Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගේම්වලින් ගේමක් දෙන්න යන, ලංකාවේ ගේමර්ස්ලා

තාක්ෂණික ලෝකය දිනෙන් දින වෙනස් වෙද්දී මිනිසුන් තම නිදහස් කාලයන් ගෙවන ආකාරයේත් විශාල පෙරළි සිදුවුණා. බොහෝ නිවාසවල පරිගණක අනිවාර්ය අංගයක් බවට පත් වීමත් සමග ම පරිගණක ක්‍රීඩා කරළියට පැමිණියා. මේ පරිගණක ක්‍රීඩාවලට පන්නරය ලැබුණේ 1980 පමණ ඇමරිකාව ඇතුළු බරහිර රටවල් කිහිපයකින් ඇරඹි ගේම් ආර්කෙඩ් කුටිවලින් බව බොහෝ දෙනෙකු පිළිගන්නා කරුණක්. එයින් ඇරඹුණු මේ ගේම් රැල්ලට විවිධ කාලයන්වල දී විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් සහ දෘඩාංග දියුණු වීම් එක්ක බොහෝ දෙනෙකු පරිගණක ක්‍රීඩා වෙත ඇද බැඳ තබා ගන්නට සමත් වුණා. අදටත් VR තාක්ෂණය වැනි දියුණු ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රීඩාවේ නිරත වෙන ක්‍රීඩකයාට, තමා පිවිසෙන්නේ අතත්‍ය ලොවකට බව අමතක වන තරමට ම සජීවී ලෙසින් ඒ අත්දැකීම් විඳීන්නට හැකියාව ලැබී තියෙනවා. අද වෙද්දී පරිගණක ක්‍රීඩා හුදෙක් විනෝදාස්වාදය සහ කාලය නාස්ති කරන ක්‍රියාවලියක් ලෙසින් හැඳින්වෙන්නේ නැති තරම්. එයට හේතුව, මේ ක්‍රීඩාවන් අද වෙද්දී මුදල් උපයන වෘත්තියක් ලෙසින් ජනප්‍රියත්වයට පත්ව තිබීම යි.

ලංකාවෙත් මේ වෙද්දී ජාත්‍යන්තර මට්ටමේ තරග සඳහා සහභාගී වෙන ක්‍රීඩකයන් සහ කණ්ඩායම් දැකගන්න පුළුවන්. පසුගිය දිනක Asia Pacific Predator League 2019 තරගාවලිය වෙත ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට Indomitus කණ්ඩායම සමත් වුණා. ඒ තවත් දක්ෂතම කණ්ඩායම් 3ක් අභිබවමිනුයි. එළඹෙන පෙබරවාරි මාසයේ තායිලන්තයේ බැංකොක් හි පැවැත්වෙන තරගවල දී ඔවුන්ට ලංකාව නියෝජනය කරමින් ජයග්‍රහණයන් ලබන්නට roar-සිංහල කණ්ඩායමෙන් සුබ පැතුම් එක්කරනවා.

ජයග්‍රහණය කළ Indomitus කණ්ඩායම
දෙවන ස්ථානය Victorious Secret
තෙවන ස්ථානය Death Sentence

2018 වසරේ සංවිධානය කළ පළමු තරගය සඳහාත් විශාල පිරිසකගේ සහභාගිත්වයක් දැකගන්නට ලැබුණා. ඒ වගේ ම විශාල මුදල් ත්‍යාගයන් ජයග්‍රහකයන් වෙත ලබා දුන්නා. අද වෙද්දී මේ තරග සඳහා සහභාගී වන්නන් සමාජයේ ජනප්‍රියත්වයට පත් වීම සුලබ ව දකින්නට ලැබෙනවා. සිනමා තරුවකට ලැබෙන පිළිගැනීමට සමානව ම වගේ ඔවුන්ට වෙතත් විවිධ සමාගම් සහ සන්නාමයන් දායකත්වයන් පවා සපයනවා. මේ වන විට ලංකාවෙත් එම තත්ත්වයන් ඇති වීමට පටන් ගෙන තිබෙනවා.

ලෝකයේ වෘත්තියක් ලෙසින් දියුණු වන මේ ක්‍රීඩාවන්, අනාගත ඔලිම්පික් තරග සඳහාත් එකතු වීමට නියමිත යි. මේ ක්‍රීඩාවන් වෙනුවෙන් සහ ලංකාවේ ක්‍රීඩකයන් වෙනුවෙන්  SLT, Dialog, සහ gamer.lk වැනි සමාගම් සපයන දායකත්වයන් අගය කළ යුතු ම යි.

කොහොම වුණත්, මේ ක්‍රීඩා සඳහා නිර්මාණය වෙන වටපිටාව සේ ම, මෙයින් පුද්ගල මනසට බලපෑම් සිදුවෙන බවටත් මතයන් පවතිනවා. පසුගිය වසරේ වාර්තා වුණු සිදුවීමක් නිසාවෙන් මේ කතාබහ තවත් දුරටත් පැතිරෙන්නට හේතු වුණා. Call of Duty ක්‍රීඩාවෙන් පරාජයට පත් තරුණයෙකු, තමන්ගේ මිතුරාට උල් ආයුධයකින් ඇන තුවාල සිදුකිරීම මෙම සිදුවීම යි. මේ එක සිදුවීමක් පමණයි. ලංකාවේ එතරම් සුලබ නොවුණත්, අනෙක් රටවල මෙවැනි සිදුවීම් වාර්තා වෙද්දී විශේෂයෙන් ම පරිගණක ක්‍රීඩා පිළිබඳ ව සඳහන් වූ අවස්ථා එමට යි. 2018 වසරේ මෙවැනි සිදුවීම් බහුල ව සිදුවුණු වසරක් ලෙසින් සඳහන් වෙනවා.

2018 මෙවැනි සිදුවීම් බහුල ව සිදුවුණු වසරක්- cnn.com

සමහර ක්‍රීඩාවන්වල ඇති ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඔස්සේ කෙනෙකුගේ මනස විකෘති කර, ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් බවට පත් කරන්න හේතු වෙන බව මේ මතය දරන පිරිසේ අදහස යි. ඒ වගේ ම මේ ක්‍රීඩාවන් හරහා සංවේදී බව අඩු වීමටත්, ඉක්මනින් තරහ යාමේ තත්ත්වයන් ඇති වන්නට පුළුවන් බවත්, ඔවුන්ගේ මතය යි. කෙසේවෙතත්, එය එසේ නොවන බවට මතයන් හුවා දක්වන්නන් සඳහන් කරන්නේ, එලෙසින් මනස විකෘති වේ නම් මීට වඩා අතිශය ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඇති විය හැකි බව යි. කෙසේවෙතත්, මේ මතයන් පිළිබඳ නිගමනයන්ට එළඹීම අපි ඔබට බාර කරනවා. මේ පිළිබඳ ව වගේ ම මේ ක්‍රීඩාවන්වල දිශානති ගැනත් ඔබේ මතයන් පහළින් එකතු කරන්න අමතක කරන්න එපා.

කවරය: sportsnet.ca

මූලාශ්‍රයයන්:

Nature.com

Cnn.com

youtube.com  

Bbc.com

Gizmodo.com

Forbes.com

Gamer.lk

Sportsnet.ca

Related Articles