ප්‍රකට කියමනකට අනුව අතීතය යනු විදේශයකි. අප කවුරුත් විදෙස් සංචාරයේ නියැළෙන්නට ප්‍රිය කළ ද, වීසා ගැටලු, ගුවන් ගමන් අත්සිටුවීම්, මුල්‍යමය වත්කම වැනි ප්‍රායෝගික කරුණු කාරණා රැසක් නිසාවෙන් බොහෝ දෙනකුට එවැනි ආසා සැබෑ කර ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.
මිහිපිට වන රටකට ගමන් කිරිම ඒ සා අසීරුකොට, විදේශයක් ලෙස හැඳින්වුව ද, භෞතික විද්‍යාවේ රළු කර්කෂ නීතීන්ගෙන් සීමා පැනවුණු, මිහිපිට නොපවතින අතීතයකට කාලය ඔස්සේ ගමන්කිරීම සැබෑවක් වන්නේ කෙසේද? න්‍යායකට පමණක් සීමාවු කාලය හරහා ගමන්කිරිම නමැති සංසිද්ධිය එදා මෙදා තුර විසූ විද්‍යාඥයන් පමණක් නොව හුදී ජනයා ද කෙතරම් නම් කුතුහලයකට ලක් කළා ද යන්න අවබෝධ කර ගැනීමට, එකී තේමාවෙන් නිර්මිත චිත්‍රපට හා රචිත ප්‍රබන්ධ දෙස බැලීම පමණක් ම සෑහේ.
ඩොක් බ්‍රවුන්, ක්‍රිස්ටෝෆර් නොලන් වැනි චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සිනමාත්මක නිර්මාණවලට නොදෙවැනි අයුරින් විද්‍යාත්මක න්‍යායන් මත පදනම්ව කාලය හරහා අතීතයට පියමං කිරීමට උත්සාහ දරන විද්‍යාඥයන් අතරින් තාරකා භෞතික විද්‍යාඥ ‘රොන් මැලට්‘ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. සිය ජීවිතයේ වැඩි ම කාලයක්, කාලය හරහා ගමන් කිරීම කළ හැක්කක් බව ඔප්පු කිරීම වෙනුවෙන් කැප කළ මැලට්, කාල යන්ත්‍රයක් නිපදවිය හැකි යැයි කියැවෙන විද්‍යාත්මක සමීකරණ හා නියම පවා හඳුන්වා දි ඇත්තෙකි.
තම න්‍යායන් මත පදනම් ව, සිය ජීවිත කාලය තුළ දි කාලය හරහා ගමන් කිරීම නමැති සිහිනය ජය ගැනීමට තමන් අපොහොසත් බව දැන දැනම වුව ද මැලට් සිය පර්යේෂණ කටයුතු අඛණ්ඩව කරගෙන යන්නේ එදා මෙදාතුර තමන් පෙළූ එකම ආසාව කෙදිනක හෝ සංසිඳවා ගැනීමේ අරමුණිනි. දැන් වයස අවුරුදු හැත්තෑ හතරක් වන රොන් මැලට් තාරකා භෞතික විද්‍යාවේ මේ සා දුරක් රැගෙන ආවේ, තමා කුඩා වියේදී ම අහිමි වූ ආදරණීය පියා යළි එක්වරක් හෝ දැක ගැනීමට ඔහු තුළ වන මෙම දැවෙන ආසාව මිස අනෙකක් නොවේ.
පියාගේ අභාවයෙන් පිළිසිඳ ගත් සිහිනය
ඔයුට වයස අවුරුදු දහයේ දී හදිසි හෘදයාබාධයකින් සිය ආදරණීය පියා සදහට ම අහිමි වීම කුඩා මැලට්ගේ ජීවිතය මුළුමනින් ම කණපිට හැරවීමට සමත්වු ඛේදවාචකයක් විය. මැලට්ම පවසන පරිදි හැම විටෙක ම ඔහුගේ ජීවිතයේ කේන්ද්‍රය වූයේ, කුඩාවියේ පටන් තමා කියැවීමටත්, කුතුහලයෙන් පිරුණු විද්‍යාව කෙරෙහිත් නැඹුරු කළ ආදරණීය පියාණන් ය. ඔහුගේ අහිමි වීම කෙතරම් නම් කම්පනයක් මැලට් වෙත ගෙනාවේ ද යත්, අදට ද සිය පියාගේ අභාවය සැබෑවක් ලෙස පිළිගැනීමට ඔහු මැලිවන්නේ ය. තම ජීවිතයේ වැදගත්ම පුද්ගලයා අහිමි වීමේ හද දැදුරු කරවන වේදනාවෙන් පෙළෙමින් සිටි කලකයි කුඩා මැලට්ට හාපුරා කියා ‘ද ටයිම් මැෂින්‘ නමැති විද්‍යා ප්‍රබන්ධයේ පිටපතක් කියවීමට ලැබෙන්නේ.
සුප්‍රකට ලේඛක එච්. ජී.වේල්ස්ගේ පරිකල්පනයෙන් හැඩ වූ කාල යන්ත්‍රයේ පිටු අතර සිර වූ කුඩා මැලට්ට පළමු වරට හැඟී යන්නේ සිය පියාගේ මරණය අවසානයක් නොව, නව මාවතක ඇරඹුමක් තමන් වෙත ගෙනැවිත් ඇති බවකි. ඉනික්බිති ව එළැඹුණු මැලට්ගේ ජීවිතයේ හැටවසරක කාලයක් ගෙවී ගියේ විසිවන සියවසේ මහා ප්‍රාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ ගවේෂණයට ලක්වූ කළු කුහර, කාලය, අවකාශය, ගුරුත්වය, හා සාපේක්ෂතාවාදය වැනි භෞතිකවිද්‍යා තේමා අතර ය.
කනෙක්ටිකට් විශ්වවිද්‍යාලයේ භෞතිකවිද්‍යා මහාචාර්යවරයකු ලෙස සිය වෘත්තියෙන් ලබා ගත් පන්නරය මතින් කාල තරණය පිළිබඳ න්‍යාය ගොඩ නඟමින්, එහි උච්චස්ථානය වන කාලය හරහා අතීතයට ගමන් කිරීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරීමේ දැවැන්ත අභියෝගය හේ කරට ගන්නේ ද ළාබාල වයසක දී අහිමි වූ සිය පියා යළි දැක ගැනීමේ දැවෙන ආසාව නිසාම ය. යමකුට මනංකල්පිතයක් ලෙස හැඟෙන, කාල යන්ත්‍රයක් තැනීම නමැති මැලට්ගේ මෙම අභියෝගය කිසිදා ළඟා විය නොහැකි මිරිඟුවක් බවට තර්ක ඉදිරිපත් වුව ද, ඉන් සංකේතවත් වන්නේ ආගන්තුකවූ විශ්වයක් තුළ වුව ද සිය දෛවය පාලනය කිරීමට මිනිසා තුළ වන නොසංසිඳෙන ආසාව හා, ආදරය මතින් ගොඩනැඟුණු ළමාවියේ කෙළිලොල් සිහිනවල ප්‍රබලත්වය ය.
පියා අහිමි වන ඕනෑ ම පවුලකට මුහුණ දීමට සිදුවන ආර්ථික අඟහිඟකම් මැලට්ගේ පවුලට ද අමුත්තක් වූයේ නැත. එසේවුව ද ගමේ වූ ගලවා ගැනීමේ හමුදාවට අයත් පුස්තකාලයේ පොත් අතර ගැවෙසෙමින් පියාගේ වියෝවෙන් හට ගත් තනිය මකා ගැනීමට කුඩා මැලට් ගත් උත්සාහය පුබුදු වුණේ අයින්ස්ටයින්ගේ ලියවිලි ඇතුළත් පත පොත කියැවීමට ලැබීමත් සමඟ ය. විද්‍යාවේ කෙරෙහි කුඩා වියේ පටන් තිබූ ඇල්ම, අයින්ස්ටයින්ගේ ඉගැන්වීම්වලින් තවදුරටත් පොහොනි කර ගත් මැලට්, අමෙරිකා ගුවන් හමුදාවට බැඳෙන්නේ ද ඉන් සිය උසස් අධ්‍යාපනයට මුල්‍යාධාර ලබා ගැනීමේ අරමුණිනි. වියට්නාම යුද ගැටුම්වලට ද මැදිවෙමින් සිව් වසරක් ගුවන් හමුදාවේ සේවය කළ මැලට් කෙසේ හෝ දැඩි අධිශ්ඨානය නිසාම, සිය උසස් අධ්‍යාපනය ද සාර්ථක ව සම්පූර්ණ කරන්නේ අයින්ස්ටයින් න්‍යාය සම්බන්ධයෙන් විශේෂවේදී ආචාර්ය උපාධියක් ද හිමි කර ගනිමිනි.
ගුවන්යානා නිෂ්පාදන සමාගමක් වන යුනයිටඩ් ටෙක්නොලොජීස් ආයතනයේ ලද සිය පළමු රැකියාවේදී ම මැලට්ට සිය ගණිතමය න්‍යායන් ප්‍රායෝගික ව භාවිත කිරීමට අවස්ථාව හිමි වන්නේ, ලේසර් කිරණවලින් ජේට් එන්ජින්වල ටර්බයින් තටු සිදුරු කිරීමේ තාක්ෂණය ඇසුරිනි. භෞතික විද්‍යාව පිළිබඳ සහාය කථිකාචාර්යවරයකු ලෙස හේ කනෙක්ටිකට් විශ්වවිද්‍යාලයට සම්බන්ධ වන්නේ, ඉන් දෙවසරකට පසුව ය. වියට්නාම් යුද බිමේ සිට, විශ්වවිද්‍යාල මහාචාර්ය පදවිය දක්වා පැමිණි කාලය මුළුල්ලේ ම, සිත් පත්ලේ නිදන් වූ කාල තරණය පිළිබඳ නොසිඳුණු ආසාවකින් පෙළුණු මැලට් ඒ පිළිබඳ, හාපුරා කියා ප්‍රසිද්ධියේ කතා කිරීමට ඉදිරිපත් වූයේ කනෙක්ටිකට් විශ්වවිද්‍යාලය ඔහුගේ මහාචාර්ය ධූරය ස්ථිර කිරීමෙන් පසු ය. බැලු බැල්මට මායාවක් ලෙස හැඟෙන සිය න්‍යායන් නිසාවෙන් තම රැකියාව අහිමිවේ යැයි මැලට් බිය වුයේ සාධාරණ හේතු ඇතිව ය.
ප්‍රසිද්ධ වේදිකාවට ගෙනා කාල තරණ කල්පිතය
කාල තරණය ගැන සිය මතවාද ගැන ප්‍රථම වරට ප්‍රසිද්ධියේ කතාකිරීමත් සමඟ නන් දෙසින් ගලා ආ සුබවාදි ප්‍රතිචාරවලින් ඔහුට එක් දෙයක් ඔප්පු විය. ඒඅතීත තීරණ ගැන වන පසුතැවිල්ල හෝ වියෝ වූ ළබැඳියන් යළි දැක ගැනීමේ නොතිත් ආසාව නිසාවෙන් හෝ කාලය හරහා අතීතයට පියමං කිරීමේ විශ්වීය ඕනෑකමකින් ලෝකය පෙළෙන බව ය. මැලට්ගේ කාල තරණ න්‍යායන් සියල්ල පාහේ පදනම් ව තිබෙන්නේ අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා වාදය පිළිබඳ විශේෂ න්‍යාය හා සාපේක්ෂතාව පිළිබඳ සාමාන්‍ය න්‍යාය මත ය. කාලයට බලපෑම් කිරීමට වේගයට හැකියාව ඇත යන්න ය. ආලෝකයේ වේගයෙන් ගමන් කරන අභ්‍යාවකාශ ගාමියකුට කාලය ගත වන ආකාරය පෘථිවිය මත කාලය ගතවීමට වඩා හාත්පසින්ම වෙනස් ය.
එවන් අජටාකාශ ගාමියකු වසර කිහිපයක අභ්‍යාවකාශ චාරිකාවකින් පසු පෘථිවියට පැමිණිමේ දී දක්නට ලැබෙනු ඇත්තේ පෘථිවිය මත දශක ගණනාවක් ගත වී ඇති බව යි. මෙයට කදිම සිනමාරූපි නිදසුනක් ලෙස මැලට් පෙන්වා දෙන්නේ 1968 දී මුල්වරට තිරගත වූ ‘ප්ලැනට් ඔෆ් ද ඒප්ස්‘ නමැති චිත්‍රපටය යි. එහිදී අභ්‍යවකාශ තරණයේ යෙදෙන අජටාකාශ ගාමියකුට අවසානයේ දී ඒත්තු යන්නේ තමා ගොඩ බැස ඇත්තේ වෙනත් ග්‍රහයකු මතට නොව ලෝක විනාශයෙන් ඉනික්බිති ව බිහි වූ, වානරයන්, මිනිසා පාලනය කරන පෘථිවියේ ම අනාගත යුගයකට බව ය.
සාපේක්ෂතාව පිළිබඳ සාමාන්‍ය න්‍යාය
“ මනංකල්පිත චිත්‍රපටයක් වුණත්, මේක අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂ න්‍යායේ කදිම නියෝජනයක්. ඒ කියන්නේ ඔබ සීමාව ඉක්ම වූ අසාමාන්‍ය වේගයකින් ගමන් කරනවා නම්, ඔබ කාලය හරහා ගමන් කරනවා කියන එකයි. “
මැලට් එසේ පැවසුවද මේ සියල්ලෙන් කියැවෙන්නේ කාලය ඔස්සේ අනාගතයට යෑමක් මිස අතීතයට යෑමක් ගැන නොවේ. එසේ නම් මැලට්ට සිය ආදරණීය පියා යළි සම්මුඛ විය හැක්කේ කෙසේ ද? මැලට් පවසන්නේ ඒ සඳහා අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාව පිළිබඳ සාමාන්‍ය න්‍යාය ආදේශ කළ යුතු බව යි. එයට අනුව කාලය යනු ගුරුත්වය මඟින් බලපෑමට ලක්කළ හැකිවූවක් බැවින්, ගුරුත්වයේ බලපෑම ප්‍රබල වන තරමට කාලය ගමන් කිරීමේ වේගය අඩුකළ හැකි ය. මෙම න්‍යායට අනුව ගුරුත්වය වූ කලී අප හඳුනා ගෙන ඇති පරිදි බලයක් නොව, අවකාශය නැවීමකට ලක්කරන සුවිශාල වස්තුවක් හා සමානවූවකි.
“ අවකාශය නවන්න පුළුවන් නම් ඒ කියන්නේ එය අඹරන්නත් පුළුවන් කියන එකයි. අයින්ස්ටයින්ගේ න්‍යායයේදි කාලය, ‘අවකාශ කාලය‘ කියලා හඳුන්වන්නේ ඒ නිස යි. ඒ කියන්නේ අවකාශයට ඔබ යමක් කළොත් ඒ දේ කාලයටත් සිදුවෙනවා කියන එකයි.“
ඒ අනුව කාලය එක්තරා පුඩුවක් ආකාරයට නැවීමට ලක්කළහොත්, යමකුට ඒ ඔස්සේ අනාගතයටත්, යළි අතීතයටත් ගමන් කිරීමට බැරි නැත. ලේසර් තරංග සම්බන්ධයෙන් සිය මුල් ම රැකියාවේ දී ලද අත්දැකීම් අනුසාරයෙන් මැලට් පවසන්නේ ‘මුදු හැඩැති ලේසර්‘ කිරණයක් ආධාරයෙන් එලෙස අතීතයට හා අනාගතයට ගමන් කළ හැකි කාල පුඩුවක් නිර්මාණය කළ හැකි බව යි. අවකාශය හා කාලය එලෙස ඇඹරීමට ලක්කළ හැකි, චක්‍රීයව සංසරණය වන ආලෝක තරංගයක් නිර්මාණය කිරීමට ලේසර් කිරණ යොදා ගත හැකි ආකාරය දැක්වෙන මූලාකෘතියක් පවා මැලට් නිර්මාණය කොට තිබෙන්නේ, මුදු හැඩැති ලේසර් කිරණ මඟින් ගුරුත්වය කෙරෙහි ඇතිකරන බලපෑම අධ්‍යයනය කිරීමෙනි.
සිය න්‍යාය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කළ හැකිවූවක්ය යන්න ඔප්පු කෙරෙන ගණිතමය න්‍යායක් පවා මැලට් සතු ය.මෙම න්‍යාය මත පදනම්ව ගොඩනැඟි කාල යන්ත්‍රය ඔස්සේ අතීතයට ගමන් කිරීමට නම් එලෙස ගමන්කළ යුතු ස්ථානය නිවැරදි ව දැක්විය යුතු අතර, වරක දී ගමන් කිරීමට හැකියාව ඇත්තේ එලෙස කලින් නිර්ණය කළ එක් නිශ්චිත ස්ථානයකට පමණක් වීම මෙහි ඇති එක් දුර්වලතාවක් බව මැලට් පිළි ගන්නේ ය.
අභ්‍යාවකාශ තරණය සංචාරක කර්මාන්තයට
දැනටමත් අභ්‍යවකාශය තරණය කිරීම, සංචාරක කර්මාන්තයක තත්ත්වයකට පත් ව ඇති යුගයක දී කාල තරණය ද නොබෝ කලකින් ම අප ජීවිත තුළට රිංගාගනු ඇතිද? තාරකා භෞතික විද්‍යාඥ පෝල් සටර් පවසන්නේ ගුරුත්වය මත පදනම්වූ කාල තරණය න්‍යායාත්මක ව සිදුවිය හැක්කක් ලෙස පෙනුණ ද, එය ප්‍රායෝගිකව ඔප්පුකිරීමට කාල තරණ යන්ත්‍රයක් තැනීමට ගත් සෑම උත්සාහයක් ම, භෞතික විද්‍යාවේම වන සෙසු න්‍යායන්ගෙන් බිඳවැටී ඇති බව යි.
සටර්ගේ අදහස වන්නේ මැලට්ගේ අධ්‍යයනයන් සිත්ගන්නාසුලු වුව ද, ඔහුගේ ගණිතමය න්‍යායන් දෝෂ සහගත බව යි. මැලට්ගේ කාල තරණ න්‍යායන් සම්බන්ධයෙන් සැක පහළ කරන එක ම විද්‍යාඥයා සටර් පමණක් නොවේ. ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව හා තාරකාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අන්තරීක්ෂ විද්‍යාතනයේ මහාචාර්යවරුන් දෙපළක් වන කෙන් ඩී. ඔලම් හා ඇලන් එවරට්ද මැලට් න්‍යායන් 2005 වසරේ දී විවේචනය කොට තිබුණේ යෝජිත කාල තරණ යන්ත්‍රය සේ ම ගණිතමය සමීකරණයේ ද වැරදි හුවා දක්වමිනි. නමුත් බ්‍රිතාන්‍ය ජාතික විද්‍ය ප්‍රබන්ධ ලේඛක බ්‍රයන් ක්ලෙග්, මැලට්ගේ කාල තරණ අදහස් සම්බන්ධයෙන් දරන්නේ සුබවාදි ආකල්පයකි.
සිය ‘හවු ටූ බිල්ඩ් අ ටයිම් මැෂින්‘ නමැති කෘතියේ ද මැලට් පිළිබඳ සඳහනක් ඇතුළත් කර ඇති ක්ලෙග් පවසන්නේ සාර්ථක නොවූව ද, පර්යේෂණාත්මක මට්ටමින් මෙවැනි කාල යන්ත්‍රයක් අත්හදා බැලීම සිත්ගන්නාසුලු අත්දැකීමක් වනු ඇති බව යි. එය ප්‍රායෝගික ව මිනිසා කාලය ඔස්සේ ගමන් කරවන්නක් නොව, හුදෙක් න්‍යායක ක්‍රියාකාරීත්වය ප්‍රදර්ශනයට ලක්කෙරෙන්නක් වනු ඇති බවයි ක්ලෙග් පවසන්නේ. ඔහුගේ එම ප්‍රකාශය මැලට් ද ප්‍රතික්ෂේප කරන්නේ නැත.
“ ඇත්තට ම මං කියන්න හදන මේ කාල තරණය, චිත්‍රපටයකින් පෙන්වන තාලේ, පැය දෙකකින් ඉලක්කයට ළඟාවෙන චාරිකාවක් නෙවෙයි. ඒකට ලොකු මුදලක් වැයවෙනවා වගේම සෑහෙන කාලයකුත් ගතවෙනවා.“
කාල තරණය ගැන කතාබහේදි සිය අත්දැකීම්, සිනමාරූපී උදාහරණ හා සැසඳීම මැලට්ගේ පුරුද්දකි. යම් දිනෙක කාලතරණය සැබෑවක් වුවහොත් ඉන් සදාචාරාත්මක වශයෙන් ඇතිවිය හැකි අනිටු විපාක ගැන කතාකිරීමේ දී හේ උදාහරණ ලෙස දක්වන්නේ 1994 දි තිරගත වූ ‘ටයිම්‍කොප්‘ චිත්‍රපටයේ එන කාල තරණය පිළිබඳ නීති නියාමනය කරන ‘ජීන් ක්ලෝඩ් වෑන් ඩේම්ගේ‘ චරිතයයි. 2014 දි තිරයට නැංවුණු ‘ක්‍රිස්ටෝෆර් නොලන්ගේ‘ ‘ඉන්ටර්ස්ටෙලර්‘ චිත්‍රපටය ද මැලට්ගේ ප්‍රියත ම නිර්මාණ අතරින් එකකි.
අනුවේදනීය පිය-දියණි සබඳතාව
පෘථිවි වාසියකුට වඩා හාත්පසින් ම වෙනස් අයුරින් කාලය, අභ්‍යවකාශයේ වෙසෙන පුද්ගලයකු කෙරෙහි බලපෑම් කරන අයුරු දැක්වෙන මෙම සිනමාපටය ඔස්සේ දිවෙන අනුවේදනීය පිය-දියණි සබඳතාව ද මැලට් සංවේදි කළ කාරණයකි. ඇතැම්විට ඒ එය ඔහුගේ පියාගේ මතකය සිහි කැඳවන්නක් වන නිසා විය හැකි ය. සිය න්‍යායන් මත පදනම්ව ජීවිත කාලය තුළ දී අතීතයට යාම සිහිනයක් බව මැලට් දැන හුන්න ද, සිය පියා යළිදු වරක් හෝ සජී ව අයුරින් දැක ගැනිමේ වරම මැලට්ට නුදුරේදී ම හිමි වීමට නියමිත ය. ඒ ඔහු 2008 දි රචනා කළ‘ද ටයිම් ට්‍රැවලර්‘ නැමැති ස්වයංචරිතාපදානය සල තිරයට නැංවීමට හොලිවුඩ් සිනමා සමාගමක් කටයුතු සම්පාදනය කරමින් සිටින නිසා ය. රිදී තිරය මත හෝ සිය පියා යළිත් දැක ගැනීමට ලැබීම, ඔහු ජීවමානව හමුවීමකට සමාන බැව් මැලට් පවසන්නේ හෘදයාංගම අයුරිනි.