Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොඳ සෙල්ෆි ඡායාරූපයක් ගන්නට ක්‍රමශිල්ප කිහිපයක්

අද කාලයේ බොහෝ දෙනෙක් සෙල්ෆි ඡායාරූප අරගෙන අන්තර්ජාලයේ පළ කරන්නට පෙළඹී ඉන්නවා. Facebook Instagram වගේ සේවාවන්වල මෙම ඡායාරූප ඉතා විශාල වශයෙන් දකින්නට ලැබුණු අතර බොහෝ දෙනෙක් මෙම ඡායාරූප කලාව හරිහැටි කරන්නට නොදන්නා බවයි පෙනෙන්නට තිබෙන්නේ. ඇතැම් අය හිතාගෙන ඉන්නෙ හොඳ ෆොටෝ එකක් ගන්නට නම් DSLR කැමරාවක් තිබීම අත්‍යවශ්‍යයි කියලා. නමුත් ඔබ දන්නවාද, ඔබේ අතේ තිබෙන ස්මාර්ට් දුරකතනයේ මූලික කැමරා app එකෙන්ම කිසිදු filter එකක් නොදා ඉතා අපූරු ඡායාරූප ගන්නට පුළුවන් බව? ඒ සඳහා අවශ්‍ය වන්නේ ඡායාරූප ශිල්පයේ ඉතා කුඩා රහස් කිහිපයක් දැන ගැනීම පමණයි.

මුහුණ නිසි පරිදි ස්ථානගත කරන ආකාරය

nashvilleheadshotphotography.wordpress.com

ඡායාරූපය ගැනීමෙදි බාහිර වස්තුන්ගෙන් ඔබව කැපී පෙනෙන ආකාරයට ස්ථානගත කිරීම සිදුකර ගත යුතු වෙනවා. මේ සඳහා කැමරාවේ සැකසුම් වල ඇති කොටු සහිත උපකාරකය (Grid) සක්‍රීය කරගැනීම වඩාත් පහසුවක් වෙනවා. දැති රෝදයක් වැනි අයිකනය බොහෝ කැමරා appවල setting සඳහා තිබෙන අතර ඒ වෙත පිවිසීම මගින් Enable Grid, Grid: On ආදි වශයෙන් ඇති සැකසුම සොයා ගන්නට පුළුවන්. මෙය විවිධ දුරකතන වල විවිධ ආකාරයෙන් තිබෙන නිසා ඔබට මීට සමාන වචන වලින් සහිත සැකසුම සොයා ගැනීමට සිදුවෙනවා. එය සබල කර ගැනීමේදී ද Rule of thirds Grid හෙවත් කොටු නවයකින් යුතු සැලැස්ම ලබා ගැනීම සිදු කළ යුතුයි.

මෙම ක්‍රමශිල්පය rule of thirds ලෙස ඡායාරූප ශිල්පයේ දී හඳුන්වන අතර එමගින් සිදු කරන්නේ මෙම කොටු සැලස්මේ විවිධ ස්ථානවල ඡායාරූපයේ කැපී පෙනිය යුතු වස්තුව ස්ථානගත කිරීමයි. ඉරි දෙකක් කැපෙන ස්ථානයක එනම් කොටු 4ක මධ්‍යයේ ඡේදන ලක්ෂ්‍යයේ මුහුණේ මධ්‍ය කොටස හෝ ඇස ස්ථානගත කළ යුතු අතර එමගින් වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකි වෙනවා. මෙම ස්ථානය ඡායාරූප නරඹන්නන්ගේ ඇස නිතර ගැටෙන ස්ථානයක් ලෙස අර්ථ දක්වා ඇති අතර එම ස්ථානයේ ඔබට උද්ධෘත කොට දැක්විය යුතු වස්තුව ස්ථානගත කිරීමෙන් ඡායාරූපය හරහා ලබාදිය යුතු පණිවිඩයට වඩාත් අරුතක් ලබාදීමට හැකියාව ලැබෙනවා.

ආලෝක තත්ත්වය

freelancehouse.co.uk

ඡායාරූපය ගැනීමෙදි දුරකථනයට පිටුපසින් ඔබේ මුහුණ දෙසට ආලෝකය වැටෙන ආකාරයට ගත යුතු වෙනවා. නමුත් මෙම ආලෝකය සෘජුව ඔබේ මුහුණ දෙසට පවතින ආකාරයෙන් නොව ඉතා සෞම්‍ය ආකාරයෙන් තිබිය යුතුයි. එළිමහනෙහි ඡායාරූප ගන්නවා නම් ඡායාරූප ශිල්පීන් හඳුන්වන ආකාරයට magical hours හෙවත් ඉර පායා පැයක් ඇතුළත හෝ ඉර බැස යාමට පෙර පැයක් ඇතුලත ගනු ලබන ඡායාරූප filters නොමැතිව ඕනෑම දුරකතනයකින් ලබාගත හැකි වෙනවා.

රාත්‍රී කාලයේදී ඡායාරූප ගන්නවා නම් ඇතැම් ප්‍රිය සම්භාෂණ ශාලාවල මේ සඳහාම විශේෂිත වූ ආකාරයට  සෞම්‍ය ආලෝක තත්ත්වයන් සහිත විදුලි බුබුළු එක්කර තිබෙනවා. ඒවා භාවිතා කිරීමේදී ද සෘජුව විදුලි බුබුල යට නොහිඳ ඊට මඳක් (අඩියක් පමණ) පසුපසින් සිට ලබා ගැනීම වඩාත් හොඳ ප්‍රතිඵල ගෙන දෙනවා.

ඡායාරූපය පළ කරන තැන අනුව ප්‍රමාණය

Thambaru/Roar

නානාප්‍රකාර වෙබ් සේවාවන් වල ඡායාරූප ප්‍රමාණයන් විවිධ ආකාරයේ වනවා. Instagram එකේ පසුගිය කාලයේ  ඔවුන් විසින් ලබාදෙන ප්‍රමාණයට අනුකූලව (කොටු හැඩය) පමණක් ඡායාරූප පළ කිරීමට සිදුවූ අතර Facebookහි ද පරිගණකය සහ දුරකථන වල පෙනෙන්නේ විවිධ ප්‍රමාණවල ඡායාරූප වූවත් ඒ හැම එකකටම පොදු ස්ථානය වන්නේ ඡායාරූපයේ මැද කොටසයි.

ඡායාරූපගත කරන යෙදුම් වල සැකසුම් හරහා ඡායාරූපයේ නිල පික්සල් ප්‍රමාණය වෙනස් කරන ස්ථානයේම ඡායාරූපයේ උස සහ පළල අනුපාතය ද දක්වා තිබෙනවා. මෙයින් Cover photo එකකට 16:9 ප්‍රමාණය ගැලපුණත් සෙල්ෆි ඡායාරූපය සඳහා වඩාත් උචිත වන්නේ 4:3 ප්‍රමාණයයි. එමඟින් හරි හතරැස් කොටුවක ආකාරයේ ඡායාරූපයක් ලැබෙන අතර බාහිර වස්තූන් අවම කරමින් ඡායාරූපයේ සිටින පුද්ගලයන් පැහැදිලිව දැක්වීමට අවස්ථාව ලැබෙනවා. හැබැයි එහි සිටින පුද්ගලයින් ප්‍රමාණය වැඩි නම් සමහරවිට ඡායාරූපය ගැනීම අපහසු වෙන්නටත් පුළුවන්. හැබැයි එහෙම වුණත් ඡායාරූපයක් ගන්න කෙනා කැමරාවට ඉතාමත් ආසන්නයෙන් සිටියහොත් මුහුණ ඉතා විශාලව පෙනෙන අතර ඉන් භයංකර ස්වභාවයක් ඇතිවන නිසා එසේ නොකිරීමට වගබලා ගත යුතු වෙනවා.

ඉරියව්

pinimg.com

ඡායාරූපය ගැනීමෙදි මුහුණ පමණක් පෙන්වනවා වෙනුවට උස වැඩි තල දර්පනයක් ඉදිරියේ සිට හෝ අතේ දුරින් තබා ගෙන ශරීරයේ වැඩි කොටසක් පෙනෙන ආකාරයට ගැනීමෙන් ද හොඳ බාහිර පෙනුමක් ලබා ගන්නට පුළුවන්. ඡායාරූප ගැනීමේදී කිසිම අවස්ථාවක විශාලනය (zooming) භාවිත නොකර සිටීමට ද වගබලා ගත යුතුයි. එසේ කළහොත් සිදුවන්නේ ඡායාරූපයේ ගුණාත්මක භාවය අඩු වී යාමයි. ඔබට ඡායාරූපය කිසියම් ප්‍රමාණයක් පමණක් පෙන්වීමට අවශ්‍ය නම් විශාලනය කිරීම වෙනුවට කළ යුත්තේ ඡායාරූපය ගැනීමෙන් අනතුරුව Crop කිරීමයි. එසේම ඔබ මුහුණ මහත කෙනෙක් නම් බෙල්ලෙන් හිස ඉදිරියට යොමු වන සේ නැවීමෙන් නිකටෙහි ඇතිවන පිම්බුණු හෝ මධ්‍යයේ වළ ගැසුණු ස්වභාවය නැතිකර ගන්නට පුළුවන්.

Poses හෙවත් ඡායාරූපය ලබා ගැනීමේදී පෙනී සිටිය යුතු ආකාරයන් ගැන තවත් සඳහන් කරනවා නම්, ඡායාරූප ගැනීමේදී කෙලින්ම කැමරාව දිහා බලනවා වෙනුවට ඇතැම් විට ඊට මඳක් එපිට බැලීම වඩාත් උචිත වන අතර ඍජු ව සිටිනවා වෙනුවට එක් අතක් බඳ ප්‍රදේශයට ගෙන අත බැඳි ඔරලෝසුව පෙනෙන ආකාරයට තබා ගන්නටත් හැකි බව සිහිපත් කළ යුතුයි.

බොත්තම් වලින් ලබාගත හැකි පහසුකම්

Thambaru/Roar

Selfie ගැනීමේදී ඇතිවන තවත් ගැටලුවක් තමයි හරි ආකාරව බොත්තම ඔබා ගන්න එක. තීරයෙන් මුහුණ දිහා බලාගෙන හෝ කැමරාව දිහා බලාගෙන ඒ අතරතුරේ ෆොටෝ එක ගන්නට තිරය මත බොත්තමක් සොයා ගන්න ගියාම ඡායාරූපයට අරගෙන ඉවර වුණාම අන්තිමට අපි පහල බලාගෙන ඉන්නවා වගේ පෙනෙනවා. විශේෂයෙන් පිරිසක් සමඟ මෙවැනි ඡායාරූපයක් ගන්නවා නම් කිහිප සැරයක් ගැනීමේදී විවිධ අය විවිධ ආකාරයට සිටීමත් කිහිප සැරයක් ගැනීමේදී එපා වීමත් නිසා පළමු උත්සාහයෙන්ම ඡායාරූපය ගත යුතු වෙනවා.

මේ නිසා තිරය මත ඇති බොත්තම අමාරුවෙන් tap කරනවා වෙනුවට ශබ්දය අඩු කිරීම සඳහා ඇති Volume down (-) වැනි භෞතික යතුරක් භාවිතා කරමින් ඡායාරූපය ගැනීම සඳහා සැකසුම් සකසා ගැනීම පහසුවක් වෙනවා. ඇතැම් දුරකථන වල මෙය Volume button function ලෙස දක්වා ඇති අතර එයට Shutter යන්න තෝරා දිය යුතුයි. එවිට කැමරාව විවෘත කර ශබ්ද පාලක බොත්තම් එබීමෙන් ඡායාරූපයක් ගැනීම සිදු කරන්න පුළුවන්. එසේම ඒ වෙනුවට Touch to capture හෙවත් තිරයේ ඕනෑම ස්ථානයක් ස්පර්ශ කිරීමෙන් ඡායාරූප ගන්නා ආකාරයට සකසන්නට පුලුවන්.

ඒ හැරුණු විට S6 වැනි දුරකථනවල පසුපස ඇති ස්පන්දන සංවේදකය හරහාද ඡායාරූප ගැනීම බල ගැන්විය හැකි අතර බොහෝ ඇඟිලි සළකුණු ස්පර්ශකය පසුපස ඇති දුරකථන වලද එය මත ඇඟිල්ල තැබීමෙන්ද ඡායාරූප ගැනීම සබල වෙනවා.

ඉතින් මේ ආකාරයට හොඳ ඡායාරූපයක් ලබාගෙන ඔබේ ප්‍රතිරූපය සකසා ගන්නට වගේම අනාගතයේදී බලන්න හොඳ මතකයක් සහිත අපූරු ඡායාරූපයක් සමාජ ජාල වෙබ් අඩවියක රඳවන්නට ඔබට අවස්ථාව ලැබේවි.

කවරයේ ඡායාරූපය: reshareit.com

Related Articles