Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

iPhone එකක් පිරිසිදු කරන්නේ මෙහෙමයි

දුරකථනය දිනපතා පාවිච්චි කරද්දී විවිධ කුණු දූවිලි මෙන් ම අපේ සම මත තිබෙන දාඩිය, තෙල් ගතිය ද එහි තැන්පත් වෙනවා. කාලයක් තිස්සේ මේවා දුරකතනය වටා සහ එහි ඇති සිදුරුවල එකතු වීමෙන් අවපැහැ වීම පමණක් නොව සංවේදක නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, චාර්ජ් නොවීම, කැමරාවෙහි දෝෂ හටගැනීම දකින්නට ලැබෙනවා. මේ බොහෝ දෝෂයන් පිළිබඳව ඇපල් ස්ටෝර් එකකට දුරකතනය ගිහින් දුන්නත් ඔවුන් මුලින්ම කරන්නේත් දුරකතනය හොඳින් සුද්ධ කර බලන එකයි. ඉතින් එය මාසයකට වරක්වත් අපට ම කළ හැකි නම්, දුරකතනයේ පෙනුම වගේම ආයු කාලයත් වැඩි කරගන්නට හැකි වෙනවා.

මුලින්ම කවරය

bfme.in

iPhone එකේ ආරක්ෂාව වෙනුවෙන් කවරයක් දැමීම අත්‍යාවශ්‍ය වෙනවා. දැනට වෙළඳපොළේ ඇති කවර වර්ගවලින් දුරකතනයට හොඳ කවරයක් තෝරාගන්නා ආකාරය ගැන අපි පෙර ලිපියකින් ගෙන ආවා. මෙලෙස මිලදී ගත් කවරය සහ දුරකතනය අතර කාලානුරූපව දුහුවිලි එක්රැස් වෙනවා. විශේෂයෙන් ආවරණය අඩු, ප්ලාස්ටික් කවරවල මෙසේ සිදුවීම වැඩියි වගේම විනිවිද පෙනෙන කවරවල එම දූවිලි එක්රැස්වීම් පිටතට දැකගන්නටත් පුළුවන්.

කවරය මිලදී ගනිද්දී එය පිරිසිදු කරන ආකාරය පිළිබඳව විශේෂ උපදෙස් ලැබුණේ නැත්නම්, මඳ රස්නයක් ඇති සබන් දිය කළ ජලයෙන් එය පිරිසිදු කරන්න පුළුවන්. දුරකතනය හා සම්බන්ධවන දාර හොඳින් පිරිසිදු කළ යුතු අතර බොත්තම්, කැමරාව මෙන්ම ඇපල් ලෝගෝව සඳහා ඉතිරි කර ඇති කවුළුවල දාර සහ ඒ අවට ප්‍රදේශවල ද දූවිලි එක්රැස් වීම වැඩියි. කවුළු පිරිසිදු කිරීමට කොට්න් බඩ් (Cotton bud) එකක් යොදාගන්න පුළුවන්.

මුහුණත සහ තිරය

sydneycbd.repair

ඉක්මණින්ම දූවිලි, දහඩිය මෙන්ම සමේ ඇති දෑවලින් ද අපවිත්‍ර වන දුරකතන මුහුණත පිරිසිදු කිරීම බොහොම ප්‍රවේශමෙන් සිදුකළ යුතු වෙනවා. අතේ තිබෙන දහඩිය නිසා තිරය මත ඇඟිලි සලකුණු ඇතිවීම වැළැක්වීමට iPhoneවල ඇති oleophobic ආලේපයට හානි වුවහොත් ඉන් දුරකතනයේ නැවත විකිණුම් වටිනාකමත් අඩු වෙනවා. මේ නිසා සීරෙන අංශු සහිත ද්‍රවයන්, වීදුරු පිස දැමීමට යොදාගන්නා ස්ප්‍රේ වර්ග, rubbing ඇල්කොහොල් ආදිය යොදා ගැනීමෙන් වැළකිය යුතුයි. ඒ වෙනුවට, පිරිසිදු ජලය රෙදි කැබැල්ලක පොඟවා යොදාගත යුතු වෙනවා. එම රෙදි කැබැල්ලෙහිත් නූල් නොගැලවෙන සුමුදු එකක් විය යුතුයි. වඩාත් ම සුදුසු වන්නේ ඇස් කණ්ණාඩි සමඟ, කැමරා කාච සමඟ ලැබෙන රෙදි කැබලි යි. අවශ්‍ය නම් ඉතාම අඩු මිලට මේවා අන්තර්ජාල වෙළඳසල්වල විකිණීමට ද තිබෙනවා.

මුහුණත පිස දැමීමේදී රෙදි කැබැල්ලෙහි වැඩිපුර වතුර සියල්ල ඉවත් කරමින් එක් පසකට පමණක් (ඉහළ සිට පහළට වැනි) පිස දැමීම කරන්න. ඔබ iPhone එකට තිර ආරක්ෂකයක් එක් කර තිබෙනවා නම් මෘදු කෙඳි සහිත බුරුසුවකින් (දරුවන් සඳහා සැකසූ දත් බුරුසු උචිතයි) එහි දාරය සහ දුරකතනය අතර ප්‍රදේශය ප්‍රවේශමෙන් පිස දමන්න.

ආරෝපණ සහ ස්පීකර කවුළු

ustechportal.com

ගත්තු මුල් දවස්වල ඉඳලාම iPhone එක charge කරද්දී විවිධ ගැටළු ඇති වෙනවා නම් බොහෝ විට එයට හේතුව charging port එකේ වෙන්නට පුළුවන්. සාක්කුවේ තිබියදී නූල් කැබලි, කුඩා කොළ කැබලි, දූවිලි, ඔක්සයිඩ් බැඳීම් ආදිය නිසා ඇතුලත pin, චාර්ජරය සමඟ ගැටෙන වර්ගඵලය අඩුව යනවා. මෙය පිරිසිදු කිරීම සඳහා වායු සම්පීඩකයක් (air compressor) එකක් භාවිත නොකරන ලෙස ඇපල් සමාගම සඳහන් කර ඇති අතර ඒ වෙනුවට බුරුසුවක් යොදා ගත හැකියි. අවශ්‍ය නම් සිම්පත් මාරු කිරීමට ලැබෙන කූරක් සහිත කුඩා උපකරණය වුවත් උචිතයි. නමුත් එයින් ඇතුලත හානි නොවන සේ සහ ඇතුළු කිරීමේදී පිටත දාරයේ වැදී සීරීම් සිදුවීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. බුරුසුව යොදා සෑම මුල්ලකම ඇති දෑ පිටතට එන සේ ඉවතට පිස දැමීම කරන්නට පුළුවන්. එහිදී කටින් පිඹීම සිදු නොකළ යුතුයි.

ස්පීකර කවුළුව සඳහා මෘදු කෙඳි බුරුසුවක් යොදාගත හැකි අතර එහිදී කෙඳි වැඩිපුර ඇතුලට නොයන සේ කළ යුතු වෙනවා. ස්පීකර මෙන්ම මයික්‍රොෆෝනය ද මෙම කොටසෙහි ඇති නිසා නිසි ආකාරව, ප්‍රවේශමෙන් පිරිසිදු කිරීමෙන් ශ්‍රව්‍ය ගුණාත්මක බව මෙන්ම ඇමතුම්වලදී ඔබේ කටහඬ අන් අයට පැහැදිලිව ඇසෙන්නටත් එය උපකාර වෙනවා.

චාර්ජරය සහ වයරය

digitaltrends.com

Lightning කේබල් එකෙහි දුරකතනයට සම්බන්ධ වන කොටසත්, චාර්ජරයේ විදුලියට සම්බන්ධවන කොටස්නුත් ආරෝපණය කිරීමේ ගැටළුවලට පදනම් වෙනවා. එම කොටස්වල තිබෙන ලෝහ තහඩුවල දුර්වර්ණ වීමක්, ඔක්සයිඩ බැඳී ඇති බවක් දකින්නට ලැබෙනවා නම් එම කොටස්වල ගෑවෙන සේ හැඩය සකසා ගත් මකන කැබැල්ලකින් ඒවා ප්‍රවේශමෙන් ඉවත් කරන්නට පුළුවන්. මෙම ඔක්සයිඩ කිසිදු අවස්ථාවකවත් යකඩ කූරු, යතුරු කටු ආදියෙන් සූරා නොදමන්නට වගබලා ගත යුතුයි.

ඊට අමතරව එහි කේබලය කොටසත් අතේ ඇති දූවිලි, දහඩිය නිසා සහ එය දමන ස්ථානවල ඇති දූවිලිවලින් දුර්වර්ණ වෙනවා. ඒ සඳහා සබන් වතුර ටිෂූ කොළයක පොඟවා වයරයේ ඉහළ සිට අගට, වයරයේ දෙකෙළවරට වැඩි පීඩනයක් නොයෙදෙන ලෙස කොළය මැදින් කිහිපවරක් චලනය කිරීමෙන් දුර්වර්ණවීම් ඉවත් කරගන්නට පුළුවන්. දෙකෙළවර ලෝහ කොටස්වල ජලය ගෑවුණහොත් එය වහා පිස දැමිය යුතු මෙන්ම වියැළෙන තෙක් ආරෝපණයට පාවිච්චි නොකර සිටිය යුතු වෙනවා. වැඩි පීඩනයක් දෙකෙළවරට යෙදීමෙන් වැළකිය යුත්තේ එම කොටස්වලින් වයරය කැඩී යාමට වැඩි ඉඩකඩක් ඇති නිසායි.

බොත්තම්, ස්විච සහ කැමරා

tnwcdn.com

මුහුණතෙහි ඇති හෝම් යතුර ඇඟිලි සලකුණු සංවේදකය ලෙස නූතන ඒවායේ ක්‍රියාත්මක වන නිසා එහි දහඩිය, තෙල් ගතිය රැඳීමෙන් Touch ID එකද නිසිසේ ක්‍රියා කිරීමෙන් වැළකී යනවා. iPhone Xහි මුහුණත ඉහළ ඇති notch එක ද අපවිත්‍ර වීමෙන් FaceID එකෙහි නිරවද්‍යතාව අඩු වෙනවා. මේවා පිසදැමීමට ද තිරය පිරිසිදු කළ ආකාරය ම යොදා ගත හැකියි. දුරකතනයේ දාරයේ ඇති Mute ස්විචය නිතර පාවිච්චි නොකරනවා නම් කුණු දුහුවිලි රැඳී තිබීමට ඇති ඉඩකඩ වැඩියි. ස්විචය විවිධ මට්ටම්වලට වෙනස් කරමින් මෘදු බුරුසුවෙන් එය පිරිසිදු කළ යුතු වෙනවා.

ඇමතුම් ගැනීමට කණේ තබා ගැනීමේදී ඉදිරිපස කැමරාවෙහි මුහුණෙහි දාඩිය, ඉවත්වන සමේ කොටස් රැඳෙනවා. එම අපවිත්‍ර සාධක නිසා ගන්නා ඡායාරූපවල බොඳවීම්, ආලෝකය අඩු බව වැනි දේවල් කාලානුරූපව ඇති වෙනවා. පසුපස කැමරාවෙහිත් එවන් ඡායාරූප ගැනීමේ ගැටළු ඇති වෙනවා නම් කාච පිසදැමීම සඳහා වූ රෙදි කඩක් ළඟ තබාගෙන නිරන්තරව පිරිසිදු කිරීම කළ යුතු වෙනවා. දුරකතනය ඇඳුමේ පිසදමන්නට ඔබ පුරුදුව ඉන්නවා නම් බොත්තම්වල වැදීම්, රළු කලිසම් ආදියෙන් දුරකතනයට හානි සිදුවිය හැකි නිසා ඉන් වැළකීමයි හොඳ.

කවරයේ ඡායාරූපය: asurion.com

Related Articles