‘ටියැන්ගොන්ග්-1’ලෙස හැඳින්වෙන්නේ චීනයේ ජාතික අභ්‍යවකාශ පාලක මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන තනි මොඩියුලයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්. 2011 වර්ෂයේ දී කක්ෂගත කරන ලද එය, 2012 සහ 2013 වර්ෂයන් හි දී ඒ වෙත ළඟා වූ චීන ගගනගාමීන් කණ්ඩායම් ද්විත්වයකට නවාතැන් සපයා තිබෙනවා. අනෙකුත් අභ්‍යවකාශ ව්‍යාපාරයන්ට සාපේක්ෂ ව චීන අභ්‍යවකාශ ඒජන්සිය ඔවුන්ගේ මෙහෙයුම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කරන්නේ අඩුවෙන් බැවින් ලෝකයා ‘ටියැන්ගොන්ග්-1’ හා බැඳි කරුණු දන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් බව පැවසීම බොරුවක් නොවෙයි.
ඇතැම් විද්වතුන් ප්‍රකාශ කරන්නේ ‘ටියැන්ගොන්ග්-1’ හි දිරාපත් වන කක්ෂය හේතුවෙන් 2018 මාර්තු හෝ අප්‍රේල් මාසයේ දී එය පෘථිවියට කඩා වැටීමට ඉඩ ඇති බව යි. The Aerospace Corporation සමාගමට අනුව අභ්‍යවකාශ මධ්‍යස්ථානය අඛණ්ඩ ව පාලනයකින් තොර ව පෘථිවි වායුගෝලය කරා ඇඳී ආවොත් එය බොහෝ දුරට අප්‍රේල් 3 වැනි දින වායුගෝලයට කඩා වැටෙනු ඇති. සමාගම තව දුරටත් ප්‍රකාශ කරන්නේ ‘ටියැන්ගොන්ග්-1’ හි සුන්බුන් කුඩා ප්‍රමාණයක් වායුගෝලයේ ඉතුරු වීමේ සම්භාවිතාවක් පවතින බව සහ එය පෘථිවිය සමග ගැටෙනු ඇති බව යි. එසේ වුවහොත් එය පොළොව මත සැලකිය යුතු තරමේ ආවාටයක් නිර්මාණය කරනු ඇති.
චීන බසින් ‘දිව්‍යමය මන්දිරය’ යන අරුතෙන් නම් කර ඇති ‘ටියැන්ගොන්ග්-1’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කක්ෂය වැටී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, කැනඩාව සහ දකුණු අප්‍රිකාව වැනි ජනාකීර්ණ පෙදෙස් සහ දක්ෂිණ ධ්‍රැවය හරහා යි. එසේ වුව ද පෘථිවියේ වැඩි ඉඩ ප්‍රමාණයක් මුහුදු ජලයෙන් ආවරණය වී පවතින බැවින් ‘ටියැන්ගොන්ග්-1’ යානය ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටීම ඇති අවස්ථාවන් සීමා වන බව යි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
කක්ෂගත වීමට සූදානමෙන්
මූලාශ්‍රයන් පෙන්වා දෙන ආකාරයට චීන ජාතිකයන් මිනිසුන් අභ්‍යවකාශයට යැවීම පිළිබඳව උනන්දුවක් දක්වා ඇත්තේ 1950 දශකයේ සිට යි. නමුත් ඒ කාල සීමාවේ දී මාරුවෙන් මාරුවට චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ යානා කක්ෂගත කරමින් අභ්‍යවකාශයේ ආධිපත්‍යය තමන් සතු කර ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් රුසියාව වෙර දරමින් සිටියා. පසු කාලීන ව රාජ්‍යයන් ද්විත්වය සමූහික ව කටයුතු කිරීමට එකඟ වුණේ ඔවුන් අතර පැවති සීතල යුද්ධය නිමා කරමින්.
මේ අතරේ දී චීනය ‘ෂූග්වාන්-1’ නම් වූ තනි පුද්ගලයෙකු රැගෙන යා හැකි අභ්‍යවකාශ කැප්සියුලයක් නිපදවීම සඳහා රහසේ ම කටවුතු කරමින් සිටියා. චීන මූලාශ්‍රයන් සඳහන් කරන අන්දමට එහි ගමන් කිරීම සඳහා අභ්‍යවකාශගාමීන් 19 දෙනෙකු ද තෝරාගෙන සිට ඇති නමුත් 1972 දී දේශපාලන හේතූන් මත ‘ෂූග්වාන්-1’ ව්‍යාපෘතිය නතර කර තිබෙනවා. ඉන් පසු ව යළිත් වරක් 1980 සහ 1990 දශකයේ දී මිනිසුන් අභ්‍යවකාශ ගත කිරීම සඳහා චීනය විසින් විවිධ ව්‍යාපෘති දියත් කළ ද ඒවා සාර්ථක වී නැහැ.
නමුත් 1999 දී ‘ෂෙන්සෝ’ ව්‍යාපෘතිය යටතේ සාර්ථක රොබෝ කක්ෂගත කිරීමක් සිදු කිරීමට චීනය සමත් වූ අතර 2003 ඔක්තෝබර් 15 වැනි දින ‘ෂෙන්සෝ-5’ යානය මගින් චීන ඉතිහාසයේ ප්‍රථම වරට පැය 21 ක අභ්‍යවකාශ චාරිකාවක් සඳහා අභ්‍යවකාශගාමියෙක් ව පිටත් කළා. අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා චීනයට අවස්ථාවක් හිමි වුණේ එහි ප්‍රතිඵලයක් ලෙස යි. ඒ අනුව 2011 සැප්තැම්බර් 29 වැනි දින වයඹ දිග චීනයෙන් ‘ටියැන්ගොන්ග්-1’ අභ්‍යවකාශ මධ්‍යස්ථානය කක්ෂගත කර තිබෙනවා.
අභ්‍යවකාශ ගත වූ ‘දිව්‍යමය මන්දිරය’
මෙට්‍රික් ටොන් 8.5 ක පමණ බරකින් යුතු ‘ටියැන්ගොන්ග්-1’ අභ්‍යවකාශ මධ්‍යස්ථානය දිගින් අඩි 34 ක් (මීටර් 10.4 ක් පමණ) සහ පළලින් අඩි 11 ක් (මීටර් 3.4 ක් පමණ) වෙනවා. අභ්‍යවකාශගාමීන්ට වාසය කළ හැකි සහ අත්හදා බැලීම් කටයුතු සිදු කළ හැකි පර්යේෂණ මොඩියුලයක් සහ ගුවන්යානා ඉන්ධන ටැංකි සහ රොකට් එන්ජින් සහිත සම්පත් මොඩියුලයක්, ‘ටියැන්ගොන්ග්-1’ අභ්‍යවකාශ මධ්‍යස්ථානය සතු යි. එය, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (International Space Station) තරමක් පහතින්, පහළ පෘථිවි කක්ෂයක සැතපුම් 217 ක (ආසන්න වශයෙන් කිලෝමීටර් 350) දුරකින් තැන්පත් කර තිබෙනවා. දැවැන්ත සූර්ය කෝෂ ද්විත්වයක් ‘ටියැන්ගොන්ග්-1’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අවැසි ශක්තිය ලබාදෙන අතර වරකට එහි අභ්‍යවකාශගාමීන් තිදෙනකුට නවාතැන් ගත හැකි යි.
මෙවැනි අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කක්ෂගත කිරීමේ මූලික අරමුණ වුණේ සඳට, අඟහරුට හෝ සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ස්ථානයකට අභ්‍යවකාශ යානා යැවීමට හෝ වඩාත් විශාල අභ්‍යවකාශ මධ්‍යස්ථානයන් නිර්මාණය කිරීමට සහ කක්ෂගත කිරීමට බලාපොරොත්තු වන රටවලට අවැසි කුසලතා (space docking) ළඟා කර ගැනීමට උපකාරී කිරීම යි. වාර්තා වන අන්දමට චීනය බලාපොරොත්තු වන්නේ 2020 වර්ෂය වන විට මොඩියුල කිහිපයකින් සමන්විත වන මෙට්‍රික් ටොන් 60 ක් බරකින් යුතු අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කක්ෂගත කිරීමට යි. එහි පළමු පියවර ලෙස නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය කිරීමට අවැසි පළමු මොඩියුලය 2019 වර්ෂයේ දී කක්ෂගත කිරීමට චීනය සැලසුම් කර තිබෙනවා.
ව්‍යාපෘති ආරම්භයේ දී ‘ටියැන්ගොන්ග්-1’ අභ්‍යවකාශ මධ්‍යස්ථානය දෙවසරක් වැනි කෙටි කාල සීමාවක් සඳහා පමණක් කක්ෂගත කර තැබීමට සැලසුම් කර තිබුණු බැවින් එය කක්ෂගත කිරීමෙන් පසු ව ගත වූ කාල සීමාව තුළ ඒ හා සබැඳි කඩිනම් අභ්‍යවකාශ මෙහෙයුම් කිහිපයක් ම සිදු වුණා. පළමුවෙන් ම සිදු වුණේ ‘ෂෙන්සෝ-8’ නම් වූ මගීන් රහිත අභ්‍යවකාශ යානය 2011 ඔක්තෝබර් මාසයේ දී ‘ටියැන්ගොන්ග්-1’ වෙත පැමිණීම යි. ඉන් අනතුරු ව ගගනගාමීන් කණ්ඩායම් ද්විත්වයක් අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් කර තිබෙනවා. 2012 ජූනි මාසයේ දී ‘ෂෙන්සෝ-9’ නම් මගින් තිදෙනෙකු සහිත අභ්‍යවකාශ යානය ඒ වෙත ළඟා වුණේ අභ්‍යවකාශ ගත වූ ප්‍රථම චීන කාන්තාව ද කැටුව යි. ඉන් පසු ව 2013 ජූනි මාසයේ දී තමත් මගීන් තිදෙනෙකු රැගත් ‘ෂෙන්සෝ-10’ යානය, ‘ටියැන්ගොන්ග්-1’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වුණා.
කවරයේ පින්තූරය : © EcoGraffi