Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තරුණියන්ට Instagram අහිතකරද?

Instagram මගින් තරුණියන්ගේ ශරීර රූපය පිළිබඳ ගැටලු ඇති කරවන බව සහ තම රූපය පිළිබඳ ව කම්පාවක්, ලැජ්ජාවක් ඇති කරවන බවක් ඔබ දන්නවාද? ලෝකයේ තරුණ තරුණියන් අතර වැඩි වන මානසික පීඩනයට රුකුල් දෙන ප්‍රධාන හේතුවක් වන්නේ instagram බව ඔබ දැන සිටියා ද? ඔබ දන්නවාද තරුණියන් විශාල ප්‍රමාණයක සියදිවි නසා ගැනීම්වලට හේතුව බවට instagram පත්ව ඇති බව?

මේ සියල්ල පිළිබඳ සමීක්ෂණ වාර්තා සහිත ව ඒ දෙස මුනිවත රකිමින් සිටින Facebook සමාගමේ පරිශීලකයන් බවට වසර ගණනාවක සිට ඔබත් මාත් පත්ව අවසන්. මේ පිළිබඳ ව ආන්දෝලනාත්මක හෙළි කිරීමක් පසුගිය දිනෙක The Wall Street Journal සිදු කළා.  

 ලෝකයේ තරුණ තරුණියන් අතර වැඩි වන මානසික පීඩනයට රුකුල් දෙන ප්‍රධාන හේතුව- washingtonpost.com 

 

ගැටවර වයසේදී තරුණ තරුණියන්ගේ මොළය වර්ධනය වෙමින් පවතින සමයක්. මේ කාලයේ ඔවුන්ගේ මොළය dopamine (ඩොපමයින් යනු මොළයේ සහ ශරීරයේ වැදගත් කාර්යයන් කිහිපයක් ඉටු කරන ස්නායු සම්ප්‍රේෂකයක්) වෙත අතිශයින් ම සංවේදී වීම සාමාන්‍ය දෙයක්. බොහෝ විට මේ හෝර්මෝනය ශ්‍රාවය වෙන්නේ යම් වරප්‍රසාදයක් හෝ සතුට දනවන දෙයක් වෙනුවෙනු යි. සමාජ මාධ්‍ය කියන්නේ මේ හෝර්මෝනය වැඩි දුර ශ්‍රාවය කරන්න රුකුල් දෙන්නක්. විශේෂයෙන් instagram.

ආවේග පාලනය සහ විවේචනාත්මක චින්තනය

මේ වයසේ දී සමාජ අන්තර්ක්‍රියා, ආවේග පාලනය සහ විවේචනාත්මක චින්තනය බෙහෙවින් ප්‍රවේශමෙන් සිදු කළ යුත්තක්. Smart Phone පැමිණීමට පෙර තාරුණ්‍යය මේ කාලය බොහෝ විට ගත  කළේ යම් යම් අභියෝගාත්මක දේ කරමින්. ඔවුන් එයින් බලාපොරොත්තු වූයේ මිතුරන් අතර පිළිගැනීමට ලක් වීම යි. ඒ කාලය අධික වේගයෙන් රිය පැදවීම වැනි අනතුරු දායක දේ කරන්නට තරුණ තරුණියන් පෙලැඹුණා. 

අද වෙද්දී තත්ත්වය සම්පුර්ණයෙන් ම වෙනස් වෙලා. අද තාරුණ්‍යය ඔවුන්ගේ මේ සමය ගෙවන්නේ සමාජ මාධ්‍ය එක්ක. Likes, Comments, Reach එක්ක වයිරල් වීම තමයි ඔවුන්ගේ හීනය. මෙතෙක් දුර ලිපිය කියවපු ඔබට මේ කාරණාව වේගයෙන් රිය පැදවීම හෝ අනතුරු දායක දේ කිරීමට වඩා ආරක්‍ෂිත බවක් හැඟෙනවා නම් මේ ලිපිය අවසන් වෙනතෙක් කියවන්න කියලා අවධාරණය කරන්නට අප කැමතියි.  Instagram වෙත උඩුගත වෙන බොහොමයක් ඡායාරූප විශාල වශයෙන් සංස්කරණයට ලක් වෙලා ඉන් අනතුරුව තමයි ඒ වෙත එන්නේ. ඒත් ඒ සැබෑ ජීවිතය නොවන බව යෞවනියන් බොහෝමයකට අමතක වෙනවා. 

2018 වසර වෙද්දී instagram පරිශීලකයන් ප්‍රමාණය බිලිනය ඉක්මවා ගියා. දිනකට මේ යෙදුම මිලියන 500 කට අධික ප්‍රමාණයක් ලොව පුරා භාවිත කරනවා. ඉන් 60% වයස අවුරුදු 34 ට අඩු කාන්තාවන්. මේ ලෙස පරිශීලකයන් ප්‍රමාණය ඔවුන් වැඩි කරගන්නේ කොහොමද?  ඒ සියල්ල ඔවුන් අධ්‍යයනය කිරීම් සහ පර්යේෂණයන් මගිනුයි සිදු කරන්නේ. ඔව්! ඔබ හිතනවා වගේම අපි තමයි විද්‍යාගාර මීයන් බවට පත් වෙන්නේ.  මෙය හඳුන්වන්නේ “engineered addiction” ලෙසින්. 

අනෙක් අය සමඟ තමන් සංසන්දනය

Twitter, Facebook හෝ YouTube වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය එක්ක බලන කොට instagram වඩාත් අපේ රූපය අනෙක් ය සමඟ සැසඳීම සඳහා යොමු කරවන බව ඔබට ඉතා පැහැදිලි ඇති.  දිගින් දිගට ම මෙලෙස අනෙක් අය සමඟ තමන් සංසන්දනය කිරීමෙන්, විශේෂයෙන් තරුණියන් වඩාත් සාංකාවට හා මානසික අවපීඩනයට ගොදුරු වීම සිදු වෙනවා.

 සංස්කරණය වී එන Instagram සැබෑ ලෝකය නොවේ –  wsj.com

පර්යේෂණවලට සර්ව සම්පුර්ණ සෑම විට සතුටින් දිවි ගෙවන බව පෙන්වන පෙම්වතුන්, පවුල්, පුද්ගලයන් “පරමාදර්ශී”  චරිත බවට පත් කර ගැනීමෙන් බොහෝ දෙනෙක් තම ජීවිතයේ සතුට අහිමි කරගන්න බවත් හෙළි වෙලා තියෙනවා. ඔවුන් අමතක කරන ප්‍රධාන ම දෙය තමයි කිසිවෙක් සර්ව සම්පුර්ණ හෝ සෑම විට ම සතුටින් සිටින පුද්ගලයන් නොවන බව. ඒවගේම බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයේ දුක් කම්කටොලු, පරාජයන් ගැන සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියේ නොකියන බව. 

පර්යේෂණවලින් හෙළි වෙලා තියෙනවා බොහොමයක් තරුණ තරුණියන් instagramවල වැඩි ලයික්ස් ප්‍රමාණයක් ඇති රූප වෙත වඩාත් නැඹුරුවක් දක්වන බව.  අන්තර්ගතය කුමක් වුවත් එය ප්‍රසිද්ධ දෙයක් නම් ඒ සතුව විශාල ලයික්ස් සහ කමෙන්ට්ස් ප්‍රමාණයක් ඇති නම් බොහෝ විට තරුණියන් ඒ වෙත යොමු වීම සිදු වන්නක්. 

“mental health deep dive”යන මැයෙන් Facebook සමාගම ඉදිරිපත් කර තිබු සැසියේ  slides 1- wsj.com

මේ රූප හෝ වීඩියෝවල අන්තර්ගතය සත්‍යයක් ද නැද්ද යන්න සොයා බැලීමක් කරන්නට ඔවුන් මැලි කමක් දක්වනවා. අදටත් අසත්‍ය තොරතුරු හෝ මවාපෑම් තරුණ තරුණියන් අතර වඩා වේගයෙන් පැතිර යන්නේ ඒ නිස යි. මේ ගැන පර්යේෂණයක්  stanford විශ්වවිද්‍යාලය සිදු කර තිබෙනවා.

තාරුණ්‍යයේ මනසට ඉතා අහිතකර බලපෑම්

ආසන්නව 2019 වසරේ සිට තම Instagram යෙදුම පරිශීලකයන් වෙත බලපෑම් එල්ල කරන ආකාරය පිළිබඳ විශාල පරික්ෂණ ගණනාවක් Facebook ආයනතය සිදු කර තිබෙනවා. ඒ සියල්ලෙන් ම පහේ අනාවරණය වී ඇත්තේ එය තාරුණ්‍යයේ මනසට ඉතා අහිතකර ලෙස බලපෑම් එල්ල කරන බව යි. විශේෂයන් ම ඉන් වැඩි වශයෙන් බලපෑම් එල්ල වෙන්නේ තරුණ ගැහැනු ළමයින්ට බවයි මෙයින් අනාවරණය වී තිබෙන්නේ.

“mental health deep dive”යන මැයෙන් Facebook සමාගම ඉදිරිපත් කර තිබු සැසියේ  slides 2- wsj.com

සෑම ගැහැනු දරුවන් තුන් දෙනකුගෙන් එක අයකුට ම තම ශරීරය පිළිබඳ ලජ්ජාවක් ඇති කිරීමට instagram හේතු වන බව Facebook සමාගම තම සේවකයන්ට පැවැත්වූ අභ්‍යන්තර සැසියක දී  අනාවරණය කර තිබුණා. එහෙත් ඒ කිසිවක් සමාජය වෙත නිකුත් කරන්නට සමාගම කටයුතු  කළේ නැහැ.

Wall Street Journal සිදු කළ දීර්ඝ හෙළිදරව්වෙන් මේ සියල්ල සමාජය වෙත නිරාවරණය වුණා. 2019 සහ 2020 කාලයේ සිට Facebook සමාගම කොතරම් නම් මේ ගැටලුව පිළිබඳ ව දැනුම්වත් ද යන්න ඒ නිකුත් වූ පර්යේෂණ වාර්තා අනුව පෙනී යනවා.  

“mental health deep dive”යන මැයෙන් Facebook සමාගම ඉදිරිපත් කර තිබු සැසියේ  slides 3- wsj.com

ඔබ දන්නවාද එක්සත් රාජධානියේ 13% ක් සහ එක්සත් ජනපදයේ 6% ක් තරුණියන් ගේ මරණ සඳහා ඉන්ස්ටග්‍රෑම් දායකවී ඇති බව? Wall Street Journal සිදු කළ හෙළිදරව්ව පිළිබඳවත්, මේ අනිසි බලපෑම් පිළිබඳවත් theguardian පුවත් පත කළ විමසීම්වලට පිළිතුරු ලබා දීම Facebook සමාගම ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ වෙනුවට ඔවුන් වෙන “ Using research to improve your experience “ යන මැයෙන් ලියවුණු instagram blog සටහනක් එවා තිබුණා. 

කවරයේ ඡායාරූපය - අද තාරුණ්‍යය ජීවිතය ගෙවන්නේ සමාජ මාධ්‍ය එක්ක  - scarymommy.com 

මුලාශ්‍ර:

Wsj.com 

Theguardian.com  

Psycnet.apa.org 

Journals.sagepub.com 

Stanford.edu 

About.instagram.com 

Washingtonpost.com 

Related Articles