Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුරලිදරන්ගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන ඡායාරූප පෙළක්

එදාමෙදාතුර ලෝක ක්‍රිකට් පිටිය තුළ බිහිවුණු විශිෂ්ටතම පන්දු යවන්නා ලෙසින් සැලකෙන මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පා තැබුවේ 1992 දී යි. මුල් යුගයේ දී පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුරලි අසමත් වුණත්, 90 දශකයේ අවසන්භාගය වන විට පිතිකරුවන්ව භීතියට පත්කළ හැකි පන්දු යවන්නෙකු ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටියා. මුල් යුගයේ දී විවිධ හැලහැප්පීම් මධ්‍යයේ ගලාගෙන ගිය මුරලිගේ ක්‍රිකට් ජීවිතය ආලෝකමත් වුණේ 21 වන සියවස එළඹීමත් සමග යි. 

කැපවීම සහ දැඩි අධිෂ්ඨානය තුළින් සිය හැකියාවන් වර්ධනය මෙම දක්ෂ පන්දු යවන්නා වාර්තා එකින් එක බිඳ දමමින් සිංහ කොඩිය ලෝක ක්‍රිකට් පිටිය තුළ ඔසවා තැබුවා. වසර 19කට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටි මේ විශිෂ්ට දඟපන්දු යවන්නා, ක්‍රිකට් පිටියෙන් නික්ම යන විට ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා ලෙසින් වැජඹුනා. එදා මුරලිගේ නම ඉදිරියේ සටහන් වුණු වාර්තාව අසලට පැමිණීමට තවමත් කිසිදු පන්දු යවන්නෙකුට හැකියාව ලැබී නැහැ.

ලෝක ක්‍රිකට් පිටිය තුළ අණසක පතුරවාගෙන සිටි මුරලිදරන්ගේ ක්‍රිකට් දිවිය දෙස ආපසු හැරී බැලීමේ දී අමතක නොවන අවස්ථාවන් රැසක් හමුවනවා. එම අවස්ථාවන්වලට සම්බන්ධ පහත සේයාරූ පෙළ ඔබව නැවතත් අතීතයට රැගෙන යාවි. 

1993 වසරේ දී දකුණු අප්‍රිකානුවන් හමුවේ දැක්වූ ටෙස්ට් දස්කම් 

1992 වසරේ පැවති ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දී ටෙස්ට් වරම් දිනාගත් මුත්තයියා මුරලිදරන් මුල්ම වරට කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණේ 1993 ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ දී යි. තරග 3කින් සමන්විත වුණු ටෙස්ට් තරගාවලියේ දී මුරලිදරන් විසින් කඩුලු 16ක් බිඳ දැමුනේ තරගාවලිය තුළ වැඩිම කඩුලු ප්‍රමාණයක් බිඳදැමූ දඟපන්දු යවන්නා බවට පත්වෙමින්. එහි දී ඔහු  මුල්ම වරට ඉනිමක කඩුලු 5ක් දවාගැනීමට සමත් වුණා. එම තරගාවලිය තුළ මුරලිදරන් පන්දුවෙන් දැක්වූ දස්කම් මෙසේ දැක්විය හැකියි.

* මොරටුව ටෙස්ට් තරගයේ දී- 104/5 සහ 48/1

* SSC ටෙස්ට් තරගයේ දී- 101/5

* පී සරා ඕවල් ටෙස්ට් තරගයේ දී- 64/4 සහ 39/1

පහත රූපයේ දැක්වෙන්නේ SSC ටෙස්ට් තරගයේ දී මුරලිදරන් විසින් පන්දු යැවූ ආකාරය යි. එහි දී ලකුණු 101කට ලබාගත් කඩුලු 5 එම අවධියේ මුරලිදරන්ගේ ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා. 

1993 ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයේ දී මුරලිදරන් පන්දු යැවූ ආකාරය (Sportstar)

බොක්සිං දින ටෙස්ට් තරගයේ දී මතුවුණු ගැටළුව 

1995 වසරේ දෙසැම්බර් 26 වැනිදා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරග මාලාවේ දෙවන තරගය මෙල්බර්න් පිටියේ දී ආරම්භ වුණා. එහි දී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා දුන්නා. එදා කැංගරු මුල් පෙළ පිතිකරුවන් සාර්ථකව පිතිකරණයේ යෙදෙමින් ඔවුන්ගේ ලකුණු පුවරුව 117/2 දක්වා ඉහළට ඔසවා තැබුවා. එම අවස්ථාවේ දී  මුරලිදරන් මාක් වෝට යැවූ පන්දුව නිපන්දුවක් ලෙසින් සටහන් කළේ ඩැරල් හෙයාර් නම්  විනිසුරුවරයා යි. 

එම පන්දුවාරයෙන් පසුව තවත් අවස්ථාවන් 7කදී හෙයාර් විනිසුරුවරයා නිපන්දු සටහන් කරනු ලැබුවා. ඒ සමගම කෝපයට පත්වුණු  නායක රණතුංග හෙයාර් විනිසුරුවරයා සමග කෙටි කතාබහක නිරතවීමෙන් පසුව පිටියෙන් ඉවත් වුණේ නායකත්වය තාවකාලිකව අරවින්දට පවරමින්. පිටියෙන් ඉවත්වීමෙන් පසුව පුහුණුකරුවාගෙන් උපදෙස් ලබාගත් අර්ජුණ, මුරලිව  අනිත් අන්තයෙන් පන්දු යැවීම සඳහා යොදාගැනීමට  තීරණය කළා. නමුත් තේ පානය අතරතුර විනිසුරු ඩැරල් හෙයාර් විසින් ශ්‍රී ලංකා බලධාරීන් හමුවේ පවසා සිටියේ මුරලි කුමන අන්තයෙන් පන්දු යැව්වත් නිපන්දු සටහන් කරන බව යි. 

හෙයාර් විසින් එල්ල කළ පන්දුව දමා ගැසීමේ චෝදනාවත් සමගම අතිශය කලකිරීමට පත්වුණු  මුරලි ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පවා ප්‍රකාශ කළා. නමුත් එදා අර්ජුණ තම සහෝදර ක්‍රීඩක මුරලිගේ මානසිකත්වය ඉහළ නැංවීමට කටයුතු කළා. එමනිසා මුරලිගේ ගමන නතර කිරීමට ඕස්ට්‍රේලියානුවන් සැලසුම් සහගතව ගෙන ගිය වැඩපිළිවෙළ අසාර්ථක වුණා.

හෙයාර් විනිසුරුවරයා නිපන්දුවක් සටහන් කරන ලද අවස්ථාවක් (Gettyimages)

ලෝඩ්ස් පිටියේ දී පෑ සුපිරි දස්කම 

1998 වසරේ අගෝස්තු මාසයේ දී එංගලන්ත බිමේ දී තුන්කොන් එක්දින තරගාවලියක් පැවැත්වුණා. එමිරේට්ස් කුසලානය නමින් හැඳින්වුණු එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, එංගලන්තය, සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් සහභාගි වුණා. ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් මූලික වටයේ තරගවලින් පසුව අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය යි. ලෝඩ්ස් පිටියේ පැවති අවසන් තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිවුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි. එහි දී පන්දුවෙන් දස්කම් දැක්වූ මුරලිදරන් ලකුණු 34කට කඩුලු 5ක් දවාගත්තේ ලෝඩ්ස් පිටියේ පැවති එක්දින තරගයක දී කඩුලු 5ක් දවාගත් මුල්ම ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වෙමින්.

එමිරේට්ස් කුසලාන අවසන් තරගයේ දී මුරලි පන්දු යවමින් (Gettyimages)

එංගලන්තය අසරණ කළ ඕවල් ටෙස්ට් තරගය 

ශ්‍රී ලංකා කණ්ඩායම මුල්ම වරට එංගලන්ත බිමේ දී ටෙස්ට් තරග ජයග්‍රහණයක් වාර්තා කළේ 1998 වසරේ දී යි. කෙනිංටන් ඕවල් පිටියේ පැවති එම ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක විශිෂ්ට ජයක් වාර්තා කළේ මුරලිදරන් විසින් සිදුකළ මායාකාරී දඟපන්දු යැවීම නිසා යි. එදා එංගලන්ත පළමු ඉනිමේ දී ලකුණු 155කට කඩුලු 7ක් දවාගත් මුරලි එංගලන්ත දෙවන ඉනිම සුණුවිසුණු කළේ ලකුණු 65කට කඩුලු 9ක් දවාගනිමින්. එදා ඔහු සමස්ත තරගයේ දී ලකුණු 220කට ලබාගත් කඩුලු 16 අදටත් ලංකා පන්දු යවන්නෙකු ටෙස්ට් තරගයක දී ලබාගත් වැඩිම කඩුලු ප්‍රමාණය ලෙසින් සටහන් වනවා.

 කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරන මුරලිදරන් (Gettyimages)

මුරලි වෙනුවෙන් පෙරට ආ අභීත නායකයා 

1998/99 කාල්ටන් සහ යුනයිටඩ් තුන්කොන් තරගාවලියේ 8 වන තරගය ඇඩිලේඩ් ඕවල් පිටියේ දී  ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ක්‍රීඩා කෙරුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේ දී කඩුල්ලක් දැවී ලකුණු 92ක් ලබා සිටියා.  

මුරලිදරන් 18 වන පන්දුවාරය ක්‍රීඩා කරන අවස්ථාවේ ප්‍රධාන විනිසුරුවරයා ලෙසින් කටයුතු කළේ ටෝනි මැක්විලන්. Square Leg විනිසුරුවරයා ලෙසින් රොස් එමර්සන් කටයුතු කළා. මුරලිදරන් එම පන්දුවාරයේ සිව්වන පන්දුව යැවීමත් සමග විනිසුරු එමර්සන් මුරලිට එරෙහිව පන්දුව දමා ගැසීමේ චෝදනාව එල්ල කරනු ලැබුවේ නිපන්දුවක් සටහන් කරමින්.

විනිසුරු එමර්සන් එලෙස නිපන්දුවක් සටහන් කිරීමත් සමග දැඩි ලෙස උරණ වුණු නායක අර්ජුණ, ඔහු සමග උණුසුම් වචන හරඹයක යෙදුණා. ඉන් අනතුරුව සිය කණ්ඩායමත් රැගෙන ක්‍රීඩා පිටියේ හතරේ සීමාවෙන් ඉවතට ගිය ඔහු පුහුණුකරු රෝයි ඩයස් සහ කළමනාකරු රංජිත් ප්‍රනාන්දු සමග උද්ගත වී තිබුණු  තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා. එදා මේ අභීත නායකයා මුරලි වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත් නොවුණා නම් ඔහුගේ ක්‍රිකට් දිවිය අකාලයේ අවසන් වීමට පවා ඉඩ තිබුණා.

අර්ජුණ සහ එමර්සන් වචන හරඹයක යෙදුණු හැටි (Gettyimages)

21 වන සියවසේ දී වාර්තා වුණු හොඳම ටෙස්ට් පන්දු යැවීම 

21 වන සියවසේ පැවති ටෙස්ට් තරගවල දී ඉනිමක හොඳම පන්දු යැවීම සටහන් වී තිබෙන්නේ මුරලිදරන්ගේ නම ඉදිරියේ යි. ඒ 2002 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අස්ගිරිය පිටියේ දී ලකුණු 51කට කඩුලු 9ක් ලබාගනිමින්. එදා සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් කඩුලු 9 ලකුණු 201කට දැවීයන විට එම කඩුලු 9ම මුරලිගේ නම ඉදිරියේ සටහන් වී තිබුණා. නමුත් අවාසනාවන්ත අයුරින් ඔහුට 10වන කඩුල්ල දවාගැනීමට හැකිවුණේ නැහැ. යම් ආකාරයකින් එදා මුරලි සිම්බාබ්වේ කණ්ඩායමේ අවසන් පිතිකරුවාත් දවාගත්තා නම් ජිම් ලේකර්ගේ ලෝක වාර්තාව බිඳ දැමීමට අවස්ථාව තිබුණා. මුරලිදරන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව වාර්තා කළ එම විශිෂ්ට පන්දු යැවීම ඔහුගේ ටෙස්ට් දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා.

මුරලිදරන් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් (Cricketer)

වොල්ෂ්ගේ ලෝක වාර්තාව අභිබවා යාම 

2004 වසරේ දී හරාරේ පිටියේ පැවති ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් තරගය මුරලිදරන්ට අමතක නොවන එකක්. එම තරගය ආරම්භ වීමට පෙර ටෙස්ට් පිටියේ වැඩිම කඩුලුලාභියා ලෙසින් වැජඹුණේ කට්නි වොල්ෂ් නම් කොදෙව් පන්දු යවන්නා යි. එදා මුරලිදරන් විසින් වොල්ෂ්ගේ කඩුලු 519ක වාර්තාව අභිබවා ගියේ දෙවන ඉනිමේ දී එන්කාලා නම් සිම්බාබ්වේ පිතිකරුවාව දවාගැනීමත් සමග යි. පහත රූපයේ දැක්වෙන්නේ මුරලිදරන්ගේ පන්දුවක් හමුවේ මහේලට උඩපන්දුවක් ලබා දී දැවීයන එන්කාලා නම් පිතිකරුවා යි.  

මුරලිදරන් ලෝක වාර්තාව බිඳ දැමීමේ සතුට සමරමින් (Gettyimages)

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා බවට පත්වීම 

2007 වසරේ දෙසැම්බර් 1 වැනිදා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අස්ගිරිය ටෙස්ට් තරගය ආරම්භ වන විට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා බවට පත්ව සිටියේ ෂේන් වෝන් නම් ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන්නා යි. නමුත් අස්ගිරිය ටෙස්ට් තරගයේ දී මුරලිදරන් පෝල් කොලිංවුඩ්ගේ කඩුල්ල දවාගැනීමත් සමගම, ඔහු ෂේන් වෝන්ගේ කඩුලු 708හි ලෝක වාර්තාව අභිබවා ගියා. ඉන්පසු වසර 2කට වැඩි කාලයක් ටෙස්ට් තරග ක්‍රීඩා කළ මුරලිදරන් ටෙස්ට් කඩුලු 800ක් ලබාගෙන සිය තරග දිවිය නිමා කළා.

මුරලිදරන් විසින් කොලිංවුඩ්ව දවාගත් ආකාරය (Gettyimages)

කවරයේ ඡායාරූපය- (Gettyimages)

Related Articles