2021 නොවැම්බර් 14 වනදාට යෙදෙන ලෝක දියවැඩියා දිනය ලොව පුරා ජනතාවගේ දියවැඩියාව පිළිබඳ දැනුම්වත්භාවය වැඩි කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන්නකි. මෙවර එහි විශේෂත්වය වන්නේ වෛද්‍ය ඉතිහාසයේ දැවැන්ත පිම්මක් වූ, 1921 සොයා ගත් චිකිත්සීය ඉන්සියුලින්වලට 100 වසරක් පිරීම ද සැමරීම යි.
දියවැඩියාව යනු ඉන්සියුලින් නිපදවීමට සහ ඉන්සියුලින්වලට ප්‍රතිචාර දැක්වීමට ශරීරයට ඇති හැකියාවට බලපාන පොදු රෝගයකි. Type 1 සහ Type 2 ලෙස දියවැඩියාවේ ප්‍රධාන වර්ග දෙකකි. ඒවායෙන් ඇති වන සංකූලතා අතරින් එකක් වන්නේ, රුධිරයේ සීනි (ග්ලූකෝස්) වැඩි කිරීමට හේතු වීම යි. ඊට ප්‍රතිකාර ලෙස බොහෝ විට රුධිර සීනි පාලනයට උපකාර වන ඖෂධ ලබා දීම ඇතුළත් වේ.
පළමු ආකාරයේ (Type-1) දියවැඩියාවට නිශ්චිත හේතුවක් හඳුනා ගෙන නැතත්, එහිදී සිදු වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අග්න්‍යාශයෙන් ඉන්සියුලින් නිපදවන සෛල වෙත පහරදී විනාශ කරලීම යි. එවිට රුධිරයේ සීනි මට්ටම අවම කරන ඉන්සියුලින් නොමැතිව/අවම වී ගොස් සීනි මට්ටම ඉහළ යයි. පරම්පරාවෙන්, පාරිසරික සාධක වැනි දෑ එය ඇති වීමට අවදානම් සාධක වේ.
දෙවන ආකාරය (Type-2) ඇති වන්නේ දේහ සෛල ඉන්සියුලින්වලට දක්වන සංවේදීතාව අඩුවීම (ප්‍රතිරෝධී බව), සහ ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවා ගන්නට අග්න්‍යාශය අපොහොසත් වීමත් සමඟ යි. ස්ථුලතාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, ප්‍රමාණවත් තරම් ව්‍යායාම නොලැබීම, වයස යනාදිය එහි අවදානම් සාධක වේ. මේවා වලක්වා ගත හැකි ක්‍රම කිහිපයක් පහත දැක්වේ.
ව්‍යායාම කිරීම
ව්‍යායාම කිරීම තුළින් බර අඩුවීම, රුධිර සීනි ප්‍රමාණය අඩුවීම, ඉන්සියුලින් සඳහා වන සංවේදීතාව වැඩිවීම සිදු වන අතර ඉන් රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය පරාසයක තබා ගැනීමට ද උපකාරී වේ. කඩිසරව ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාමයක් සතියකට විනාඩි 150ක් ආවරණය වන ලෙස දින කිහිපයක දී කිරීමත්, ඔබ වාඩි වී සිට රැකියාව කරන අයෙක් නම් (පරිගණකාශ්රිත, ලිපි ගොනු ආශ්රිත) සෑම විනාඩි 30කට ම වරක් නැගිට ඇවිදීම වැනි සැහැල්ලු ව්‍යායාමයක යෙදීම වැදගත් වේ.
පෝෂ්‍යදායී ආහාර ගැනීම
ශාකමය ආහාරවලින් තන්තු, විටමින්, ඛනිජ ලවණ මෙන් ම දේහයට ශක්තිය ගෙන දෙන කාබෝහයිඩ්රේට ද ලද හැකි ය. තන්තු අධික ආහාර වැඩි කාලයක් කුසේරැඳෙන නිසා ආහාර ගැනීමට ඇති අවශ්‍යතාව නැතිව යාමෙන් බර අඩු කිරීමටත්, දියවැඩියාව පාලනයටත් දායක් වේ. පලතුරු, පලා වර්ග, නිවුඩු සහිත ධාන්‍ය නිරන්තරයෙන් ආහාර වේලට එක් කරගැනීමෙන් පල ලැබිය හැකි ය.
සිරුරට අහිතකර කාබෝහයිඩ්රේට; එනම්, පාන්, බේකරි කෑම, නූඩ්ල්ස් මෙන් ම නිවුඩු රහිත සහල් පවා ආහාර වේලෙන් අඩු කර ගැනීම කාලීන අවශ්‍යතාවක් ව තිබේ. අතීත ජනතාව පිඟාන පිරෙන්නට බත් බෙදාගන්නා සේ ම දවස පුරා කය වෙහෙසූවත්, අතීතයත් වර්තමානයත් අතර ඇතිවූ එක ම වෙනස කය වෙහෙසීම අඩු වීම මිස ආහාර රටාව ඊට ගළපා ගැනීම නොවේ.
පැණිරස කෑමට ඇති ආසාව හඳුනා ගැනීම
රුධිරයේ සීනි මට්ටම අඩු වූ විට පැණි රස කෑමට අවශ්‍යතාවක් ඇති විය හැකි වුවත් ඒ ආශාව ඇති වූයේ සැබැවින් ම ඒ නිසා ද, නැතහොත් පැණිරස කෑමට ඇති පුරුද්දක් (ආහාර ගැනීමෙන් පසුව වැනි) නිසාදැ යි සිතීම වැදගත් ය. එසේම, රුධිර සීනි මට්ටම වැඩි වීමට මානසිය ආතතිය ද බලපායි. කෝටිසෝල් හෝමෝනය වැඩි වශයෙන් ස්රාවය වන විට පැණිරස ආහාර කෑමට අවශ්‍යතාවක් ඇති වන බැවින් රාජකාරි හෝ නිවසේ වැඩ කටයුතු කරද්දී පැය බාගයකට වරක් හෝ සිත නිදහස් කර ගැනීමට මිනිත්තු කිහිපයක් වෙන් කර ගැනීම මානසික මෙන් ම ශාරීරික සෞඛ්‍යයට ද හිතකර ය. ගැඹුරු රාත්‍රී නින්දක් ලබා ගැනීම ද ඊට උපකාරී වන තවත් අංගයකි.
සිරුරට හිතකර මේද ආහාර භාවිතය
මේදමය ආහාරවල කැලරි අධික වන අතර ඒවා මධ්‍යස්ථ ව අනුභව කළ යුතු ය. බර අඩු කර ගැනීමට සහ පාලනය කිරීමට, ඔබේ ආහාර වේලට අසංතෘප්ත මේද (හිතකර මේද ලෙස ද එය හැඳින්වේ) සහිත විවිධ ආහාර ඇතුළත් විය යුතු ය. ඒවා රුධිර කොලෙස්ටරෝල් මට්ටම පාලනයටත්, රුධිර වාහිනී පද්ධතියේ සෞඛ්‍යමත් බව පවත්වා ගැනීමටටත් උපකාරී වේ. ඔලිව් තෙල්, සූරියකාන්ත තෙල්, ඇට වර්ග, මේදමය මාළු (සැමන්, මැකරල්, සාඩින්, කෙළවල්ලා, බලයා, මෝරා) ඒ යටතේ ගත හැකි ආහාර වන අතර, මාංශමය ආහාර අතින් කුකුළු මස් ද උචිත වේ.
කළුදුරු තෙල් භාවිතය
කළුදුරු තෙල් හෝ ඒවා අඩංගු නිෂ්පාදන භාවිතය Type-2 දියවැඩියාව ඇති වීම අවම කරගන්නටත්, දියවැඩියා රෝගීන්ටත් විවිධ ආකාරවලින් ප්‍රයෝජනවත් විය හැකි ය. කළුදුරුවල ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ඇති අතර ඒවා Type-2 දියවැඩියාවට මෙන් ම සමස්ත දේහ සෞඛ්‍යයට විවිධ ආකාරවලින් සහනය සලසයි. විශේෂයෙන් කළුදුරු සතු ප්‍රදාහ වැලැක්වීමේ ගුණය දියවැඩියා රෝගීන්ට වාසිදායක වන්නේ සුව නොවන තුවාල, ප්‍රදාහ තත්ත්ව සමනය කරගන්නට ඉන් උපකාර ලැබෙන බැවිනි.
මෑතකාලීන පර්යේෂණයක් පෙන්වා දෙන්නේ කළුදුරු තෙල් භාවිතයෙන් ඉන්සියුලින් නිපැයීම වැඩිවීම, ඉන්සියුලින්වලට ඇති දේහ ප්‍රතිරෝධීතාව අඩුවීම, සෛල ක්‍රියාකාරීත්වය උත්තේජනය වීම, සහ බඩවැල්වලින් ඉන්සියුලින් අවශෝෂණය අඩු කිරීම සිදුවූ බව යි. 2017 කළ සායනික පරීක්ෂණ සමාලෝචනයක් කළුදුරු සතු රුධිර සීනි ප්‍රමාණ අවම කිරීමේ හැකියාව හඳුනා ගෙන එය ඖෂධ නිෂ්පාදනයට යොදා ගත හැකි බව දක්වයි.
පසුවදන
IDF Diabetes Atlas දක්වන ආකාරයට ලොව දියවැඩියා රෝගීන් 5 දෙනකුගෙන් 4 දෙනකු ම (81%ක්) අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල ජීවත් වන අය යි. එශ්රී ලංකාව ද මේ 81% තුළ පවතින රටකි. ලොව පුරා වැඩිහිටියන් මිලියන 537 ක් දියවැඩියාවෙන් පෙළෙන අතර 2021 දී ලොව සිදුවූ මරණවලින් මිලියන 6.7 ක් ම දියවැඩියාව නිසා සිදු වූ ඒවා ය. සෑම තත්පර 5කට වරක් එක් අයකු දියවැඩියාව නිසා මෙලොවින් සමු ගෙන ඇති අතර, 2045 වන විට දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 152 දක්වා ඉහළ යනු ඇතැයි (68% ක වැඩිවීමක්) පුරෝකථනය කර තිබේ. එවන් තත්ත්වයක් තුළ මේ දියවැඩියා දිනයේ දී දියවැඩියාව ඇතිවීම වලක්වා ගැනීමට හෝ එය පාලනය කර ගැනීමට අපේ එදිනෙදා පුරුදු ක්‍රමයෙන් වෙනස් කර ගැනීම දිගු කාලීන ප්රතිපලවලටත්, සුවදායී දිවියකටත් ඔබට මඟ පාදනු ඇත.