අතීතයේ දී අභ්‍යවකාශ තරණය ලෝකයේ බලවත් රාජ්‍යන් කිහිපයකට පමණක් සිමා වී තිබුණා. නමුත් අද වන විට අභ්‍යවකාශ තරණයේ යෙදෙන පෞද්ගලික සමාගම් පවා අපට දැක ගන්නට පුළුවන්.
අතීතයේ දී අමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය අතර පැවති සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස වර්ධනය වූ අභ්‍යවකාශ තරණ තාක්ෂණයේ අද තත්ත්වය පිළිබඳයි මේ ලිපිය ලියැවෙන්නේ.
එක්සත් ජනපදය හා රුසියාව අතර තරගයක්
දෙවන ලෝක යුද්ධය අවසන්වීමත් සමඟ ලෝකය ප්‍රධාන ලෙස බල කඳවුරු දෙකකට වෙන් වෙනවා. ඉන් එක් කඳවුරක් ලෙස අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ධනවාදී කඳවුර නම් කළ හැකි යි. සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර අනෙක් ප්‍රධාන කඳවුර යි. මෙම කඳවුරු දෙක අභ්‍යවකාශ තාක්ෂණය, යුද තාක්ෂණය, න්‍යෂ්ටික ශක්තිය හා වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ එකිනෙකා පරයා එකිනෙකා නැඟී සිටීමට උත්සාහ කරනවා.
දෙපාර්ශවය අතර මේ තරගය පැවති කාලසීමාව නිරවි යුද්ධය හෙවත් සීතල යුද්ධය ලෙස හඳුන්වනවා. දෙපාර්ශවය අතර අභ්‍යවකාශ තරණ තාක්ෂණය අතර තරගයක් නිර්මාණය වන්නේ 1957 වසරේ දී යි. ඒ එම වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සෝවියට් දේශය ස්පුට්නික් 1(Sputnik) චන්ද්‍රිකාව කක්ෂගත කිරීමත් සමඟ යි.
රුසියාවට දෙවැනි නොවූ එක්සත් ජනපදය
අමෙරිකා එක්සත් ජනපදයට පෙර සෝවියට් දේශය චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීම, සියලු තාක්ෂණික ක්ෂේත්‍ර තුළ අන් කවර රටකටත් වඩා එක්සත් ජනපදය ඉදිරියෙන් ම සිටින බවට සිතා සිටි අමෙරිකානුවන්ගේ අභිමානයට විශාල හානියක් ඇති කරනවා. වහා ක්‍රියාත්මක වන අමෙරිකානු රජය අභ්‍යවකාශ පර්යේෂණ සම්බන්ධයෙන් නාසා (National Aeronautics and Space Administration) ආයතනය පිහිටුවනවා. අසාර්ථක උත්සාහ කිහිපයකට පසුව ඔවුන් ද එක්සත් ජනපදයේ පළමු චන්ද්‍රිකාව ලෙස Explorer 1 අභ්‍යවකාශ ගත කරනවා. ඒ ස්පුට්නික් 1 අභ්‍යවකාශ ගත කිරීමෙන් මාස හතරක පමණ පසුව යි.
දෙපාර්ශවය අතර නිර්මාණය වූ තවත් තරගකාරී අවස්ථාවක් ලෙස අභ්‍යවකාශය වෙත මිනිසෙක් යැවීම හැඳින්විය හැකි යි. මේ අවස්ථාවෙත් ජයග්‍රහණය උදා කර ගන්නේ සෝවියට් දේශය යි. ඒ 1961 අප්‍රේල් 12 වන දා වොස්ටොක් 1 යානයෙන් යූරි ගගාරින් අභ්‍යවකාශ ගත වීමත් සමඟ යි. එම වර්ෂයේ ම මැයි 5 වැනි දා, අමෙරිකා එක්සත් ජනපදය ද අභ්‍යවකාශය වෙත මිනිසෙක් යවන අතර ඇලන් ෂෙපාඩ් අභ්‍යවකාශයට ගිය පළමු අමෙරිකානුවා ලෙස වාර්තා තබනවා.
උඩුගුවනේ නැවතුම් පොළවල් ස්කයිලැබ් හා මීර්
පෘථිවියට ඉහළින් අභ්‍යවකාශය තුළ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට හා සෝවියට් දේශයට දැඩි අවශ්‍යතාවක් තිබුණු අතර මෙහිදී ජයග්‍රහණය ලබන්නේ ඇඅමෙරිකා එක්සත් ජනපදය යි. ඒ 1973 වසරේ මැයි මාසයේ දී ස්කයිලැබ් නම් ඔවුන්ගේ පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය කිරීම ආරම්භ කරමිනු යි. සෝවියට් දේශය ද තමන්ගේ පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය 1986 වසරේ දී ඉදිකිරිම ආරම්භ කරන අතර එය ‘මීර්’ නමින් නම් කරනවා
1991 වසරේ දී සෝවියට් දේශය රටවල් 15 කට කැඩී යාමත් සමඟ ලෝකයේ එතෙක් පැවති ප්‍රබල කඳවුරක් වන සමාජවාදී කඳවුර අහෝසි වී යනවා. ඒ සමඟ ම මේ දෙපාර්ශවය අතර තිබූ අභ්‍යවකාශ තරගය අහෝසි වී යනවා.
ලොව ප්‍රබල රාජ්‍යයන්ට පමණක් සිමා වූ අභ්‍යවකාශ තරණය
ඉන්පසු ව අභ්‍යවකාශ තරණ තාක්ෂණය ලොව ප්‍රබල රටවල් කිහිපයකට පමණක් සීමා වෙනවා. ඒ ඒ රාජ්‍යයන්ගේ අනුග්‍රහය ලබන අභ්‍යවකාශ ආයතන පමණක් අභ්‍යවකාශ පර්යේෂණ දිගින් දිගට ම කරගෙන ගිය අතර චන්ද්‍ර තරණ, වෙනත් ග්‍රහලෝක ගවේෂණය හා ක්ෂිරපථයෙන් එපිට ගවේෂණය පවා මෙම අභ්‍යවකාශ ආයතන හරහා සිදු කෙරෙනවා.
එක්සත් ජනපදයේ නාසා, රුසියාවේ රෝස්කොස්මොස්, චීනයේ CNSA, ජපානයේ ජැක්සා, ඉන්දියාවේ ඊශ්‍රෝ හා යුරෝපා රටවල් 22 කින් සැදුම් ලත් යුරෝපා අභ්‍යවකාශ ආයතනය අභ්‍යවකාශ තරගයේ ඒකාධිකාරිත්වය හිමි කර ගෙන කටයුතු කිරීම ආරම්භ වෙනවා.
අභ්‍යවකාශ සංචාරයේ වර්ජන් ගැලක්ටික් හා බ්ලූ ඔරිජින් ගැටුම
2021 වසරේ දී වෘත්තීයමය අභ්‍යවකාශගාමින් නොවන සාමාන්‍ය පුද්ගලයන් කිහිපදෙනෙක් අභ්‍යවකාශයේ කක්ෂගත වී මෙතෙක් කලක් රාජ්‍ය අංශයන්ගෙන් කළ අභ්‍යවකාශ තරණ වෙනුවට පෞද්ගලික අභ්‍යවකාශ තරණයක් කිරීමට සමත් වෙනවා. ඒ ලෝකයේ බිලියනපතියන් දෙදෙනෙක් ආරම්භ කළ අභ්‍යවකාශ ආයතන දෙකක් හරහා යි. වර්ජින් ගැලක්ටික් (Virgin Galactic) අභ්‍යවකාශ ආයතනය 2004 වසරේ දී බ්‍රිතාන්‍ය ජාතික බිලියනපතියෙක් වන රිචඩ් බ්‍රැන්සන් ආරම්භ කරන්නේ අභ්‍යවකාශ තරණය සඳහා ඕනෑම අයකුට ඉඩ ප්‍රස්තාව සලසා දෙමින් නව අභ්‍යවකාශ යුගයක් නිර්මාණය කිරීමේ අරමුණෙන්. ඒ හා සමාන අරමුණක් මුල් කර ගනිමින් කලක් ලෝකයේ අංක එකේ ධනවතා බවට පත් ව සිටි අමෙරිකා ජාතික ජෙෆ් බෙසොස් බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ ආයතනය ආරම්භ කරන්නේ 2000 වසරේ දී යි.
මුලින් ම අභ්‍යවකාශ ගත වන අභ්‍යවකාශ සංචාරකයන් කණ්ඩායම බවට පත්වීමට මෙම ආයතන දෙක අතර තරගයක් නිර්මාණය වන අතර පළමුවෙන් ම අභ්‍යවකාශ තරණයට සමත් වෙන්නේ රිචර්ඩ් බ්‍රැන්සන්ගේ වර්ජින් ගැලක්ටික් අභ්‍යවකාශ ආයතනය යි.
රිචඩ් බ්‍රැන්සන් එක, ජෙෆ් බෙසොස් දෙක
2021 වසරේ ජුනි 7 වන දා ජෙෆ් බෙසොස් ට්විටර් පණිවිඩයක් හරහා ප්‍රකාශ කරන්නේ අභ්‍යවකාශයට ප්‍රථමයෙන් ම පෞද්ගලික ව යන කණ්ඩායාම තමා ඇතුළු බ්ලූ ඔරිජින් සාමාජිකයන් කිහිපදෙනෙක් බව යි. ඒ ප්‍රකාශය අසත්‍යයක් බවට පත් කරමින් රිචඩ් බ්‍රැන්සන් හා ඔවුගේ සමාගමේ තවත් සාමාජිකයන් තිදෙනෙක් ජූලි 11 වන දා සාර්ථක ව අභ්‍යවකාශ ගත වෙනවා. නියමුවන් දෙදෙනා සමඟ කණ්ඩායම හයක් වූ අතර ඒ අතරට කාන්තාවන් දෙදෙනෙක් ද ඇතුළත් වෙනවා. මෙම කණ්ඩායම Unity 22 ලෙස හැඳින්වූ අතර අභ්‍යවකාශයේ ශුන්‍ය ගුරුත්ව අත්දැකීම විඳ ගැනීමට මෙම කණ්ඩායමට අවස්ථාව ලැබෙනවා. සාර්ථක මෙහෙයුමකින් අනතුරු ව පෘථිවියට ළඟා වූ Unity 22 කණ්ඩායම වෙත පසුව ජෙෆ් බෙසොස් ද සුභපැතුම් එකතු කර තිබෙනවා.
ඊට දින කිහිපයකට පසුව එනම් ජූලි 20 වන දා ජෙෆ් බෙසොස්, ඔහුගේ සහෝදරයා හා තවත් දෙදෙනකුගෙන් යුක්ත කණ්ඩායමක් සමඟ අභ්‍යවකාශ ගතවීමට සමත් වෙනවා. මෙය සම්පුර්ණ ස්වයංක්‍රීය අභ්‍යවකාශ පියාසැරියක් ලෙස හැඳින්විය හැකි යි. අභ්‍යවකාශ ගත වූ ළාබාලත ම පුද්ගලයා ද මෙම කණ්ඩායමට අයත් වෙනවා. ඒ 18 හැවිරිදි ශිෂ්‍යයෙක් වන ඔලිවර් ඩීමන්. ඒ ඔහුගේ පියා මිලදී ගත් අසුන තම පුතුට ලබා දීම හේතුවෙනු යි.
මෙම අභ්‍යවකාශ ගමන් දෙක අභ්‍යවකාශය තරණයේ නව යුගයක් නිර්මාණය කිරීමට සමත් වෙනවා. ඒ වගේ ම ආයතන දෙක ම වාණිජ වශයෙන් අභ්‍යවකාශ තරණ සඳහා කටයුතු සුදානම් වෙමින් සිටින අතර මේ වන විටත් ප්‍රවේශපත්‍ර දහස් ගණනක් අලෙවි වී තිබෙනවා. ඒ දිනය උදා වනතුරු ලෝකයේ බොහෝ ධනවතුන් නොඉවසිල්ලෙන් බලා සිටිනවා.