Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සබරගමුවේ ගල් කැටයම් නිධානය

කෑගල්ල සිට හෙට්ටිමුල්ල හරහා දිවෙන බුලත්කොහුපිටිය පාරේ, බුලත්කොහුපිටිය නගරයට කිලෝමීටර 2½ක් පමණ මෙහායින් තමයි අලවතුර කියන ගම පිහිටා තිබෙන්නේ. කෑගල්ලේ සිට දුර කිලෝමීටර 23ක්. අලවතුර ගමේ සිට කුඩා අතුරු පාරක (මෝටර් රථ නම් යන්න බැහැ. මෝටර් බයිසිකලයකට පමණයි යා හැක්කේ) තවත් කි.මී. 1ක් පමණ පියමං කළ විට ගනේගොඩ රජමහා විහාරයට වැටී ඇති පැරණි පියගැට පෙළ හමුවෙනවා. එසේ නැත්නම් කෙත්යාය හරහා ගමන් කර ඇළ මාර්ගයකින් එගොඩවීමෙන් ද මේ පියගැට පෙළ අසලට පැමිණිය හැකියි. අඩි 8ක් දිග කළුගල් පියගැට 250ක් විහාරයට යොමුවී තිබෙනවා. මේවා ඉංග්‍රීසි පාලන කාලෙ කළ බව පැහැදිලියි. කරවූ දායකයන්ගේ නම් කළුගල්වල කොටා තිබෙනවා. පුරාණ පියගැට විනාශවීමෙන් පසු යළිත් එසේ අලුත්වැඩියා කරන්න ඇති.

පිහිටීම

විහාරයට පිවිසෙන පියගැට පෙළ- Kusumsiri Wijayawardhana

මෙම විහාරය කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්. පුරාණ බෙදීම්වලට අනුව සතර කෝරළයට අයත් බෙලිගල් කෝරළයේ කඳුපිට පත්තුවට තමයි අයත් වෙන්නේ. අදටත් මේ අවට කෙත්වතු සහ කඳුවැටිවලින් යුක්ත පිටිසර සුන්දර වටපිටාවක් දැකගත හැකියි. විහාරයට පහළ කෙත්යාය හරහා ගලායන අලවතුර ඇළ බුලත්කොහුපිටිය අසල දී රිටිගහ ඔයට එක්වෙනවා. පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වුවත් පාළු පෙදෙසක තිබෙන පන්සලට නිධන් හොරුන්ගෙන් නම් විශාල විනාශයක් සිදුවෙලා. මෑතක දීත් විහාරයට හොරු පැමිණ නිධන් සොයා ඇති බව අසන්න ලැබුණා. මෙහි භික්ෂු වාසයක් නම් දැකගත නොහැකියි.

සබරගමුවේ හොඳම ගල්වැඩ

කැටයම් ගල් කුලුනු – ලංකා පුරාවිද්‍යා ගවේශනය- කෑගල්ල දිස්. 1892 – එච්. සී. පී. බෙල් කෘතියෙනි

කෑගලු දිසාවේ බෙලිගල, සීතාවක බැරැන්ඩි කෝවිල, අම්බුලුගල විහාරය, මැදගොඩ පත්තිනි දේවාලය ආදී තැන්වලින් ද ගල්කැටයම් හමුවුණත්, මෙහි ගල්වැඩ වඩාත් කලාත්මක සහ සියුම්. ඒවා අපට මතක් කරන්නේ ගඩලාදෙණිය, ලංකාතිලකය වැනි ගම්පොළ යුගයට අයත් විහාර නිර්මාණ යි. කෑගලු දිසාවේ ගලින් කළ එකම ගෙඩිගේ විහාරය වන්නේ ද මෙය යි. නාලන්ද ගෙඩිගේ, මහනුවර නාථ දේවාලය, රිදී විහාරයේ වරකා වැළඳූ විහාරය, ගඩලාදෙණිය ගලින් කළ එවැනි විහාර ගොඩනැගිලි වෙනවා.

හැදුවේ කවුද?

මහනුවර යුගයේ දී තැනූ ලෙන් විහාරය- Kusumsiri Wijayawardhana

මෙම විහාරයේ ආරම්භය පිළිබඳව මතවාද කිහිපයක් පවතිනවා. ජනප්‍රවාදයට අනුව මෙම ලෙන් විහාරය වළගම්බා රජ දවස දක්වා ඈත අතීතයකට හිමිකම් කියනවා. මේ විහාරය ගැන සඳහන් වන ජන කවියක්:

අලවතුරේ වළගම්බා රජ කුලුණූ

පොල වතුරේ උමගක් සාදා තිබුණී

දක එතුරේ බුදුරුව කළුගලින් තැනූ

වඳු මිතුරේ තෙරුවන් සිහිකර දෙවනූ

ජනකතාවලට අනුව මේ විහාරය යට පොළෝ අභ්‍යන්තරයේ තවත් විහාරයක් පවතිනවා. එයට පිවිසීමට උමඟක් තිබුණේලු. නමුත් මේ විහාරය 14 වැනි සියවසේ පැවති ගම්පොළ යුගයේ ආරම්භයට සහ ඊට පෙර පැවති කුරුණෑගල යුගයේ අවසානයට අයිති බවට ඓතිහාසික සාධක ලැබී තිබෙනවා.

සීලවංශ ධර්මකීර්ති හාමුදුරුවෝ

පසුකාලීන බිතුසිතුවම් – Kusumsiri Wijayawardhana

සීලවංශ හිමි පළමු ධර්මකීර්ති හිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක්. මේ හිමියන් චෝල තෙරුන්වහන්සේ නමක් යටතේ භාරතයට වැඩම කරවා එහි ධාන්‍යකටකයේ (අමරාවතී) විහාරයක් ප්‍රතිසංස්කරණය කරවා පසුව ලංකාවට පැමිණ තිබෙනවා. ඒ පැමිණ අලවතුර විහාරයත් කරවා ගඩලාදෙණිය විහාරයත් කරවූ බව සිව්වැනි බුවනෙකබාහු රජුගේ ගඩලාදෙණි සෙල්ලිපියේ සඳහන් වෙනවා. එම සෙල්ලිපියට අනුව මේ විහාරය කරවා ඇත්තේ ගඩලාදෙණි විහාරය කරවීමට පෙර කුරුණෑගල යුගයේ අවසාන කාලයේ දී යි. ඒ කුරුණෑගල පස්වැනි විජයබාහු (1335-1341) රජ සමයේ දී යි. ධර්මකීර්ති හිමි පාරමී ශතකය සහ ජනානුරාග චරිතය කියන පොත් රචනා කළා. පාරමී ශතකය කියන පොතෙත් මේ විහාරය ගැන දැක්වෙනවා. සද්ධර්මරත්නාකරයේ සීලවංශ ධර්මකීර්ති නම් හිමි නමක් අලවතුර විහාරයේ වැඩවෙසන අතරම විහාරස්ථානය ගොඩනැංවීම සිදුකළ ආකාරය දැක්වෙනවා.

ගනේගොඩ විහාරය ද ගඩලාදෙණිය මෙන්ම දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සාදා ඇති බව කැටයම් දෙස බලන විට පේනවා. ආනන්ද කුමාරස්වාමි සඳහන් කරන්නේ මේ කැටයම් බොහෝ කලක් මෙහි විසූ ඉන්දීය කාර්මිකයන් හෝ දේශීය ගල්වඩුවන් කරන්නට ඇති බව යි.

ගෙඩිගේ විහාරය

ගෙඩිගේ විහාරයේ ඉදිරිපස මණ්ඩපය- Kusumsiri Wijayawardhana

මෙම විහාරයේ මුලින්ම කලුගලින් කළ කුලුනු සහිත මණ්ඩපයක් විහාරය ඉදිරිපසින් තනා තිබූ බව හෙළිවෙනවා. ගර්භ ගෘහයකින් හා මණ්ඩපයකින් යුක්ත ගොඩනැගිල්ලේ වහලෙන් කොටසක් ලෙස ලෙන් පියස්ස යොදාගෙන තිබෙනවා. එම ගොඩනැගිල්ලේ ගල්කණු පේළි මත ගල්පුවරු අතුරා කරන ලද වියන් පෝරු තිබුණත් අද ඒවා බිමට සමතලා වෙලා. මේ අතරින් ගෙඩනැගිල්ලේ ඉදිරි කොටසේ ගල් පුවරු 13කින් යුත් වියනක් පමණක් ලෙන් වහලයට යටින් අදත් දැකගත හැකියි. පසුකාලීන ප්‍රතිසංස්කරණවල දී පැවති අත්තිවාරම මත ලෙන ද හසුවන සේ ගඩොලින් විහාර ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙනවා. එය මහනුවර යුගයේ දී සිදුකළ බව යි පේන්නේ.

බෙල්ගේ කෑගලු වාර්තාව

විහාර ප්‍රවේශයේ කොරවක් ගල- Kusumsiri Wijayawardhana

1892 දී පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් විසින් කෑගලු වාර්තාවේ මෙම විහාරය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් දක්වනවා.

මෙම විහාරයට ළඟාවිය හැකි වන්නේ දියපාරකින් එතෙරවීමෙන්. එම දියපාර පසුව අලවතුර ඇළට එක්වෙනවා. බෙල් සඳහන් කරන දියපාර අදත් එලෙසම ගලා යනවා. දොළපාර පෙදෙස දක්වාම පුරාණ විහාරයේ දැවැන්ත බාල්ක, කුලුනු හිස් කැබලි විසිරී තිබී පැවති අතර, 1892 දී එච්. සී. පී. බෙල් දෙදිනක් පුරාවට ගැමියන්ගේ උපකාරයෙන් භූමිය මතුපිට වූ සියලූ නටබුන් කැබලි එක්රැස්කොට විහාර භූමියට ගෙනවිත් තිබෙනවා. මෙසේ දිගු දුරකට ගල්කණු පැමිණීමට හේතුව කලකට ඉහත සිදුවූ නායයාමක් බව බෙල්ට අසන්නට ලැබී තිබෙනවා. මෙම නටබුන් භාවිතයෙන් ඔහු අඩි 6යි අඟල් 6ක් උස (ශීර්ෂ නොමැතිව) අර්ධ ආයත චතුරශ්‍රාකාර හා අර්ධ බහුකෝණාශ්‍රාකාර හැඩයෙන් යුත් කුලුනු තුනක් නැවත ප්‍රකෘතිමත් කොට තිබෙනවා. එයට අමතරව සිංහයන් විසින් උසුලාගෙන සිටින කුලුනු තුනක් හා ඒ සමාන බඳින් යුත් කැටයම්කොට ඇති චතුරස්‍රාකාර පාදම් සහිත කුලුනු දෙකක්ද සංරක්ෂණය කර තිබෙනවා.

විශිෂ්ට ගල්කැටයම්

කළුගල් උළුවස්ස- Kusumsiri Wijayawardhana

සිව්රැස් කුලුනු තුනෙහි එක් එක් පැත්තෙහි පනේල සැරසිලි එකිනෙකට වෙනස්. විවිධ වර්ගයේ මල් සැරසිලි, මොණරුන් හා බුදු පිළිමයන්ගෙන් මෙම පනේල සරසා තිබෙනවා. සිංහ කුලුනු එකිනෙකට වෙනස් වන්නේ වලිගයේ නැම්මෙන් පමණ යි. මෙවන් කැටයමින් යුත් කුලුනු දකුණු ඉන්දියාවේ කොංජිවරම් දේවාලයේ දක්නට ලැබෙන බව බෙල් පවසනවා.

අද දක්නට ඇති ව්‍යාඝ්‍ර පේකඩ ද ප්‍රකෘතිමත් කොට ඇත්තේ ඔහු විසින්. අර්ධ උන්නත කැටයමින් කළ අඟල් 12×8 ප්‍රමාණයේ ව්‍යාඝ්‍රයන් සහිත විශාල බොරදමක හෝ ලීස්තරයක ශෛලමය කැබලි හයක් විවිධ ස්ථානවලින් බෙල් සොයාගෙන තිබෙනවා. මෙම ව්‍යාඝ්‍ර රූප ශෛලමය පුවරු හතරක දකුණු ඉදිරි පාදය ඉහළට ඔසවා හිස පිටුපසට හරවා වම් පසට ගමන් කරන පරිදි නෙළන ලද සත්ත්ව රූප යි.

විහාරයට ඇතුළුවීම සඳහා ශෛලමය පියගැට පෙළක් දැකගත හැකියි. ඒ දෙපස ගජසිංහ රූප සහිත කොරවක් ගල් 2ක් තිබෙනවා. මෙම ගජසිංහ කැටයම යාපහුව හා කප්පාගොඩ (බ්‍රහ්මවර්ධනපාය) රජමහා විහාරයේ කැටයමට බෙහෙවින් සමානතාවයක් පානවා. නොගැඹුරු ලෙස කැටයම් කළ පලාපෙතිමය දාර සහිත අඩි 5 අඟල් 8 ක්උසැති අඩි 2 අඟල් 10 පළලැති ශෛලමය දොර උළුවස්සක් ගැනත් බෙල් සඳහන් කරනවා.

නළඟන රූප

නළඟන රූප කැටයම්- Kusumsiri Wijayawardhana

විහාරය වටා ඇති මාලකය මධ්‍යයේ සෝපානය දකුණු දෙසින් අඩි 8 අඟල් 3ක් දිගැටි හා අඟල් 8ක් ගැඹුරැති නළඟනන් හා බෙර වයන්නන්ගේ රූප නෙළා ඇති ගල්පුවරුවක් තිබෙනවා. එහි මැද ස්ත්‍රීන් තිදෙනකු එකට බැඳුණු ස්ත්‍රී රූපයක් තිබෙනවා. රංගනයේ යෙදෙන ස්ත්‍රීන් තුන් දෙනෙකු එක්කොට පාද යුගල දෙකක් පමණක් පෙනෙන සේ මෙම නිර්මාණය කැටයම්කොට තිබෙනවා. මෙම කැටයම් යාපහුවේ සෝපාන පංතියේ ඇති කැටයම් සහ ගඩලාදෙණිය, නියම්ගම්පාය වැනි ස්ථානවල ඇති කැටයම් හා සමානතාවයක් පෙන්නුම් කරනවා. යාපහුව හා ගඩලාදෙණියේ ස්ත්‍රී රූප සරාගී ආකාරයෙන් නිරූපණය කර තිබුණත් මෙහි ස්ත්‍රී රූප සජීවී නමුත් විනීත පෙනුමකින් නිරූපණය කොට ඇති බව යි බෙල් සඳහන් කරන්නේ.

(ගඩලාදෙණිය විහාරය ගැන කියවන්න: බෞද්ධ හින්දු සහජීවන සලකුණ- ගඩලාදෙණිය)

ලෙන් විහාරය

හිඳි බුදු පිළිමය-ඉතිහාසය හරි ලේසි fb page

මණ්ඩපයට එපිටින් ගලට යාවන සේ පිහිටි කුඩා ලෙන් විහාරය පළලින් අඩි 14ක්ද දිගින් අඩි 20ක් ද වෙනවා. කලුගල් පාදමෙන් යුත් ඉදිරිපස මණ්ඩප කොටස දිගින් අඩි 21ක් සහ පළලින් අඩි 16ක්. විහාර බිත්තිවල 1918 දී අඳින ලද සිතුවම් දැකගත හැකියි. පුරාණ සිතුවම් විනාශවීමෙන් පසු ඒ මත මෙසේ චිත්‍ර ඇඳ තිබෙනවා. සත්සතිය, අරහත් රූප, දෙවඟනන්, දෙවිවරු හා බුද්ධ චරිතයේ සිද්ධි මේ සිතුවම්ලට ඇතුළත්. විහාරය තුළ ඇති  අඩි 3 අඟල් 3ක් උස හිඳි බුදු පිළිමය කලුගලින් කර බදාම ආලේප කළ එකක්. මෙයට සමාන බුද්ධ ප්‍රතිමා ගඩලාදෙණිය විජයොත්පායේ දැකතත හැකියි. එයට ඉහළින් අලංකාර මකර තොරණක් ද තිබෙනවා.

විහාරය ඉදිරිපස කැටයම් – Kusumsiri Wijayawardhana

මෙහි කළුගල් පුවරු අවට වතුවල මෙන්ම පහළින් ගලායන ඇළෙහි ද තවමත් දකින්න ලැබෙනවා. දැනට විනාශ වෙමින් පවතින සබරගමුවටම වැදගත් මෙම ස්මාරකය සංරක්ෂණය කර අනාගත පරපුරට දායාද කිරීමට බලධාරින් උනන්දු විය යුතු යි. 2018 දී පියගැටපෙළ හා පැති බැමි ප්‍රතිසංස්කරණය කළ ද මෙහි විශාල වැඩ කොටසක් කළ යුතුව තිබෙනවා. මෙම ස්ථානයේ දුෂ්කර භාවය නිසා පොහොය දිනවල දී පවා විහාරයට පැමිණෙන්නේ සුළු පිරිසක්. මෙසේ පාළු ස්වභාවයක පවතින නිසා මෙහි නඩත්තු කටයුතු දුෂ්කර වී ඇතිවා පමණක් නොව නිධන් සොරුන්ගෙන් ආරක්ෂාකර ගැනීමත් අපහසු වෙලා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

ලංකා පුරාවිද්‍යා ගවේෂණය- කෑගල්ල දිස්.  1892 - එච්. සී. පී. බෙල්, පරි. කොත්මලේ කේ. බී. ඒ. එඩ්මන්ඩ්

ශ්‍රී ලංකාවේ රජමහා විහාර- කුසුම්සිරි විජයවර්ධන

Amazing lanka.com

කැප්ෂන්

කවරය- ගජසිංහ කොරවක් ගලක්- Kusumsiri Wijayawardhana

Related Articles