන රූපයේ හැඩය වෙනස් කිරීමත් අවශ්‍ය යි. මෙතැන දී අපි සාමාන්‍යයෙන් දන්නා Warp, Skew, Distort වගේ උපක්‍රම භාවිත කරලා පෘෂ්ඨයට ගැළපෙන විදිහට රූපය සකස් කෙරෙනවා. මීට අමතරව පෘෂ්ඨයේ වර්ණය අනුව යවන රූපයේ වර්ණය වෙනස් කිරීමත් බොහෝ විට අවශ්‍ය යි.

වර්තමානයේ පවතින තාක්ෂණික දියුණුව සහ පරිගණකවල අධික සැකසුම් වේගය (processing speed) නිසා සැබෑ ලෝකයේ තත්ත්වයන් අනුව ඒ මොහොතේම (real time) මේ සකස් කිරීම කරන්නත්, ඉතා පහසුවෙන් අධි විභේදනයක් සහිත (මෙය අපි දකින රූපයේ ගුණාත්මක බවට බොහෝ සෙයින් බලපානවා) රූපවලට මේ වෙනස්කම් කරන්නත්, පෘෂ්ඨයේ වර්ණය අනුව වර්ණ වෙනස්කම් කරන්නත්, ත්‍රිමාණ වස්තුවක් වටේටම ඇති ප්‍රක්ෂේපණ යන්ත්‍ර සියල්ල එකවර හසුරුවන්නත් තරම් හැකියාවක් තිබෙන පරිගණක පද්ධති සහ මෘදුකාංග පැකේජ නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මේ වන විට Projection Mapping ඉතා පහසුවෙන් සහ දැරිය හැකි වියදමකින්, පහසුවෙන් කළ හැකි දෙයක් බවට පත් වෙලා.

Projection mapping සඳහා යොදා ගැනෙන madmapper වැනි මෘදුකාංගවල තියෙන features නිසා එය දැන් ඉතාම පහසු කටයුත්තක් වෙලා. (madmapper.com)

කොහොම නමුත් තවමත් මේ සියල්ලම සඳහා අපි ප්‍රක්ෂේපණය කළ යුතු වස්තුව ඉතා නිවැරදිව, ත්‍රිමාණව ස්කෑන් කරලා 3D model එකක් සකස් කර ගැනීම අත්‍යාවශ්‍ය යි. ඒ සඳහා යොදා ගන්න තාක්ෂණය තමයි බොහෝ දෙනා Projection Mapping එක්ක පටලවාගෙන තියෙන බව දකින්න ලැබෙන්නේ. ඒ නිසා ඒ ගැන ටිකක් විශේෂයෙන් සලකා බලමු.

3D ස්කෑන් කරන්න ලේසර් යොදා ගත්තත් එය Projection Mapping සඳහා යොදා ගැනෙන්නේ නැහැ!

රුවන්වැලිසෑයේ Projection Mapping කිරීම ගැන අදහස් දක්වපු බොහෝ දෙනෙකුට තිබුණු වැරදි අදහසක් වුණේ ඒ සඳහා ලේසර් කිරණ යොදා ගන්නවා කියන එක. නමුත් Projection Mapping කිරීමේ දී (ප්‍රක්ෂේපණ යන්ත්‍ර හරහා රූපය ප්‍රක්ෂේපණය කිරීමේ දී) ඒ සඳහා කිසිසේත්ම ලේසර් යොදා ගැනෙන්නේ නැහැ. දීප්තියෙන් අධික වුණත් ඒ සඳහා යොදා ගැනෙන්නේත් අපි සාමාන්‍යයෙන් දන්නා විදිහේ ආලෝකය නිකුත් කරන ප්‍රක්ෂේපණ යන්ත්‍රම තමයි. එයට එවන රූපය අපි කලින් කතා කරපු විදිහට හැඩගස්වා එවන නිසා තමයි ඇසට පෙනෙනකොට විකෘති නොවූ, නිවැරදි රූපයක් දකින්න ලැබෙන්නේ.

විශාල ගොඩනැගිල්ලක් වැනි යමක හැඩයට ඉතා පහසුවෙන් 3D model එකක් සාදා ගන්න ලේසර් ස්කෑන් කිරීමේ තාක්ෂණය යොදා ගැනෙනවා. (Thomasadamslaserscanning.com)

කොහොම නමුත් 3D model එකක් සකස් කරන්න නම් ලේසර් ස්කෑන් කිරීමේ තාක්ෂණය යොදා ගන්නවා. ත්‍රිමාණ ලෝකයේ අදාළ පෘෂ්ඨය තියෙන ආකාරය හරියටම දැනගන පරිගණක ආශ්‍රයෙන් එහි model එකක් සකස් කර ගැනීම අවශ්‍ය නිසා එහිදී යොදා ගන්නේ විවිධ තැන්වල සිට ලේසර් ආධාරයෙන් අදාළ පෘෂ්ඨයේ විවිධ තැන්වලට ඇති දුර සහ උන්නතාංශය ඉතා නිවැරදිව මැනීම යි (මේ සඳහා යොදා ගැනෙන්නේ නිශ්චිත ස්ථානයක ඉඳලා නිශ්චිත දිශාවකින්, නිශ්චිත දුරකින් තියෙන්නේ එකම ලක්ෂ්‍යයක් පමණයි කියන මූලධර්මය). මේ සඳහා යොදා ගන්නා ලක්ෂ්‍ය ප්‍රමාණය වැඩි වන තරමට අපි සාදන 3D model එකේ නිරවද්‍යතාව ඉහළ යනවා. මේ විදිහට ලබා ගන්නා ලක්ෂ්‍ය සියල්ල පරිගණක ගත කරාම අපිට දකින්න ලැබෙන්නේ කුඩා ලක්ෂ්‍ය විශාල ගණනකින් සැදුම් ලත් වළාවක් (මෙයට ලක්ෂ්‍ය වළාවක් හෙවත් point cloud එකක් කියන නම භාවිත වෙනවා). අපි ලබා ගන්නා ලක්ෂ්‍ය ප්‍රමාණය සහ උපකරණවල නිරවද්‍යතාවය අනුව මෙය අදාළ පෘෂ්ඨයේ සැබෑ හැඩයට බොහෝ දුරට සමාන වෙනවා.

මේ 3D model එක නිවැරදිව සකසා ගත්තොත් එය යොදාගෙන ඉතිරි වැඩ කොටස පහසුවෙන් කරගත හැකි මෘදුකාංග පවතින නිසා ඒ කොටසේ වැඩි අපහසුවක් නැහැ. Projection Mapping සඳහා පවතින හොඳ මෘදුකාංගවලින් ප්‍රක්ෂේපණ යන්ත්‍ර ස්ථානගත කරන විදිහ අනුව, ඒ වෙලාවේ ආලෝක තත්ත්වය අනුව, පෘෂ්ඨයේ වර්ණය අනුව සුදුසුම විදිහට අදාළ රූප ඒ වෙලාවේම සකසා දෙන්න හැකියාව පවතිනවා.

Projection Mapping තාක්ෂණයේ යොදා ගැනීම් සහ අනාගතය.

Projection Mapping තාක්ෂණය යොදා ගත් දැන්වීමක්. (youtube.com/barcoTV)

පරිගණක තාක්ෂණයේ දියුණුවත්, ප්‍රක්ෂේපණ යන්ත්‍රවලින් අධික ආලෝකයක් නිකුත් කරන්න ඇති හැකියාව වැඩි දියුණු වීමත් එක්ක ඉදිරි කාලයේ මේ තාක්ෂණයේ යොදා ගැනීම්වලට නම් සීමාවක් නැති තරම්. ඉතා විශාල ගොඩනැගිලි, ක්‍රීඩාංගන වගේ දේවල් තාත්වික රූප දර්ශනය කරන්න යොදා ගන්න තියෙන හැකියාව නිසා විශේෂයෙන්ම අනාගතයේ ප්‍රචාරණ කටයුතුවලට මෙහි ප්‍රයෝජන බොහොමයක් තියේවි. දියුණු රටවල වගේම දැන් ශ්‍රී ලංකාව වගේ රටවලත් මිනිසුන් වැඩිපුර ගැවසෙන තැන්වල ඇති ඇතැම් ගොඩනැගිලිවල විවිධ පෘෂ්ඨ මත දැන්වීම් පළ කිරීම සඳහා විශේෂයෙන්ම තිර නිර්මාණය කරලා තියෙනවා ඔබ දැකලා ඇති. මේ කටයුත්ත විශේෂ තිරයක් අධික මිලක් වැය කරලා ස්ථාපනය කරනවාට වඩා Projection Mapping හරහා හරිම පහසුවෙන් ඉටු ක‍රගන්න පුළුවන් වීමම අනාගතයේ ලොකු පහසුවක් වේවි. ඒ වගේම දැනටමත් මේ තාක්ෂණය උද්‍යාන අලංකරණය, ගෘහ හා ගොඩනැගිලි අභ්‍යන්තරය අලංකරණය කිරීම ඇතුළු දේවල් බොහොමයක් සඳහා යොදා ගැනීම උදෙසා පර්යේෂණ පැවැත්වෙනවා.

Projection Mapping තාක්ෂණය ශ්‍රී ලංකාවේ කරළියට ආවේ තරමක් මතභේදාත්මක යොදා ගැනීමක් සමග නිසා සමහරුන් මේ තාක්ෂණයට මුල සිටම අකමැත්තක් ඇති වීම නම් ඇත්තටම අවාසනාවන්ත සිද්ධියක්. කොහොම වුණත් එහි සැබෑ වටිනාකමක් ඇති යොදා ගැනීම් බොහොම යි. මේ තාක්ෂණය ක්‍රියාත්මක වෙන හැටි ගැන දැන් ඔබට යම් අවබෝධයක් තියෙන නිසා ඒ ගැන වැරදි වැටහීම් තියෙන කෙනෙකුට මෙය පැහැදිලි කරලා දෙන්නත් හැකියාවක් ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා. මේ ලිපිය ප්‍රයෝජනවත් විය හැකි අය වෙනුවෙන් share කරනවා නම් තවත් ඵලදායක වේවි.

කවරයේ රූපය : සිඩ්නි නුවර සුප්‍රසිද්ධ ඔපෙරා හවුස් එක Projection Mapping යොදාගෙන සැරසුණු අවස්ථාවක්. (Wikimedia.org)

Related Articles

Exit mobile version