Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිස් අක්මාව ගැන වැදගත් කරුණු කිහිපයක්

මිනිස් සිරුරේ ඇති ඉන්ද්‍රියයන් අතරින් අක්මාවට හිමිවන්නේ සුවිශේෂී තැනක්. සාමාන්‍යයෙන් වැඩුණු පුද්ගලයෙක්ගේ අක්මාව රාත්තල් තුනක පමණ බරින් යුක්ත වන අතර උදර කුහරයේ දකුණුපසට වන්නට, පිත්තාශයට ඉහළින්  පිහිටා තිබෙනවා. මෙය රතු දුඹුරු පැහැයෙන් යුතු මාංශමය එකක් වන අතර වම් හා දකුණු වශයෙන් කොටස් දෙකකට බෙදී තිබෙනවා.

ආහාර ජීර්ණ පද්ධතියට තදාසන්නව පිහිටා තිබුණත් අක්මාව වැදගත් මෙහෙයන් ඉටු කරන්නේ ආහාර ජීර්ණය අරබයා පමණක් නොවේ. මිනිස් සිරුරේ ජීව ක්‍රියාවලීන් ගණනාවකටම අක්මාවේ දායකත්වය අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ වැදගත්කම් නිසාම අක්මාව සම්බන්ධ සුවිශේෂී කරුණු කිහිපයක් ඔබ හමුවේ තබන්නට අපි තීරණය කළා.

මිනිස් අක්මාවක් -Martin M. Rotker/Getty images

අක්මාවේ විශාලත්වය

හොඳින් වැඩුණු පුද්ගලයෙකුගේ අක්මාවේ බර ලොව කුඩාම සුනඛ විශේෂයක් වන චිහුආහුවා සුනඛයෙක් තරම් බරින් යුක්ත වෙනවා. ඒ වාගේම සමට පසුව මෙය මිනිස් සිරුරක හමුවන විශාලතම අවයවයයි. මෙය ප්‍රමාණයෙන් සමාන්‍ය පාපන්දුවක් තරම් වෙනවා. එමෙන්ම මෙය රබර් වැනි මතුපිටකින් යුක්තයි. ඉළ ඇට වලින් ආවරණය සැපයෙන නිසා මෙය පුද්ගලයෙකුගේ බාහිරින් අතගා නිරීක්ෂණය කිරීම උගහටයි.(1)

ආසාදන වලට එරෙහිව සටන් කරන්නට උදව් වන අක්මාව

වෛරස හෝ බැක්ටීරියා ආසාදන වලට එරෙහිව සටන් කිරීම යන කාරණය සැළකීමේ දී බොහෝ දෙනාට නිතැතින්ම මතකයට නැගෙන්නේ සුදු රුධිරාණු හා වසා සෛලයි. ඒ කෙසේ නමුත් අක්මාවත් මේ සඳහා ඉතාම වැදගත් දායකත්වයක් සපයනවා. මිනිස් අක්මාවක පිහිටන ‘කුප්ෆර්’ නම් ප්‍රතිශක්තිකාරක සෛල රුධිරයේ අඩංගු නොවිය යුතු ආගන්තුක දේහ භක්ෂණය කරනවා. මෙසේ භක්ෂණය කරන දේහ අතර ක්ෂුද්‍රජීවීන්, මියගිය සෛල, හා රසායනික ද්‍රව්‍ය වැනි දේ වෙනවා. මේ සෛල ඒවා භක්ෂණය කර බිඳ හෙළනවා. එවිට එහි යම් පෝෂ්‍ය පදාර්ථ වේ නම් අක්මාවට උරාගත හැකියි. (2)

කුප්ෆර් සෛල- kupffercellfoundation.org

සම්පූර්ණයෙන් නැවත වැඩෙන එකම අවයවය

අක්මාවට සම්පූර්ණයෙන්ම නැවත වැඩීමේ පුදුමාකාර හැකියාවක් තිබෙනවා. මේ සඳහා අක්මා පටකයෙන් 25% ක් තිබීම ප්‍රමාණවත් වෙනවා. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුගේ අක්මාවෙන් 50%ක් ඉවත් කළහොත් නැවත සම්පූර්ණයෙන් එය වැඩීම සති 2ක පමණ කාලයකින් සිදුවන බව පැවසෙනවා. අක්මාවේ සිදුවන කාර්යයක්ෂම සෛල පුනර්ජනන ක්‍රියාවලීන් මේ සීඝ්‍ර වර්ධනයට හේතු වෙනවා. (1)

අක්මාවට ඔබේ හැඟීම් දැනීම් වලට බලපෑම් කළ හැකියි

නිසිලෙස ක්‍රියාත්මක නොවෙන අක්මාවක් මිනිසෙක්ගේ තරහව, නොසන්සුන් බව, හා ප්‍රචණ්ඩකාරී හැඟීම් වර්ධනය කිරීමෙහි ලා සමත් වෙනවා. නිසි ක්‍රියාකාරීත්වයකින් තොර අක්මාවක් කාන්තාවන්ගේ පූර්ව ආර්ථව වේදනාව හා ඒ සබැඳි ව්‍යාකූල මානසික තත්ත්ව වැඩි කරනවා. විශේෂයෙන් කාන්තාවකගේ ආර්ථවයට පෙර දින කිහිපය ඇයගේ අක්මාවට වැඩිපුර බලපෑම් කරන අවධියක්. මේ කාලයේ දී රුධිරයට එකතුවන ලිංගික හෝමෝන වල දැඩි අඩු වීමක් පෙන්නුම් කරන අතර එම තත්ත්වය පාලනය කිරීමට අක්මාවට වැඩි කාර්යය භාරයක් කිරීමට සිදු වෙනවා. මේ නිසා ඇල්කොහොල වැනි ද්‍රව්‍ය මේ කාලය තුල නිසි ලෙස බිඳ හෙළීමට අක්මාවට නොහැකි වෙනවා. මේ නිසා මේ කාලය තුල කාන්තාවක විසින් මත්පැන් ශරීරගත කරගතහොත් ශාරීරිකවත් මානසිකවත් වැඩි බලපෑමක් සිද්ධ වෙනවා. (2)

කාන්තාවන්ගේ පූර්ව ඔසප් මානසික ව්‍යාකූලතා වලට හේතුව හරියාකාරව ක්‍රියාකාරී නොවන අක්මාව විය හැකියි -womenshealth.gov

පිත නිපදවන අක්මාව

පිත කියූ පමණින් අපි කාගේත් මතකයට නැගෙන්නේ පිත්තාශය වුවත් ඇත්තෙන්ම පිත නිපදවන්නේ අක්මාවෙන්. පිත කොළ, කහ හෝ දුඹුරු පැහැති වන අතර අක්මාව මඟින් දිනකට මිලිලීටර 700 ත් ලීටර 1ත් අතර ප්‍රමාණයක් නිපදවනු ලබනවා. පිත නිපදවුණු සැණින් තාවකාලිකව අක්මාවේ හෝ පිත්තාශයේ ගබඩා වී පිත්ත ප්‍රණාලය ඔස්සේ මහා අන්ත්‍රයේ ආරම්භක ස්ථානයට හෝ කුඩා අන්ත්‍රයට නිකුත් කරනවා. පිත ආහාර ජීර්ණ පද්ධතියට ඇතුළු වන ආහාර වල අඩංගු මේදය බිඳහෙළා ඒවා උරාගැනීම සිදු කිරීමට අත්‍යවශ්‍ය තරලයක් වෙනවා. (1)

ලේ කැටිගැසීමටත් අක්මාව උදව් වෙනවා

රුධිරය කැටිගැසීමේ ප්‍රෝටීන නිපදවීම සිදුවන්නේත් අක්මාව මඟිනුයි -Paul Gunning/pinterest.com

අක්මාව හා රුධිරය අතර ඇත්තේ මනා සබඳතාවක්. මිනිස් සිරුරේ ඇති රුධිරයෙන් 10% ක් පමණ අක්මාව දරා සිටින අතර ඒ තුළින් සෑම මිනිත්තුවකදීම රුධිරය ලීටර 1.5ක් පමණ පොම්ප වීම සිදු වෙනවා. මීට අමතරව රුධිරය කැටිගැසීමේ ප්‍රෝටීන නිපදවීම සිදුවන්නේත් අක්මාව මඟිනුයි. මේවා මඟින් රුධිර වහනයක් සිදුවන විටදී එහි රුධිර කැටිත්තක් සාදා වහාම එම රුධිර වහනය අවහිර කරනවා. මේවා නිසියාකාරව නිපදවීම සිදු නොවුණොත් සුළු තුවාලයකින් වුවද දැඩි රුධිර වහනයක් සිදු වී ජීවිතාවදානමක් පවා ඇතිවිය හැකියි. විශේෂයෙන්ම සිරෝසිස්, හෙපටයිටිස් වැනි රෝගයක් මඟින් හෝ වෙනත් ආකාරයකින් අක්මාව හානි වූ අයෙක් රුධිරය කැටි නොගැසීමේ අපහසුතාවයනට මුහුණ දිය හැකියි. (1)(2)

සියළු පෘෂ්ඨවංශීන් සතු අක්මාව

ලොව වෙසෙන සියළුම පෘෂ්ඨවංශීන්ට අක්මාවක් පිහිටනවා. එය හැඩයෙන් හෝ ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් වුවත් ව්‍යුහයෙන් සමානකමක් දරනවා. අක්මාව මේ ජීවීන්ට සිය ජීවය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය අවයවයක් වන අතර මේ සියළුම ජීවීන්ගේ සිරුරු තුළ ඒ ඒ අක්මා සිදු කරන ක්‍රියාවලීන් එක සමාන ස්වභාවයක් උසුළනවා. (1)

ගෙම්බෙකුගේ අක්මාවක් -zeitzer.com

රුධිරගත සීනි පාලනය කිරීමට උදව් වන අක්මාව

මිනිසෙකුගේ අක්මාව රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කරන්නට දක්වන්නේ නොමඳ දායකත්වයක්. රුධිරයේ උවමනා ප්‍රමාණයට වඩා සීනි ඇති විට අක්මාව විසින් ඒවා ග්ලයිකොජන් බවට පත් කර ඉදිරි ප්‍රයෝජනය සඳහා ගබඩා කරගන්නවා. එසේම නියමිත ප්‍රමාණයට වඩා රුධිරයෙහි සීනි (ග්ලූකෝස්) ප්‍රමාණය අඩු වූ විට මේ ක්ලයිකොජන් බිඳ හෙළා ග්ලූකෝස් බවට පත් කොට රුධිරයට මුදාහැරීම සිදු වෙනවා. මේ ග්ලූකෝස් යාමන ක්‍රියාවලිය නිසා ආහාර වේල් දෙකක් අතරත රුධිරගත ග්ලූකෝස් මට්ටම ප්‍රශස්ථ අගයක තබා ගැනීමට මිනිස් සිරුරට හැකි වෙනවා. යමෙකුගේ අක්මාව නිසියාකාරව ක්‍රියාත්මක නොවේනම් හෙතෙම රුධිරගත මට්ටම් වල ක්ෂණික උච්ඡාවචනයන් වලට මුහුණදිය හැකි අතර සමහර විටෙක මෙම තත්ත්වයන් මාරාන්තිකද විය හැකියි. (2)

අක්මාව, අග්න්‍යාශය හා සබැඳි රුධිරගත ග්ලූකෝස් යාමන ක්‍රියාවලිය-biology-igcse.weebly.com

සිරුරේ බර හා අක්මාවේ බරෙහි අනුපාතය වැදගත්

කාර්යයක්‍ෂම සේවාවක් සැපයීමට නම් මානව අක්මාවක ක්‍රියාකාරි කොටසේ බර එම මිනිසාගේ බරින් අවම වශයෙන් 1000 න් පංගුවක්වත් තිබිය යුතුයි. කෙසේ නමුත් මානව අක්මාවක් සාමාන්‍ය වශයෙන් කිලෝග්‍රෑමයකටත් වඩා බර නිසා අතිශය තරබාරු අයෙකුගේ වුවත්, අක්මාව සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති විටක හෝ ක්‍රියාකාරී නොවන විටක හැරෙන්නට අක්මා/ ශරීර බර අනුපාතය තිබිය යුතු අවම අගයට වඩා අඩු වන අවස්ථා හමුවන්නේ නැහැ. (1)

කවරයේ පින්තූරය -styleknot.com

මූලාශ්‍ර

  1. mentalfloss.com
  2. liverdoctor.com

Related Articles