Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොනවාද මේ Chromebook කියන්නේ?

ඔබ ලැප්ටොප් එකක් ගන්න කල්පනා කරනවා නම් සාමාන්‍යයෙන් දන්නා කියන Notebook අතරෙහි Chromebookනුත් දකින්නට ඇති. නිතර අසා ඇති Notebook පරිගණකවලට වඩා මේවායේ තිබෙන වෙනස්කම් මොනවා වෙන්න පුළුවන් ද? Chromebook කියන්නේ මොකක්ද, වඩාත් ගැලපෙන්නේ මොනවගේ වැඩවලට ද, එහි ධාවනය වන ChromeOS කියන්නේ ම‍ොකක්ද කියලා අපි ඔබට කියන්නම්.

Chromebook කියන්නේ මොකක්ද?

ප්‍රමාණයෙන් කුඩා නිසා ගෙනයාම පහසුයි (cbsistatic.com)

වෙනත් පරිගණකයකට වඩා ක්‍රෝම්බුක් එකක ඇති මූලිකම වෙනස්කම එහි මෙහෙයුම් පද්ධතිය ලෙස Chrome OS ධාවනය වීම යි. මෙම පරිගණක ලැප්ටොප් ගණයට අයත් වන අතර Chrome OS ස්ථාපිත ඇතැම් ටැබ්ලට් පරිගණක මෙන්ම ඩෙස්ක්ටොප් පරිගණක පවා වෙළඳපොළෙහි තිබෙනවා.

මීට අවුරුදු දහයකට විතර කලින් Netbook ප්‍රචලිතව තිබුණා. ඊට පස්සේ ටැබ්ලට් ප්‍රසිද්ධ වුණා. දැන් ලෝකයේ තිබෙන රැල්ල Chromebook පරිගණක යි. මෙම Chromebook බොහෝ දුරට Netbookවලට සමානයි. ඒ වගේම, ඇතැම් මාදිලිවල ටච් ස්ක්‍රීන් එකක් සමග අංශක 360ක් ලැප්ටොප් පියන භ්‍රමණය කළ හැකි නිසා ටැබ් එකක් ලෙස පාවිච්චි කරන්නටත් පුළුවන්. එනිසා ක්‍රෝම්බුක් කියන්නේ ටැබ්ලට් සහ නෙට්බුක්වල එකතුවක් ලෙස හැඳින්වීමෙහි වරදක් නැහැ.

Notebook වලට වඩා තිරය කුඩායි (googleusercontent.com)

Netbook බොහොමයක වින්ඩෝස් ධාවනය වූ නිසාත්, පරිගණකයේ ජවය අඩු නිසාත් සම්පූර්ණ සමානකමක් බවට කියන්නත් අමාරු යි. Netbookවල Celeron වැනි අඩු මට්ටමේ ප්‍රොසෙසර තිබුණත්, Chromebook ඔබට කැමති ප්‍රොසෙසරයක් සහිතව (Core i5 හෝ Celeron) සහ 8GB තරම් ඉහළ RAM අගයකින් මිල දී ගන්නට හැකි වීම විශේෂත්වයක්.

කළ හැකි දේවල් අනුව සලකද්දී Chromebook පරිගණක එහි මෙහෙයුම් පද්ධතියේ සරල බව නිසා Netbookවලට සීමා වෙනවා.

සැහැල්ලු සහ සරල Chrome OS

Play Store, Terminal පමණක් නොව, Android Studio පවා ධාවනය කළ හැකියි (mspoweruser.com)

Chrome OS කියන්නේ C සහ C++ පරිගණක භාෂාවන් යොදාගෙන Linux කර්නලය මත ගොඩනැගූ මෙහෙයුම් පද්ධතියක්. Google සමාගම නිර්මාණය කළ මේ මෙහෙයුම් පද්ධතිය, වින්ඩෝස් හෝ උබුන්ටු මෙන් බාගත කරගෙන ස්ථාපනය කරන්නට නොහැකියි. එහි අතුරුමුහුණත Chrome වෙබ් බ්‍රවුසරය මත පදනම් වෙනවා.

එහි මූලික වශයෙන් ධාවනය වන්නේ අන්තර්ජාලය හරහා භාවිතා කළ හැකි, Chrome බ්‍රවුසරය මත ධාවනය වන Web apps තමයි. මෙහෙයුම් පද්ධතියෙන් File Manager එකක් සහ Media Player එකක් ලැබෙනවා. 2016 සිට Google Play Store පහසුකම් ChromeOS වෙත විවෘත කළ නිසා ඇන්ඩ්‍රොයිඩ් Apps ධාවනය කළ හැකි වූ අතර, 2018 දී නිල වශයෙන් ලිනක්ස් ඩෙස්ක්ටොප් මෘදුකාංග ධාවනය කරවීමේ පහසුකම් ද ලැබුණා.

Chrome OS මත Spotify ධාවනය කරමින් (aolcdn.com)

ඉතා සරල සහ සැහැල්ලු බව නිසාම වැඩි වේගයක් පරිගණකයට ලබා දෙන්නට මෙයට හැකියාව තිබෙනවා. x86, x64 මෙන්ම ARM, ARM64 ප්‍රොසෙසරවලට මෙහි සහාය තිබෙන නිසා පරිගණකවලට යොදන Intel මෙන්ම දුරකතන/ ටැබ්වලට යොදන Qualcomm චිප්වල පවා මේ මෙහෙයුම් පද්ධතිය ධාවනය කළ හැකියි. ChromeOS ධාවනය වන Chromebit නමැති උපාංගවලට HDMI හරහා ටීවී එකට සම්බන්ධ වී එය SmartTV එකක් බවට පත් කරන්නටත් පුළුවන්.

Chromebook එකක් ගන්න කලින් Chromium OS අත්හදා බලන්න

Chromium බ්‍රවුසරය සහිත Chromium OS (alternativeto.net)

ඔබ ලිනක්ස් වලදී Software Center එක හරහා Google Chrome වෙබ් බ්‍රවුසරය බාගත කරගන්නට උත්සාහ කළා නම් නිල් පැහැති අයිකනයක් ඇති Chromium Browser එක මුණගැසී ඇති. Chromium Browser කියන්නේ Google Chromeවල විවෘත කේත වෙළුමයි. එනිසාම දැන් Microsoft Edge බ්‍රවුසරය පවා Chromium මත පදනම් වෙනවා.

ඒ ආකාරයට ම Chrome OS එකටත් විවෘත කේත වෙළුමක් තිබෙනවා. එය හඳුන්වන්නේ Chromium OS කියායි. Chrome OS එක ගොඩනගා ඇත්තේ ද Chromium OS මත යි. Chrome OS අපිට ඍජුව බාගත කරගන්නට නොහැකි නමුත් එයට ඉතාම සමාන, Chromium OS එක බාගත කරගෙන ලිනක්ස් බෙදාහැරුමක් මෙන්ම ස්ථාපනය කරගන්නට පුළුවන්. මේ නිසා ඔබ Chromebook එකක් මිලදී ගන්නට කලින් දැනට තිබෙන පැරණි පරිගණකයේ එය ස්ථාපනය කරගෙන අත්හදා බැලීම නුවණට හුරුයි.

PlayStore ද සතු ChromX (exton.se)

අවාසනාවකට, (තවම) ChromiumOS සතුව ඇන්ඩ්‍රොයිඩ් Apps ධාවනය කරවීමේ හැකියාව නැහැ. එයට විසඳුමක් වශයෙන් Chromium OS මත ගොඩනැගූ බෙදාහැරුමක් (distro එකක්) වන FydeOS භාවිතා කළ හැකියි. නමුත් එය ද චීනය සඳහා සැකසූ මෙහෙයුම් පද්ධතියක් නිසා එරට භාවිතයට යි වඩාත් සුදුසු වන්නේ. එහි වෙබ් අඩවිය පවා චීන බසින් ඇති නමුත් මෙහෙයුම් පද්ධතිය ඉංග්‍රීසි බසින් ස්ථාපනය කරගන්නට පුළුවන්. ChromX සතුව ද Play Store තිබෙනමුත් එය දින 30ක Trial එකකට සීමා වෙනවා.

ඔබ එදිනෙදා භාවිතා කරන පරිගණකය සඳහා දිගුකාලීන භාවිතයට මේවා ස්ථාපනය කර ගැනීමට අප නිර්දේශ කරන්නේ නැහැ. ඔබට හුදෙක් Chromebook අත්දැකීම විඳීමට මෙය Virtual Machine එකක ස්ථාපනය කිරීම හෝ Live USB එකක් පාවිච්චි කිරීම වඩාත් හොඳයි. මන්ද, වින්ඩ‍ෝස් හෝ වෙනත් ලිනක්ස් බෙදාහැරුමක් සමග මෙය Dual-boot කරන්නට ද බැහැ.

බාගන්න: ChromiumOS | FydeOS

Chromebook ගැලපෙන්නේ කාට ද?

Android Studio ධාවනය කරමින් (9to5google.com)

Chromebook එකක ලොකු RAM එකක් හෝ ජව සම්පන්න CPU එකක් තිබුණාට ම එහි Photoshop, 3Ds Max වැනි බරසාර මෘදුකාංග ධාවනය කරවන්නට බැහැ. නමුත් ඔබට Chrome ටැබ් 1000ක් විතර බය නැතුව open කරන්නට, Android apps වැනි මෘදුකාංග නිර්මාණ කටයුතු කරන්නට පුළුවන්. ඒ කියන්නේ, ඡායාරූප, ශබ්ද හෝ වීඩියෝ සංස්කරණ, ත්‍රිමාණ සජීවීකරණ වැනි බරසාර වැඩ කරන කෙනෙක්ට Chromebook ගැලපෙන්නේ නැහැ.

Chromebook වල මූලික වශයෙන්ම ධාවනය කළ හැකි වන්නේ Google Docs, Spreadsheets වැනි මෘදුකාංග නිසා ව්‍යාපෘති සැකසීම් සහ අන්තර්ජාල පමණක් භාවිතා කරන විශ්වවිද්‍යාල ප්‍රවේශකයෙකුට මෙය වඩාත් හොඳින් ගැලපෙනවා. Play Store තිබෙන නිසා අවශ්‍ය නම් Microsoft Word, Excel, Powerpoint පවා ස්ථාපනය කරගන්නට පුළුවන්. ඇතැම් නිෂ්පාදන සමග ස්පර්ශ තිරයක් සහ Stylus ලැබෙන නිසා කාටූන් වැනි සරල ග්‍රැෆික් නිර්මාණ කරන කෙනෙක්ට, චිත්‍ර ඇඳීමට ප්‍රිය කරන කෙනෙක්ට වුවත් Android Apps යොදාගෙන Chromebook එකක් පාවිච්චි කරන්න පුළුවන්. Linux apps පහසුකම enable කළ පසු Coding කරන කෙනෙක්ට වුවත් Android Studio, Visual Studio ස්ථාපනය කරගත හැකි නිසා මෙය ගැලපෙනවා.

Powerpoint, Excel සහ Word ධාවනය (techhive.com)

අන්තර්ජාල වෙළඳපොළෙහි මෙම නිෂ්පාදන රු. 50,000 සිට ඇරඹෙනවා. හොඳ ප්‍රොසෙසරයක්, වැඩි RAM අගයක්, ස්පර්ශ තිර සහ Stylus ආදිය අවශ්‍ය නම් ගාණ ටිකක් වැඩි වෙනවා. මෙහි ඇති හොඳම වාසිය, අපිට ටච් ස්ක්‍රීන් එකක් තියෙන Notebook එකක් ගනිද්දී රු. ලක්ෂය ඉක්මවන නමුත් 70,000කට විතර එම පහසුකම Chromebook එකකින් ලබා ගන්න පුළුවන්.

සල්ලි ඉතිරි කරගත හැකි තවත් ක්‍රමයක් වන්නේ, හොඳ ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකක් අරගෙන එයට hardware Keyboard එකක් (අවශ්‍ය නම් Mouse එකකුත්) වෙනම මිල දී ගැනීම යි. එවිට Android ධාවනය වන ලැප්ටොප් එකක් Chromebook එකකටත් වඩා අඩුවට touch screen එක්කම හදාගන්න පුළුවන්. හැබැයි ගැටළුවකට තිබෙන්නේ ඔබ නිතර සිංහල යුනිකෝඩ් ටයිප් කරන කෙනෙක් නම් එයින් කිසිදු ප්‍රයෝජනයක් ගන්නට නොහැකි වීමයි. මන්ද, තවමත් සිංහල භාෂාවෙන් hardware keyboard එකකින් ටයිප් කිරීමේ පහසුකම් ඇන්ඩ්‍රොයිඩ්වලට නැහැ.

ඉතින්, ඔබ Chromebook එකක් මිල දී ගන්න හිත වෙනස් කරගත්තා ද? එහි ඔබ දකින අඩුපාඩු තිබෙනවා නම් ඒ මොනවා ද?

කවරය: popsci.com

Related Articles